ලොව පළමු සෑය ගිරිහඬු සෑය ද

ලංකාවට අපි හදවතින්ම ආදරය කරමු. ලොව රටවල් රැසක අප සංචාරය කොට ඇත. එහෙත්, ශ්‍රී ලංකාව තරම් රමණීය, ආශ්චර්යවත්, පින්වත් රටක්‌ අප දැක නොමැත. විදෙස්‌ රටක සිටියද, අපේ මව්බිම ගැන අපට ඇත්තේ ඉමහත් ආඩම්බරයකි. ගෞරවයකි. වසරකට දෙවරක්‌ පමණ අප දෙදෙනාම නිවාඩු ලද සැනෙකින් ශ්‍රී ලංකාවට පැමිණීම අපගේ සාමාන්‍ය සිරිතයි.

අප රමණීය මව්බිමේ සාඩම්බර, ප්‍රෙෘඪ ඉතිහාසය මුළු ලොවට කියාපාන පුරා විද්‍යා වටිනාකමකින් යුක්‌ත පැරණි පූජනීය සිද්ධස්‌ථාන දැක බලාගන්නට, වන්දනා කරන්නට, කුඩා කල පටන්ම මා හට තිබුණේ අසීමිත කැමැත්තකි. වෛද්‍යවරයෙක්‌ වූ මා පියාණන්ගේ අතේ එල්ලී, ගුරු මාතාවක්‌ වූ මගේ මෑණියන්ද, නංගීද කැටුව, අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල, සීගිරිය, පිඳුරන්ගල ආදී ඓතිහාසික ස්‌ථාන කීපවරක්‌ම මා නරඹා ඇත. ඒවා අදත් අපූරු මතක සටහන්ය. අහස උසට විහිදෙන අහස්‌කුස සිඹින මහා ප්‍රතාපවත් දාගැබ්, සයුරු පරයන මහා වැව්, අඩවන් දෑසින් කරුණා, මෛත්‍රිය මූර්තිමත් කරන්නාවූ අනුරපුර සමාධි බුදු පිළිම වහන්සේ ඔදවත්, තෙදවත්, ප්‍රතාපවත් ස්‌වර්ණමාලි මහා සෑ රඳුන්, ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වහන්සේගේ බෝපත් සෙලවන රිද්මය, සිසිලස, අපගේ ගතට හා සිතට දනවන්නේ සාන්ත හැඟීම්ය. මෙම බෞද්ධ සිද්ධස්‌ථාන දකිනවිට අපි බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනායන්නෙමු. මගේ දෙමව්පියන්, විශේෂඥ වෛද්‍යවරයකු වූ මගේ පියා සමග අප වසර ගණනක්‌ම එංගලන්තයේ ජීවත්වුවද, මේ වකවානුව තුළදීත්, ශ්‍රී ලංකාවට පැමිණීම, අප පැරණි නටබුන් නැරඹීමට යාමට පුරුදුවීමු. අපගේ ජීවිත වටා බැඳී ඇති රන්හුව, බුදුදහමයි.

ස්‌කොට්‌ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අපට මෙම නිවාඩුව, කරුණු දෙකක්‌ නිසා වැදගත් විය. මාගේ දෙමාපියන්, අප්සරාගේ දෙමව්පියන්, යහළුවන් දැක බලාගැනීමත්, විශේෂයෙන්ම, වසර ගණනක්‌ අපට යන්නට නොහැකිවුණු, නැගෙනහිර ප්‍රදේශයේ ත්‍රිකුණාමලය ආශ්‍රිත ප්‍රදේශ අවට ඇති බෞද්ධ සිද්ධස්‌ථාන හා වෙනත් වැදගත් පැරණි ස්‌ථාන දැක බලාගැනීමත්, මෙවර අපගේ ශ්‍රී ලංකා ගමනේ ප්‍රධාන අරමුණු විය.

අප පොත පතින් අසා ඇති, කියවා ඇති, නිතුපත්පාන, ගිරිහඬු සෑය වඳින්නට, නරඹන්නට ගියෙමු. නැගෙනහිර ප්‍රදේශ තුළ දක්‌නට ලැබෙන මහා මාර්ග පද්ධතිය, සංවර්ධන ක්‍රියා පිළිවෙත් දැක අපි සතුටු වීමු.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත් සතිය ගතකොට අවසන් වූ 50 වන දිනයේ තපස්‌සු - භල්ලුක වෙළෙඳ දෙබෑයන් ප්‍රථම දානය ලෙස විළඳ මී පැණි පූජාකර, වැඳුම් පිදුම් කිරීමට යමක්‌ ඇයද සිටි අවස්‌ථාවේ බුදුන්වහන්සේ හිස පිරිමැද ජීවමාන කේෂ ධාතුන් වහන්සේලා දෙන ලදැයි අප අසා ඇත්තෙමු.

