සමන් ගිර සිට දනන් රකිනා සමන් දෙවියන් වඳිමු බැතිනා

බෞද්ධයින්ගේ පමණක්‌ නොව අන්‍ය ආගමික බැතිමතුන්ගේද පූජෝපහාර ලබන අති පූජනීය ශ්‍රීපාදස්‌ථානයට අධිපති සුමන සමන් දෙවියන් පිළිබඳ ප්‍රථමයෙන්ම සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන විස්‌තරයේ බව කිව යුතුය.

යකුන් දමනය කිරීම සඳහා මහියංගනයට වැඩවදාළ එම ගමනේදී බණ අසා සෝවාන් වූ සුමන සමන් දෙවියෝ බුදු රදුන් ගෙන් පූජා වස්‌තුවක්‌ ඉල්ලූහ. එවිට බුදුරජාණන් වහන්සේ කේශ ධාතු ස්‌වල්පයක්‌ ඔහුට දුන්සේක. මහියංගනේම දාගැබක්‌ සාදා ධාතුන්වහන්සේලා නිදන් කර පුද පූජා කළහ. ලංකාවේ ඉදි වුණ ප්‍රථම චෛත්‍ය මෙය වූ අතර සියලු බැතිමතුන් වන්දනා මාන කරන අති පූජනීය ස්‌ථානයක්‌ බවට පත්විය. බුදුපියාණන් තුන්වැනි වරට ලක්‌දිව වැඩි ගමනේදී සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමන් ගිරේ සිරිපා සටහන තැබූ සේක. පරම පූජනීය මෙම සිරිපා සටහන හින්දු බැතිමතුන් ශිව දෙවියන්ගේ පා සටහන් ලෙසද ක්‍රිස්‌තියානි මුස්‌ලිම් බැතිමතුන් ආදම්ගේ පාදය ලෙසද සලකා වන්දනාමාන කරති. සියලු ප්‍රධාන ආගම්වලට අයත් ජනයා වැඳුම් පිදුම් කරන මෙවැනි පරම පූජනීය තැනක්‌ ලොව වෙනත් කිසි තැනක නැති බව පෙනේ.

සුමන සමන් දෙවියන්ට නම් කීපයක්‌ ඇත. සමන් බොක්‌සැල්, යක්‌ඛසුමන, මහා සුමන යනාදී නම්වලින් මේ දෙවියන් හඳුන්වනු ලැබේ. මෛත්‍රී කරුණා ගුණෝපේන මහත් තෙදබල අනුහස්‌ ඇති සමන් දෙවියන් පිළිබඳ මතවාද කීපයක්‌ තිබේ. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩ වදාළ සමයේ සමනළ කඳු ප්‍රදේශයේ සිටි බලසම්පන්න දැහැමි ප්‍රාදේශීය රජ කෙනෙක්‌ බව එක්‌මතයකි. සමන්තභද්‍ර නම් බෝධිසත්වයන් වහන්සේ සමන් සුරිඳු වු බවට තවත් මතයකි. රාම කුමරුගේ සොහොයුරු වු ලක්‍ෂමණ ලක්‌ සුමන හෙවත් පසුව සමන් දෙවි බවට පත් වූ බවටද මතයක්‌ තිබේ. මහාචාර්යය සෙනරත් පරණවිතාන මහතා කියන්නේ මේවාට හාත්පසින්ම වෙනස්‌ මතයකි. වෛදික දෙවියෙක්‌ වූ යම හෙවත් ආටානාටිය සුත්‍රයේ එන යක්‌ඛ සුමන යනු සමන් දෙවිඳුය යනු එම අදහසයි.

මී ළඟට සමන් දෙවියන්ගේ ස්‌වභාවය රූපකාය ගැන විමසා බලමු. ධවල වර්ණ ශ්‍රී දේහයකින් යුත් අතකින් උපුල් මලක්‌ ද අතකින් දුන්නක්‌ ද ඇතිව ස්‌වර්ණාභරණයෙන් සැරසී හිසමත මිණි ඔටුන්නක්‌ දරා සිටින සමන් දෙවියන්ගේ වාහනය සුදු ඇතෙකි. බෝසත් උතුමෙකු ලෙස සලකන සමන් දෙවිඳු මහා තේජෝබල පරාක්‍රමයෙන් යුත් ඉතා කාරුණික ශාන්ත කෙනෙක්‌ වේ. මිනිසුන්ගේ දුකට පිහිට වන මේ දෙවිඳුට යකුන් පවා දමනය කිරීමේ බල ශක්‌තියක්‌ ඇති බව ශාන්ති කර්මවලදී කියවෙන කන්නලව් කවිවලින් පෙනේ.

