මිනිසාට සැනසීමක්‌ නැත්තේ සරළ නැති නිසා

වර්තමාන සමාජ රටාව තුළ මිනිසා යනු ඉතා අසනහාරී ජීවිතයක්‌ ගත කරන සත්ත්වයෙකි. නිවාස, ආහාරපාන, අධ්‍යාපනය, ආදරය මේ සැම දෙය තිබුණද මානසික අසහනය දුරුනොවන බව බොහෝ දෙනා පවසති. ඇතැම්හු ඉටුකර ගත නොහැකි පැතුම් පොදි බැඳගෙන මේ ජීවන ගමන තුළ මංමුලාවී සිටිති. සැබෑ සහනය කොතැනද? එය ජීවිතයට ළංකර ගත හැක්‌කේ කෙසේද? ඊට බුදුදහමෙන් ලැබෙන අනුබලය කුමක්‌දැයි යන්න පිළිබඳ සාකච්ඡාවට බඳුන් කිරීමට අප සිතුවෙමු. ඒ පිළිබඳ සදහම් සංවාදයක යෙදෙන්නට අප මෙරට වත්මන් සංඝ පරපුරේ විද්වත් එමෙන්ම විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේ නමක්‌ වන කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් හමුවුනෙමු. මෙහි දැක්‌වෙන්නේ උන්වහන්සේ සමග අප පැවැත්වූ සංවාදයේ සටහනය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරපු "චුල්ලසච්ච" සූත්‍රයේදී සඳහන් වෙනවා "සන්තෝසෝ භගවා සමථාය ධම්ම දේසේති" යනුවෙන් වදනක්‌. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලෝකයේ සැනසීම සොයපු, සැනසිල්ලට පත්වූ ශාස්‌තෘවරයෙක්‌. ඒ ශාස්‌තෘවරයා සද්භාවයෙන් ලෝකවාසීන්ගේ සැනසිල්ල උදෙසා දහම් දෙසූ බව තමයි මේ සූත්‍රයේදී බුදුරජාණෝ දේශනා කළේ. 

ඒනිසා බෞද්ධ ජනතාවගේ වගකීමක්‌ වෙනවා නියම බෞද්ධයන් ලෙස ජීවත්වෙලා සැනසිලිදායක ජීවියතක්‌ ගොඩනගා ගැනීම. ඒකට ගැලපෙන ලෙස තමයි බුදුරජාණන් වහන්සේගේ සියලු දේශනා ඉදිරිපත් කර තිබෙන්නේ. අපේ අතීත මුතුන්මිත්තන්ගේ ජීවිත දිහා බැලුවොත් ඔවුන් ප්‍රධාන වශයෙන් රැකී රක්‌ෂා කළා, ගොවිතැන් කළා, අධ්‍යාපනය ලැබුවා, දූදරුවෝ හැදුවා, විනෝද වුණා. මේ සෑම දෙයක්‌ම සිදුකළා. වර්තමානයේ දියුණු යෑයි පවසන මිනිසුන් සිදුකරන සියලුම කාර්යයන් එලෙසම සිදුකළා. නමුත් ඒ මිනිසුන්ට සැනසිල්ල තිබුණා. ඒ සැනසිල්ල එකිනෙකාට තිබුණේ ප්‍රධාන වශයෙන් බුදුසමයෙන් ඉගැන්වූ අල්පේච්ඡතාව තම ජීවිතවලට ළං කර ගත් නිසයි. බුදුදහමේ උගන්වන ප්‍රධානතම දේ වන්නේ පුද්ගලයා අල්පේච්ඡ වියයුතු බව. අල්ප යනු ස්‌වල්ප. ඉච්ච යනු ආශාවන්. තමන්ගේ වුවමනාවන් ආශාවන් අවම කරගත් මනුෂ්‍යයකුට ලෝකයේ කවර තැනක වුවත් සැනසිලිදායක ජීවිතයක්‌ ගත කළ හැකියි. වර්තමානයේ ඉතා දියුණු යෑයි පිළිගන්නා රටක්‌ වන ජපානය ගත හොත් පුංචි කාමරයක තමයි කුස්‌සිය, නිදන කාමරය, කාර්යාලය මේ සෑම දේම තිබෙන්නෙ. ඕනෑම මොහොතක නිවසින් බැහැරවන්න පුළුවන්. නිවස පිළිබඳ කිසිදු බරක්‌ හිතට දැනෙන්නේ නැහැ. බුදුදහමේ ආභාෂය නොලබන රටවල් එවැනි අල්පේච්ඡ ජීවන රටාවකට හුරුවෙලා බොහොම සරලව ජීවත්වෙනවා. එහෙත් අප.... 

