යාපහුව රාජධානිය බිහිවූ හැටි

වංශ කථා මගින් අනාවරණය වන තොරතුරුවලට අනුව අනුරාධපුර හා පොළොන්නරුව රාජධානි යුගයන්ගෙන් පසු වයඹ පළාතේ බිහිවූ දඹදෙණිය, යාපහුව සහ කුරුණෑගල රාජධානි තුන අතුරින් යාපහුව රාජධානිය සුවිශේෂ වූ වග පෙනෙයි. යාපව්ව, යාපහුව, යාපව්, යාපහු, යාපහුනුව, සුභාගිරිපුර, සුන්දර ගිරි පබ්බත, සුන්දර ගිරිපව්ව, යාපා පුර, සුභ පබ්බත යනාදී වශයෙන් යාපහුවට නම් රැසකි. සුභ නම් සෙනවියෙකු විසින් යාපහුව නගරයක්‌ කරවා තදාසන්න ප්‍රදේශ පාලනය කර තිබේ. සුභ සෙනවියා නිසා සුභාගිරිපුර, සුභපබ්බත යනුවෙන් ව්‍යවහාර වූ වග පසක්‌ කළ හැකිය.

මෙම පෞරාණික රාජධානිය කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ වන්නි හත්පත්තුවේ පහළ විසිදෙකේ කෝරළේ මහව නගරයට සමීපව පිහිටා ඇත. මහව නගරයේ සිට කිලෝමීටර් 07 ක්‌ පමණ දුරින් යාපහුව මහා විද්‍යාලය අසලින් ඇති පාරෙන් යා හැකිය. දුම්රියෙන් පැමිණෙන අයට මහව මං සන්ධියෙන් බැස යා හැකිය.

යාපහුව රාජධානියක්‌ ලෙසින් පැවතියේ වසර 11 ක්‌ පමණය. ඒ පළමුවැනි බුවනෙකබාහු රජ සමයේය. (ක්‍රි. ව. 1273 - 1284) යාපහුව බලකොටුවට නැගෙනහිර දිසාවෙන් ඇතුළු විය හැකිය. මෙහි දැනට ඇති පන්සල ඉදිවී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේය. (ක්‍රි. ව. 1747 - 1782) පූජ්‍ය නෙත්තිපොල භික්‌ෂූන් වහන්සේ විසින් පන්සලක්‌ ඉදිකරවා එහි වැඩ වාසය කර ඇත.

යාපහුව පුරාණ බලකොටුවකි. මෙය දෙවැනි වන්නේ සීගිරි බල කොටුවටයි. සීගිරිය බලකොටුවක්‌ නොවූවත් පර්වතය මුදුනේ මට සිළුටු අලංකාර රජ මැඳුරක්‌ කාශ්‍යප රජු විසින් ඉදිකරන ලද බව වංශ කථා මගින් කියෑවේ. වංශ කථාවලට අනුqව යාපහුව පර්වතය මත ආලකමන්දාවක්‌ වැනි පුරයක්‌ සුභ නමැති සෙනවියා විසින් ඉදිකළ වග ගම්‍ය වෙයි.

