ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණය හෝ මෙල්බර්න් ක්‍රීඩාංගණය යනු තම රටේම ක්‍රීඩාංගණයක් ලෙස සැලකිය හැකි තරමටම ලෝකයේ වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජීවත්වන මෙම නගර දෙකෙන් අද සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදීද විශාල ක්‍රීඩාලෝලීන්ගේ සහයෝගයක් ලැබෙන බවත් කණ්ඩායම් දෙකටම අභියෝගයක් වන අර්ධ අවසන් පූර්ව වටය වැනි විශේෂ තරගයකදී අඩුවෙන් වැරැදි කරන කණ්ඩායමට ජයග්‍රහණය හිමිවන බවත් ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් ඊයේ කියා සිටියේය.
කෙසේ වෙතත් තම කණ්ඩායම තමන්ටම පීඩනයක් එල්ල කරගැනීමේ අදහසින් අද තරගය ගැන නොසිතා එය තවත් එක් තරගයක් පමණක් යැයි සලකා කටයුතු කරන බවත් කී ශ්‍රී ලංකා නායකයා රංගන හේරත්ගේ නවතම තත්ත්වය ගැන විමසූ විට කියා සිටියේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහුගේ සහභාගිත්වය පනහට - පනහ අවිනිශ්චිත තත්ත්වයක පසුවන බවයි. එහෙත් ඊයේ දිනයේදී පුහුණවීම් කටයුතුවලදී ඔහු පන්දු යවන ආකාරය අනුව තීරණයක් ගත යුතුව ඇතැයි කී මැතිව්ස් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් "දකුණු අප්‍රිකානු නායක ඩි විලියර්ස් හා ඔවුන්ගේ වේග පන්දු යවන ඩේල් ස්ටේන් කියන්නෙ ඉතා දක්‍ෂ ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඒ වගේම ඩි විලියර්ස් කියන්නෙ තරගයක් වෙනස් කළ හැකි වේගයෙන් ලකුණු රැස්කරන පිතිකරුවෙක් නිසා ඔහු ඉක්මනට දවා ගැනීමට කටයුතු කරන්න අපි සැලසුම් කරනවා. ඒ වගේම ඔහු වගේම දක්‍ෂ පිතිකරුවෙක් වන අපේ කුමාර් සංගක්කාරද මෙම තරගයේදීත් නොකඩවා ඔහුගේ පස්වැනි ශතකය ලබා ගනීවි කියලත් මට විශ්වාසයි" යනුවෙන්ද පැවැසීය.
තම කණ්ඩායම මෙම ලෝක කුසලාන තරගාවලිය තුළ තරගයෙන් තරගය ප්‍රගතියක් දුටුවද පන්දුයැවීම හා පන්දුරැකීම යන අංශ අතින් තවමත් බලාපොරොත්තු මට්ටමට තම කණ්ඩායම ක්‍රීඩා නොකරන්නේ යැයි පැවැසූ ශ්‍රී ලංකා නායක මැතිව්ස්, අද එම තත්ත්වයෙන් මිදී කටයුතු කරනු ඇතැයිද මෙතෙක් තරග ජයග්‍රහණයේදී පෙරමුණ ගත් පිතිකරුවන්ගේ ශක්තිය අදත් එලෙසම පවතින බවටද විශ්වාසය පළකළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට නවකයකු ලෙස එක්වූ දුෂ්මන්ත චමීර පැයට කිලෝමීටර් 147ක් වැනි ඉතාමත් වේගයෙන් පන්දු යවන්නකු බැවින් අද තරගයේදීද ඔහුටද අවස්ථාවක් ඇති අතර, ඔහු හා ලක්මාල් දෙදෙනාගෙන් කෙනකුට අද කණ්ඩායමට ඇතුළත් වීමට ඉඩ ඇතැයි කී මැතිව්ස් අද තරගයේදී කාසියේ වාසිය එතරම් වැදගත් කරුණක් නොවන බවත් පළමුව පන්දුවට පහරදී ලකුණු 300ක් ලබා ගත්තද එයද ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවන තරමටම සිඩ්නි තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය බවද පැවැසීය.
මෙම තරගාවලියෙන් පසුව සමුගන්නා මහේල ජයවර්ධන හා සංගක්කාර පිළිබඳව ඇසූ පැනයකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නායකයා " මහේල හා සංගක්කාර යනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් විශාල සේවයක් කළා වගේම මෙම තරගාවලියේදීත් ඉහළ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඒ නිසා අද තරගයත් ජයග්‍රහණය කරල අවසන් මහා තරගය දක්වා ගොස් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙන දීමට හැකි වුවහොත් එම ක්‍රිකට් වීරයන් දෙදෙනා වෙනුවෙන් අප කරන ඉහළම ගෞරවය එයයි. " යනුවෙන් පැවැසීය.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකාව හා දකුණු අප්‍රිකාව අතර මේ වන විට එක් දින තරග 57ක් පවත්වා ඉන් තරග 29ක ජය ශ්‍රී ලංකාවටත් තරග 28ක ජය දකුණු අප්‍රිකාවටත් හිමිවී ඇතත් මින් පෙර කිසිදු අවස්ථාවකදී මෙම දෙරට අතර එක්දින තරගයක් සිඩ්නි ක්‍රීඩාංගණයේදී පවත්වා නොතිබීමද විශේෂත්වයකි. තවද ඕස්ට්‍රේලියාව තුළ පවත්වා ඇති එක් දින තරග 4න් ජයග්‍රහණ දෙක බැගින් ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව ලබා ගෙන ඇත. එසේම ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේදී මෙම කණ්ඩායම් දෙක සිවුවරක් තරග වැදී ඇති අතර ඉන් එක් තරගයකින් පමණක් ශ්‍රී ලංකා පිල ජයගෙන ඇත. එහිදී තරග 2ක් පරාජයට පත්වූ ශ්‍රී ලංකාව එක් තරගයක් ලකුණු සමවී කෙළවර කරගෙන ඇත.
දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාපේක්‍ෂව මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති එකම අවාසිය වන්නේ ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්වීමයි. දැනගන්නට ඇති පරිදි රංගන හේරත් අද තරගයට ක්‍රීඩා නොකරන අතර අවසන් වරට ස්කොට්ලන්තයට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වෙනසක් වුවහොත් සුරංග ලක්මාල් එක්වීමට ඉඩ ඇත.