රජ මාළිගාවේ මොකක් හෝ කලබැගෑනියක් සිදුවී තිබෙනවා. දැසි දැස්‌සන්, මුර භටයන්, ආවතේවකාරයන්, පයිංඩකාරයන් කොන් කොන්වලට වී කසු කුසු ගානව. රජතුමා දැන් දවස් ගාණක ඉඳලා රාජ සභාවට ඇවිල්ල නෑ.
"මොකක්‌ද හොයනව උන්නාන්සේ" මුර භටයෙක් කිව්වා.
"මහ රඡ්ජුරුවන්ගේ රාජ භාණ්‌ඩාගාරයේ වටිනා වස්‌තුවක් නැතිවෙලා. ඒ මොකක්‌ද කියල කව්රුවත් දන්නෙ නැහැ.
ඒ මොකක් වුණත් දැන් ඉතින් අප කාටත් වග කියන්න වෙයි. වයෝවෘද්ධ දාසයෙක් කිව්ව.
රඡ්ජුරුවෝ ඉස්‌සෙල්ලම ප්‍රශ්න කළේ බිසවුන් වහන්සේ ගෙනි. ඒ උත්තමිය ලාට රට ඉඳල මෙහාට ආපු උභය කුල පරිශුද්ධ කුල කාන්තාවක්. බැලූ බැල්මට ඉටි රූපෙ වගේ. ආයි බොරුවක් නෑ. සෝදල බොන්න පුළුවන් ගානයි. සූසැට අභරණින් සැරසිල කසී සළු ඇඳල නාලිය ගමනින් යන කොට ජනතාව බලා ඉන්නෙ කියන්න බැරි තරම් ආදරෙකින්.
"අනේ ස්‌වාමිනී ඔය කියන කරුණ ගැන මං කවදාවත් අහල නෑ. මට ඔය ගැන කියන්න තියෙන්නෙ එච්චරයි. රඡ්ජුරුවෝ තුෂ්ණිම්භූත වුණා. ඒත් බිසවුන් වහන්සේට විරුද්ධව එක වචනයක් කිව්වේ නෑ. හිනාවෙලා නිකම් හිටිය. ඊළඟට රජතුමා ගියේ මව් බිසව ළඟට. උන්වහන්සේ දැන් කාලෙක ඉඳල උග්‍ර ශීලයක් රකිනව ඉහළ මාලයට වෙලා. රඡ්ජුරුවෝ මව් බිසවට වැඳ නමස්‌කාර කරල ඒ නැතිවුණු වස්‌තුව ගැන ඇහැව්වා.
මව් බිසව ටිකක් ගැස්‌සිල හිටිය. අන්තිමට කිව්ව තමාගේ භාවනාවට බාධා කරන්නෙ නැතුව ඉවත්ව යන්න කියල. ඊළඟට රඡ්ජුරුවෝ පුරෝහිත තැන ගෙන්නුව. පුරෝහිත කිව්වම ඒකාලේ ඉඳලම රඡ්ජුරුවන්ගේ මිත්‍රයෙක්. එකටයි ගුරු ගෙදර ගියෙත්. බොහොම අමාරුවෙන් ජීවත්වෙන බව සැලවෙලා රඡ්ජුරුවො මාළිගාවට ගෙන්නල උගත් කමට සලකළා පුරෝහිත තනතුරු දුන්නා.
ඔහු කිව්ව මේ පුරෝහිත තනතුරට එන්න කලින් නම් ඔය කියන දේ ගැන අහල තියනව කියල. එහෙත් ඊට පස්‌සෙ ඒ ගැන කිසි කල්පනාවක් තමන්ට නැහැ කියල. රඡ්ජුරුවො දුර්මුඛ වුණා. ඒත් උන්වහන්සේ බලාපොරොත්තු අත්හැරියෙ නැහැ. තවදුරටත් සොයා බැලුවා. මහ ඇමැති රජතුමා ගරු කළ තව කෙනෙක්.
රාජකාරියෙන් මගේ සරුවාංගෙ රත්වෙලා දේවයන් වහන්ස. ඔය කියන වගේ දෙයක් ගැන හිතන්න තරම් විවේකයක් මට නැහැ දේවයන් වහන්ස කියල ඇමැතිතුමා බොහොම අසරණ විදියට කිව්ව.
රජතුමා හදිසියෙම වගේ අධිකරණ ශාලාවට ඇතුළු වුණා. අධිකරණ ශාලාව හැම අස්‌සක් මුල්ලක් සෝදිසි කරල බැලුව. අන්තිමට අධීක්‍ෂණ නායකතුමා තමා ඉදිරියට කැඳෙව්වා.අඩ සියවසක සේවා කාලය තුළ ඔය කියන විදියේ දෙයක් ගැන මා දන්නේ නැහැ උතුමාණෙනි කියල එතුමා තමාගේ හිස වටා රැඳුණු බාපනය ගැලෙව්වා.
රඡ්ජුරුවෝ බැරිම තැන තමාගේ හිතවත් දොරටුපාලයා ගෙන්නුව යහන් ගබඩාවට. ඌ ගැහෙන්ට පටන් ගත්ත හිස ගසා දාන්න යනව කියල. හරියට නීතියට වැඩ කරන බව දන්න නිසා මේ ගැන අහල ඇති කියල රජතුමා හිතුවේ.පස්‌වාන් දහසකට බුදුවන්න දෙවියනි. ඔයකියන විදියේ එකක්.... කියල විතරයි එයාට කියන්න පුළුවන් වුණේ. ඌ රජුගේ පාමුල ඇඳ වැටුනා.
අවසානයේ රජතුමා තීරණයක් ගත්ත. වෙස් වලාගෙන මාළිගාවෙන් පිටවෙලා මධ්‍යම රාත්‍රියේ මංමාවත් අතු මංමාවත් ඔස්‌සේ ගම් නියම්ගම් දිගේ ඇවිදගෙන ගියා. ඒත් රජතුමාට ඒ ගැන කිසිම හෝඩුවාවක් දැනගන්නට ලැබුණේ නැහැ. ඔහොම ගිහින් රඡ්ජුරුවො සුන්දරී කියන අබිසාරිකාවගේ නිවස ළඟ නැවතුණා. සුන්දරී දැක්‌ක එක් පුරුෂයෙකු තමාගේ නිවස ඉදිරියේ ඉන්නව. ඕ පරිචාරිකාවක් යෑව්ව ඔහුට ඇතුළු ගෙට එන ලෙස ආරාධනා කරන්න.
රජතුමා ආරාධනාව පිළිගෙන ගෙට ගියා. අබිසරුලිය සෝපාවේ වැතිරිල හිටිය. ඕ නැගිටල ගරු සත්කාර ඇතුව රජතුමා පිළිගත්තා. සුවඳ කපුරු බුලත් දීල රජු සතුටු කළා. ආගිය පුවත් කතා කළා. ඇගේ නිවස දැසි දැස්‌සන්ගෙන් පිරිල තිබුණේ නැහැ. ඒත් ඇතුළු කාමරයක කවුරු හරි සිහින් හඬින් කතා කරනව වගේ ඇහුණා. රඡ්ජුරුවෝ ඇහුව ඒ කව්ද කියල.
ඒ මගේ මහලු දෙමාපියන්. ඒ අය අන්ධයි. මම මේ රස්‌සාව කරන්නේ ඒ අය ජීවත් කරන්නයි. සුන්දරී කිව්ව. එහෙම කියන කොට සුන්දරීගේ ඇහැට කඳුළු බිඳුවක් ඉනුවා. ඒක ලාම්පු එළියට මැණිකක් වගේ දිළිසෙනව රඡ්ජුරුවෝ බලාගෙන. ඕ රජතුමා යහන් ගබඩාවට කැටුව ගියා. ගබඩාව පුංචි එකක්. මාළිගාවේ සිරියහන් ගබඩාවට වඩා සුන්දර බවක් රඡ්ජුරුවෝ එහි දැක්‌කා. බොරු ආටෝපයක් නෑ සියල්ල පැහැදිලිව තිබුණා.
ගිතෙල් දැමූ කුඩා රිදී පහනක් දැල්වෙමින් තිබුණා. කපුරු දැල්වෙන සුවඳින් මුළු කාමරයම පිරිල. වනමල් වැල් උඩු වියනේ එල්ලා තිබුණා. මල් පියළි ඇඳ ඇතිරිල්ල මත වැටිල තිබුණා. සඳපාන යහන මතට ඇවිත්. ජීවිතය හා සුන්දරත්වය සත්‍යය සමග අත්වැල් බැඳගෙන ඉන්නව වගේ දැනුණා. රඡ්ජුරුවෝ අනිත් අයගෙන් ඇහුව ප්‍රශ්නෙ සුන්දරීගෙන් ඇහුවේ නැහැ.සුන්දරී ඇතුළු ගෙට ගිය ප්‍රමාදයක් බලල රඡ්ජුරුවෝ තමාගේ පේරස් මුද්ද ගලවල රිදී පහන යටින් තියල වීථියට බැස්‌සා.
ලීලානන්ද වික්‍රමසිංහ