යම්කිසි කෙනෙක් සසුන් ගත වන්නේ ජීවිතය පිළිබඳ කලකිරීම නිසාම නොවෙයි. කසාවත පොරවාගත් කෙනෙකු දැකීමෙන් හිතේ උපදින පහන් සංවේගය නිසා එවැනි චර්යාවකට ප්‍රියත්වයෙන් ඇතැමෙක් සසුන්ගත විය හැකිය. බණ කියන්නට ආසා නිසා සසුන්ගත වූ අය ද වෙති. දෙමවුපියන් විසින් සසුනට භාර දුන් නිසා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් චීවරධාරියකු ලෙස ක්‍රියා කරන අය ද නැත්තේ නොවේ.
අප මේ කියන්නට යන්නේ සසුන්ගත වූ දැරියන්ට මෙන්ම සසුන්ගත වූ කාන්තාවන්ට ද පොදුවේ බලපා ඇති අර්බුද සහ ඔවුන්ගේ පැවිදි ජීවිත පිළිබඳ අංශු මාත්‍රයකි. ඊට අවැසි කරුණු සොයා අපි පසුගිය දිනක ගම්පහ රත්නමාලි ආරාමය හා එහි පිහිටි ශ්‍රී ධම්මදින්නා පිරිවෙණ වෙත ගියෙමු.
මෙය ආරම්භ කොට ඇත්තේ 1962 දී ධම්මදින්නා මෙහෙණින් වහන්සේ විසිනි. පහළ යාගොඩ ධම්මිකා භික්‍ෂුණීන් වහන්සේ අප සමඟ විස්‌තර කතා බහ ආරම්භ කරමින් කරුණු පැහැදිලි කළහ.
"අපට ඒ කාලේ ඉන්න තැනක් තිබුණේ නැහැ. ධම්මදින්නා මෙහෙණින් වහන්සේ මේ ඉඩම රජයෙන් ලබාගෙන ගමේ අයත් එක්‌ක එකතු වෙලා ආරාමය ගොඩනැඟුවා. ඒ කාලේ මෙහේ හිටියේ මෙහෙණින් වහන්සේ තුන් නමක් විතරයි. ලොකු මෙහෙණින් වහන්සේ අපවත් වුණා. දැන් මම තමයි ප්‍රධාන මෙහෙණින් වහන්සේ හැටියට ඉන්නේ. මම උපසම්පදාව ලැබුවා. මාත් එක්‌ක උපසම්පදා භික්‍ෂුණින් වහන්සේ හත්නමක් මේ ආරාමයේ වැඩ ඉන්නවා. ඊට අමතරව සාමණේර මෙහෙනින් වහන්සේ විසිතුන්නමක් සිටිනවා. ඒ අතරින් වැඩිදෙනෙක් වෙනත් ආරාමවලින් මෙහාට ඉගෙනගැනීම සඳහා පැමිණි අයයි. ඒ හැමෝටම නේවාසික අධ්‍යාපනයක් ලබා දෙනවා. සාමණේර මෙහෙණින් වහන්සේ උදේ පාන්දර නැගිටලා, මූණකට සෝදලා, වැඳුම් පිඳුම් කරලා, විහාරය, බෝමළුව ඇතුළු සෑම තැනක්‌ම පිරිසිදු කරලා, හීල් දානය වළඳනවා. පසුව ස්‌නානය කරලා දාන තියෙනවා නම් ඒවාට වැඩම කරලා ඇවිත් හවස එකට විතර පිරිවෙණේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරනවා. අපේ භික්‍ෂුණීන් වහන්සේත් ස්‌වාමීන් වහන්සේ අඳින චීවරමයි අඳින්නේ. සාමනේර මෙහෙණින් වහන්සේ අඩකරපු චීවර අඳිනවා. සාමනේර හාමුදුරුවරු වගේමයි. මේ අයට උපසම්පදාව ලබා ගැනීමටත් අවස්‌ථාව තිබෙනවා. සියම් නිකාය රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ අපට ඒ වරප්‍රසාද හිමියි. නමුත් අපට ප්‍රශ්න ගොඩාක් තිබෙනවා. මූලික අයිතිවාසිකම්වත් අපට හිමි වී නැහැ. අපට මහා දේවල් අවශ්‍ය නැහැ. නමුත් පැවිදි වී සිටින අපේ දරු පරපුරට අධ්‍යාපනය හිමිවිය යුතුමයි. නමුත් ඒ පහසුකම් නැහැ" උන්වහන්සේ පැවසුවෝය.
