ඩෙංගු සදහටම නැති කළ හැක්කේ මේ විදියටයි

ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාව තුළ ඩෙංගු මදුරුවාට වාසය කිරීමට හා තම වර්ගයාබෝ කිරීමට තිබෙන ඉඩකඩවල අඩුවක් නම් නොමැත. ශ්‍රී ලංකාව තුළ අවුරුදු කෝටි දෙකක පමණ කාලයක සිට ඩෙංගු රෝගය බෝ කරන මදුරු විශේෂය ජීවත් වෙති. එහෙත් එදා නොතිබුණ රෝගයක් දැන් ව්‍යාප්ත වන්නේ ඇයිද යන්න ගැටලුවකි. එයට හේතුව වී ඇත්තේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරු විශේෂය වන ඊඩිස් ඊජිප්ටයිල් සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙක අප රට තුළ ජීවත් වුවද රෝග කාරක වෛරසය අප රට තුළ නොතිබිමය. එහෙත් අප රටට යාබද ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් කීපයක මෙම වෛරසය ව්‍යාප්ත වී තිබුණි. ඒ හේතුවෙන් එරට සිට මෙහි පැමිණි යම් පුද්ගලයෙකු හරහා වෛරසය මෙරටට පැමිණියා විය හැකිය. රෝගය බෝකරන මදුරු විශේෂය ශ්‍රී ලංකාව තුළ සිටි බැවින් වෛරසය ව්‍යාප්ත වීමට කිසිදු බාධාවක් නොවන්නට ඇත.එසේ නම් මේ තාක් කල් සිදු කළ මර්දන වැඩකටයුතුවලින් මදුරුවන් මර්දනය වී නොමැති බව සක්සුදක් සේ පැහැදිලිය. සිදුව ඇත්තේ පාලනයවීමක් නොව වැඩිවීමකි. ලොව පුරා සිටින සෑම ගහනයක්ම පාලනය වීමක්වී තිබේ. එහෙත් යම් හේතුවක් මත කිසියම් කෘමී කොට්ඨාසයක් පරිසරයෙන් ඉවත් කිරීමට යමෙක් උත්සහ දරයි නම් එතෙක් පරිසරය හා කෘමී සතුන් තුළ පැවති සමතුලිතතාව බිඳ වැටී වෙනත් ක්‍රමයකින් උන් වර්ධනයවීමට පටන්ගනී.

එසේ එම සතුන් තම වර්ගයා බෝකිරීම වර්ධනය කරගැනීමට එක්වර බිත්තර විශාල සංඛ්‍යාවක් දමනු ලබයි. එසේත් නොමැති නම් උන්ගේ වාසස්ථාන වෙනස් කර ගැනීමට කටයුතු කරයි. කෙසේ හෝ සතුන් මෙලොවින් තුරන්වීමට කැමැත්තක් නොදක්වති. උන්ව බලයෙන් මෙලොවින් ඉවත්කර දැමීමට යාමේදී මිනිසාගේ ජීවිතයට කොයි යම් ආකාරයකින් හෝ තර්ජනයන් එල්ලවේ.

මැ‍ලේරියා මදුරුවා මර්දනය කිරීම සඳහා 40 දශකයේදී ඩී.ඩී.ටී. හා මැලතින් රසායනිකය යෙදෙව්වේය. එහෙත් සිදුවූයේ මදුරුවා මර්දනයවීම නොව මදුරුවා එම රසායනිකයට සාර්ථකව මුහුණ දීම සඳහා උගේ සිරුර තුළඑන්සයිමයක් නිපදවා ගැනීමය. ඒ හේතුවෙන් ඩීඩීටීවලට හා මැලතින්වලට සාර්ථකව මුහුණ දීමට මැ‍ලේරියාව බෝ කරන “ඇනෝපිලිස් මදුරුවාට හැකි විය.

එසේ නම් මැ‍ලේරියාව තුරන් වුයේ කෙසේද යන්න ප්‍රශ්නයකි. “ප්ලැස්මෝඩියම් නමැති  මැ‍ලේරියා පර‍පෝෂිතයා මර්දනය කිරීම සඳහා ලබාදෙන “ක්ලෝරොක්වීන් සහ ප්‍රිමාක්වීන් යන ඖෂධයන් උණ රෝගීන්ට දිනපතා ලබාදීමෙන් “ප්ලැස්මෝඩියම්” පර‍පෝෂිතයා විනාශ විය. මේ අයුරින් මිනිස් සිරුරේ වැඩෙන “ප්ලැස්මෝඩියම් පර‍පෝෂිතයා විනාශ වීමත් සමග මැ‍ලේරියාව බෝකරන “ඇනෝපීලිස් මදුරුවාට පර‍පෝෂිතයින් සොයාගැනීමට නොහැකිවීමත් සමග රෝගය අප රටින් තුරන් විය. මේ වන විට මැ‍ලේරියාව තුරන් කළ රටක් ලෙස ලබන ඔක්තෝම්බර් මාසයේදී අපට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය හිමිවීමට නියමිතය. එහෙත් අපට යාබද ඉන්දියාව ඇතුළු රටවල  මේ වන විට මැ‍ලේරියා රෝගීන් බහුලව සිටින බැවින් මෙරටට ඔවුන් සංක්‍රමණය වීම හරහා නැවතත් මැ‍ලේරියා පර‍පෝෂිතයින් ඇතුළු විය හැකිය. එසේ වුවහොත් අප රට තුළ නැවතත් මැ‍ලේරියා රෝගීන් දක්නට ලැබේ. එහෙත් රෝගය වසංගතයක් ලෙස පැතිර යාම ඖෂධ මගින් වළක්වා ගත හැකිවීමද සතුටකි.
මැ‍ලේරියා මෙසේ මර්දනය කළද ඩෙංගු රෝගය මර්දනය කළ නොහැක්කේ ඩෙංගු වෛයිරසයක් මගින් බෝවන රෝගයක්වීම හේතුවෙනි. එසේනම් මදුරුවා මර්දනය කරනවා වෙනුවට වෛරසයේ ව්‍යාප්තිය මර්දනය නොකරන තාක් කල් අපට ඩෙංගු රෝගයෙන් ජයගැනීමට නොහැකි වනු ඇත.