ගෞතම බුදුරජාණන් වහන්සේ මහියංගනය, නාගදීපය, කැලණිය යන ස්‌ථානවලට වැඩම කළ කාලයේ සිට වසර 1500 ක්‌ පමණ ගත වනතුරු සමන් දෙවියන් හා ශ්‍රී පාදස්‌ථානය පිළිබඳ මහා වංශයේ සඳහන් වී නොමැත. එය පුදුමයට කරුණකි. පළමු වැනි විජයබාහු රජ සමයේ එකොළොස්‌ වැනි ශත වර්ෂයේ එතුමා විසින් ගිලීමලය යන ගම ශ්‍රී පාදස්‌ථානයට පූජා කර වන්දනාකරුවන්ටද පහසුකම් සැලැස්‌ වූ බව සඳහන් වේ. සිරිපාමළුවේ පැරණි සමන් දේවාලය මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලදී. භාතිය රජුගේ කාලයේදී හෝ නිශ්ශංකමල්ල රජුගේ කාලයේ සිරිපා සටහන සොයා ගෙන පුද පූජා කිරීමට වන්දනාවේ යැමට පටන්ගත් බව ජන ප්‍රවාද කථා පුවත් වලින් පෙනේ.

සමන් දෙවිඳු වෙනුවෙන් රත්නපුර මහ සමන් දේවාලය කරවන ලද්දේ දෙවැනි පැරකුම්බා නිරිඳු විසිනි. එතුමාගේ ආර්යH කාම දේව නම් ඇමැතිවරයා මේ කාර්ය සඳහා මුල්ව ක්‍රියා කළේය. නිශ්ශංකමල්ල, වන රාජසිංහ 2 වැනි විමලධර්මසුරිය, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන් ශ්‍රීපාදස්‌ථානය වැඳ පුදා ගෙන සමන් දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගත් බවත් එම පින්බිම නඩත්තුව සඳහා ගම්වර පූජා කළ බවත් විස්‌තර වංශකතාවල සඳහන් වේ.

දේශ සංචාරක චීන ජාතික පාහියන්, හ්‍යqංසියාන් යන භික්‍ෂුන් වහන්සේලා දෙනමගේ දේශාටන වාර්තාවල සමන් දෙවි සහ ශ්‍රී පාදස්‌ථානය පිළිබඳ කදිම විස්‌තර සඳහන් වේ. අරාබියෙන් පැමිණි ඉබන් බතුතා නම් දේශ සංචාරකයා ලංකාවට පැමිණ සමන්ගිර කරා ගිය බව ඔහුගේ වාර්තාවල දැක්‌වේ. මාර්කෝ පෝලෝගේ හා පෘතුගීසි, ඉංග්‍රීසි ඉතිහාසඥයින්ගේ වාර්තා අනුවද බලන විට මේ ස්‌ථානයේ පුද පූජා, සමන් දෙවියන්ට පූජා නොකඩවා පැවති බව කිව හැකිය.

තුන්සරණය, හිමගත වර්ණනාව, සමන් හෑල්ල ආදී පැරණි පොත්වල සමන් දෙවියන් ඇදහීම පිළිබඳ විස්‌තර තිබේ. කෝට්‌ටේ රාජධානි සමය වන විට සමන් දෙවියන් ලක්‌දිව සතර වරම් දෙවිවරුන් ගෙන් කෙනෙකු ලෙස පිළිගෙන තිබුණ අතර බැතිමතුන්ගේ මහත් භක්‌ති ප්‍රණාමයට පාත්‍ර වු බවද පෙනේ. මෙකල සමන් දෙවියන් උදෙසා බහුල වශයෙන් සබරගමු පළාතේ පුද පූජා පවත්වති. රත්නපුර මහ සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර අත්‍යාලංකාරයෙන් පවත්වනු ලැබේ. සබරගමුවට විශේෂ දායාදයක්‌ වන් මැණික්‌ ගැරීමේදී සමන් දෙවිඳු උදෙසා බාරහාර වී පුද පූජා පවත්වා එම කටයුතු ආරම්භ කරති. සමන් දෙවියන්ගේ බැල්ම ආශිර්වාදය ලැබු විට මැණික්‌ ලැබෙන බවට දැඩි විශ්වාසයක්‌ මහජනයා අතර මුල්බැස ගෙන තිබෙන බවද මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය.

සෑම වසරකම උඳුවප් පුන් පොහෝ දින ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේ ඊට කලින් දින සමත් දෙව්රුව සිරිපා මළුවට වැඩම කර වු පසුවය. ඇසළ සමයේ හෝ ඊට මඳක්‌ පසුව හෝ සමන් දෙවියන් උදෙසා රත්නපුර මහ සමන් දේවාලයේ දර්ශනීය මහ පෙරහැර ආරම්භ වේ. ලක්‌දිව පවත්වන දෙව්පුද පෙරහැර අතර මෙය ප්‍රධාන තැනක්‌ ගනී. මහියංගනය, බොල්තුඹේ, එල්ලක්‌කල, දැරණියගල සමන් දේවාල ද සමන් දෙවියන්ට පුද පෙරහැර කරන ස්‌ථාන වේ. අප රටේ බොහෝ විහාරස්‌ථානවල හා වෙනත් දේවාල භූමිවලද සමන් දේව ප්‍රතිමා තබා පුද පූජා කරන බවද ප්‍රකට කරුණකි.

ශ්‍රීපාද වන්දනාව පිළිබඳ ඇති වතාවත් පුද පුජා අනුව බලන විට එයට සමන් දෙවියන්ගේ අති විශේෂ සම්බන්ධතාවය මැනවින් පෙනේ. සැලළිහිණි සන්දේශයේ එන පහත සඳහන් කවියෙන් සමන් දෙවියන්, හා ශ්‍රීපාදය පිළිබඳ කියවේ.

සුරරද සමන් සමගින් සුරඟන එවර

පැහැනද මදාරා පරසතු මල් පතර

කරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර

සකිසඳ පෙනේ සමනල ගල නැගෙනහිර

සමන් දෙවියන් ඉතා කරුණාවන්ත ශාන්ත දාන්ත දෙවි කෙනෙක්‌ වන හෙයින් මනුෂ්‍යයින්ගේ දුකට විවිධාකාරයෙන් පිහිට වන බව කිව යුතුය. මෙම දෙවිඳුන්ට බාරහාරවීම, පඬුරු බැඳීම. පහසු කරුණකි. ඇතැම් දෙවිවරුන්ට මෙන් සංකීර්ණ වුත් පුළුල් වූත් මහා පූජා අවශ්‍ය නොවේ. පන්සිල් ගෙන තෙරුවන් වැඳ බුද්ධ පූජා බෝධි පූජා පවත්වා එම පින් සමන් දෙවියන්ට අනුමෝදන් කරවා බාරයක්‌ වී පඬුරක්‌ ගැට ගැසීම ප්‍රමාණවත් වෙයි. හදිසි රෝග පීඩා, ගමනකදී විපතක්‌ වු විට, නැති වූ කෙනෙක්‌ සොයා ගෙන්වා ගැනීම, වන්දනා ගමනකදී ආරක්‌ෂා වීම, සොර සතුරු බිය, නිවාස ඉඩකඩම් ආරක්‍ෂා කර ගැනීම, මැණික්‌ ගැරීම, අලුත් වාහනයක්‌ ප්‍රථමයෙන් ධාවන කටයුතු ඇරඹීම, ආදී මෙකී නොකී බොහෝ කරුණු සඳහා සමන් දෙවිඳුගේ පිහිට පතා බැතිමත්හු බාරහාර වෙති. නිසැකයෙන්ම මෙම කාරුණික දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබී තම කටයුතු යහපත් පරමාර්ථ ඉටු කර දෙන බව බැතිමත්හු විශ්වාස කරති. මෙම මහානුභාවසම්පන්න දෙවියන්ගේ පිහිට සෙත ශාන්තිය ලැබීමට නම් යටත් පිරිසෙයින් පන්සිල්වත් රකිත් භක්‌තිමත්ව ඉතා පිරිසිදුව ගෞරවයෙන් පුද පිළිsවෙත් කළ යුතුය. එසේ කරන බැතිමතුන්ට නිසැකයෙන්ම පිහිට ආරක්‍ෂාව ලැබෙන බව අවසාන වශයෙන් සඳහන් කරමි. සමන් දෙවියන් උදෙසා පැවැත්වෙන වාර්ෂික පෙරහැර ආරම්භ වන්නේ 2010 සැප්තැම්බර් මාසයේදීය.

සාම විනිසුරු කලාභූෂණ ජ්‍යෙdතිර්වේදී
අමුවල අමරසේන News lanka Magazine