හෙළ භික්ෂු වංශයේ නූතන යති ලකුණ

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර මාහිමිපාණන් වහන්සේගේ ශතවර්ෂ පූර්ණ ජන්ම දිනය දෙසැම්බර් 31 වන (අද) දිනට යෙදී ඇත. මහා නාහිමියෝ අග්ගමහා පණ්ඩිත, සාහිත්‍යශූරී, ත්‍රිපිටකාචාර්ය, භාෂාන්තර විශාරද, ජිනශාසන කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද, ෙදෙවි භාෂා විශාරද, සංස්කෘත චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත ආදී ගෞරව නාම රාශියකින් පිදුම් ලද සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ භාෂා ශාස්ත්‍රයන්හි උන්නතිය සඳහා අතිවිශාල මෙහෙවරක් සිදුකළ හා සිදුකරන යතිවරයන් වහන්සේ නමකි.

බදුල්ල දිස්ත්‍රික්කයේ දවුල්දෙන ග්‍රාමයේ ආලෝක මුදියන්සේලාගේ කවුරාල සහ ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ යන මව්පිය දෙ‍පොළට 1915 දෙසැම්බර් මස 31 වන දින පින්බර දරුවෙක් ලැබුණි. ළමා වියේ සිටම පන්ස‍ලේ ඇසුරට හුරුවුණු මේ පින්වත් දරුවා ‍පොඩි හාමුදුරුවන් කෙරෙහි ඉමහත් සෙනෙහසක්, ගෞරවයක් දක්වන්නට විය. සාමණේර හිමිවරුන් ගාථා කවි සිලෝ කටපාඩම් කරන විට සමීපයේ වාඩි වී ඒවා අසාගෙන හුන් ඔහු බුද්ධගජ්ජය, සකස්කඩය, නාමාෂ්ට ශතකය ආදී ‍පොත් කටපාඩමෙන් කියන්නට සමතකු වූයේ නිරායාසයෙනි. මේ දරුවාගේ සුවිශේෂී හැකියාවන් හා සසර යහපත් ගතිපුරුදු මැනවින් වටහාගත් පූජ්‍ය ඌමෑ‍ලේ සිරි පඤ්ඤානන්ද මහනාහිමි සහ පූජ්‍ය ඌමෑ‍ලේ සිරි පියරතන නාහිමි 1928 මාර්තු 08 වන දින සපුගොල්ල ත‍පෝධනාරාම මූල මහා විහාරයේදී ඔහු පැවිදි කළහ. ඒ දරුවා වනාහි අද තම ජීවිතයේ සියවස සපුරන අතිගරු දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර මහනාහිමියෝ වෙති.
දවුල්දෙන මහා නාහිමියන් ධර්ම ශාස්ත්‍රඥානයෙන් පරිපූර්ණ වියත් ප¾ඩිරුවනක් බවට පත්වුණේ මාලිගාකන්දේ විදේ‍යා්දය පිරිවෙනේ බහුශ්‍රැත, ධර්ම විනයධර නාහිමිවරුන්ගේ ආශ්‍රයෙනි. තමන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව විදේශවලටද ලබාදෙන්නට සමත් ජාත්‍යන්තර භාෂා ඥානයද උන්වහන්සේ ලබාගත්හ.

වර්තමානයේ අපේ රටේ වැඩසිටින වියපත් නාහිමිවරුන් අතර දවුල්දෙන මහා නාහිමියන් තරම් භාෂා ඥානයෙන් පිරිපුන් යතිවරයකු ගැන මම නොදනිමි. උන්වහන්සේ වඩාත් ප්‍රකටව සිටින්නේ සංස්කෘත භාෂා විශාරදයකු වශයෙනි. උන්වහන්සේ විසින් රචිත සංස්කෘත ග්‍රන්ථ රාශියකි. යශෝධරා දේවියගේ චරිතය අපේ බෞද්ධ කාන්තාවන්ට තම ජීවිතයට පරමාදර්ශයක් වශයෙන් තබාගැනීමේ අගය පෙන්වාදීම සඳහා අපේ දවුල්දෙන මහනාහිමියන් යශෝධරා කාව්‍ය රචනා කර ඇත. මාරංගනා විජයම් යනු බුදුරදුන් මරඟනන් පැරදවීම පිළිබඳව උන්වහන්සේගේ අතින් ලියැවුණු සංස්කෘත කාව්‍යයකි. ධර්මචිත්තා, වෛරාග්‍ය චිත්තා, ආශිර්පුෂ්පමඤ්ජරී, ශ්වානස්තව කාව්‍ය ආදී වශයෙන් උන්වහන්සේගේ සුරතින් රචිත තවත් ප්‍රබන්ධ රාශියකි.

