නිවස ඉදිරිපිට අරලිය මල් වැවීම සුදුසුද


"ගසක පිපෙන මලක පැහැය සහ ස්‌වභාවය පරිසරය විසින් නිර්මාණය කළ එකකි. එය වෙනස්‌ කළ හැකි නොවේ."


ලැබුවා වූ නව වසරත් සමඟ නිවස හා නිවසේ අලංකාරය පිළිබඳව සිතන්නට, කල්පනා කරන්නට සිදුවේ. මේ පිළිබඳව කාන්තාවන්ට ඇත්තේ සුවිශේෂ උනන්දුවකි. 



නිවසක්‌ අලංකාර කිරීමේදී විශේෂයෙන් නිවසේ ගෙවත්ත නැතිනම් මිදුල සැරසීමේදී නිවස හා නිවසේ බිත්තිවල ආලේප කර ඇති තීන්ත නිවසේ ප්‍රමාණය ආදී දෙය සමඟ ගැලපීමක්‌ තිබිය යුතුය. 



තමන් ගොඩනගාගත් නිවස අලංකාර ලෙසත් අර්ථවත් ලෙසත් තබා ගැනීම කොයි කාගේත් ඒකායන බලාපොරොත්තුවයි. එම නිසාම ජ්‍යෙdතිෂඥයන්ගේ මතවාදවලටද නැඹුරුවිය යුතුයි. නමුත් එය කළ යුත්තේ අර්ථවත් බවින් හා අලංකාරවත් බවින් නිවස තබා ගැනීම සඳහාය. බොහෝ ජ්‍යෙdතිෂවේදීන් වර්තමානයේ මතවාද ප්‍රකාශ කරනු ලබන්නේ වානිජවාදී අරමුණක පිහිටාය. 



එමනිසා එම මතවාද වුවද පිළිගත යුත්තේ නුවණින් විමසා බලාය. නැතහොත් සිදුවන්නේ බොහෝ අයහපත්වලට පත් වන්නටය. එයට ප්‍රබල හේතුවක්‌ ලෙස පෙනෙන්නේ සමාජය සංකීර්ණවීමත් සමඟ සාම්ප්‍රධායික මතවාද සංස්‌කරණය කරන්නට යාම නිසාය. 



නිවස ඉදිරිපිට අරලිය මල් වැවීම ඇතැම් ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ජ්‍යෙතිෂවේදීන් දකින්නේ සාවද්‍ය මත එකතු කර ගනිමිනි. නිවසක්‌ ඉදිරිපස මල් වැටක්‌ තිබීම අපේ සාම්ප්‍රදාය තුළ පැසසුමට ලක්‌ වූ කරුණකි. සිංහල සංස්‌කෘතිය තුළ සාම්ප්‍රදාය ඇති වූයේ බුදු සමයේ ආලෝකය සහ ඉන් ලබාගත් හර පද්ධතීන් අනුවය. ඒ අනුව අරලිය මල් ගසක්‌ නොව සුවඳ හමන මල් මිදුල පුරා තිබීම නිවසට සහ එම නිවසියන්ට වාසනාව කැන්දන් එන කාරණයක්‌ විය. 



අරලිය මල් ගස්‌ කිරි සහිත ගසකි. කිරි සහිත ගසක්‌ නිවස ඉදිරිපස තිබීම එම නිවසේ සෞභාග්‍ය පිණිස හේතුවෙයි. අරලිය මල් ගසේ විවිධ වර්ණ (සුදු දම් රතු) තිබීම හා එහි සුවදින්ද නිවසකට හානියක්‌ නැත. (අරලිය මල්වලින් වාහනය වන සුවඳ හා සමාන සුවඳක්‌ මළ ගෙවල්වලින් වහනය වන බව කියන ඇතැමුන් එමනිසා අරලිය ගස නිවස ඉදිරිපිට තිබීම නුසුදුසු යයි කීමට තර්කයක්‌ ලෙසද ඉදිරිපත් කරනුද අසන්නට ලැබෙයි. මළ ගෙවල්වල භාවිත කළ යුත්තේ අහවල් සුවඳ වර්ගයයි නියමයක්‌ නැත. මෘත ශරීරයේ දුගද මර්දනය කර ගැනීම සඳහාද , එය වළලන තුරු එහි සිටින පිරිසට දුගදක්‌ නොදැනීම සඳහාද කැමති ඕනෑම සුවඳ වර්ගයක්‌ භාවිත කළ හැකිය. ඊට අරලිය මල් හෝ එම මලේ සුවදෙහි කිසිදු සබඳතාවක්‌ ඇත්තේ නැත. ඒ අනුව මළ ගෙදර සහ එහි සුවඳ අරලිය මලේ සුවඳට සම්බන්ධ කිරීම විචාරයකින් තොර වැරදි මතයකි. 



නිවස ඉදිරිපිට කැලෑව වැවී තිබීම සුදුසු නැත. එසේ කැලෑවට තිබීමෙන් සතා සර්පයා පැමිණිය හැකි අතර වෙනත් සතුරු කරදරද ඇතිවිය හැකිය. අරලිය මල් ගස්‌ද එසේ කැලෑවට වැවීම සුදුසු නැත. ඒ මලේ සුවඳ හෝ පැහැය නුසුදුසු නිසා නොව කැලෑවට තිබීමෙන් වෙනත් අනතුරුදායක තත්ත්වයන් ඇති වීමට හැකි එහෙයිනි. 



සුදුපාට, රෝසපාට රතුපාට ආදි විවිධ පාට සහිත මල් පිපුණත් එම පාට සහ තම නිවසේ පාට අතර සම්බන්ධයක්‌ද නැත. එම පාට අනුව කිසිදු දෝෂයක්‌ හෝ විපතක්‌ නිවසේ සිටින්නට සිදුවන්නේ නැත.



ගසක පිපෙන මලක පැහැය සහ ස්‌වභාවය පරිසරය විසින් නිර්මාණය කළ එකකි. එය වෙනස්‌ කළ හැකි නොවේ. නමුත් නිවසක ආලේප කරන තීන්ත කෘතිමව සකස්‌ කරන ඒවාය. මෙහිදී අවධානය යොමු කළ යුත්තේ බුද්ධිමත්වය. ස්‌වභාව ධර්මය විසින් ලබාදුන් පැහැය ජීවිතයට හානි කරවන්නේ නැත. යම් හානිකර බවක්‌ ඇති වන්නේ නම් විය යුත්තේ කෘතිමව ඇති කරගත් වර්ණය මගිනි. එම වර්ණය ඕනෑම අවස්‌ථාවක වෙනස්‌ කළ හැකිය. 



ඒ අනුව නිවස ඉදිරිපස අරලිය මල් වවා තිබීම මගින් නිවසට දෝෂයක්‌ සිදුවේ යයි කල්පනා කරන මතය බුද්ධිමත් බවින් තොරය. අරලිය මල් ගස්‌ නිවස ඉදිරිපිටින් ඉවත් කරන්නේ නම් එය කළ යුත්තේ ඉන් සිදුවන දෝෂයක්‌ නිසා නොව වෙනත් කරදරයක්‌ ඇතිවේනම් පමණී. බුදු දහමට අනුව ගෘහ හිමියකු විසින් ඇතිකරගත යුත්තේ නිවරදි කල්පනාව එයයි. 



අනුරාධපුර භික්‌ෂු විශ්ව විද්‍යාලයේ 

බෞද්ධ අධ්‍යාපන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
පාතේගම Æණිස්‌සර හිමි