වර්තමානයේ සමාජයේ ජීවත්වන මිනිසාට සැනසීම අහිමිවී තිබෙන්නේ මේ අල්පේච්ඡතාව ජීවිතයට ළංකර නොගැනීම නිසයි. අල්පේච්ඡතාව නැතිවුණාම ජීවිතය අසංතෘප්තිකරයි. නීරසයි. අහස උසට පොදි බැදගත් අපේක්‌ෂාවන්, බලාපොරොත්තු නිසා අද සමාජයේ ජීවත්වන මිනිසා ලිහාගන්න බැරි ගැටලු රාශියකට පැටලිලා. එම නිසා අපි මේ පවතින සමාජ ක්‍රමයට බැණ වදිමින් එයට ද්වේෂ කරමින් ජීවත්වෙනවා. එය ඵලක්‌ ඇති ක්‍රියාවක්‌ නොවෙයි. පුද්ගලයා නිවැරැදි වීමයි සිදුවිය යුත්තේ. 

අපි පුංචි උදාහරණයක්‌ ගනිමු. හිසට සෙවනක්‌ සාදා ගැනීම මිනිසාගේ මූලික අවශ්‍යතාවක්‌. ඒත් එම මූලික අරමුණු සාධනය කර ගැනීමට අද ඉදිකරන නිවස මිනිසාව කෙතරම් අසහනයට පත්කර තිබෙනවද? යම් අයෙක්‌ නිවසක්‌ ඉදිකළ යුත්තේ තමන්ට නඩත්තු කළ හැකි ආකාරයෙන්. එය පැල්පතක්‌ හෝ මාලිගාවක්‌ විය හැකියි. එය සිදුවිය යුත්තේ තමන්ගේ ආර්ථික රටාවට ගැලපෙන ආකාරයට තනා ගැනීමයි. එහෙත් අද නිවසකින් බලාපොරොත්තු වන මූලික කාරණය ඉක්‌මවා ගිහින් ලෝකෙටම ණය වෙලා නිවස ඉදිකිරීමට අත්තිවාරම පමණක්‌ දමාගෙන ඉදිරි වැඩකටයුතු සිදුකර ගැනීමට නොහැකි වී හූල්ල හූල්ල ජීවිතේම දුකින් තැවෙන මිනිසුන් කෙතරම් අපේ සමාජයේ සිටිනවාද? මේ වගේ නිවහන සම්බන්ධයෙන් අල්පේච්ඡතාව නැතිවීම නිසා අසහනයෙන් ජීවත්වන මිනිසුන් පිරිසක්‌ අද අපි දකිනවා.