යතිදූතම් යනු දවුල්දෙන මහනාහිමියන් අතින් ලියවුණු සන්දේශ කාව්‍යයකි. අපේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් ජන සංහාරයක යෙදෙමින් බෞද්ධ වෙහෙර විහාර කඩා බිඳ දමමින් සිදුකරන විනාශය දැකීමෙන් කම්පා වූ උන්වහන්සේ එම සාහසික ක්‍රියාවන් නවත්වන්නැයි යතිදූතම් කාව්‍යයෙන් ලෝක පාලක දෙවිවරුන්ට ආයාචනා කරති. සංදේශය රැගෙන යන යතිවරයා එක් රැයක් ගත කරන්නේ මහනුවර අස්ගිරි මහා විහාරයේය. දවුල්දෙන මහනාහිමියන්ට අස්ගිරි මහා විහාරය කෙරෙහි විශේෂ බැඳීමක්, ලැදියාවක් ඇත. එයට හේතුව උන්වහන්සේ නියෝජනය කරන උඩරට අමරපුර මහා නිකාය සමග අපේ මහා විහාරයට තිබෙන අතීත සබඳතාවයි. එම නිකායේ ව්‍යාප්තියට ශක්තියක් ලබාදුන් පූජ්‍ය රහු‍පොල සුජාත සහ හුණුවල නන්ද යන හිමිවරු දෙ‍පොළ අස්ගිරි මහා විහාරයේ අතීතයේ මහා නායක තනතුර හෙබවූ අතිගරු යටන්වල සුනන්ද මහනාහිමියන්ගේ ශිෂ්‍යයන් වූ බැවිනි. දවුල්දෙන මහනාහිමියන් පැවිදි වූ පන්සල වන සපුගොල්ල ත‍පෝධනාරාමයේ මුල් යුගයේ එයින් එක් හිමිනමක වූ හුණුවල නන්ද තෙරුන් විහාරාධිපති තනතුර දරා ඇත. දවුල්දෙන මහනාහිමියන්ගේ පැවිදි පරපුර පැවත එන්නේ උන්වහන්සේගෙනි.

දවුල්දෙන මහනාහිමියන් දැන හඳුනාගන්නට මට වාසනාව ලැබුණේ 1980 දශකයේ මුල් කාලයේදීය. ලොකු කුඩා කවුරුත් නිහතමානීව ඇසුරු කරන පැවිදි උතුමකු වූ උන්වහන්සේ සමග සුහද කතා සල්ලාපයේ යෙදෙන්නට මට නිතර අවස්ථාව උදාවුණි. ඈත දුෂ්කර ගම්මානයක සිට කොළඹට පැමිණ විවිධ දුක්ගැහැට මැද තමන් සිප්සතර හදාළ අයුරුත් අප උගත් දෙයින් රටට දැයට මෙහෙවරක් කළ යුතු බව පවසමින් දවුල්දෙන මාහිමියෝ මා නිතර දිරිමත් කළහ. විවේකයෙන් සිටින සෑම මොහොතකම කවි, ගාථා, ශ්ලෝක ආදිය රචනා කිරීම අපේ දවුල්දෙන මහනාහිමියන්ගේ පුරුද්දකි. ඇතැම් විට ගමනක යෙදෙන අතරතුරදී නිර්මාණය කරන සංස්කෘත ශ්ලෝක බස් ටිකට්පතක ලියා අසන්නට හෝ කියවන්නට සැලැස්වීම උන්වහන්සේගේ සිරිතකි. බුද්ධිමතුන්ගේ කාලය ගත වන්නේ කාව්‍ය ශාස්ත්‍ර කටයුතුවල නිරතවීමෙනි. “කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලං ගච්ඡති ධීමතාම්” යන ප¾ඩිවදන සැබෑවක් බව මට වැටහුණේ උන්වහන්සේගේ චර්යාවන් තුළිනි.

