කර්තෘ-බෙල්ලන්විල විමලරතන අනු නා හිමි
සරසවි ප්‍රකාශකයෝ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය හා එහි වර්තමාන කුලපති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ අලුත්ම ග්‍රන්ථය බුදු පිළිමයට පෙර බුදුහාමුදුරුවෝ නමින් නොබෝදා උත්සවාකාරයෙන් පාඨකයා අතට පත්විය. සරසවි ප්‍රකාශකයෝ සමාගම මගින් මරදානේ කරුණාරත්න මුද්‍රණාලයෙන් කල් පවතින කොල භාවිත කරමින්ද දර්ශනීය අන්දමින් ද මුද්‍රණය කර තිබේ. ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කරමින් වුවද මෙවැනි සාහිත්‍ය සේවාවල යෙදීම ගැන ප්‍රථමයෙන් ම ප්‍රශංසා සහිත ගෞරව පූර්වක ප්‍රණාමය උන්වහන්සේට පුදකර සිටීමට කැමැත්තෙමි.
පරිච්ෙ-ද හතක් යටතේ ප්‍රස්‌තුතය විග්‍රහ කරන අප අනුනාහිමියෝ සම්මානිත මහාචාර්ය චන්ද්‍රd වික්‍රමගමගේ විසින් එවන ලද ලුහුඬු එහෙත් මාහැඟි පෙරවදනක්‌ද මහාචාර්ය චන්දිම විඡේබණ්‌ඩාර විසින් සපයන ලද එවැනි ම පසුබිමක් ඇති පසුවදන නමින් අද හඳුන්වනු ලබන හැදින්වීමක්‌ද තම ගතෙහි බහාලති. පළමුවන පරිච්ඡේදය ප්‍රවේශය නමිනි. එය ඉසිඹුලන්නේ "ඉදිරියේදී අපගේ අවධානය යොමු කරනු ලබන්නේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වීමට පෙර කලාකරුවන් විසින් බුදුන් වහන්සේ සංකේත මගින් නිරූපණය කර ඇති ආකාරය පිළිබඳවය." යන සුමට ප්‍රවේශ වැකියෙනි. බුද්ධ වන්දනා ඉතිහාස කතාවේ මෙම පූර්වභාගය තාමත් දූවිලිභරිතය. තමන් වහන්සේ දැකිය හැක්‌කේ ධර්මය දැකීමෙනි යන බුදු වදන දෙවන තැනට ලා බුදුපිළිම නිර්මාණයටත් ඊට පෙර ධර්මචක්‍රය, සිරිපතුල් ගල්, ආසන හා දීපරුක්‌ඛ වැනි අමානවරූපී සංකේතත් ව්‍යවහාරයට ආවේ බුදු දහම ප්‍රචාරණ මාධ්‍යය විසින් ගිලගත් නිසාය. ආධ්‍යාත්මික සංයමය අභිබවා භක්‌තිවාදය කරපින්නා ගැනීම නිසාය. මෙහි පුරෝගාමියෝ මහා සාංඝිකයන්ගෙන් ප්‍රභවය වූ මහායාන යතිවරුය. දශක කීපයක් තුළ එයට පසුබිම වූ හේතු වූ සාධක සාකච්ඡා වී ඇත. එහෙයින් ඒවා නැවත කලඑලියට ගෙන ඒම පල රහිත යෑයි සිතූ නිසාදෝ මෙම කතුවරයන් වහන්සේ තද් සංකේතයන්හි ප්‍රභවය හා විකාශය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි සාහිත්‍යමය හා පුරාවිද්‍යාත්මක සාධක එසේ නොමැති නම් තත් චෙතිය පිළිබිඹු කරන ඓතිහාසික සාධක, ශාස්‌ත්‍රීය අංගෝපාංග හා අරමුණු සහිතව ව්‍යාඛ්‍යාන කිරීමට මෙම ගතින් වෙර දරති. බුදු පිළිමයේ විවිධ අංශ ආවරණය කරමින් බුදු පිළිමය මුද්‍රd හා ආසන (1991& Concept of Great Man in Buddhist Literature and Iconography ^1994) බුද්ධ ප්‍රතිමා කලාව සහ බුදුපිළිමයේ විකාශනය, (1995) ඈ ශාස්‌ත්‍රීය ප්‍රබන්ධ හා වෙනත් ලිපි ලේඛන රැසක් පළ කොට ඇති මෙම හිමිපාණන් වහන්සේ මේ ඌනතාව පිරිමැසීම සඳහා පූර්ණ පරිචයකින් සමන්විත වන්නාහ.
