ජාතික විධායක සභාව සිංහලයා ප‍්‍රකෝප වන ප‍්‍රකාශ ජනාධිපතිගේ කටින් ගන්නවා

රණවිරුවන් දිවිපුදා සාමය හා ස්ථාවරභාවයව ඇති කළ රට තුළ යළිත් බෙදුම්වාදය ශක්තිමත් කිරීමට  ඕනෑ කරන ‘විෂබීජ’ පතුරුවා හැරීමට තම දෙදින නිල සංචාරය තුළ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර  මෝඩි මහතා කටයුතු කරන ලදැයි ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

අද(19) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

‘නරේන්ද්‍ර මෝඩි මැතිතුමා මේ රටට ආවේ ඉන්දියාවේ අග‍්‍රාමාත්‍යවරයා විදිහට නම් ඔහු ඉහළ පෙළේ රාජතාන්ත‍්‍රිකයකු ලෙස ශ‍්‍රී ලාංකීය ජනතාව විසින් පිළිගත යුතුයි. නමුත් එතුමා මේ රටේ පාර්ලිමේන්තුවට පැමිණිලා වගේම උතුරු ප‍්‍රදේශයට ගිහිල්ලා සිදු කළ බලපෑම, මැදිහත්වීම මේ රටට ආදරය කරන කිසිවකුටත් අනුමත කරන්න බැහැ.

මේ රටේ ජාතික ගැටළුවට විසඳුම විදිහට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාට ගිය විසඳුමක් ලබා දිය යුතුයි කියන එක පසුගිය 13 වැනිදා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී නරේන්ද්‍ර මෝඩි මැතිතුමා අවධාරණය කළා. උතුරට ගිහිල්ලා උතුරු පළාතේ මහ ඇමති සී.වී විග්නේෂ්වරන් මුණගැහිලා ‘13න් එහාට ගිය විසඳුමක් ලබා දෙන බවට’ විශ්වාසය ඇති කළා.

බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරදවා රට තුළ සාමකාමී ස්ථාවර වාතාවරණයක් ගොඩ නගා තිබියදී නරේන්ද්‍ර මෝඩි මැතිතුමා පැමිණ සිදු කළේ කුමක්ද? යළි මේ රට තුළ බෙදුම්වාදයට උඩගෙඩි දීම නේද? අවුරුදු 30කට අධික කාලයක් තිස්සේ ඇදී ගිය ලේ වැකි යුද්ධය අවසන් කරලා, තවම වසර 05යි. යුද්ධය නිසා තුවාල වුණු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සිත් සුවපත් වෙමින් තිබියදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙසේ හැසිරීම රටට අදාරය කරන දේශපාලන පක්‍ෂයක්  ලෙස අපට අනුමත කරන්න බැහැ. ‘බෙදුම්වාදී තුවාලයට’ යළිත් විෂබීජ එකතු කරලා එය උග‍්‍ර අතට හැරවීමයි මෙහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සිදු කළේ.

අද(19) මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණා, ඉන්දීය මධ්‍යම රජයේ රාජ්‍ය අමාත්‍ය වෙත්තයියා නායිදු කළ ප‍්‍රකාශයක්. ඔහු කියා තිබුණා, ‘13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගොස් දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුමක් දිය යුතු යැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි දුන් උපදෙස් අනුව ශ‍්‍රී ලංකා රජය කටයුතු කළ යුතුයි’ කියා. මේ තමයි අද ඉන්දියාව අපේ රටට කරන බලපෑම.

1987දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට ඉතාමත් අපකීර්තිමත් අන්දමට තමයි පිටව යාමට සිදු වුණේ. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී ඉන්දියාව අපට කළ බලපෑම ඉතා විශාලයි. නමුත් 2015දී පැමිණි වත්මන් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එදාට නොදෙවැනි බලපෑමක් ශ‍්‍රී ලංකාවට සිදු කරලා මේ ‘යහපාලන ආණ්ඩුවෙන්’ කීර්තිමත් ලෙස සැලකුම් ලබා පිටව ගොස් තිබෙනවා.

ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාවට මෙවැනි බලපෑම් සිදු කරනු ලබන්නේ තම ආර්ථික උවමනාවන් ඉටුකර ගැනීමටයි. ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි, සාම්පූර් විදුලි බලාගාරය වැනි ආර්ථික මර්මස්ථාන තමන් සතුකර ගැනීම ඉලක්ක කර ගෙනයි ඉන්දියාව මෙලෙස ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්නයකට අත පොවන්නේ. ශ‍්‍රී ලංකාව තුළ බෙදුම්වාදය උත්සන්න කොට ඊට මැදිහත්වන බව හගවමින් ශ‍්‍රී ලංකාවේ සාරය උරා බීමයි ඉන්දියාවේ උපාය මාර්ගය වී ඇත්තේ.