දවුල්දෙන මහනාහිමියන් සහ මා අතර ඇතිවුණ දැන හැඳුනුම්කම නැවත අලුත් වුණේ 1990 දශකය මුල් භාගයේදී අප දෙනම තායිවානයේ සිටි කාලයේදීය. තායිවානයේ විශ්ව විද්‍යාලයක මා ඉගෙනුම ලබන සමයේ අපේ දවුල්දෙන මහනාහිමියෝ තායිවානයේ ලිංසොං සහ චුංහුවා යන බෞද්ධ විශ්ව විද්‍යාලයන් හි සංස්කෘත සහ ථෙරවාදී සම්ප්‍රදාය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස සේවය කළහ. වසර කීපයක්ම උන්වහන්සේ සමීපව ඇසුරු කිරීමට මට ඉඩ ලැබුණි. අද බොහෝ විට සාමණේර හා වැඩිහිටි හිමිවරුන්ගේ කටපාඩමට පමණක් සීමා වී ඇති හෙරණසිඛ හා දිනචරියාව දවුල්දෙන මහනාහිමියන්ගේ ජීවිතය තුළින් මම දුටුවෙමි. දිනපතා අලුයම අවදිව පන්සල ඇමද, මුව දෙවීමෙන් අනතුරුව බුදුරුව අබියසට වී තෙරුවන් නමැද පිරිත් දෙසන දවුල්දෙන මහනාහිමියන්ගේ හරබර ගැඹුරු කටහඬ විහාරය පුරා පැතිරෙයි. එය පැරණි බෞද්ධ ආරාමික සම්ප්‍රදාය තුළ හැඩගැසුණු වැඩිහිටි පැවිදි උතුමකුගේ දින චර්යාවයි. පන්ස‍ලේ සියල්ලන්ම අවදි වන්නේ උන්වහන්සේගේ පිරිත් දෙසුමෙනි. ඇතැම් විට මගේ කුටියේ දොරට තට්ටු කරන හඬ ඇසී දොර විවර කරන විට මා දකින්නේ මා වෙනුවෙන් සියතින් සැකසූ තේ කෝප්පයක් අතේ තියාගෙන දොර අබියස සිටින අපේ නායක හාමුදුරුවන්ගේ රූපකායයි. දවුල්දෙන මහනාහිමියෝ සියලු භික්ෂූන් පිළිබඳ ආදරය කරුණාව පිරි හදවතක් ඇති පැවිදි ගුරු පියෙකි.

ගිහි පැවිදි කවරකුට වුවද උන්වන්සේ ඇසුරු කරන්නට ලැබිම ජීවිතයට මහා භාග්‍යයකි. වයසින් හා ගුණනුවණින් මුහුකුරා ගිය මහනාහිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය මෙන්ම සාමාජික හා දේශපාලනික කාරණා සම්බන්ධ පුළුල් හා නිරවුල් දැනුම අපේ ජීවිතවලට ආලෝකයකි. තායිවානයේ බෞද්ධයන් අතිපූජ්‍ය දවුල්දෙන මහනාහිමියන්ට ගරු බුහුමන් දැක්වූයේ උන්වහන්සේ රහත් බවට පත් උතුමකු ලෙස සලකමිනි. එය උන්වහන්සේගේ චර්යාවන් තුළින් ඔවුන් ලද අවබෝධයකි. උන්වහන්සේගේ දින චරියාවෙන් කොටසක් වෙන්වුණේ හමුවන්නට එන මහායාන බෞද්ධයන්ට දහම් කරුණු පැහැදිලි කරදීමට හා ආශිර්වාදය කිරීමටයි. උන්වහන්සේගේ ගැඹුරු හ¾ඩින් හා නිරවුල් උච්චාරණයෙන් යුතුව පටිගත කරවා ගත් අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ගුණ ඇතුළත් ස්තෝත්‍ර සහ සූත්‍ර දේශනා චීන සහ වියට්නාම් බෞද්ධයෝ අදත් තම නිවෙස්වලදී උදේ සවස ශ්‍රවනය කරති. එය ඔවුන්ට ආශිර්වාදයකි.
ජාතික හා ශාසනික වශයෙන් මතුවන ප්‍රශ්නවලදී වඩාත් ශාස්ත්‍රීය හා ධර්ම විනයානුකූල හේතු සාධක සහිතව ඒවාට විසඳුම් ඉදිරිපත් කරන භික්ෂූන් වහන්සේ අතර ප්‍රමුඛත්වය අතිපූජ්‍ය දවුල්දෙන මහා නාහිමියන්ට හිමිවෙයි. උන්වහන්සේගේ ලිපි ‍ලේඛන නිරතුරුව අපේ භික්ෂු මූලස්ථානවල මෙන්ම රජයේද පැසසුමට ලක්වෙයි.