උන් වහන්සේගේ දෙවන පරිච්ඡේදයේ ආරම්භක ඡේදය එය සනාථ කරන සාධකයක් වැන්න. එය උපුටා දක්‌වමි. "බෞද්ධ කලා ශිල්ප සහ පූජනීය වස්‌තු ඇති වූ මුල් යුගයේ දී බුදුරජාණන් වහන්සේ වෙනුවට කිසියම් සංකේතයක් භාවිත කරමින් උන්වහන්සේ නිරූපණය කළා මිස ශාරීරික ස්‌වරූපයෙන් පෙන්නුම් නොකළ බව පැහැදිලි කරුණකි. එවැනි නිරූපණයන් ඉතා සැලකිල්ලෙන් අධ්‍යයනය කර එම සංකේත වලින් කවර කාර්යයක් ඉටුවූයේද ඒවා මගින් ඉදිරිපත් කරන ලද සුවිශේෂිත අර්ථය කුමක්‌ද? ඊට අදාළ කවර වෙනස්‌කම් හඳුනාගත හැකිද? යන කරුණු මෙහිදී සලකා බැලීම වැදගත් වෙයි."
මෙම ප්‍රකාශය සමස්‌ත ග්‍රන්ථය පිඬුකොට දැක්‌වීමක් යෑයිද හැඟේ. මෙසේ ඇරඹෙන දෙවන පරිච්ඡේදය මිඩංගු කර ඇත්තේ බුද්ධ චරිතය නිරූපණය කරනු ලබන සංකේත හා මානවරූපී කැටයම් හඳුන්වා දීමටය. එහි දී ක්‍රි.පූ. දෙවන සියවසට අයත් භාරුත් කැටයම් අතර ඇති මහා කපි ජාතකය, එහි හා අමරාවතී ස්‌ථූපයේ ඇති මායාදේවියගේ සිහිනය නිරූපිත කැටයම් දෙක සාංචි ථූපයෙන් ලැබී ඇති බෝසතාණන් මවු කුස පිළිසිඳ ගැනීම දැක්‌වෙන කැටයම අර්ථවර්ණනා සහිතව ඉදිරිපත් කර ඇත. තෙවන පරිච්ඡේදය බුද්ධෝත්පත්තියට අදාළ කැටයම් සාධක ගෙන හැර පායි. මෙහි ඇති මායා දේවියගේ සිහිනය නිරූපිත කැටයම් එක්‌කෝ දෙවන පරිච්ඡේදය යටතට ගෙන යා යුතුය. නැතිනම් දෙවන පරිච්ඡේදයට ගොනුකොට ඇති මේ අවස්‌ථාව නිරූපිත කැටයම් මෙම පරිච්ඡේදයට ගෙන ආයුතු වේ. එසේත් නොමැති නම් මෙම පරිච්ඡේද දෙකම එක්‌කොට බුද්ධ චරිතය නිරූපණය කරනු ලබන කැටයම් යනුවෙන් නම් කළා නම් වඩා ශාස්‌ත්‍රීය යෑයි සිතේ.