ඉන්දියාවේ සිට කල්වරාවට පැමිණ තපස්‌සු භල්ලුක යාංඔය දිගේ ගිරිකන්ඩ පර්වතයේ මුදුනේ පිහිටි ගල මත කේශ ධාතූන් වහන්සේ ආරක්‍ෂාවට තැන්පත් කරන ලදී. එම අවස්‌ථාවේදීම මෙය ගලටම සවිවී ගත නොහැකි වූ බැවින්, තපස්‌සු භල්ලුක වෙළෙඳ සමූහය විසින් ලක්‌දිව ප්‍රථම බෞද්ධ සිද්ධස්‌ථානය මෙන්ම, ලෝකයේ ප්‍රථම චෛත්‍යය ද ඉදිකරන ලදී.

ගිරිහඬු සෑ, කතා පුවත රසවත්ය. අපූරුය.

පණ්‌ඩුකාභ කුමරුගේ බාල මාමාවන පඬුවස්‌දෙව් රජුගේ බාලම පුත්, ගිරිකණ්‌ඩ සිව රජතුමා සහ ක්‍රි. ව. 733 දී අනුරාධපුරය රාජධානිය රාජ්‍යයට පැමිණි අග්‍රබෝධි ශිලාමේඝ රජු ද, මේ ප්‍රදේශයේ සිට ආරක්‍ෂක කටයුතු මෙහෙයවා ඇතැයි ද වංශකතා පොත්වල සඳහන් වේ.

මෙහිලා අප නමස්‌කාර පූර්වකව සිහිපත් කළ යුත්තේ, මහා වනාන්තරයක්‌ බවට පත්ව තිබුණ මෙම පූජා භූමිය, බෞද්ධයන්ට වැඳ පුදා ගන්නට අවස්‌ථාව ලබාදෙමින්, උදාර කැපකිරීමක්‌ කළ අපවත්වී වදාළ පූජ්‍ය ධර්මකීර්ති ශ්‍රී ගන්ධර නාහිමිපාණන් වහන්සේ සහ අදත් මේ විහාරස්‌ථානයේ වැඩවසන හිමිවරුන්ය. ගෙවීගිය 30 වසර තුළදී, ගිරිහඬු සෑය වන්දනා කරන්නට අපට නොහැකිවූයේ, එම ප්‍රදේශය එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී ග්‍රහණය යටතේ පැවතුන බැවින්ය. කෙසේ වුවද, අප අතිගරු ජනපති මහින්ද රාපක්‍ෂ මැතිතුමා මෙරට යළිත් එක්‌ රටක්‌ බවට පත්කිරීම නිසා අපට අපේ උරුමයන් බලන්නට යන්නටද හැකිවිය. අද එම පෙදෙසට නව අරුණළු වැටී ඇත.

තපස්‌සු - භල්ලුක වෙළෙඳ දෙබෑයන්ගේ ලංකා ගමන මගින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉතා කිට්‌ටු වෙළෙඳ සබඳතා සදා පැවැති බව සක්‌සුදක්‌සේ පැහැදිලි වේ.

තපස්‌සු - භල්ලුක දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණ ත්‍රිකුණාමලය දිසාවේ ටාපකුලම් පත්තුවේ අති රමණීය යාන් ඔය මුහුදට ගලා බස්‌නා තිරියායි - කල්ලරාය නොහොත් ගල්වරාය අසල සැතපුම් තුනකින් යුත් භූමියක අඩි 212 ක්‌ පමණ වූ ගිරිහඬු ගිරිකඩ, ගිරිකණ්‌ඩ පර්වතය මුදුනේ, පිහිටි හීදපත්පාන ගිරිහඬු සෑ චෛත්‍යයේ කේෂ ධාතූන් තැන්පත් කළ බව පැවසේ. ඓතිහාසික සාක්‍ෂි හාර ඇවිස්‌සීමේදී, පූජාවලියේ සඳහන් වෙළෙඳ දෙබෑයන්, ත්‍රිකුණාමලය ආශ්‍රිත තිරියායට පැමිණි බව තිරියායි සෙල්ලිපිය මගින්ද පැහැදිලි වේ. මෙම ප්‍රදේශය කච්චුවලිය, කට්‌ටුකුලම් යන නමින්ද හැඳින්වූ බවද පැවසේ.