ඇතැම් අය බොහොම දුක්‌ මහන්සියෙන් තමන්ට ගැලපෙන නිවසක්‌ තනාගත් පසු එයට අත්‍යවශ්‍ය බඩුභාණ්‌ඩ මොනවාදැයි අවබෝධයක්‌ නොමැතිව අනවශ්‍ය දේවලින් නිවස පුරවාගන්නවා. අසල්වාසීන්ට වඩා හොඳ බඩු භාණ්‌ඩ මිලදී ගැනීමට ගිහින් ලෝකෙටම ණයවෙලා ඒ ණය ගෙවා ගන්න බැරිව බොහොම දුකින් කල් ගෙවනවා. ඇතැම් භාණ්‌ඩ කිසිදිනක ප්‍රයෝජනයට නොගන්න ඒවා. ඇතැම් භාණ්‌ඩ ඉතා මිල අධික ඒවා. එම භාණ්‌ඩ සොරසතුරන්ගෙන් බේරා ගැනීමට තවත් පරිශ්‍රමයක්‌ දරන්න ඕන. ඇතැම් විට ආරක්‌ෂකයකුගේ සේවය ලබාගැනීමට පවා සිදුවෙනවා. නිවසින් බැහැරව ඉන්න බයයි. අවසානයේ එය අසහනයකට පෙරළෙනවා. මේ වගේ අසීමාන්තිකව බඩුවලින් නිවස පුරවා ගැනීමෙන් එම නිවස පිරිසිදු බවින් අඩුවෙනවා. නිවසේ සරල බව නැතිවෙනවා. එනිසා නිවසට අවශ්‍ය මූලික දේවල් ටික පමණක්‌ තිබුණාම හොඳටම ප්‍රමාණවත්.

මානසික මෙලෙස අසනහයට පත්වන මිනිසා ආහාර පාන නිසා අද කායිකවත් අසහනයට පත්වෙලා. ආහාර කියන්නෙ මිනිස්‌ දිවියේ පැවැත්මට අත්‍යවශ්‍ය වූ දෙයක්‌. එය නියමිත වේලාවට අවශ්‍ය ප්‍රමාණයට ගත යුතුයි. එහෙත් වර්තමානයේ බොහෝ දෙනා ආහාරපානවලට අසීමිතව වියපැහැදම් කරනවා. එලෙස වියදම් කර ලබාගන්නා ඇතැම් ආහාර පෝෂ්‍යදායී නැහැ. අවසානයේ මුදල් දී ලෙඩ ගැනීමක්‌ තමයි සිදුවන්නේ. ඉන් මානසිකව පමණක්‌ නොවෙයි කායිකවත් අසහනයෙන් ජීවත්වන්න සිදුවෙනවා. අද බොහෝ දෙනාට වැළඳෙන මාරාන්තික ඇතැම් රෝගාබාධවලට මූලික හේතුවක්‌ වී ඇත්තේ මේ ආහාරපානවල අක්‍රමවත් බව යෑයි සොයාගෙන තිබෙනවා. එම නිසා ආහාරපානවලින්ද අල්පේච්ඡ වීම වැදගත්වෙනවා. ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය ආහාර පාන ගැනීම තමයි වැදගත් වන්නේ. 

අද පවතින පාරිභෝගික සමාජ ක්‍රමය නිසා මිනිසා ඉතා පීඩාවට පත්වෙලා. දත් බෙහෙත් එකක්‌ ගන්න සුපිරි වෙළෙඳසලකට යන පුද්ගලයකු ඉන් පිටවන්නේ තමන්ට නැති වුවමනාවනුත් ඇතිකරගෙනයි. එහිදී දකින නෙත් පිනවන වෛවාරණ බඩු භාණ්‌ඩ පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් වැඩිකරනවා. ණයවෙලා හරි ඒවා උරුම කර ගැනීමේ සිතුවිල්ලකින් තමයි ඇතිවන්නේ. ඇතැම් අය ණයවී ඒවා මිලදී ගෙන ණයගෙවා ගැනීමට බැරිව ලතවෙනවා. තවත් සමහර පුද්ගලයෝ ඒවා මිලදී ගත නොහැකිව අසහනයෙන් පෙළෙනවා. මේ වගේ වෙළඳපොළ උපක්‍රමවලට හසුවෙලා මිනිසුන් තම ජීවිතය අසහනකාරී තත්ත්වයට පමුණුවා ගන්නවා. 

