රටක ජීවනාලිය බඳු තරුණ පරපුර අද කොයිබට ද?

රටක ජීවනාලිය බඳු තරුණ පරපුර අද කොයිබට ද? ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත ද? ඔවුන් බොරු පොරොන්දුවලින් ගිනියම් වූ දේශපාලන මරු කතරක වල්මත් වී ද? ඔවුන්ගේ හෙට දවස, අනාගතය කෙබඳු වෙයි ද?

පසුගිය වසර ගණනාවක කාලය තුළ මෙරට යොවුන් පරපුර දේශපාලන ව්‍යාපෘතියක කොටසක් බවට පත් විය. ඔවුන් තරුණ පරපුර හැඳින්වූයේ 'පාවෙන ඡන්ද' ලෙසය. සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක වූයේ මැතිවරණ අබියස ගොඩනැඟෙන මේ ලක්ෂ සංඛ්‍යාත පාවෙන ඡන්ද ඩැහැ ගැනීමටය. නොඑසේ නම් පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා 'බළකායක්' ගොඩනැඟීමටය. තාරුණ්‍යයට හෙටක් වැනි සංවිධාන තනිකරම දේශපාලන ව්‍යාපෘතියක ගුණ රුව ප්‍රකට කළ අතර නිල් බළකාය වැනි සංවිධාන නොයකුත් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණු බවට චෝදනා ගලා එන්නට විය.

මෙවන් දේශපාලන සැඩ පහරකදී ජාතික තරුණ සේවා සභාව වැනි ආයතනයකට අත් වූ ඉරණම ගැන මවිත විය යුතු නැත. ඔවුහු එහි නාමය පවා ශ්‍රී ලංකා යූත් යනුවෙන් මොඩිෆයි කළහ.

විසිහත් වසරකට පසු ඉකුත්දා ජාතික තරුණ සේවා සභාවේ නිර්මාතෘවරයා ‍මහරගම පිහිටි එහි මූලස්ථානයට පැමිණියේය.

'මේ ර‍ටේ තරුණ පරපුර කුමන පක්ෂයකට ඡන්දය දුන්නත් කමක් නැහැ. මට අවශ්‍ය ඔබලාට යහපත් හෙට දවසක් උදා කිරීමයි. මේ රටේ තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි' යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එදා මහරගම ජාතික තරුණ සේවා මූලස්ථානයේ පැවැති ජාතික තරුණ දින උලෙළ අමතා ප්‍රකාශ කෙළේය.

ජාතික තරුණ සේවා සභාව රනිල් වික්‍රමසිංහයන්ගේ නිර්මාණයක් බව අද පරපුර දන්නේ නැත. මෙරට අධ්‍යාපනයේ වෙනසක් කළ අධ්‍යාපන විද්‍යාපීඨ නමයේම නිර්මාතෘවරයාද ඔහුම බව එම අධ්‍යාපන විද්‍යා පීඨ තුළින් බිහි වූ ගුරු පරපුරට පවා නිච්චියක් නැත. පාසල් දරුවන්ට දිවා ආහාර, නිල ඇඳුම් හා පොත් පත් ලබාදීම ආරම්භ කළේ ද යෞවන කටයුතු, රැකීරක්ෂා හා අධ්‍යාපන ඇමැතිව සිටියදී ඔහුම බව අද අමතකය. ඊට හේතුව ඔහු ආරම්භ කළ කිසිදු ව්‍යාපෘතියකට තමාගේ නම නොයෙදූ නිසාය. නම යෙදූ ගල් පුවරු, මැටි පුවරු නො නෙළු නිසාය. නාම පුවරු නොගැසූ නිසාය. සේවය පමණක් සලකා නාමය නොසැලකූ නිසාය.

ජාතික තරුණ සේවා සභාව ආරම්භ කරන ලද්දේ 1967 වසරේ අංක 11 දරන ස්වේච්ඡා ජාතික තරුණ සේවා පනත මඟිනි. එම පනත එදවස ඉදිරිපත් කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. එහෙත් එය ආයතනයක් ලෙස සක්‍රිය වූයේ නැත. සේවකයන් විසිපස් දෙනකු පමණක් සිටි අභාවයට යමින් පැවැති ආයතනයක් දකුණු ආසියාවේ තරුණයන් සඳහා වෙන් වූ දැවැන්තම ආයතනය බවට පත් කළේ රනිල් වික්‍රමසිංහ මහතාය. යෞවන කටයුතු හා රැකී රක්ෂා ඇමැතිවරයා ලෙස මේ රටේ තරුණ පරපුරේ වගකීම බාර ගන්නා විට ඔහු විසි අට හැවිරිදි වියේ පසු වූ තරුණයකු විය. අනතුරුව අධ්‍යාපන ඇමැති තනතුර ද හිමිවීමෙන් මේ වගකීම් සම්භාරය තවදුරටත් බරසාර විය.

ජාතික තරුණ සේවා සභාව බාර වූයේ තවත් අති දක්ෂ පරිපාලකයකුටය. ඔහු චරිත රත්වත්තේය. ජාතික තරුණ සේවා සභාව ආසියාකරයේ ආදර්ශමත් තරුණ ආයතනය බවට පත් කිරීම උදෙසා ඔහු බොහෝ කැපවීම් කළේය. විනය, ජාතික හැඟීම, සුහදතාවය, ජය පරාජය එක සේ පිළිගැනීම, ශාරීරික ප්‍රාගුණ්‍ය, ක්‍රීඩා විනෝද කටයුතු, සංස්කෘතිය, සාහිත්‍ය, කලාව වැනි විවිධ ඉසව් ඔස්සේ තරුණ ක්‍රියාකාරකම් පෙළ ගැස්විණි.

1984 වසරේ පොළොන්නරුවෙන් ඇරැඹි යොවුන් පුරය ආසියාවේ විශාලතම තරුණ එකමුතුව බවට පත් විය. බෙල්වුඩ් ගම්මානය තරුණ තරුණියන්ගේ සහජ හැකියාවන් විකසිත කරන සංස්කෘතික ක්ෂේම භූමිය බවට පත් විය. එයින් මෙරට සංගීත ක්ෂේත්‍රයට ජනප්‍රිය තරු රැසක් තිළිණ කෙරිණි. අපේ ජාතික ක්‍රීඩාව ඇතුළු ක්‍රීඩා රැසකින් තරුණ සේවා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජය කෙහෙළි නැන්වූහ. යෞවන ක්‍රීඩා උළෙල යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තෝතැන්න බවට පත් විය. රට පුරා යෞවන සමාජ එක් වී ජාතික ‍යෞවන සමාජ සම්මේලනය බිහි විය. ජපන් ආධාර මත අක්කර නමයක භූමි භාගයක ඉදි වූ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානය දකුණු ආසියාවේ තරුණයන් වෙනුවෙන් ඉදි වූ දැවැන්තම ඉදිකිරීම බවට පත් විය.

එවන් අතීතයක් ඇති ජාතික තරුණ සේවා සභාව යළි පණ ගැන්වීමට කාලය එළැඹ ඇත. එහි මුල් පුටුවට දැන් දක්ෂ තරුණ නායකයකු පත් වී තිබේ.

ක්‍රමවත් අධ්‍යාපනයක්, හොඳ රැකියාවක් හා නිදහස් ජීවිතයක් අපේ තරුණ පරපුරට දායාද කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාවයි.

සම්පත් බණ්ඩාර