නරේන්ද්‍ර මෝඩි මහතාගේ ප‍්‍රකාශය තුළ තිබුණේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ගැටුම් අවුලූවන අන්තර්ගතයක්. ඔහුට සංහිඳියාව ඇති කරවීමට අවශ්‍ය වුණා නම් ඔහුගේ කතාව මීට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගත යුතුව තිබුණා. සාමය, ස්ථාවරත්වය දිනා ගත් ශ‍්‍රී ලංකාව ඒකීය ශක්තිමත් රටක් ලෙස ජාතික සමගියෙන් යුතුව පෙරට යා යුතුය කියන පණිවිඩය ඔහු ලබා දිය යුතුව තිබුණා. මුස්ලිම්, දෙමළ ජනතාවට නිසි පාර්ලිමේන්තු නියෝජනයක්, පළාත් සභා නියෝජනයක් ලැබී තිබෙනවා. සිදු වී ඇති සාධනීය වෙනස්කම් දකිමින් පුළුල් විග‍්‍රහයක් තමයි ඉන්දීය අගමැතිවරයාගෙන් සිදු විය යුතුව තිබුණේ. නමුත් ඔහු මේ රටේ බෙදුම්වාදය තවදුරටත් පතුරුවන්න  ඕනෙ කරන විෂබීජ ප‍්‍රමාණයක් පතුරුවා හැරීමයි සිදු කළේ.

එදා ඉන්දියානු හමුදාව මේ රටට ආපු වෙලාවේ සිවිල් ජනතාව ඊට එරෙහිව පාරට බැස්සා. එවැනිම බලපෑමක් අදත් සිදුව ඇතත් ජනතාවගේ ඇස්වලට ‘යහපාලන’ වැලි ගහලා, තිබෙන නිසා රට තුළ ‘සීතල’ වාතාවරණයක් තිබෙන්නේ. මා පෙර පෙන්වා දුන් ඉන්දීය මධ්‍යම රජයේ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයට විදේශ අමාත්‍යාංශය විසින් නිසි ප‍්‍රතිචාර දැක්විය යුතුයි. කොන්ද කෙලින් තියා ගෙන පැහැදිලි ප‍්‍රකාශයක් නිකුත් කළ යුතුයි. ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරයා කියනවානේ, ‘මෝඩි අගමැතිවරයා ලබාදුන් උපදෙස් අනුව ශ‍්‍රී ලංකා රජය කටයුතු කළ යුතුයි’ කියලා. එහෙම උපදෙස් දීපු බවක් ජනතාව දන්නේ නැහැනේ. එහෙම උපදෙස් දීලා තියෙනවා නම්, ‘ඒ උපදෙස් මොනවාද?’ කියා මේ ආණ්ඩුව රට හමුවේ අනාවරණය කළ යුතුයි.

ජනාධිපතිවරයා, ජාතික විධායක සභාව, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය යන මේ රටේ විධායක බලය හිමි සියලූ දෙනා මේ තත්ත්වයට වගකිය යුතුයි. මොවුන් තමන්ට ‘මෝඩි මැතිතුමා’ ලබා දුන් උපදෙස් මොනවාද කියා රට හමුවේ අනාවරණය කළ යුතුයි. එසේ උපදෙස් ලබා දීමක් සිදු කර නැත්නම්, ඉන්දියානු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂේප කරමින් ඉන්දියානු රජයට ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කළ යුතුයි. එසේ කොට රටේ ගෞරවය රැකිය යුතුයි.