මිනිස්‌ ජීවිතයකට අවශ්‍ය මූලික අවශ්‍යතාවත් සපුරා ගැනීමට නොහැකි අය කොහොමද තමන්ගේ ජීවිතයට සැනසීම ළං කරගන්නේ යන්නත් ඉතා වැදගත් කාරණයක්‌. ඊට තමයි උට්‌ඨාන වීර්යය අවශ්‍ය වන්නේ. තමන්ට කිසිම දෙයක්‌ නැතැයි ළත නොවී, අසහනයට පත් නොවී උත්සාහසම්පන්නව ජීවිතය ගොඩනගා ගැනීමෙන් සැනසිලිදායක ජීවිතයකට අවශ්‍ය සියලු කාරණා ඉටුකරගත හැකියි. උදේට මාර්ග අයිනේ කොළ කැඳ හට්‌ටියක්‌ හදාගෙන ඉතා ප්‍රියමනාප ලෙස, පිරිසිදුව කොළ කැඳ විකුණන කාන්තාවන් අප දැක තිබෙනවා. ඉන් ඔවුන් ලබන ආදායම තමන්ට යන මූලික විදයම අත්හැරියම සැලකියයුතු මුදලක්‌. අද ව්‍යාපාරික ලෝකය ජයගත්, ජාත්‍යන්තරව පවා නම ගිය බොහෝ පුද්ගලයන්ගේ ජීවිතයේ ආරම්භය ගතහොත් මෙවැනි පුංචි තැනකින් තමයි පටන්ගෙන තිබෙන්නේ. එනිසා තමන්ට කිසිම දෙයක්‌ නැතැයි පවසමින් අසහනයෙන් කල්ගෙවනවාට වඩා පුංචි තැනකින් ආරම්භ කර ජීවිතය ජය ගැනීමේ හැකියාව මිනිසාට තිබෙනවා.

අප සමාජයේ බොහෝ තරුණ දූපුතුන් අධ්‍යාපනය නිසා අද අසහනයට පත්වෙලා. පසුගිය උසස්‌ පෙළවිභාගයට පෙනී සිටි ශිෂ්‍යාවක්‌ විභාගයට මුහුණදීමෙන් පසුව සියදිවි හානිකරගත් පුවතක්‌ අසන්නට ලැබුණා. එලෙස තම දිවි හානිකර ගැනීමට හේතුවී තිබුණේ ඇය බලාපොරොත්තු වුණ ආකාරයෙන් විභාග ප්‍රශ්නපත්‍රයට පිළිතුරු සැපයීමට කාලය නොතිබීම. මේක අපේ අධ්‍යාපන රටාවේ තිබෙන වැරැද්දක්‌. අභියෝය ජය ගැනීමේ ක්‍රමයක්‌ අද තිබෙන අධ්‍යාපනයෙන් නියමාකාරයෙන් උගන්වන්නේ නැහැ. වත්මන් සංකීර්ණ, තරගකාරී අධ්‍යාපන රටාව තුළ තිබෙන්නේ ආත්මාර්ථකාමී සිතුවිලි. පුංචි කාලයේ ඉඳලම ළමයින්ව හුරුකරන්නේ ලකුණු දශමයක්‌ සෙයාගෙනයන ක්‍රමයකට. පාසල් අධ්‍යාපනය, පෞද්ගලික අධ්‍යාපනය මේ සියල්ල පෙළගස්‌වා තිබෙන්නේ මෙවැනි අධ්‍යාපන රටාවකට. ඒ රටාව තුළ අනෙකුත් සියලු සාරධර්ම පාගාගෙන යන ක්‍රමයක්‌ තමයි ළමයින්ගේ මනසට ඇතුළු වන්නේ. අවසානයේ තමන්ගේ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වන විට ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. ඉන් ජීවත්වීමෙන් ඵලක්‌ නැහැ කියන සංකල්පය ඇතිවුණාම ක්‌ෂණිකව දිවිනසා ගැනීමේ ක්‍රමවලට යොමුවෙනවා. ශිෂ්‍යත්ව විභාගයේ සිට ආත්මාර්ථය දක්‌වා ගමන් ගන්නා අධ්‍යාපන රටාවක්‌ තුළ ළමා මනස පවා අසනහයට පත්වෙලා. 