දවුල්දෙන මහනාහිමියන් කොපමණ උසස් පදවි තානාන්තර ඉසිලුවත් එයින් මාන්නයක් හිතට ආරූඪ කර නොගෙන ප්‍රියශීලීව, සිනාමුසු බස් කියමින් ලොකු කුඩා සියලු දෙනා සතුටට පත් කරන නිහතමානී පැවිදි පියෙකි. ඇතැම් ගිහි පැවිදි අය ගැන ගුණකථන කරන විට, අතිශයෝක්ති යෙදීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් දවුල්දෙන මහනාහිමියන් ගැන කියන්නට යොදන හැම වදනකම ගැබ්වන්නේ උන්වහන්සේ පිළිබඳ සැබෑවක්මය.

මගේ ඇස් පෙනීම හා කන් ඇසීම තරමක් දුර්වලයි. නමුත් මොළය හොඳට වැඩ කරනවා යැයි මහනාහිමියන් හමුවන හැමවිටම කියන කතාවකි. මෙවැනි පැවිදි උතුමන් අප අතර වැඩ සිටීම සම්බුද්ධ ශාසනයට මෙන්ම සමස්ත භික්ෂු සමාජයටම ශක්තියකි. තම දිවියේ සියවස් සපුරන දවුල්දෙන ඤාණිස්සර මහනාහිමියන්ට අපට අවවාද අනුශාසනා කරමින් අප අතර වෙසෙන්නට අවුරුදු එකසිය විස්සක් ආයු ලැබේවායි පතමු.

මහානාහිමි උපහාර උළෙලක් අද (31) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි

මැදගම ධම්මානන්ද හිමි මහනුවර අස්ගිරි මහා විහාරයීය කාරක සංඝ සභික

-----------------------------------------------------------

සසුන්කෙත බබළවන මහා නාහිමි

මිනිස් වර්ගයා විවිධය. විෂම ගතිපැවතුම්වලින් යුක්තය. ඔවුනොවුන් තුළ පවත්නා අදහස්-උදහස්වලද විවිධාකාර වෙනස්කම් ඇත්තේය. එනිසාම මිනිස් වර්ගයා එක අරමුණකට යොමු කරවීම-මෙලොව පහළවූ කවර කෙනෙකුට වුවද, නොහැකි වූ බව අතිශය ප්‍රකට කරුණකි. මේ බව දත්-සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ‘නානත්ථකායා- නානත්ථ සංඥා’ යනුවෙන් දක්වා ඇත. එබදු ලෝකයක කා සමගත් ඇයි හොඳයිකම් පවත්වාගෙන යම් කෙනෙකු කාලය ගතකරත් නම් - එය දුර්ලභ ගණයේ හපන්කමක් බව නොකියාම බැරිය.

මෙවන් අයුරින් සිතා බලන විට උපතින් අනූනව වසරක් නිමකොට සියක් වසරට පාතබන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්දර දවුල්දෙන ශ්‍රී ඥානිස්සර මහානායක ස්වාමීන් වහන්සේ
පිළිබඳව අමතක කළ නොහැකිය. උන්වහන්සේ ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් පමණක් නොව තදනුබද්ධ විෂය ධාරාවන්ගෙන්ද ගෞරව පන්තියේ සාමාර්ථය ලබා ඇත. විදේ‍යා්දය මහ පිරිවෙන්හි අවසාන පරීක්ෂණයෙන් සාමාර්ථය ලබා ඇති මුන්වහන්සේ අති දුෂ්කර වූ ‘ශ්‍යාමරාජ’ ත්‍යාගයද දිනාගෙන ඇත. ඒ අදින් වසර හැත්තෑවකට පෙරය. අමරපුර සාමග්‍රීය සංඝ සභාවේ එකිනෙක තනතුරුවලට පත්ව එහි මහානායක පදවියටද පත්වූහ.

මෙයින් නොනැවතුණු දවුල්දෙන මහනාහිමිපාණෝ පසුව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායෙහි උත්තරීතර මහානායක පදවියෙන්ද, ප්‍ර-පූජ්‍යත්වයට පත්වූවෝ, මෙතුමන් තුළ පවතින උදාර ගුණමහිමය නිසාමය. දැනට උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායෙහි, උත්තරීතර මහානායක මාහිමිපාණෝය. එය යාවජීව පදවියකි. තම ජීවිත කාලය තුළ ඒ ඒ වකවානුවලදී ඉන්දියාව, මැ‍ලේසියාව, හොංකොං, තායිපේ, කොරියාව ආදී දේශදේශාන්තරවලද, එංගලන්තයේද වැඩවෙසෙමින් ශබ්ද ශාස්ත්‍රය උගන්වමින් පැහැදිලි ධර්මය පෙරඅපර දෙදිග කාටත් බෙදා දුන්හ. එමතුදු නොවේ. විදේ‍යා්දය මහපිරිවෙන, මහරගම සිරිවජිරඥාන ධර්මායතනය බඳු ශබ්ද ශාස්ත්‍රීය විද්‍යාස්ථානවල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට, ත්‍රිපිටක ධර්මයත්, සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත භාෂාවන් පිළිබඳ දැනුමක් ලබා දුන්හ. මේ නිසා දවුල්දෙන නාහිමියන් පිළිබඳව විවිධ රට රාජ්‍යවල ප¾ඩිවරුන් අතර මනා පිළිගැනීමක් අද දක්වා පවතී.

සිල්වත් බවින්, කරුණාවෙන් පිරිපුන්, ගුණවත් බවින්ද ප්‍රියශීලී කතාබහෙන් සහ නිහතමානී ගුණයෙන්ද, අනූන උත්තරීතර දවුල්දෙන මහා නාහිමිපාණෝ අතිශය චාම් බවෙන්ද, කාගෙත් සිත්සතන් දිනාගත් පැවිදි ප¾ඩිවරයාණන් කෙනෙකුන් බවට පත්ව ඇත. බදුලු දිස්ත්‍රික්කයේ උඩුකිඳ කොට්ඨාසයේ ඌව පරණගම දවුල්දෙන ග්‍රාමයෙහි 1914 දෙසැ. මස 31 දින උපත ලද දවුල්දෙන මහා නාහිමිපාණන් වහන්සේගේ පියතුමා වූයේ, ආලෝක මුදියන්සේලාගේ කවුරාලය, මෑණියෝ ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ මහෝපාසිකාවය. එකොළොස් දෙනකුගෙන් යුත් පවු‍ලේ අටවැනියා වූයේ ආලෝක මුදියන්සේලාගේ සිරිබද්ධන (සිරිවර්ධන නොවේ) නම් මේ කුමරුවාය. මූලික අධ්‍යාපනය ලැබුවේ මැදගම ගුණරත්න විද්‍යාලයෙනි. අද එය මහා විද්‍යාලයකි. සිරිබද්ධන කුමරුවාගේ පැවිදි ආචාර්යවරුයාණන් වහන්සේලා දෙනමකි. උන්වහන්සේලා නම් ඌමෑ‍ලේ පියරතන නාහිමි සහ ඌමෑ‍ලේ පඤ්ඤානන්ද යන නාහිමිවරුන්ය. මෙවන් අයුරින් පැවිද්දට පත්ව අධ්‍යාපනය ලබා දේශීය විදේශීය ජනාදරයට පත්වූ උත්තරීතර මහානායක මාහිමිපාණන් වහන්සේ සියවෙනි වසරට පාතබන මේ වැදගත් අවස්ථාවේදී තම සේවාව ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ශාස්ත්‍රපති පණ්ඩිත විශ්‍රාමික විදුහල්පති කරගහ උල්‍පොත සුගතනන්ද ස්ථවිරයන් ප්‍රමුඛ වැදගත් දැනඋගත් ක්‍රියාශීලී ශිෂ්‍ය පිරිසක්ද ඇතිකොට තිබේ. මෙවන් අයුරින් සිය ජීවිත කාලය පුරා අනගි සේවාවක් ඉටුකොට-සන්ධ්‍යා සමය ගතකරන අපේ උත්තරීතර මහානායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවායි ගිහි පැවිදි කවුරුත් ප්‍රාර්ථනා කරති.

මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි
ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති

Post a Comment

0 Comments