නැඟෙනහිරින් මුදුන් පත් වන්නා වූ හිරු බටහිරෙන් මැකී ගිය කල සොබාදහම තුළ ඇති වන්නා වූ සොඳුරු බව මනස්කාන්තය. සොබා දහම නමැති සුකුමාල යුවතිය තුළ පවතින සොඳුරු බව වචනවලට කැටි කිරීමට නොහැකි තරම්ය.මේකී සොබා දහම විසින් මැවූ සොඳුරුතම නිර්මාණය වන්නේ කාන්තාවයි. කාන්තාව සමඟ ආදරය මුසු වූ විට එය තවත් සොඳුරු වේ. ආදරය ගැන කවුරුත් කතා කරන මොහොතක කවුරුත් කතා නොකරන පැතිකඩක් සොයා යන්නට අද අප සුදානම්.
ජනවාරි අට වැනිදා පැවැති දේශපාලන කරළියේ උණුසුමත් සමඟ නිදහස පිළිබඳ කතා කිරීමට සියල්ලෝම උත්සුක වූහ. මේ වන විටත් ස්වාධීනත්වය පිළිබඳ කතා කරන අතර ජීවත් වීමට නිදහසක් අවැසි සේම ආදරය කිරීමටත් නිදහසක් අවැසිය. ආදරය යනු බැදීම සහ ලිංගික අකාර්ශනයට සම්බන්ද හැගීම් හා අත්දැකීම් සමුදායක් එකතුවකි. ආදරය යනු හැඟීමකි. රාගයෙන් තොර ආදරයක් පවතින්නේ නැත. නමුදු ශ්‍රී ලාංකික සමාජය තුළ වත්මන් පෙම්වතුන් පෙම්වතියන්ට නිදහසේ තම ප්‍රේමයේ සුවය විඳීමේ අවකාශයක් පවතින්නේද? මෙය උභතෝකෝටික ගැටලුවක් බවට පත් වී හමාරය.
ලාංකික මිනිසා දැනටමත් සිටින්නේ ගල් යුගයේය. ඔවුන්ට එකී මන්ද මානසිකත්වයෙන් මිදීමට නොහැකි වී ඇත. ඒ කෙසේ වෙතත් අපි ඉතිහාසයට දිව ගිය කල මීට වඩා නිදහස් ජීවිත ගත කිරීමේ ඉඩ හසර පැවැති බවත්, මීට වඩා ලිංගිකත්වය පිළිබඳ ලිහිල් බවක් තිබූ බවත් ඉතිහාසය සාක්කි දරයි. 1948 දී ශ්‍රී ලංකික අප නිදහස ලබා ගත්තද අදටත් ගතානුගතික වික්ටොරියානු මනෝභාවයෙන් මිදීමට අපට නොහැකි වී ඇත. පෙම්වතුන් පෙම්වතියන්ට සමාජය තුළ නිදහසේ හැසිරීමට ඉඩ නොමැති නම් අප ලබා ගත් නිදහසේ පලය කුමක්ද?
පසුගිය දිෙනක පෙම්වතෙක් තම පෙම්වතිය සමඟ නිදහස් චතුරස්‍රය වෙතට ගොස් වාඩිවී සිටින විටදී එක් පොලිස් නිලධාරියකු පැමිණ පෙම්වතුන්ට නිදහස් චතුරස්‍රය අකැප බවත් එම ස්ථානයෙන් ඉවත් වන ලෙසත් පවසා ඇත. මෙකී කාකි ඇඳුම් අැඳ සිටින පොලිස් නිලධාරීන් ක්‍රියා කරන්නේ දේශපාලන අතකොළු වෙමිනි. නිදහස් චතුරස්‍රය යනු මිනිසුන්ට රිසි සේ නිදහසේ හැසිරීමට තිබෙන ස්ථානයකි. එවැනි ස්ථානයකවත් පෙම්වතුන්ට සිටිය නොහැකි නම් එතැන නිදහසක් පවතීද. එසේ නම් අප ලබා ගත් නිදහස කුමක්දැයි ඔබ ඔබෙන්ම විමසිය යුතුය.
ඇතැම් පොලිස් නිලධාරීන් පෙම්වතුන් සිටින ස්ථානවලට ගොස් විසිල් නාද කරති. මෙය කොතරම් මන්ද බුද්ධික ක්‍රියාවක්දැයි වැටහේ. මෙහි පවතින තවත් අවාසනාවන්ත පැතිකඩක් වනුයේ පෙම්වතුන්්ට රිසි සේ සිටීමට පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමට සිදු වීමයි. කිසිම රටක සිදු නොවන දේ අපේ රටේ සිදු වීම අතිශය කණගාටුවට කරුණකි. බොහෝවිට පෙම්වතුන් පෙම්වතියන් කාමර සොයා පිය මං කරන්නේ සොබා දහම තුළ ඔවුන්ට නිදහසක් නොමැති නිසා බවට යමෙකු මේ නිසා තර්ක කිරීමට ද පුළුවන.
ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මවුපියන් ළමයින් එන ස්ථානවල ඔවුන්ට රිසි සේ හැසිරීමට ලබා දිය නොහැකි බවත් එය අපේ සදාචාරයට, සංස්කෘතියට පටහැනි බවත්ය. එසේ නම් ඔවුන්ට ආදරය කිරීමට ස්ථාන සකස් කර දීම සාධාරණ නොවේද .පෙම්වතුන් පෙම්වතියන් එසේ හැසිරීම සදාචාරයට පටහැනි යයි කියන පිරිස්ගෙන් ඇසිය යුත්තේ අපට සැබෑවටම සදාචාරයක් සංස්කෘතියක් පවතින්නේද යන්නය. උදේ සිට හවස් වනතුරු පිරිත් පොත් වන පොත් කළ පමණින් අප සැබෑ බෞද්ධයෙක් වන්නේ නැත.පල්ලියේ දණ නැමූ පළියට අප ආගමික සුචරිතවාදීන් වන්නේද නැත.
එසේ නම් අප ආගම සදාචාරය යයි ඔළුව උඩ පටවා ගෙන සිටින්නේ මොනවාදැයි දෙවතාවක් සිතිය යුතුය. අප සමාජයේ මිනිසාගේ සිතුවිලි අදටත් පවතින්නේ පටු කෝණයකය.
සියල්ලම නිදහස පිළිබඳව උදම් අනන මොහොතක් මිනිසාගේ නිදහස කොයිබටද? දෑතට විලංගුවලින් සිර කොට මිනිස් සිතුවිලි බිත්ති සතරකට රාමු ගත කොට තිබෙන කාල වපසරියක නිදහස පිළිබඳව කෙසේ නම් කතා කළ යුතුද. එවැනි කාලයක ආදරයේ නිදහස සෙවීම මිරිඟුවක් වැන්න.
දිනමිණ