ඩෙංගු රෝග කාරක වෛරසය ශරීර ගතවූ පුද්ගලයින් ඉතාමත් ආරක්ෂාකාරී පරිසරයන් තුළ අවම වශයෙන් සති දෙකක වත් කාලයක් සඳහා රඳවා තබාගැනීම මගින් වෛරසය විනාශවේ. මෙය සිරුරේ තිබෙන ප්‍රතිශක්තීකරණය මගින් සිදු කරනු ලබන ක්‍රියාවලියකි. රෝහල් ගත වන ඩෙංගු රෝගීන්ගේ ඩෙංගු වෛරසයට තවත් පුද්ගලයෙකුගේ සිරුරට ඇතුළු නොවීම සඳහා යම් ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වාදීමට සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළ යුතුවේ. එසේ වුවහොත් වෛරසය ක්‍රමයෙන් විනාශවීමත් සමග ඩෙංගු මදුරුවාට රෝගය බෝකිරීම සඳහා ධාරකයෙකු සොයාගැනීමට නොහැකි වනු ඇත. මේ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුය. එහෙත් අප රට තුළ සිදුවන්නේ කුමක්ද? ඩෙංගු රෝගියෙකු රෝහල් ගත කළ විට ඔහු බැලීමට වැලනොකැඩී පිරිස පැමිණෙති. එසේ පැමිණීමෙන් ඔවුන්ද රෝගය බෝකරන වාහකයන් බවට නොදැනීම පත්වේ.

මේ අනුව ඩෙංගු රෝගය අප රටින් තුරන්කිරීම අපහසු නොවනු ඇත. එහෙත් අවාසනාවකට මෙම ක්‍රමවේදය සෞඛ්‍ය බලධාරීන්ට නොවැටහේ. ඒ අපගේම අවාසනාවකි. වසර දහයක් පුරා ඩෙංගු මර්දන වැඩසටහන් 60000කට වඩා අප ක්‍රියාත්මක කළෙමු. එහෙත් ඉන් මදුරු මර්දනයක් සිදුව නොමැත. සිදුව ඇත්තේ මදුරුවා මර්දනයවීම වෙනුවට වර්ධනය වීමකි. මදුරුවන් බෝවන පරිසරයන් විනාශ කිරීම තුළ ඔවුන් නව පරිසරයන් සොයා ගනිති. ඝර්ම කාලාපීය රටක් වන අප රට තුළ අවුරුද්ද පුරාම වර්ෂාව ලැබේ. එසේම හිරු එළියද නොඅඩුව ලැබේ ඩෙංගු මදුරුවාට වැඩීමට කදිම පරිසරයක් නිර්මාණය වන රටකි. මේ බව සෞඛ්‍ය බලධාරීන්ට තේරුම් ගැනීමට නොහැකිද? එසේත් නොමැති නම් තේරුම් ගැනීමට උත්සහ නොකරන්නේද යන්න ගැටලුවකි.

එහෙත් අවාසනාවක මහත අපගේ සෞඛ්‍ය බලධාරීහු මදුරුවන් බෝවන ස්ථානයක් යම් පුද්ගලයෙකුගේ පරිසර පද්ධතියේ ඇත්නම් එම පුද්ගලයාට දඩ ගසති. මෙම දඩ ගැසීම හරහා මදුරුවා මර්දනය වීමක් හෝ රෝගකාරක වෛරසය විනාශ කිරීමක් සිදුනොවේ. වසර ගණාවක් පුරා ඇතැම් වෛද්‍යවරුන් හා පුද්ගලයින්  සිදුකරන ලද පර්යේෂණයන් උපයෝගී කරගනිමින් රෝගය මර්දනය කිරීමට දායකත්වයක් ලබා දෙන්නේ නම් අප ඩෙංගු රෝගය මර්දනය කරගැනීම අපහසු නොවනු ඇත.

වෛද්‍ය බන්දුල සිරිවර්ධන
සටහන  ශ්‍රියානි විජේසිංහ
උපුටාගැනිම: ලක්බිම