යාපහුවට අදාළව පුරා විද්‍යා ගවේශනයන් සිදුකර ඇත්තේ මුල්ම පුරා විද්‍යා කොමසාරිස්‌ වරයා ලෙස සේවය කළ එච්. සී. පී. බෙල් මහතාගේ සේවා කාලය තුළය. එතුමාගේ සේවා කාලයේ අවසන් වසර වූ 1911 - 1912 මේ ගැන ගවේෂණ හා කැනීම් කටයුතු සිදුකර ඇති බවට පුරා විද්‍යා ස( අධ්‍යක්‌ෂ සිරිසමන් විඡේතුංග මහතාගේ කෘතියකින් හෙළිවෙයි. මෙම ගවේශණයන්ට අනතුරුව මීට වසර කීපයකට පෙර පුරා විද්‍යා දේපාර්තමේන්තුව විසින් කරන ලද ගවේශනයට අදාළව යාපහුව පර්වත මුදුනේ ජනාවාසයක්‌ පැවැති බවට තහවුරු වී තිබේ. කාල රක්‌ත වර්ණ මැටි බඳුන් පර්වත මුදුනින් සොයාගෙන ඇත. මීට අමතරව පර්වත මුදුනේ පුරා විද්‍යා ස්‌මාරක 32 ක්‌ සොයාගෙන තිබේ. බෙල් මහතාගේ සේවා කාලයේදීද පුරා විද්‍යා ස්‌ථාන 04 ක්‌ පමණ සොයා ගත් බව අනාවරණය වෙයි. පර්වත මුදුනේ හා ඊට සමීප ප්‍රදේශයේ ගවේශන කණ්‌ඩායම විසින් පුරාවිද්‍යා ස්‌මාරක දෙසීයකට ආසන්න සංඛ්‍යාවක්‌ සොයාගෙන ඇති බවටද වාර්තාවෙයි. පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි (බ්‍රාහ්මී අක්‍ෂර සහිත) කීපයක්‌ මීට පෙර හමුවූ අතර දෙවැනි ගවේෂණයේදීද බ්‍රාහ්මී ලෙන් ලිපි දෙකක්‌ සොයා ගැනිණි. අප රටට බුද්ධාගම දායාද වූ ක්‍රිස්‌තු පූර්ව තුන්වන සියවසේ සිට මහා සංඝරත්නය වැඩසිටි පුද බිමක්‌ ලෙස යාපහුව නම් කළ හැකිය. සිංහල බෝධිවංශටීකාවට අනුව දෙතිස්‌ ඵල රුහ බෝධීන් වහන්සේලාගෙන් එක්‌ බෝ පැළයක්‌ යාපව් සුන්දර ගිරි පව්ව භූමියේ රෝපණය කරවා තිබේ. මින් ගම්‍ය වන්නේ ක්‍රිස්‌තු පූර්ව තුන්වන සියවසේදී යාපහුවේ විහාරස්‌ථානයක්‌ හා පුදබිමක්‌ පැවැති බවකි. පොලොන්නරුව රාජධානිය පරිහානියට ලක්‌වීමත් සමගම යාපහුව කෙමින් කෙමින් ප්‍රසිද්ධියට පත්ව රාජතාන්ත්‍රිකව වැදගත් ස්‌ථානයක්‌ බවට පරිවර්තනය වීමෙන් රාජධානියක්‌ වූයේය.

පූජාවලිය ග්‍රන්ථයට අනුව තුන්වැනි විජයබාහු රජතුමා කාලිංග මාඝ ආක්‍රමණවලදී බෞද්ධ ශිෂ්ටාචාරය හා සිංහල ජාතිය රැක ගැනීමේ බලවත් සංග්‍රාමයක යෙදුණ බව පෙනේ. විජයබාහු රජතුමාගේ රාජ්‍ය පාලන කාල සීමාව වූයේ (ක්‍රි. ව. 1232 - 1236) වසර පහක කාලයකි. මාඝ ආක්‍රමණ සිදුවෙද්දී විජයබාහු කුමරු වන්නියේ රජකම් කරමින් දෙමළ සතුරු පිරිස්‌ මැඬලීමට දඹදෙණි පව්වේ පුරයක්‌a කරවා රට පාලනය කළ බව වංශ කථාවලින් කියෑවේ. විජයබාහු රජතුමාගේ පුත් දෙවැනි පරාක්‍රමබාහු කුමරු (කි. ව. 1236 - 1266) දඹදෙණිය අගනුවර ලෙස පවත්වාගෙන රටේ පාලන කටයුතු මෙහෙය වීය. දෙවැනි පරාක්‍රමබාහු රජුගේ පුතෙකු වූ බුවනෙකබාහු කුමරුට ඒ වන විට යාපහු ප්‍රදේශයේ පාලන කටයුතු කිරීමට ඉඩ සලස්‌වා තිබිණි. දෙවැනි පරාක්‍රමබාහු රජුගේ තවත් පුතෙකු වූ සිව්වැනි විජයබාහු කුමරු යාපහුව නුවරක්‌ ලෙසින් වැඩි දියුණු කළේය. ඒ වන විට එහි චන්ද්‍රභානු නමින් ජාවක ආක්‍රමණිකයා යාපහු පර්වතය වටේට කඳවුරු බැඳගෙන සිටියේය. ඔහු හා සටන් කර පරදවා යාපහුව රාජධානියක්‌ බවට පත් කිරීමට සිව්වැනි විජයබාහු කුමරු කටයුතු කළේය.