මේ අසහනකාරී ජීවන රටාවෙන් පීඩාවට පත්වූ ඇතැම් පුද්ගලයන් සදාකාලික සහනයක්‌ සොයා වෙනත් මිත්‍යා ආගම් වැළඳ ගෙන ඔවුන්ගේ ජීවිත තවත් අඳුරට පත්කරගත් අවස්‌ථාවන් අප සමාජයේ බහුලයි. බුදුදහම කියන්නේ බොහොම නිදහස්‌කාමී ආගමක්‌. කිසිදු දේකට දැඩි නීතිරීති පනවා නැහැ. එනිසා මෙවැනි නිදහස්‌කාමී ආගමක ඉඳන් තමන්ට කිසිදු සැනසීමක්‌ නැතැයි, අභිවෘද්ධියක්‌ නැතැයි සිතමින් මිත්‍යාදෘෂ්ටි ආගම් පසුපස යැමෙන් සිදුවන්නේ වඩාත් විපතට පත්වීමයි. බුදුදහමේ උගන්වන සම්මා දිට්‌ඨිය නැතිනම් යහපත් දැක්‌මක්‌ නොමැතිකමින් මෙවැනි දේ සිදුවෙනවා. බෞද්ධයාට සම්මා දිට්‌ඨියක්‌ ඇතිවීමට නම් ධර්මය පිළිබඳ ගැඹුරු දැනුමක්‌ තිබිය යුතුයි. නමුත් අද තිබෙන්නේ නමස්‌කාර පාඨයේ පවා අර්ථය නොදන්න සමාජයක්‌. තෙරුවන් සරණ ගිය බෞද්ධයකු දන්නවා තමන්ට තුණුරුවන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙන බව. ඔවුන් දන්නවා කර්මයෙන් ඔවුන්ට ගැලවෙන්න බැරි බව. මේ මිත්‍යාදෘෂ්ටි ආගම් පසුපස යන්නෝ සිතන්නේ බෞද්ධාගම අත්හැරීමෙන් කර්මයෙන් මිදෙන්න පුළුවන් බවයි. එහෙත් එය මුලාවක්‌. කර්මය කියන්නෙ නියාමයක්‌. ඉන් ගැලවීමට ආගම් මාරුවෙන් බැහැ. අද "රිසානා" නිදහස්‌ කරදෙන්න දෙවියන්ගෙන් ඉල්ලනවා. ඒත් දෙවියන්ට ඇයව නිදහස්‌ කර දෙන්න බැහැ. ජනාධිපතිතුමාට තමයි එයට මැදිහත්වීමට සිදුවන්නෙ. 

මෙවැනි කරුණුවලින් පැහැදිලිවෙන්නේ "අසහනය" කියන්නේ තමන් විසින් ජීවිතයට ළංකර ගත් දෙයක්‌ බවයි. එය නැති කරගත හැකි දෙයක්‌. ඒ සඳහා මුදල් වියදම් කිරීමට හෝ වෙනත් පරිශ්‍රමයක්‌ දැරීමට අවශ්‍ය නැහැ. බුදුදහමේ උගන්වන අල්පේච්ඡතාව, උට්‌ඨානවීර්යය, ඉවසීම, යහපත් දැක්‌ම වැනි කාරණා තම ජීවිතයට ළංකර ගැනීමෙන් ඔබටත්, ඔබ පෙළන අසහනකාරී ජීවන රටාවෙන් මිදීමේ හැකියාව ලැබෙනවා.

සටහන -  ලක්‌මාල් බෝගහවත්ත