සිවුවන පරිච්ඡේදය බුද්ධත්වය නිරූපිත කැටයම් සංකේත වලින් සමන්විත වේ. එහි දී භාරුත් ස්‌ථූපය ඇතුළු ඉන්දියාවේ විවිධ ස්‌ථාන වලින් සොයාගනු ලැබූ බෝධි වෘක්‍ෂ සහිත කැටයම් රැසක් ඉදිරිපත් කර තිබේ. එම සංකේත හා සමඟ විපස්‌සී, සි‚, වෙස්‌සභූ, කකුසඳ, කෝනාගමන හා කස්‌සප යන බුදුන්ගේ නම් සඳහන් වීම විශේෂත්වයක් වේ. ලාංකික පුරාවස්‌තුවල ආසන, බෝධිය හා සිරිපතුල් ඇතත් එසේ ලිපි දක්‌නට නොලැබීම ඌනතාවක් වේ. මේ කැටයම් වලට අමතරව සුජාතාවන්ගේ කිරිපිඬු දානය හා මාරපරාජය නිරූපිත කැටයම් වෙයි. පස්‌වන පරිච්ඡේදය ප්‍රථම ධර්ම දේශනා කැටයම් සංකේත අරබයා රචිතය. ඒවායේ බුදුන් වහන්සේ නිරූපණය කොට ඇත්තේ ධර්ම චක්‍රයෙනි. ආරම්භයේදී එක් ධර්ම චක්‍රයක් පමණක් කැටයමට එක් කළ අතර ක්‍රි.ව. තුන්වන සිය වස වන විට එය චක්‍ර තුනක් දක්‌වා වර්ධනය වූ අයුරු ලොරියන් තංගයි ගන්ධාර කැටයමින් පෙනී යයි. "මෙහි ඇති චක්‍ර තුන මගින් මූර්තිමත් කරන්නේ ඉහත සඳහන් කළ ආකාරයට ත්‍රිපරිවර්ත වූ චතුරාර්ය සත්‍යයයි. සමහර විචාරකයන් ප්‍රකාශ කරන පරිදි මෙය ත්‍රිවිධ රත්නයේ මූර්තිය හෝ සක්‌විති රජුගේ චක්‍රය, අශෝක රජුගේ චක්‍රය, අෂ්ට ලෝක ධර්ම චක්‍රය වැනි වෙනත් අර්ථයකින් නිර්මාණය කරන ලද්දක් නොවන බව ධර්මයට සවන් දෙමින් වන්දනා කරනු භික්‍ෂූන් හා දෙවිවරුන් මගින් පැහැදිලි වේ." යන කීම සමඟ මම එකඟ වෙමි.
හයවන පරිච්ඡේදය බුද්ධ පරිනිර්වාණය නිරූපණය කරනු ලබන කැටයම් වලට වෙන් කොට ඇත. එහිදී බුදුන් වහන්සේ නිරූපණය කර ඇත්තේ ස්‌ථූපය මගිනි. ස්‌ථූපයේ ප්‍රභවය පර්වත වන්දනය හා මළවුන් පිදීම හා බැඳී පවතී. මෙම කැටයම් සංකේත එම දෙවන කරුණ තහවුරු කරයි. ක්‍රි. පූ. තුන්වන සියවසට අයත් යෑයි සලකනු ලබන නාගාර්ජුන කොණ්‌ඩ කැටයමේ බුද්ධත්වය බෝරු කෙන්ද, ප්‍රථම ධර්ම සංගායනාව ධර්ම චක්‍රයෙන්ද, මහා පරිනිර්වාණය ස්‌ථූපයෙන්ද එක්‌වර නිරූපණය කර තිබීම එහි සංකේත තුන එක් කැටයමකින් බලා ගැනීමට ඉඩ පහසුකම් සලසයි. අවසාන පරිච්ඡේදය සංකේත මගින් නිරූපණය කරන බුද්ධ චරිතයේ වෙනත් අවස්‌ථා පැහැදිලි කිරීම සඳහා වෙන් වෙයි. මෙහිදී යමාමහ පෙළහර පෑම, තුසිත දෙව්ලොව සිට සංකස්‌ස නුවරට වැඩම කරවීම, වඳුරු රජෙකු මීපැණි පූජා කිරීම විදහා පෙන්වන කැටයම් වෙයි. මේවායේ බුදුන් වහන්සේ නිරූපණය කර ඇත්තේ ශ්‍රීපාදය, බෝධිය හා ආසනය මගිනි.
මෙසේ බුද්ධ නිරූපිත අපූර්ව කැටයම් සංකේත සංචිතයක් ව්‍යාඛ්‍යාන සහිත අප අතට පත් කිරීමෙන් බුදු පිළිමයට පෙර බුදුන් වහන්සේ කවුද යන්න කතුවරයාණන් වහන්සේ විසින් මැනවින් පැහැදිලි කර ඇත. එහෙයින් මෙම මාහැඟි ග්‍රන්ථය බුද්ධවිද්‍යා (Buddhalogy) විෂය ක්‌ෂේත්‍රය පෝෂණය කිරීමට අනුපම දායකත්වයක් සපයන බව කිය යුතුවේ. මෙය ඉංග්‍රීසියට නගා පළ කරතොත් තව විපුල පල අත්වනු ඇත.
මහාචාර්ය, ඇස්. බී. හෙට්‌ටිආරච්චි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති