පුරාණ ජනාකවියකින් උපුටා ගත් ඉහත සඳහන් කවි පදය ලංකා ඉතිහාසයේ කුරුණෑගල යුගයේ අනුවේදනීය මෙන්ම දෛවෝපගත සිද්ධියක් සටහන් කරයි. එම සිද්ධිය පාඨක රුචිය සඳහා මෙසේ දක්‌වමි. දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල හා කෝට්‌ටේ අතර විටින් විට රාජ්‍ය මූලස්‌ථානය මාරු වූයේ තුන් වන විජයබාහු හා ඔහුගේ දරු මුණුබුරන් අතරය.
දඹදෙනියෙන් කුරුණෑගලට රාජ්‍ය මූලස්‌ථානය ගෙන ගියේ විජයබාහුගේ පුත් දෙවන පණ්‌ඩිත පරාක්‍රමබාහුය. ඉන්පසු හතරවන විජයබාහු නොහොත් බෝසත් විජයබාහු නැවත රාජ්‍ය මූලස්‌ථානය දඹදෙණියටත් එතැනින් යාපහුවටත් ගෙන ගියේය. වත්හිමි බුවනෙකබාහු නොහොත් දෙවැනි බුවනෙකබාහු නැවතත් රාජ්‍ය මූලස්‌ථානය කුරුණෑගල වශයෙන් තබා ගත්තේය. මෙම රජතුමා අද මහනුවර දිස්‌ත්‍රික්‌කයේ තෙල්දෙණිය මැතිවරණ කොට්‌ඨාසයට අයත් වේඬරුව ගම ඉදිකළේය. එගම රජතුමාගේ දරු මුණුබුරු පරම්පරාවෙන් පැවතේ. රජතුමා භික්‍ෂුන් දහසකට එකවර දානය පිළිගැන්වීමට අවශ්‍ය වූ දාන ශාලාවක් ආදී සියලු පහසුකම් සැපයීය.
පොසොන් මාසය තුළ භික්‍ෂුන් වහන්සේලාගේ උපසම්පදා විනය කර්මය සිදු කිරීම ආරම්භ කළේද මේ රජතුමාය. සංඝයා වහන්සේලාට අවශ්‍ය සිවුරු පිරිකර ආදී දානමය වස්‌තු අවුරුදු පතා පූජා කළේය. තම රාජාභිෂේක මෞලි මංගල්‍ය අවුරුදු පතාම සැමරුවේය. දුම්බර කඩඉම් පොත මොහු හඳුන්වන්නේ "මනා පතිරැන්නැහේ" නමිනි. රාජ රත්නාකරය මොහු වත්හිමි බුවනෙකබාහු නමින් ද හඳුන්වයි. මොහු යාපහු බුවනෙකබාහු යනුවෙන් ද හඳුන්වනු ලැබේ. රජතුමා පඬිරට ආරිය චක්‍රවර්තී විසින් පැහැර ගෙන ගොස් තිබූ දන්ත ධාතූන් වහන්සේ උපක්‍රමයෙන් ආපසු ලබා ගෙන විත් කුරුණෑගල දළදා මාළිගයෙහි තැන්පත් කළේය. රජතුමා ජාත්‍යන්තරවද වෙළහෙළ¹ම දියුණු කර මධ්‍යධරණී මුහුද අවට රටවල් සමගද වෙළෙඳ සබඳතා ගොඩනගා ගත්තේය.
ලංකාවේ වෙළෙඳ දූත පිරිසක් 1283 දී ඊජිප්තුවේ කයිරෝ නුවරට පැමිණ එම පිරිස එහිදී සුල්තාන්වරයා විසින් මහත් උත්සවශ්‍රීයෙන් පිළිගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ "ලංකා ඉතිහාසය" ග්‍රන්ථයේ 598 පිටුවේ සඳහන්ය. මෙකල ඇතිවූ සතුරු ආක්‍රමණයක් මැඩ පැවැත්වීමට රජතුමා උතුරු ඉන්දියාවේ රාජ ස්‌ථානයෙන් පිහිට ආධාර ඉල්ලීය. රාජස්‌ථානයේ රජතුමා මුස්‌ලිම් ලබ්ධිකයෙකු වූ හමීර්ශන් ඛාන්ගේ නායකත්වයෙන් යුක්‌ත වූ භට පිරිසක් බුවනෙකබාහු රජුගේ ආධාරය පිණිස මෙරටට එවීය. එම පිරිස සමග හමීර්ෂන්ඛාන්ගේ පුතෙකු වූ "වස්‌තුසාමි" ද පැමිණියේය. රජතුමා මෙම ආගන්තුක වස්‌තුසාමි තමාගේ පුතෙකු මෙන් සලකා රජමාලිගය තුළම රැඳීමට ඉඩ සැලසීය. කල් යල් බලා සිටි හමීර්ශන් ඛාන් සුදුසු අවස්‌ථාව පැමිණි විට රජතුමා මරා දමා සිය පුත්‍රයා හතරවන පණ්‌ඩිත පරාක්‍රමබාහු යෑයි නම් කරවා සිංහාසනාරූඪ කරවීය. මෙම අවස්‌ථාවෙහි රට තුළ ඇති වූ කැරළි කෝළහල නිසා රජතුමාගේ බිසව සහ පුත් කුමරුවා පණ බේරා ගැනීම පිණිස මාලිගයෙන් පිටතට පලා ගියහ. ඔවුන් වනගතව අවුරුදු දොළහක් පමණ කාලයක් සැඟවී සිටියේ දඹුල්ල මිරිස්‌ගෝනියා ඔය ඉස්‌මත්තේ වූ කලුන්දෑව නම් ගමේය. හතරවන පණ්‌ඩිත පරාක්‍රමබාහු නමින් රජ වූ මුස්‌ලිම් ජාතිකයා විසිදෑ අවුරුද්දක පමණ කාලයක් රජකම දැරීය. මෙම ආක්‍රමණිකයාට විරුද්ධ වූ රටවැසියන් ඔහු පිරිත් සඡ්ජායනාවකට කැඳවාගෙන යන මුවාවෙන් ඇතුගල මුදුනට රැගෙන ගොස් ගලින් බිමට පෙරළා මරා දැම්මේය. ඔහුගේ සිරුර වැටුණ තැන නූතන ඇත් කඳ විහාරය ද සිරුර දමා පිළිස්‌සූ තැන වර්තමාන ගලේ බණ්‌ඩාර දේවාලයද වේ.
පසුව බුවනෙකබාහු රජුගේ සිංහල පුත් කුමරුවා කලුන්දෑව ගමේ සිට පැමිණ පස්‌වන විජයබාහු නමින් කුරුණෑගල රජ විය. මෙම කුමරා හා මව් බිසව ජීවත් වූ කලුන්දෑව ගමේ ගමරාලගේ දුව වූ සිරිමල් එතනා සමග කුමාරයා ප්‍රේමයෙන් වෙලී සිට ඇත. රජකම ලැබුණ පසු මෙම ගැමිලියද මඟුල් ඇතා පිටින් කුරුණෑගලට කැඳවා ගෙන විත් තම අග බිසව කර ගත්තේය. ඒ පිළිබඳව අදත් කලුන්දෑව ගමේ කියවෙන ගැමි කවිය මෙසේය.
කලු උන්දෑ පින් නොකළේ මන්ද වදාලට
කලු උන්දෑ පින්නපොලේ පැවති එදා සිට
පලන්දාන සලු අබරණ සිරිමල් එතනට
කලුඋන්දෑ සිරි වර්දන බිසව එදා සිට
ඇස්. බී. කරල්ලියද්ද