තමන්ට මවක් වූ ගුරුතුමියගේ ලේලියට මවක් වූ මධූ

මධූගේ අම්මයි තාත්තයි දෙන්නා මේ ලෝකෙ අතහැරලා යනකොට මධූගෙ වයස අවුරුදු දොළහයි. ඊට පස්සේ මධූගේ භාරකාරත්වය එයාගෙ මිත්තනියට පැවරුනත් මිත්තනියත් නිතරම සිටියෙ ලෙඩ ගාණෙ. මධූගේ පාසල් ගුරුතුමිය මධූට ගොඩක් ආදරෙයි. මේ නිසාම මධූවත් එයාගෙ මිත්තනියවත් තමන්ගෙ නිවසෙහි නතර කරගන්න ගුරුතුමිය කැමති වුණා. 

ඒකට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් වුණේ ඒ වන විට විශ්‍රාම යාමට ආසන්න වයසක සිටි ගුරුතුමියත් ඇගේ සැමියාත් ඔවුන්ගේ නිවසේ තනිව සිටීමයි. මේ යුවළට සිටි එකම දරුවා ඒ වෙද්දී සිටියේ විවාහ වී විදේශගතවයි. ඒ අනුව මේ යුවළ මධූටත් ඇගේ මිත්තනියටත් බොහෝ සෙයින් ලෙන්ගතු වුණා.

මධුට වයස අවුරුදු පහළොවක් වන විට ඇගේ මිත්තනියත් මෙලොව හැර ගියා. ඒ අවසන් කටයුතුත් ඉතා හොඳින් සිදු වුණා. ඊට පස්සෙ මධූට මවත් පියාත් බඳු වුණේ ගුරුතුමිය සහ ඇගේ සැමියායි.
ඒ පවු‍ලේම කෙනෙක් වගේ ඉතා හොඳින් වැඩ පළ කරමින් මධූ කීකරුව හැදුනා. ඇය කවදාවත් ගුරුතුමියගේ කීමකට පිටින් ගියේ නැහැ වගේම ගුරුතුමියට සැඟ වූ කිසිදු රහසක්ද ඇයට තිබුණේ නෑ.
ගුරුතුමියගේ පුතු ඔහුගේ බිරිඳත් දරුවාත් සමග වරින් වර ලංකාවට පැමිණ ගියා. එක් අවස්ථාවක මසක නිවාඩුවක් සඳහා ඔවුන් පැමිණ සිටියදී ගුරුතුමියගේ ‍ලේලිය සේ්මාලි අසනීප වෙන්න පටන් ගත්තා. 

කොතරම් ප්‍රතිකාර ගත්තත් සුවයක් දකින්නට ලැබුණේ නෑ. මේ අතර ඔවුන්ගේ නිවාඩුවත් අවසන් වුණේ අන්තිමේ සේ්මාලිව කුඩා පුතුත් සමග රඳවා ගුරුතුමියගේ පුතු තාරක නැවත විදෙස්ගත වුණා. ඊටත් සෑහෙන දවසකට පසුවයි සේ්මාලිට තිබුණු අසනීපය පිළිබඳව අනාවරණය වුණේ. ඇයට වැළඳී තිබුණේ ලියුකේමියා, රෝග තත්ත්වයක් මේ අනුව ඈ රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දෙන්නට සිදු වුණා. හේමාලි ළඟ නතර වී හිඳගෙන ඇගේ සියලු වතාවත් කළේ මධූයි. මේ අතරතුරේ තාරකත් නැවත ලංකාවට පැමිණියා බිරිඳ සුවපත් කර ගැනීමට කළ හැකි හැමදේම ඔහු අතිනුත් නොපිරිහෙලා ඉටු වුණා. සෑම ලියුකේමියා රෝගයක්ම මාරාන්තික නොවන නිසාත් සමහර ලියුකේමියා කාලයක් තිස්සේ ක්‍රමවත්ව ප්‍රතිකාර ලබා දුන් පසු සුවය ලැබෙන නිසාත් වාසනාවකට වගේ සේමාලිත් සුවපත් වුණා. නමුත් ඒ වන විට මධූගේ මුළු කාලයම සේ්මාලි වෙනුවෙන් කැපවී තිබූ නිසා මධූගේ අධ්‍යාපන කටයුතු සියල්ලම ඇනහිටලයි තිබුණෙ.
ඔයාගෙ අම්ම වගේම මගේ අම්මත් ජීවතුන් අතර නෑ මධූ. ඒත් මට ඔයා ළඟ ඉන්න කොට හිතුනෙ මගෙ අම්මා මං ළඟ ඉන්නවා වගේ. ඔයා මට වඩා වයසින් බාල වුණත් මං ඔයාට ගොඩක් ගරු කරනවා මධූ.
සුවපත් වීමෙන්පසු එක්තරා දිනෙක සේ්මාලි මධූට පැවසුවා. එය තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ලැබුණු වටිනාම තෑග්ග විදිහටයි. මධූට දැනුණෙ.

සේමාලිත් ඇගේ පුතුත් දැන් ඉන්නෙ ලංකාවෙ. ගුරුතුමියත් ඇගේ සැමියාත් සේ්මාලිත් වගේම  පුංචි පුතුත් මධූට ඉතාමත්ම ලැදියි.ඔවුන් මොන තරම් මධූට ලෙන්ගතුද කිව්වොත් ඔවුන්ගේ ඉඩමෙන්ම වෙනම කොටසක් මධූට නීත්‍යනුකූලවම පවරා දී දැන් එහි මධූ වෙනුවෙන් නිවසක්ද ඉදි කරනවා. දැනට විසි වන වියේ පසුවන මධූව උසස් අධ්‍යාපනයට යොමු කරන්නටත් ඉන්පසු හොඳ රැකියාවක් ලබා ගැනීමට උදව් කරන්නටත් තාරක ‍පොරොන්දු වුණේ සේ්මාලි වෙනුවෙන් මධූ කළ කැපවීම නිසයි. කවදාවත් පෙම්වතෙකුව ඇසුරු කර නැති මධූ තමන්ගේම මාපියන් බඳු වූ ගුරුතුමියගේ පවු‍ලේ අය ගෙනෙන යෝජනාවකට කැමති වෙනවා මිසක් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක පැටලීමට කිසිසේත්ම සිතන්නෙ නෑ. තමන්ගේ ලෝකයේ හිරු හා සඳු ගුරුතුමියත් ඇගේ පවු‍ලේ සෑම දෙනාමත් බවයි මධූ විශ්වාස කරන්නෙ. මේ වගේ යහපත් ජීවිතයක් තමාට හිමි වුණේ මියගිය දෙමාපියන්ගේ ආශීර්වාදය සහ ඇල්ම බැල්ම ලැබිම නිසා බව මධූ දැඩිවම සිතනවා.

ඉන්දු පෙරේරා