ත්‍රිකුණාමලය පාසිකුඩා පෙදෙස හිරු රැසින් නැහැවී ඇත. අප තථාගත බුදුපියාණන්ගේ කේශ ධාතූන් වඳින්නට ගිරිහඬු සෑය බලා ගියෙමු. අපූරුවට සකසා ඇති මහා මාර්ගයේ මෝටර් රථය පැදවීම අත්දැකීමක්‌ විය. මෙම ගමනට මගේ බිරින්දෑ - අප්සරා ද, මගේ දෙමව්පියන් හා සොහොයුරිය ද එක්‌ව සිටීම සතුට දනවන්නක්‌ විය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළ 37 වන රජු, වසභ (වැහැප්) බු. ව. 608 සිට වර්ෂ 44 ක්‌ රජකළ බවත්, අප රටේ වාරි කර්මාන්තය නංවාලීමේත්, වෙහෙර විහාරාදිය තැනීමේදීත්, ප්‍රමුඛත්වයක්‌ ගත් බව අපි අසා ඇත්තෙමු. නීතුපත්පාන රමණීය කඳුවැටියේ ආධාරයෙන් නීතුපත්පාන වැව වසභ රජු නිමකළ බව පූජාවලියේ සඳහන්ව ඇත. නම්පොත නමින් මහනුවර යුගයේ කියවුණු විහාර ලේඛන වලදී මෙම නීතුපත්පාන නාමය ජනප්‍රියත්වයට පත්ව ඇති බැව් සඳහන් වේ. එමනිසා ගිරිහඬු සෑයට ද එදා නොඅඩුව රාජ අනුග්‍රහ ලැබෙන්නට ඇතැයි අපට සිතිය හැකිය.

පඩි 308 කින් පමණ සමන්විත, පඩිපෙළ නගිමින්, බුදුන් වහන්සේගේ කේෂ ධාතූන් නිධන්කොට ඇති ගිරිහඬු වෛත්‍ය රාජයාණන් පිහිටි පරිශ්‍රයට අපි නැග්ගෙමි. එය අපූරු අත්දැකීමක්‌ විණ. ගිරිහඬු සෑය අසල දක්‌නට ලැබෙන ශේෂව ගිය වාහල්කඩ දක්‌නට ලැබේ. ඉන් පසුව, අපට හමුවුණු මනරම් "පොකුණු කුට්‌ටම" මැදින් ආකාශ චෛත්‍යය වෙත ගමන් ගන්නා අපූරු පියගැට පෙළ, අපගේ විස්‌මිත ගල්වඩුවන්ගේ දස්‌කම් විස්‌කම් මනාව පැහැදිලි කරන්නකි. ගල්පඩි පෙළේ අඩි 150 - 170 ක්‌ පමණ නගින විට, දිස්‌වූයේ වමතින් කටාරම් කෙටූ, ගල්ලෙනකි, ඉන් අනතුරුව, සමනල බිමකි, ඉන්පසු, අඩි 100 ක්‌ පමණ නැග්ගවිට, සෙල් ලිපියක්‌? හමුවේ. ඒ අසල ලෙනකි. මෙම ලේඛනවලට අනුව, විද්වතුන්ගේ මතය වී ඇත්තේ, මිහිඳු මහ රහතන් වහන්සේ - "අනු බුදු හිමි" දවස, මෙකී ලෙන, සඟ සතු කොට පූජා කොට ඇති බවයි.

නීතුපත්පාන, ගිරිහඬු සෑ භූමියේ සිට අවට බලන විට, ඈත එපිටට විහිදී යන මනස්‌කාන්ත දසුන, ඉතාමත් චමත්කාර ජනකය. මන බඳනා සුළුය. කඳු මුදුනේ සිට පුලුමුඩේ දක්‌වා පෙනෙන දර්ශනය ඉතාමත් පියකරුය. මෙවැනි ස්‌ථාන කෙරෙහි සංචාරක අංශ බාරව සිටින අයගේ අවදානය යොමුවන්නේ නම්, ගිරිහඬු සෑය හා ඒ අවට පෙදෙස්‌වලට ආර්ථික වශයෙන්ද විශාල සේවයක්‌ සිදුවෙනවා ඇත.

