ඔබත් මානසික ආතතියෙන් පෙළෙන්නේ දැයි හරියටම දැනගන්න

මානසික ආතතිය

යම් සිද්ධියකදී හෝ අවස්ථාවකදී පුද්ගලයකුගේ මනසේ හටගන්නා නොසන්සුන්තාවය හෝ අපහසුතාවය නිසා ඇතිවන මානසික තත්ත්වය සාමාන්‍යයෙන් ආතතිය යනුවෙන් හැඳින්වේ. යම් සිද්ධියක් හෝ අවස්ථාවක් යමෙකුට මානසික නොසන්සුන්තාවක් ඇතිකරන්නේද යන්න ඒ පුද්ගලයාගේ මානසිකත්වය මත රඳා පවතී. යමෙකුට මානසික ආතතිය ඇතිකරන දෙයක් තවත් කෙනෙකුට විනෝදය ගෙන දෙන්නක් ද විය හැකිය. මානසික ආතතිය ඇති කිරීමේදී ඒ සිද්ධියේ වැදගත්කම හෝ බරපතළකමවැදගත් නොවේ. ඒ නිසා මානසික ආතතිය ඇති කරන සාධක මොනවාදැයි සෘජුව කිව නොහැකිය. ආතතියට පත් වන්නේ කුමන අවස්ථාවේ ද යන්න ඒ ඒ පුද්ගලයා මත රඳාපවතියි.ආතතිය යනු මානසික තත්ත්වයක් මිස මානසික රෝගයක් නොවේ.

ආතතිය හඳුනා ගැනීම :

ආකාර තුනක් යටතේ ආතතිය හඳුනාගත හැකිය.

1. කායික වෙනස්වීම්.
2. මානසික වෙනස්වීම්.
3. චර්යාත්මක වෙනස්වීම්.

කායික වෙනස්වීම්

හෘද ස්පන්දනය වෙනස්වීම
රුධිර පීඩනය වෙනස්වීම
හුස්ම ගැනීමේ වේගය
ඉහළ යාම
උගුර කට වියළීම
උදරයේ අපහසුතා
මුත්‍රා පහකිරීමට ඇති
වුවමනා වැඩිවීම
ක්ලාන්ත ගතිය කරකැවිල්ල
මාංශපේශීවල වේදනාව, විඩාව
හිසේ පේශීවලට බලපාන්නේ නම් හිසරදය ද පපුවේ පේශීවලට බලපාන්නේ නම් පපුවේ කැක්කුමද සමහරුන්ට සම්පූර්ණ ශරීරයේම වුවද වේදනා ගෙන දිය හැකිය.

මානසික වෙනස්වීම.

අවධානය අඩුවීම.
අවධානය අඩු නිසා
අමතක වීම.
කල්පනා කිරීමට ඇති
හැකියාව අඩුවීම.
තීරණ ගැනීමේ
හැකියාව අඩුවීම.
අවස්ථාවට අනුව ක්‍රියා කිරීමේ හැකියාව අඩුවීම.

චර්යාත්මක වෙනස්වීම්

නින්ද අක්‍රමවත්වීම
අන් අය සමග ගැටුම් ඇති කරගැනීමට අවස්ථා වැඩිවීම
අන් අය සමග සුහදශීලීව ක්‍රියාකිරීමට ඇති හැකියාව අඩුවීම
අන්තර් පුද්ගල සබඳතා පවත්වාගෙන යාම අපහසුවීම.
ආතතිය ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කළ හැකිය.
සාධනීය ආතතිය
සාධනීය නොවන ආතතිය

සාධනීය ආතතිය

මෙය ඵලදායි ආතතිය යනුවෙන්ද හැඳින්වේ. යමකුගේ ආතතිය වැඩිවන විට ඵලදායිතාව ද වැඩිවේ. මේ තත්ත්වය එක්තරා අවස්ථාවක් වන තෙක් ක්‍රියාත්මක වේ. ඉන් එහාට ආතතිය වර්ධනය වුවහොත් ඵලදායිතාව අඩුවේ.

ඉහත ප්‍රස්ථාර සටහන අනුව බලන විට එක්ස් නමැති ලක්ෂය දක්වා ඵලදායි ආතතිය හඳුනාගත හැකිය. ස්නායු පද්ධතියේ මනාක්‍රියාකාරීත්වයට මානසික ආතති යම් තරමින් පැවැතිය යුතු බව මේ වන විට අනාවරණය කරගෙන ඇත. ඵලදායි ආතතිය හඳුනා ගැනීමට උදාහරණ ගෙන එමු.

