මෙවර ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන 11 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ආරම්භයේ සිටම මේ දක්වා මෙම තරගාවලියට එකොළොස්වැනි වතාවටත් සහභාගි වන රටක් නිසා හෝ පසුගිය තරගාවලි දෙකේදීම අවසාන මහා තරගයට පැමිණ අනුශූරයන් බවට පත්වීමත් නිසා නොවේ. ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළ රටවල් අතරට අයත් නොවුණ රටක කණ්ඩායමක් ලෙස පැමිණ වාර්තා පිට ලෝක වාර්තා තබමින් සිටින ක්‍රීඩකයකු වටා කේන්ද්‍රගත වී දිනෙන් දින ඉදිරියට යන කණ්ඩායමක් බවට පත්වීම නිසාම ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය වැදගත්කමක් උසුලයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන මෙරට ජනමාධ්‍ය ඇතුළු බොහෝ දෙනා දැන් දැන් වැඩිපුර කතා කරන්නට පටන් ගෙන ඇත. එයට ප්‍රධාන හේතුව තරග දිනන නිසාම නොව තරග දිනන හා පරාජය වන ආකාරය නිසාය. වෙනදා ලෝක කුසලාන තරගාවලියක් සඳහා සති දෙකකට කලින් සත්කාරක රට වෙත යන ශ්‍රී ලංකා කණඩායම මෙවර පැමිණියේ මාස දෙකකටත් කලින්ය. ඒ නවසීලන්තය සමඟ ටෙස්ට් හා එක්දින තරග සංචාරයක් වෙනුවෙනි. ඒ අනුව නවසීලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව පරාජය වී අවසන් වුණද එම තරගාවලියේ තවත් එක්දින තරගයක් මෙන් ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයට සහභාගි වූයේ නවසීලන්තයටම එරෙහිවය. මෙම ලෝක කුසලානයේද කාලසටහන අනුව ආරම්භක තරගය වූ එම තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර, ඉන් පසුව සහභාගි වූ තරග තුනෙන්ම ජයග්‍රහණය කරනු ලැබුවේ ක්‍රිකට් කිරුළ සොයා යන අනෙක් කණ්ඩායම්වලටද යම් අභියෝගයක් එල්ල කරමිනි.
එතැනින් පසුව පසුගිය ඉරිදා (8දා) පැවැති තරගයෙන් ඕස්ට්‍රේලියාව ඉදිරියේ පරාජයට පත්වුවද එය ගෞරවාන්විත පරාජයක් බවට පත්කර ගත්තේ දෙවනුව පන්දුවට පහරදීමට ගොස් ලකුණු 300 සීමාව පසුකළ නිසාම නොව එකී කේන්ද්‍රගත ක්‍රීඩකයා වන කුමාර් සංගක්කාරගේ වාර්තාගත ඉනිමත් දිනේෂ් චන්දිමාල්ගේ චණ්ඩි ඉනිමද එදින තරගයේ වීරයා වූ ග්ලෙන් මැක්ස්වෙල්ගේ ඉනිමට නොදෙවැනි වේගවත් එකක්ද වූ නිසාය. එහිදී ශ්‍රී ලංකා පිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු පිලක් වාර්තා කළ වැඩිම එක්දින ලකුණු ප්‍රමාණය වන ලකුණු 376ක පීඩනයකට යටත්ව සංගක්කාර විසින් පිට පිටම ලබා ගන්නා ලද 3 වැනි ශතකය වාර්තා වීමද එදින කැපී පෙනිණි.
එසේ නොකඩවා තරග තුනකදී සංගක්කාර ලබා ගත් 3 වැනි ශතකය නිසාම ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ එම දස්කම කළ පළමු ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාරගේ නම ලියැවෙන අතර ඉන් පසුව ඔහු තවත් නව වාර්තාවකට හිමිකම් කීවේ පසුගිය බදාදා ක්‍රීඩා කළ ඊළඟ තරගයේදීම ස්කොට්ලන්තයට එරෙහිවද තවත් ශතකයක් වාර්තා කළ නිසාය. එනම් නොකඩවා තරග 4කදී 4 වැනි ශතකය වාර්තා කරමින් එක්දින තරග ඉතිහාසයේ එම දස්කම කළ ලොව පළමු පිතිකරුවා බවටද සංගක්කාර පත්විය. එසේ පිත්තෙන් පමණක් ලෝක වාර්තා තැබූ ඔහු එතැනින් නොනැවතී කඩුල්ල පිටුපස සිටද නව වාර්තාක් තැබීමටද ස්කොට්ලන්තයට එරෙහිව තරගයේදී සමත් විය. එදින කඩුල්ල පිටුපස සිට රැකගත් උඩපන්දු දෙකත් සමඟ ඔහු කඩුලු රකින්නකු ලෙස දවාගැනීම් 54කට දායක වීම නව වාර්තාවක් වන අතර මින් පෙර එවන් දවාගැනීම් 52කට දායක වී කඩුලු රකින්නකු ලෙස එම වාර්තාවට හිමිකම් කියා තිබුණේ ඕස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට්ය.
මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග 6කට සහභාගි වී ලකුණු 496ක් රැස්කරගෙන ඉහළම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත්වී සිටින සංගක්කාර තවත් වාර්තා කිහිපයකටම සම්මාදම් වී ඇත්තේ මෙම එකොළොස්වැනි ලෝක කුසලාන තරගාවලිය අවසානයේ තෝරා ගනු ලබන තරගාවලියේ වීරයා සම්මානය සිපගන්නට ආසන්නව සිටින පළමු ක්‍රීඩකයාද ලෙසිනි. තවද මෙම තරගාවලිය තුළදී සංගක්කාර පිත්තෙන් පෙන්වන දස්කම් නිසාම ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම ලකුණු ලබා ගත් ලොව 3 වැනි පිතිකරුවා බවටද පත්වී ඇත. ඒ අනුව ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 2038ක් ලබා ගෙන ඇති සංගක්කාරට ඉහළින් පිළිවෙළින් පළමු හා දෙවැනි ස්ථානවල සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු පිතිකරුවන් වන ඩෙස්මන් හේන්ස් (ලකුණු 3067) හා විවියන් රිචඩ්ස් (ලකුණු 2769) ය.
මේ කුමාර් සංගක්කාර විසින් සෘජුව දායක වී පෙන්වන ලද දස්කම්වලින් කාරණා කිහිපයකි. එහෙත් ඔහු හා කරට කර යමින් මේ දිනවල ලකුණු රැස්කරන තිලකරත්න ඩිල්ෂාන්ගේ දක්‍ෂතා එතරම් කැපී නොපෙනෙන්නේ සංගක්කාරගේ දස්කම්වල දීප්තිය වැඩි නිසා වන්නට විය හැකිය. එහෙත් මෙම තරගාවලියේම සංගක්කාරට පසුව වැඩිම තෙවැනියාට ලකුණු ලබා සිටින්නේද (ලකුණු 395ක්) ඩිල්ෂාන්ය. ඔවුන් දෙදෙනාගෙන් මේ වන විට කණ්ඩායමට ලැබෙන දායකත්වය කොතෙක්ද කිවහොත් සංගක්කාර - ඩිල්ෂාන් එක් දින ශතක සබඳතා ගණන 20ක් සම්පූර්ණ කරන්නට මෙම තරගාවලියේදී ඔවුන් දෙදෙනාට හැකියාව ලැබී ඇත.
මෙකී සෑම ජයග්‍රහණයකටම පාදක වූයේ තම අවසන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර මේ වන විට තම ක්‍රිකට් දිවියේ උපරිම දක්‍ෂතාවන්ට පැමිණ ඇති නිසාය. ඒ නිසාම පසු ගිය ලෝක කුසලාන තරගාවලි දෙකේදීම අනුශූරයන් වූ ශ්‍රී ලංකාව මෙවර අවසන් අදියර දක්වා ඉහළට ගෙන යන්නට සංගක්කාරගේ සහාය බලපා ඇති අතර 2000 වසරේදී පාකිස්තානය සමඟ තරගයෙන් එක්දින තරග දිවිය ඇරැඹූ ඔහු 2003 වසරේ මංගල ලෝක කුසලානයට සහභාගි වෙමින් එහි අවසන් පූර්ව තරගයකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 39ක් ලබා ගත්තේය.
එනම් මීට වසර 4කට පෙර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ සංගක්කාර පිතිකරුවකු ලෙසද තරග 9කට සහභාගි වී ලකුණු 465ක් රැස්කළ අතර නවසීලන්තයට එරෙහිව ඔහු ලබා ගත් ලකුණු 111ක්ද ඊට ඇතුළත්ය. එම දස්කම් නිසාම සංගක්කාර නම් හිටපු ක්‍රිකට් නායකයා 2011 වසරේ අයි.සී.සී. වසරේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන්ද පිදුම් ලැබූ අතර ඉන් පසුව අයි.සී.සී. වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා 2014 වසරේදී ද නම් කරනු ලැබීය.
මෙකී දස්කම් මුසුව නව ලෝක වාර්තා තබමින් තරග වදින ලෝක කුසලාන තරගාවලියක අත්දැකීම් ලබන්නට හැකිවීම මෙම සත්කාරක දෙරටෙහිම වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටද අලුත් බවක් ගෙන දෙන අතර තවත් කාලයක් සංගක්කාර නම් ක්‍රීඩකයාට ශ්‍රී ලංකා කණ්ඩායම තුළ රැඳී සිටින්නට ඇති බාධාව කුමක්දැයි බොහෝ දෙනා අසන පැනයට පිළිතුරු දිය යුත්තේ ඔහු විසින්මය. ඒ තරමටම එම ප්‍රශ්නය සංකීර්ණ වන අතර ගෙවී ගිය වසරක පමණ කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයන් ඔහුට කළ කෙනෙහිලිකම් මෙම සමුගැනීමේ ඉක්මන් තීරණයට බලපෑවාද යන සැකය නම් අපට ඇති බව කිව යුතුය. මෙසේ තම දක්‍ෂතා අතරින් උපරිමයට පැමිණි මොහොතේ සමුගැනීමේ රටාව ශ්‍රී ලංකාව වැනි රටකට නුපුරුදු බැවින් සංගක්කාර සමුගැනීම මඟින්ද නව ආරක දෙයක් හඳුන්වා දෙමින් තවත් වාර්තාවක් තැබීමක් ලෙස එම මොහොත හැඳින්විය හැකිය.