අග්‍රබෝධි ශිලා මේඝ රජ සමයෙන් පසුව, පරසතුරු ආක්‍රමණයන්ට ලක්‌වුණු ගිරිහඬු සෑ චෛත්‍ය රාජයාණන් වල් බිහිවුණි. කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ 129 වන රජු වූ පළමුවන විජයබාහු නරනිඳු, සිරිලක යළිත් එක්‌සේසත් කිරීමෙන් අනතුරුව, ගිරිහඬු සෑය, ප්‍රතිසංස්‌කරණය කළ බැව් වංශකතාවල සඳහන් වේ. විජයබාහු සිරිලක එක්‌සේසත් කිරීමෙන් අනතුරුව, විශාල ගණනක්‌ වෙහෙර තැනූ බැව් සඳහන් වේ. ඒ අතර ගිරිකඩ වෙහෙරද (ගිරිහඬු සෑය), දඹකොල වෙහෙරද, පරගම් වෙහෙරද, කසගල් වෙහෙරද, සිහිල් ගම් ලෙනද ප්‍රතිසංස්‌කරණය කරන ලදැයි පැවසේ.

හීතුපත්පාන, ගිරිහඬු සෑය භූමියේ දක්‌නට ලැබෙන ඇල්දිය උල්පත, ලංකා පොකුණ, වාසල් දොරටු මළුවේ ප්‍රාකාරය, උතුරු පියගැට පෙළ, වටදා ගේ හා ගිරිහඬු සෑය, මෙම පරිශ්‍රයේ දක්‌නට ලැබෙන විශිෂ්ට නිර්මාණ අතර ප්‍රධාන තැනක්‌ ගනී. වටදාගේට නැගෙනහිර පියගැට පෙළට දකුණින් වැලිමළුවේ තනි ගලකින් සැදුම්ලත් පොකුණකි. වටදාගෙයට දකුණෙන් හා බටහිරෙන් ඔත් පිළිමගෙයක සහ හිටි පිළිම ගෙයක නටබුන් හමුවේ. මෙකී පිළිමගෙය අසල උතුරු දෙසින් බහිරව රූප දෙකක්‌ හමුවේ. ඒ අසල දෙවොලක්‌ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

ත්‍රිකුණාමලය පාසිකුඩා, නිතුපත්පාන ගිරිහඬු සෑ ඇතුළු පෙදෙස්‌ ත්‍රස්‌තවාදී ග්‍රහණයට නතුවී තිබුණ අවධියේ, ඒවා ආරක්‍ෂා කළ අපගේ වීරෝදාර ශ්‍රේෂ්ඨ රණවිරුවන්ටත්, විශේෂයෙන්ම බුදුන්වහන්සේ කේශ ධාතූන් නිධන් කළ ගිරිහඬු චෛත්‍ය රැකබලාගත් එම ස්‌ථානයේ වැඩ වසන ගරුතර සංඝරත්නයටත් අප නිතැතින්ම ණය ගැතිය. මෙම වැදගත් පූජනීය ගිරිහඬු සෑය ගැන මෙම ලිපිය මා ගොනු කළේ, අප බෞද්ධයන්ගේ අවධානය යොමු කිරීමටය. මෙම ඓතිහාසික පුදබිම, නීතුපත්පාන ගිරිහඬු සෑ චෛත්‍යය රාජ්‍යයන් වහන්සේ ආරක්‍ෂා කර ගැනීම සකල ලාංකිකයන්ගේම පරම යුතුකමකි. එමනිසා, බුද්ධ ශාසන අමාත්‍යාංශය, ජීවමාන බුදුන් වැඩවසන, ගිරිහඬු සෑයේ දියුණුවට අතහිත දෙනවාට සැකයක්‌ නොමැත. මෙම පුදබිම සංචාරකයන්ගේද කේන්ද්‍රස්‌ථානයක්‌ කිරීමට අදාළ යටිතල පහසුකම් ලබාදීම ඉතා වැදගත්ය. විදෙස්‌ සංචාරකයන් පැමිණිමෙන්ද, මෙම පෙදෙසට සහන් එළියක්‌ ලැබෙනු ඇත. ඒ මගින් ගිරිහඬු සෑය අවට පෙදෙස්‌ ද සංවර්ධනය වනවා ඇත.

දොස්‌තර හරින්ද ගුණසේකර