පූජාවලියේ සඳහන් තොරතුරුවලට අනුව සිව්වැනි විජයබාහු කුමරු ( දෙවැනි පරාක්‍රමබාහු රජුගේ දෙටු පුත්) දඹදෙණියේ සිට යාපහුවට පැමිණි චන්ද්‍රභානුගේ හමුදාව සමග සටන්කර ඔහු පන්නා දමා යාපහුව උස්‌ පවුරින් හා දිග අගල්වලින් යුතුව ශක්‌තිමත් බල කොටුවක්‌ බවට සකස්‌ කර රාජ මන්දිරයක්‌ද කරවා තිබේ. මෙහි පාලනාධිකාරී බලය පළමුවන බුවනෙකබාහු කුමාරයාට පැවරිණි. දඹදෙණියේ රාජ්‍යත්වය ලැබූ සිව්වැනි විජයබාහු රජු (ක්‍රි. ව. 1271 - 1272) අනපේක්‌ෂිතව තමාගේම ඇමැතිවරයෙකු විසින් මරණයට පත් කිරීම නිසා හිස්‌ වූ රාජ තනතුරට පළමුවැනි බුවනෙකබාහු (දඹදෙණියේදී) පත්විය. පළමුවැනි බුවනෙකබාහු යනු සිව්වැනි විජයබාහු රජුගේ සහෝදරයෙකි. සිව්වැනි විජයබාහු මරණයට පත්කළ ඇමැතිවරයාට "මිත්‍ර" යනුවෙන් ආමන්ත්‍රණය කෙරිණි. පළමුවැනි බුවනෙකබාහු රජුට සතුරු අක්‍රමණවලින් වැළකීම සඳහා දඹදෙණියට වඩා ආරක්‌ෂිත ස්‌ථානයක්‌ වූ යාපහුවට පැමිණ එහි රජකම් කළේය. මෙයින් පැහැදිලි වන්නේ යාපහුව බල කොටුව රාජධානියක්‌ බවට පරිවර්තනය වීමයි. එය ස්‌ථීර ලෙසම රාජධානියක්‌ බවට පත්ව ඇත්තේ පළමුවැනි බුවනෙකබාහු රජ සමයේය. (1272 - 1284)

බුවනෙකබාහු රජුගේ අභාවයෙන් පසු ආර්ය චක්‍රවර්ති නමින් වූ සෙනවියෙකු ලංකාවට පැමිණ උතුරු ප්‍රදේශය අල්ලාගෙන යාපහුව රාජධානියද ආක්‍රමණය කර දන්ත ධාතුන් වහන්සේත් පාත්‍රා ධාතුන් වහන්සේත් රැගෙන පඬිරටට යෑවීමට කටයුතු කර ඇත. පසුව මෙම අති පූජනීය වස්‌තු සිව්වැනි පරාක්‍රමබාහු රජ සමයේ ලංකාවට වැඩමවා තිබේ.

යාපහුව රාජධානියේ විසූ ද්‍රවිඩයන්ගෙන් සිදුවන උවදුරු මැඬලීම සඳහා මිසරයේ රජු සමග සබඳතා ඇති කර ගැනීමට කටයුතු කරන ලදුව, ඒ සඳහා එරටට යෑව් දූත පිරිස ආපසු මෙහි ඒමට පෙර මරණයට පත්විය. එකම රජ කෙනෙකුගේ සේවා කාලයෙන් (ක්‍රි. ව. 1272 - 1284) එනම් වසර 11 කින් යාපහුව රාජධානිය බවට පත්විය. ඉන්පසු කුරුණෑගල ඊළඟ රාජධානියක්‌ බවට පත්විය.

මෑත භාගයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද ගවේෂණ කටයුතු මගින් වූ අනාවරණයේදී යාපහුවට ගල්කණු ගල් පුවරු ලබාගත් ස්‌ථාන හඳුනාගෙන තිබේ. දළදා මාලිගයට යැම සඳහා ඉදිකර ඇති කළුගලින් නෙළන ලද සෝපානයන්ද ඊට ඉහළින් වූ මකර තොරණ සහ කැටයම්ද මනරම්ය. 1949 වර්ෂයේදී යාපහු දකුණු දොරටුවෙන් චීන කාසි 1352 ක්‌ සොයා ගෙන තිබේ. මීට ඉහත එනම් 1911 වර්ෂයේදීද චීන කාසි සොයාගත් බව වාර්තා වේ. මේ පැරැණි කාසි ක්‍රි. ව. 976 - 1223 අතර චීනයේ වාසය කළ අධිරාජ්‍යවරයාගේ සමයේ භාවිත කළ මුදල් ලෙස පිළිගෙන තිබේ. 1949 දී සොයාගත් චීන කාසි ක්‍රි. ව. හත්වන (07) සියවසේ චීනයේ අධිරාජ්‍යා වූ කව්ත්සුං ගේ සමයට අයත්වෙයි. මෙම කාසි තොගය පොළොව කැනීමේදී වළදමා තිබූ මැටි කළයකින් සොයාගෙන ඇත.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් යාපහුව රාජධානියේ අතීත වැදගත්කම පසක්‌ කරනුවස්‌, තවත් ඉදිරියේදී ගවේෂණ හා කැණීම් කටයුතු කළහොත් වටිනා කියන දේවල් ගැන තොරතුරු අනාවරණය කර ගත හැකි වනු ඇත.

මෙම ලිපිය සැකසීමට "වල්ලිපුරම් සන්නස හා හෙළ උරුමය මැයින්" සිරිසමන් විඡේතුංග මහතා විසින් රචිත ග්‍රන්ථය පාදක කර ගතිමි.

මීරිගම - ආර්. ඇම්. ටී. බී. රත්නායක