ශ්‍රී ධම්මදින්නා පිරිවෙනෙහි අධිපති ඔරුතොට දමයන්ති භික්‍ෂුණීන් වහන්සේ අප සමඟ පිරිවෙනෙහි ප්‍රශ්න රැසක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළෝය.
"මේ පිරිවෙන ආරම්භ කළේ 2008 සැප්තැම්බර් 01 වැනිදායි. සාමණේර මෙහෙණින් වහන්සේට අධ්‍යාපනය ලබන්න තැනක් තිබුණේ නැහැ. සාමාන්‍ය රජයේ පාසල්වලට ඊට ඉඩක් නැහැ. යහපත් මානසික සෞඛ්‍යයකින් යුක්‌තව මේ අයට අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පහසුකම් නැහැ. රජයේ අනුග්‍රහය නොලැබීම ඊට හේතුවයි. නොයෙකුත් අපහසුතා මැද අපි සිංහල, පාලි, සංස්‌කෘත උගන්වනවා. මූලික පිරිවෙණක් විදිහට අපි මෙය පවත්වාගෙන යනවා. උපාධිධාරී භික්‍ෂුණින් වහන්සේ වගේම පාසල් ගුරුවරියන් ස්‌වේච්ඡාවෙන් උගන්වනවා. ඊට අමතරව විශ්‍රාම ගිය ගුරුවරියන් කිහිපදෙනකුත් මේ පිරිවෙනෙහි ගුරුවරු ලෙස කටයුතු කරනවා. එක, දෙක, තුන වශයෙන් ශ්‍රේණි තුනක් අපි පවත්වා ගෙන යනවා. වසරින් වසර ශ්‍රේණි ගණන වැඩි වෙනවා. අලුතෙන් සසුන්ගත වන කෙනෙක් වයස කීය වුණත් අපි පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කරනවා. මොකද පාසල් අධ්‍යාපනය වගේ නෙවෙයි ශාසනයට ඇතුළු වුණාම පාලි, සංස්‌කෘත, විනය පිඨකයන් ඉගෙන ගත යුතුයි. රජයේ සහාය නැති නිසා අපට ගැටලු රැසක් මතු වී තිබෙනවා. පිරිවෙන් අධ්‍යාපනය මේ අයටත් ලැබිය යුතුයි. ගිහි ජීවිතයේ සිටියා නම් මේ දැරියන් පාසල් යනවා. පාසල් යන වයසේ දරුවන්ට එම අධ්‍යාපනය ලබා නොදීම බරපතල වරදක් වුණත් පැවිදි බවට පත් වූ දියණිවරුන් සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් නොතිබීම කනගාටුදායකයි. ඇතැම් පවුල්වල දියණිවරු සාසනයට භාර දී තිබෙන්නේ ඒ දෙමවුපියන්ගේ දුප්පත්කම නිසයි. දරුවන් ජීවත් කරවන්න බැරුව උපන් ගමන් මරාදමන, තැන තැන දමා යන මවුවරු සිටින මේ රටේ තම දියණිය සසුනට පූජා කිරීමෙන් ඒ දරුවා හොඳින් ජීවත් වේවි යන බලාපොරොත්තුව වගේම ඒ දෙමවුපියන්ට ආත්ම ගණනකට පිං සිදුවෙනවා. සාමණේර හාමුදුරුවන්ට ඇති අධ්‍යාපන අයිතිය සාමණේර මෙහෙණිවරුන්ටත් ලබා දෙනවා නම් සාධාරණය ඉටු වෙනවා. ගමේ දායකයන්ගේ උදව් උපකාරයෙන් සාමණේර මෙහෙණිවරුන්ට අවශ්‍ය පොත් පත් පෑන් පැන්සල් ආදිය ලැබෙනවා. අවට විහාරස්‌ථානවල නායක හාමුදුරුවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ උදව්වෙන් පිරිවෙන්වලට රජය මගින් නිකුත් කරන ප්‍රශ්න පත්‍ර අපේ මෙහෙණිවරුන්ට ලබා දෙන්න අපි කටයුතු කරනවා. පිරිවෙන් විෂයය නිර්දේශයට අදාළ රජයේ මුද්‍රිත පොත් අපි ලබා ගන්නේ හරිම අමාරුවෙනුයි. පිරිවෙන්වෙල හාමුදුරුවරු භාවිත කරලා අබලි බවට පත් වූ පොත් තමයි අපේ සාමණේර මෙහෙණිවරු පාවිච්චි කරන්නේ. ඉතාම කැමැත්තෙන්, කැපවීමෙන් යුතුව භික්‍ෂුණී ශාසනයට ඇතුළත් වන කාන්තාවන් වගේ ම කුඩා දැරියන් මේ වගේ දේවල් නිසා කලකිරීමට පත්ව සිටිනවා. මේ පිරිවෙන් රජය මගින් ලියාපදිංචි කරන ලෙස අපි නොයෙක්‌වර ඉල්ලීම් කලා. බුද්ධ ශාසන අමාත්‍යාංශයට පුළුවන්කම තිබෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න. අපි ජනාධිපතිතුමාටත් මීට අදාළව ලිපියක් යෑව්වා."