උදා : විභාගයකට මුහුණ දීමට සිටින සිසුන් තුළ ඇති වන මානසික ආතතිය ඔවුන්ගේ ඵලදායිතාවය වැඩි කිරීමට හේතුවේ.නියමිත කාලය තුළ විභාග ප්‍රශ්න පත්‍රයට ලිවිය යුතු පිළිතුරු ස්මරණය කර ගළපා තර්කානුකූලව නිවැරදිව ඉදිරිපත් කළ හැකි වන්නේ ඒ කාලය තුළ ඔවුන් විඳිනා මානසික ආතතිය නිසාය.

සාධනීය නොවන ආතතිය

උදා : විභාග ලක්ෂය එක්ස් ලක්ෂය පසුකර ගිය විට ඒ සිසුවා දැඩි ලෙස නොසන්සුන්තාවයකට හෝ අපහසුතාවයකට පත් වී ඇත්නම් ඔහු එම ප්‍රශ්න පත්‍රයට වැරදි ලෙස පිළිතුරු සපයන්නට වුව බොහෝ ඉඩකඩ ඇත. ඇතැම් විට විභාගයට පෙනී නොසිටීමට පවා මෙය හේතු විය හැක.

ආතතිය ඇති කරන සාධක

ප්‍රධාන වශයෙන් ආතතිය ඇති කරන සාධක පහක් ඇත.
1. තර්ජන
2. වෙනස්වීම්
3. අහිමි වීම්
4. සම්බන්ධතා
5. ඉලක්ක

තර්ජන -

යම් පුද්ගලයෙකුගේ පැවැත්මට යම් කිසි තර්ජනයක් තිබේ නම් ඒ පුද්ගලයාට ආතතිය ඇති විය හැකිය. මෙය පුද්ගලයාගේ ජීවිතයට, රැකියාවට හෝ සමීපතමයකුගේ පැවැත්මට ඇති තර්ජනයක් විය හැකිය.
උදා : විභාග ආතතිය

වෙනස්වීම්

යම් පුද්ගලයෙකුගේ ෙදෙනික චර්යාවන් එක් වරම වෙනස්වීමකට ලක් වුවහොත් එයින් ද ආතතිය ඇති විය හැකිය.

උදා : යම් පුද්ගලයෙකුගේ ජීවත් වූ වටා පිටාව වෙනස්වීම, නුහුරු රටකට නුහුරු ප්‍රදේශයකට යාමට සිදුවීම, රැකියාවේ වෙනසක් සිදුවීම.

අහිමිවීම්

තම සමීප පුද්ගලයකු අහිමිවීම නිසා, තමාට ඉතා වටිනා බඩු භාණ්ඩ ආදිය අහිමි වීම, තමාගේ සමාජ තත්ත්වය, ආත්ම ගෞරවය, යහපත් සෞඛ්‍ය තත්ත්වය අහිමිවීම නිසා ආතති තත්ත්වයේ වෙනසක් ඇති විය හැක.

සම්බන්ධතා

අන්තර් සම්බන්ධතා යනු ආතතිය උපදින සාධකයකි. සබඳතා ඇති වීමේදීත්, සබඳතා පවත්වා ගැනීමේදීත් සබඳතා බිඳවැටීමේදීත් ආතතිය ඇති වීමට පුළුවන.

ඉලක්ක

මෙය ඉල්ලීම යනුවෙන් ද හඳුන්වයි. එනම් අනෙකුත් අය අපගෙන් කරන ඉල්ලීම්ය.
උදා: ඇගලුම් කම්හලක සේවිකාවන්ට දිනකදී නිම කළ යුතු වැඩ කොටස ඉලක්කය එසේත් නැත්නම් ඉල්ලීම වේ.

මෙසේ කම්හ‍ලේ කළමනාකරණය විසින් කරන මේ ඉල්ලීම සපුරාලීමට අවශ්‍ය ඉලක්කයට වැඩකිරීමට සිදුවීමෙන් ආතතිය ඇති විය හැකිය.  

මානසික ආතතියෙන් මිදෙන මංපෙත් ලබන සතියේ ගාල්ල බටගන්විල වේවැල්වල පාරේ අංක 24/ඒ හි සවිය සංවර්ධන පදනමේ උපදේශක මණ්ඩල සභාපති ආචාර්ය වින්ස්ටන් ද සිල්වා විසිනි