මේ අටවාගෙන තියෙන ජාතික විධායක සභාවේ අද කතා කරන්නේ මොනවාද? දින 100 වැඩපිළිවෙළ ‘වඩා සක‍්‍රීයව ඉදිරියට රැගෙන යාමට’ පිහිටු වූ බව කියන මේ ජාතික විධායක සභාවේදී මනෝ ගනේෂන් මහතා පවසා ඇත්තේ කුමක්ද? ‘ජාතික ගීය අපට දෙමළ බසින් ගායනා කරන්න  ඕනෙ’ කියලයි. එයා කියලා තියෙන්නේ. අද මනෝ ගනේෂන් මහතා මේ ජාතික විධායක සභාව පාවිච්චි කරනවා තමන්ගේ බෙදුම්වාදී උවමනාවන් වෙනුවෙන්. මෙතැනදී ජනාධිපතිතුමාටත් වගකීමක් තිබෙනවා කාටත් සාධාරණ, කාටත් එකග විය හැකි ප‍්‍රකාශයක් සිදු කිරීමට. අද තිබෙන විශාලතම ප‍්‍රශ්නය, ‘ජාතික ගීය ගායනා කළ යුත්තේ සිංහලෙන්ද, දෙමළෙන්ද, ඉංග‍්‍රීසියෙන්ද?’ කියන එක නොවෙයි. මීට වඩා බරපතළ ප‍්‍රශ්න රුසක් ‘ජාතික ගැටළුවට’ අදාළව තිබෙනවා. නමුත් ඒ සියල්ල පසෙක තිබියදී ජාතිවාදය අවුලූවන්න පුළුවන්, මේ රටේ සිංහල ජනයා ප‍්‍රකෝප කරන්න පුළුවන් ප‍්‍රකාශ මේ රටේ ජනාධිපතිවරයාගේ කටින් නිකුත් කරවා ගන්න තැනක් බවට ජාතික විධායක සභාව අද පත්ව තිබෙනවා. මේ ප‍්‍රකාශයට නිසි පිළිතුරු දෙන්න කොන්ද පණ තිබෙන කිසිවකු මේ ජාතික විධායක සභාවේ ඉදලා නැහැ. මෙවැනි ප‍්‍රකාශ නිකුත් කරන ජාතික විධායක සභාව ජාතියෙන් සමාව ගත යුතුයි. එහි සාමාජිකයන් ඉල්ලා අස්විය යුතුයි.

ඉන්දියාව ජනාධිපතිවණයට පෙර ඉදලාම මේ රට අස්ථාවර කරන්න කටයුතු කළා. එහෙම අස්ථාවර කරලා තමන්ට නටවන්න පුළුවන් රූකඩ ආණ්ඩුවක් හදලා තමයි ඉන්දියානු අග‍්‍රාමාත්‍යවරයා ලංකාවට අවේ. මේ රටේ ශක්තිමත් ආණ්ඩුවක් තිබෙන කොට ඔහු මේ රටට ආවේ නැහැ. මේ රටට සාමය රැගෙන විත්, ඉන්දියානු අගමැතිවරයාට උතුරට යන්න පුළුවන් තත්ත්වයක් ඇති කළේ ඒ ශක්තිමත් ආණ්ඩුව විසිනුයි. එහෙම නැතිව ඒ තත්ත්වය ඇති කළේ අද ඉන්දියාවේ පදයට නටන. ඉන්දියාව අද ‘සුජාතභාවය’ දෙන්න හදන රනිල් වික‍්‍රමසිංහගේ සුළුතර ආණ්ඩුව විසින් නොවෙයි. ඉන්දීය අගමැතිවරයාට උතුරේ ගෙදරකට ගිහිල්ලා කිරි උතුරවන්න පුළුවන් තත්ත්වයක් කලින් ආණ්ඩුව විසින් ඇති කොට තිබුණා.

ඉන්දියාව හිතනවා නම්, මේ විදිහට කටයුතු කරලා. මේ රට තමන්ගේ තවත් එක් ප‍්‍රාන්තයක් බවට පත් කර ගන්න, එක සිහිනයක් පමණයි කියලා, අපි කියනවා. 1987දී තිබුණොත් මේ වගේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක්. එදා ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව, ඉන්දියානු ආක‍්‍රමණයට විරුද්ධව සටන් බැදුණු ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයේ තරුණ තරුණියන් 60,000ක් දිවි පිදුවා. මේ රටට සාමය රැගෙන එන්න රණවිරුවන් 30,000ක් දිවි පිදුවා. එවැනි කැප කිරීම් කරලා අද අපි මේ රට සාමකාමී, ස්ථාවර රටක් බවට පත්කර ගෙන තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතා සිත් තුළ යුද්ධය නිසා ඇති වුණු තුවාල සනීප වෙන්න තව ටිකක් කල් යාවි. නමුත් දැන් අපි සියලූ දෙනාට සාමකාමී රටක් හිමිව තිබෙනවා. මේ ඇති වුණු සාමය, ස්ථාවරභාවය වෙනුවට දෙමළ ජාතිවාදී, බෙදුම්වාදයේ ගිනිදැල්වලින් යළිත් මේ රට අවුලූවන්නයි. ඉන්දියාව උත්සාහ කරන්නේ. අපේ ජාතික ප‍්‍රශ්නය විසඳාගන්න පුළුල් ආකාරයට හිතන සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන් ඉන්නවා. ඔවුන් සමග ජාතික සමගිය ගොඩනගන දිශාවකට මේ රට රැගෙන යන්න අපට පුළුවන්. ඒ සඳහා ඉන්දියාවේ සරණ පතා යන්න අපට උවමනා නැහැ’

- අනුරුද්ද බණ්ඩාර