මෙකී තත්ත්වයන් යටතේ වුවද අදටත් පවත්වාගෙන යන්නේ මෙම ගම්පහ ධම්මදින්නා පිරිවෙන සහ මහියංගනය ආ¹උල්පත ශ්‍රී සුසික්‍ෂා පිරිවෙන පමණයි. ඊට අමතරව කුරුණෑගල, අම්බලන්ගොඩ, ඇහැලියගොඩ, දඹුල්ල, රත්නපුර යන දිස්‌ත්‍රික්‌කවල ද සාමණේර මෙහෙණින් වහන්සේ උදෙසා පිරිවෙන් පවත්වාගෙන ගිය නමුත් අද ඒවා වැසී ඇත්තේ රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා ම ය.
"පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්‍ෂ මහත්මයාගේ බිරිඳ මේ ආරාමයට ගොඩාක් උදව් කරනවා. අවට විහාරස්‌ථානවල ස්‌වාමීන් වහන්සේ වගේම චිත්‍රා බොතේජු මහත්මියත් උදව් කරනවා. ගම්වාසීන්ගේ සහයෝගයත් ලැබෙනවා. නමුත් අඩුපාඩු ගොඩක් තියෙනවා." දමයන්ති භික්‍ෂුණීන් වහන්සේ පැවසූහ.
භික්‍ෂුණීන් සම්බන්ධයෙන් වර්තමානයේ පමණක් නොව බුදුන් වහන්සේ පටන් ගැටලු පැවතිනි. එදා මහා ප්‍රජාපතී ගෝතමිය භික්‍ෂුනී ශාසනය ලබා දෙන ලෙස ආයාචනා කරමින් සිවුවරක් බුදුන් හමුවට ගොස් තිබිණි. සිව්වැනි අවස්‌ථාවේදී පන්සියයක් ක්‍ෂත්‍රීය කුමාරිකාවෝ හිස මුඩු කරගෙන කසාවත් ඇඳ භික්‍ෂුනී ශාසනය ඇති කරන ලෙස ඉල්ලා සිටියහ. ආනන්ද හිමියන් මේ අර්බුදයට මැදිහත්ව බුදුරජාණන් වහන්සේගෙන් භික්‍ෂුණී ශාසනය ඇති කරන ලෙස ඉල්ලා සිටි අවස්‌ථාවේ උන්වහන්සේ ගුරු ධර්ම අටක් පැනවීය. ඒවා පිළිපැදීමට කැමැති නම් භික්‍ෂුණී ශාසනය පිහිටුවන බව බුදුන් වහන්සේ ආනන්ද හිමිට සැලකර ඇත.
