ශ්‍රී ලංකා පිලේ කුසලතා ෆාබේ්‍රස්ට වහ කවයි

නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ සත්කාරය ඇතිව පැවැත්වෙන 11 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 42කින් සමන්විත වූ මූලික වටය දැන් නිමාවට පත්ව ඇත.මීළඟට මාර්තු 18 වැනිදා සිට ඇරැඹෙන අර්ධ අවසන් පූර්ව වටයට නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය සමඟශ්‍රී ලංකාව "ඒ" කොටසින්ද, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් හා පාකිස්තානය "බී" කොටසින්ද සුදුසුකම් ලබා සිටිති.

ඒ අනුව මෙතැන් සිට සෑම කණ්ඩායමකටම මුහුණ දීමට සිදුවන්නේ පැරැදුණොත් ගෙදර යන තරගවලටය.
තරගාවලිය අරඹමින් නවසීලන්තය සමඟ තරග වැදුණු ශ්‍රී ලංකාවට සිදුවූයේ ලකුණු 98ක පරාජයක් පිළිගන්නටය. දෙවැනි තරගයේදී පහසු ප්‍රතිවාදියකු වූ ඇෆ්ගනිස්ථානය හමුවුවද එම තරගයද ශ්‍රී ලංකා පිලට සිතූ තරම් පහසු නොවීය. එහිදී ශ්‍රී ලංකා පිලට කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ප්‍රතිවාදීන්ගේ ලකුණු 232 පසුකරන්නට 49 වැනි පන්දු වාරය තෙක් කල් මරන්නට සිදුවූ නිසාය.


කොහොම වුණත් එම ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ නව පිබිදීමක් දක්නට ලැබිණි. ඒ බව අනතුරුව පැවැති තරගවලදී ඔවුන් පෙන්වා තිබිණි.
මූලික වටය දෙස නැවත හැරී බැලීමේදී අපට සතුටු විය හැක්කේ අපේ පිතිකරුවන් පිළිබඳවය. ඒ අපේ මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනා විසින් ශතක 08ක් වාර්තා කර ඇති නිසාම නොව සංගක්කාර ඉන් ශතක 4ක්ම එක දිගට වාර්තා කරන්නට සමත් වී ඇති බැවිනි.


නවසීලන්තය සමග පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා පිලේ ඉහළම බලාපොරොත්තුව වූ ලසිත් මාලිංග ඔහුගේ පන්දු වාර 10 තුළ ලකුණු 84ක් ලබා දී කඩුලු දවාගන්නට සමත් නොවීය. එහෙත් මූලික වටය අවසන් වනවිට කඩුලු 11ක් දවාගෙන ඇති ඔහු දැන් නැවත ශ්‍රී ලංකා පිලට සතුටුදායක බලාපොරොත්තු ඇති කරගන්නට අවස්ථාව උදාකර දී ඇත. මේ අතර තුවාල ලබා සිටි රංගන හේරත්ද නැවත සුවය ලබා ඊයේ පුහුණු සැසිය සඳහා එක්වෙමින් පන්දු යැවීම ශ්‍රී ලංකා පිලට සතුටුදායක පුවතකි.


එසේ වුවත් තිසර පෙරේරාගේ පන්දු යැවීම හා පිතිකරණය කෙරෙහි
ශ්‍රී ලංකාව ගොඩනඟාගෙන තිබූ බලාපොරොත්තු නම් තවමත් ඔහු ඉටුකරන්නට සමත් නොවීමද විශේෂත්වයක් ලෙස සඳහන් කළ යුතුය.
කොහොම නමුත් මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට ආසියාව නියෝජනය කරන රටවල් පහෙන් හතරක්ම සුදුසුකම් ලබා සිටියදී යුරෝපය නියෝජනය කළ රටවල් තුනම තරගාවලියෙන් ඉවතට විසිවී තිබීමද කැපී පෙනෙන සිදුවීමකි.


යුරෝපීය කණ්ඩායම් අතරින් එංගලන්තයට අත්වූ ඉරණම වඩාත් ඛේදජනකය. තමන්ට අත්කරගන්නට හැකිව තිබූ වාසනාවට පයින් ගසා එංගලන්තයට අත්වූ අවාසනාවේ කොටස්කරුවකු වූ පුද්ගලයකු පිළිබඳ මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පිලද කනගාටු වනු නොඅනුමානය. ඒ කලකට ඉහතදී ඔහු
ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණ වෙනුවෙන් උර දුන් අයකු බැවිනි. අප මේ සඳහන් කරන්නේ පෝල් ෆාබේ්‍රස් පිළිබඳය. ඔහු 2007 වසරේ සහාය පුහුණුකරු ලෙස ප්‍රධාන පුහුණුකරු ට්‍රෙවෝ බේලිස් යටතේ ශ්‍රී ලංකා පිලට එක්ව 2013 වසරේ දෙසැම්බර් 30 වැනිදා ප්‍රධාන පුහුණුකරු ලෙස උසස්වීමක්ද ලැබූවෙකි.
ඔහු යටතේ පසුගිය වසරේ පන්දු වාර 20 ලෝක ශූරතාවද ආසියානු ශූරතාවද ශ්‍රී ලංකා පිල දිනාගත් බැවින් ෆාබේ්‍රස්ට ලැබුණු පිළිගැනීමද ඔහුගේ අගයද ඉහළ ගියේය. ඒ නිසාම ඔහු 2014 අප්‍රේල් මාසයේ එංගලන්ත ක්‍රිකට් පිලේ සහාය පුහුණුකරු ලෙස පීටර් මුවර් සමඟ එක්විණි.


ඔහුගේ එම තීරණය ශ්‍රී ලංකා පිල සමඟ කටයුතු කොට ඔහු ලබාගත් දීප්තිය අඳුරු වීමට බලපාන බව දැන් ඔහුට අවබෝධ වී ඇතිවාට සැක නැත.
කොහොම නමුත් පසුගිය මාර්තු 1 වැනිදා වෙලින්ටන් ක්‍රීඩාංගණයේදී එංගලන්ත පිල ශ්‍රී ලංකා පිලට එරෙහිව කඩුලු 6කට ලකුණු 309ක් රැස්කරද්දී පෝල් ෆාබේ්‍රස් ක්‍රීඩාගාරය තුළ එහා මෙහා සක්මන් කරමින් උද්දාමයෙන් සිටින්නට ඇත. එනමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රීලංකාව 48 වැනි පන්දු වාරයේ දෙවැනි පන්දුවේදී එක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 312ක් ලබා ගනිද්දී ෆාබේ්‍රස්ට හැංගෙන්නට තැනක් සොයාගැනීමට පවා අපහසු වන්නට ඇත.