උපසම්පදාව ලබා වසර සියයක් ගත කළත් එදිනම උපසම්පදාව ලැබූ භික්‍ෂුවකට ගෞරව කිරීම, භික්‍ෂුන් නොමැති ප්‍රදේශයක වස් නොවැසීම, අඩමසක් පාසා භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාරීම, හා අවවාද ලබා ගැනීම, වස් පවාරණය භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිසම ඉදිරියේ සිදු කිරීම, වරදක් වුවොත් සමාව ගැනීම, වසරක් ශිෂ්‍ය බවේ සිට භික්‍ෂු භික්‍ෂුණී ඉදිරියේ උපසම්පදාව ලැබීම, කිසිම හේතුවක් නිසාවත් භික්‍ෂුන්ට බැණ වැදීම හෝ දොස් පැවරීමෙන් වැළකීම, භික්‍ෂුන්ට අවවාද නොකිරීම යනු එදා බුදුන් දෙසූ ගරු ධර්ම අටයි. මෙම නීති පිළිපැදීමෙන් අනතුරුව බුදුන් වහන්සේ භික්‍ෂුනී ශාසනය පිහිටු වූ සේක. ඒ බිනර පුන් පොහෝ දිනකය. එහෙත් පසු කලෙක භික්‍ෂුණී ශාසනය නැති වී ගියේය. ශ්‍රී ලංකාවේද එසේම විය. 1998 මාර්තු 12 වැනිදා නැවත ශ්‍රී ලංකාවේ භික්‍ෂුණී ශාසනය පිහිටවන ලද්දේ 1998 පෙබරවාරි 21 වැනිදා දඹදිව බුද්ධගයාවේ භික්‍ෂුණී ශාසනය පිහිටුවීමෙන් අනතුරුව ය. භික්‍ෂුණී ශාසනය පිළිබඳ ගැටලු කොතෙක් තිබුණත් සසුන්ගත වන දියණිවරුන් හා වැඩිහිටි කාන්තාවන් සසරින් එතෙර වීමට පෙරුම් පුරන අයුරු අපි විමසුවෙමු. ඇතැමුන් සසුන්ගත වීම සඳහා නොයෙක් උපක්‍රම යොදමින් නිවෙස්‌වලින් පලාගිය අයුරු පුදුම සහගතය.
පහළ යාගොඩ රත්නමාලී ආරාමයේ (ශ්‍රී ධම්මදින්නා පිරිවෙණේ) නායක භික්‍ෂුණිය පැවිදි බිමට පිවිස ඇත්තේ වයස අවුරුදු 35 දී ය. කුඩා කල පටන් මහණ වීමට පෙරුම් පිරුවත් අයියලා හතරදෙනකු සහ නංගී කෙනෙකුට මැදිව සිටි ඇයට මහණ වීම සඳහා කිසිම අවසරයක් ගෙදරින් ලැබී නැත. දෙමවුපියන් මිය යැමෙන් පසුව ඇය සිය අභිමතාර්ථය ඉටුකර ගෙන තිබේ.
ඔරුතොට දමයන්ති භික්‍ෂුණීන් වහන්සේ වයස අවුරුදු 22 දී මහණ වී ඇති අතර, ගිහි නම ධර්මා ශ්‍රියාණි විතාන නම් විය.
"අපේ ලොකු අක්‌කාගේ මඟුල් ගේ ගන්න තිබුණු දවසේ අපේ අම්මාගේ මළ ගේ කරන්න සිද්ධ වුණා. අම්මා ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියා අක්‌කා මනමාලි වෙනවා දකින්න කියලා. ඒ සියල්ල මොහොතින් බිඳ වැටුණා. එදා මට ජීවිතය ගැන කලකිරුණා. එතකොට මට වයස අවුරුදු 18 යි. මහණ වෙන්න ගෙදරින් ඉඩ දුන්නේ නැහැ. හොරෙන් පැනලා මේ ආරාමයට ආවා. අයියා ඇවිත් මාව එක්‌කගෙන ගියා. පස්‌සේ දවසක තාත්තාගේ ලාච්චුවෙන් සල්ලි ටිකකුත් අරගෙන, සිවුරක් තනියම මහගෙන ඇසළ පෝය දවසක තනියම තාත්තාගේ රේසරයෙන් කොණ්‌ඩෙත් කපාගෙන රේල් පාරට දුවගෙන ආවා. මඟදී අනුරාධපුරයට දානෙ දෙන්න යන සිල් අම්මලා පිරිසක් හමුවුණා. ඒ ගොල්ලොත් එක්‌ක අනුරාධපුරේ ගියා. පස්‌සේ චාරිත්‍රානුකූලව මහණ වෙලා, හොඳින් ඉගෙන ගෙන කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධියත් ගත්තා.."
බෝගම්මන දර්ශිකා භික්‍ෂුණීන් වහන්සේ පැවිදි වී ඇත්තේ වයස අවුරුදු 14 දී ය.
"අපේ කිරි අම්මා එක්‌ක මම නිතරම සිල් ගන්න යනවා. දවසක් ආරියධම්ම හාමුදුරුවෝ බණට වැඩියා. උන්වහන්සේගේ බණ අහලා මටත් ඒ වගේ බණ කියන්න ආසාවක් ආවා. මහණ වෙන්න ගෙදරින් ඉඩ දුන්නේ නැහැ. මම නොකා නොබී හිටියා. දවසක් අනුරාධපුරයේ ගිය වෙලාවක ශ්‍රී මහා බෝධිය උඩ මළුවට ගිහින් භාරවුණා තුන් මාසයක් ඇතුළත මහණ වෙන්න ලැබෙන්න කියලා. ගෙදර හැමෝම ගොයම් කපන්න ගිය දවසක තාත්තාගේ කමිස සාක්‌කුවෙන් රුපියල් 50 කුත් අරගෙන වාරියපොළට ගිහින් අනුරාධපුරයේ යන බස් එකකට නැග්ගා. කොන්දොස්‌තර ඇහුවා ගෙදරින් පැනලා නේද යන්නේ කියලා. මම මුකුත් කිව්වේ නැහැ. අනුරාධපුරයට ගිහින් බෝධියේ උඩමළුවට දිව්වා. සිල් මෑණිවරු දෙන්නෙක් එතන හිටියා. ඒ අය මහණ වෙන්න මට උදව් කළා. මම ආරාමයකට භාර දුන්නා. එතැනදී ගොඩාක් දුක් වින්දා. මට මහණකම එපා වෙන තරමට නොයෙකුත් කරදර මට ඇති වුණා. පස්‌සේ තාත්තා මාව එතනින් එක්‌ක ගෙන ඇවිත් මේ ආරාමෙට භාර දුන්නා. මෙහිදී මට හොඳට ඉගැන්නුවා. මම විශ්වවිද්‍යාලයට ගිහින් උපාධියක් ගත්තා. මෙතැන පරිසරය හරිම හිතකර වුණා."
ආරාමයේදී අපට හමුවුණු තිත්තවැල්ගොල්ලේ සුබෝධා මෙහෙණින් වහන්සේ ගිහිකමේ හිටියා නම් දැන් වයස අවුරුදු 9 කි. පුංචිම පුංචි කාලේ අම්මාගේ සාරි අරගෙන සිවුරක් සේ ඇඳගෙන බණ කියූ අයුරු උන්වහන්සේ මෙනෙහි කළහ. ආච්චිගේ උදව්වෙන් මහණ වෙන්න ලැබී ඇති බව ද අප සමඟ පැවසුවෝය.
තවත් සුවිශේෂී තිදෙනකු අපට මුණ ගැසිණී. නිමේෂිකා සෙව්වන්දි, නදීශංකා, උපමාලි දුනීසා ලක්‌මාලි යනු එකම පවුලක සහෝදරියන් තිදෙනෙකි. අවුරුදු 12, 15, 19 වයස්‌වල සිටින මේ අය පැවිදි ජීවිතයට එළඹ ඇත්තේ අවුරුදු 9, 12, 15 වයස්‌වලදී ය. නිමේෂිකා (බාලයා) මොරහෙළ කුසලනන්දා නමින් ද නදීශංකා (මද්දුමයා) මඩුල්ලේ සුදාරිකා නමින් ද, දුනීසා (වැඩිමලා) මොරහෙළ උපේක්‌ඛා නමින් ද මෙසේ මහණ බවට පත්ව තිබේ. පවුලේ සිටි දියණිවරු තිදෙනාම සසුනට පූජා කළ ගුණවතී මවත්, පොඩිසිඤ්ඤො පියාත් ආත්ම ගණනකට පිං රැස් කරගත් බව ඒ මෑණිවරු කීවෝය.
සුදුපාට රැළි ගවුම, පොත් මිටිය, මිතුරු ඇසුර, කෙළි සෙල්ලම්, දෙමවුපිය උණුසුම පුංචි කාලෙදිම අතහැර දමා සංසාරගත පුරුද්දට මෙන් කසාවත ඇඳි මේ සාමණේර මෙහෙණින් වහන්සේගේ අනාගතය අඳුරු නොවේවා යි මේ උතුම් පුන් පොහෝ දා අපි ප්‍රාර්ථනා කරමු
තුෂාරී කළුබෝවිල
ඡායාරූප - සුජාතා ජයරත්න