සියල්ල ප්‍රහාණය කිරීමේ විවරණය

අපගේ තිලෝගුරු අමාමෑණි බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ සියලු සත්ත්වයන් සසර කතරින් මුදාලීමේ පරම පවිත්‍ර ෙච්තනාවෙන්මයි. ඒ නිසා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්වයාට සසරට ඇලීමට ඉඩ නොදී බැඳීමට ඉඩනොදී සසරින් ගැලවී යැමට උපකාර කරන සේක. ඒ අනු සියල්ල ප්‍රහාණය කිරීම පිළිබඳව උන්වහන්සේ දේශනා කරනු ලැබුවා. සංයුක්‌ත නිකායේ සලායතන සංයුත්තයේ පහාන සූත්‍රයේදී උන්වහන්සේ ඒ පිළිබඳව විවරණාත්මක ලෙස මේ අයුරින් දේශනා කරනවා.

එහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මා ඔබට සියල්ල ප්‍රහාණය කිරීම පිණිස පවතින ධර්මයක්‌ දේශනා කරන්නට යන බව. (සබ්බප්පහානාය වෝ භික්‌ඛවේ ධම්මං දේසිස්‌සාමි) එය මැනවින් අසාගන්න කියල (තං සුණාථ) උන්වහන්සේ දේශනා කරනවා. සියල්ල ප්‍රහාණය කිරීම පිණිස පවතින ධර්මය කුමක්‌ද (කතමෝ ච භික්‌ඛවේ සබ්බප්පහානාය ධම්මෝ). ඇස ප්‍රහාණය කළ යුතු දෙයක්‌ (චක්‌ඛුං භික්‌ඛවේ පහාතබ්බං). රූප ප්‍රහාණය කළ යුතුයි (රූපා පහාතබ්බා). ඇසේ විඤ්ඤාණය ප්‍රහාණය කළ යුතුයි (චක්‌ඛු විඤ්ඤාණං පහාතබ්බං). ඇසේ ස්‌පර්ශය ප්‍රහාණය කළ යුතුයි (චක්‌කු සම්ඵස්‌සෝ පහාතබ්බෝ). ඇසේ ස්‌පර්ශයෙන් උපදින සැප වේවා, දුක්‌ වේවා, දුක්‌ සැප රහිත වේවා යම් විඳිමක්‌ තියෙනවා නම් ඒකත් ප්‍රහාණය කළ යුතුයි (යම්පිදං චක්‌ඛුසම්ඵස්‌සපච්චයා උප්ප-ජති වේදයිතං සුඛං වා දුක්‌ඛං වා අදුක්‌ඛමසුඛං වා, තම්පි පහාතබ්බං).

ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කන ප්‍රහාණය කළ යුතු බව (සෝතං පහාතබ්බං). ශබ්ද ප්‍රහාණය කළ යුතුයි (සද්දා පහාතබ්බා). කනේ විඤ්ඤාණය ප්‍රහාණය කළ යුතුයි (සෝත විඤ්ඤාණං පහාතබ්බං). කනේ ස්‌පර්ශය ප්‍රහාණය කළ යුතුයි (සෝතසම්ඵස්‌සෝ පහාතබ්බෝ). කනේ ස්‌පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ දුක්‌ හෝ දුක්‌ සැප රහිත හෝ යම් විඳීමක්‌ තියෙනවානම් ඒකත් ප්‍රහාණය කළ යුතුයි (යම්පිදං සෝතසම්ඵස්‌සපච්චයා උප්ප-ජති වේදයිතං සුඛං වාදුක්‌ඛං වා අදුක්‌ඛමසුඛං වා තම්පි පහාතබ්බං).

ඊළඟට ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නාසය ප්‍රහාණය කළ යුතුයි කියලා (ඝාණං පහාතබ්බං). ගඳ සුවඳ ප්‍රහාණය කළ යුතුයි කියල (ගන්ධා පහාතබ්බා). නාසයේ විඤ්ඤාණය ප්‍රහාණය කළ යුතුයි කියල. නාසයේ ස්‌පර්ශය ප්‍රහාණය කළ යුතුයි කියල (ඝාණසම්ඵස්‌සෝ පහාතබ්බෝ). නාසයේ ස්‌පර්ශයෙන් උපදින්නාවූ සැප හෝ දුක හෝ දුක්‌ සැප රහිත හෝ යම් විඳීමක්‌ තියෙනවා නම් ඒකත් ප්‍රහාණය කළ යුතුයි (යම්පිදං ඝාණසම්ඵස්‌සපච්චයා උප්ප-ජති වේදයිතං සුඛං වාදුක්‌ඛං වා අදුක්‌ඛම සුකං වා තම්පි පහාතබ්බං).

ඊළඟට අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දිව ප්‍රහාණය කළ යුතු බව (ජිව්හා පහාතබ්බං). රස ප්‍රහාණය කළ යුතුයි කියල (රසා පහාතබ්බා, දිවේ විඤ්ඤාණය ප්‍රහාණය කළ යුතුයි කියල (ජිව්හා විඤ්ඤාණං පහාතබ්බං). දිවේ ස්‌පර්ශය ප්‍රහාණය කළ යුතුයි කියල (ජිව්හා සම්ඵස්‌සෝ පහාතබ්බෝ). දිවේ ස්‌පර්ශයෙන් උපදින්නාවූ සැප වේවා දුක්‌ වේවා දුක්‌ සැප රහිත වේවා යම් විඳීමක්‌ තියෙනවා නම් ඒකත් ප්‍රහාණය කළ යුතුයි කියල (යම්පිදං ජිව්හා සම්ඵස්‌ස පච්චයා උප්ප-ජති වේදයිතං සුඛං වා දුක්‌ඛංවා අදුක්‌ඛම සුඛං වා තම්පි පහාතබ්බං).

ඊළඟට බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ කය ප්‍රහාණය කළ යුතුයි කියල (කායෝ පහාතබ්බෝ). පහස ප්‍රහාණය කළ යුතුයි කියල (ඵොට්‌ඨබ්බා පහාතබ්බ). කයේ විඤ්ඤාණය ප්‍රහාණය කළ යුතුයි කියල (කාය විඤ්ඤාණං පහාතබ්බං). කයේ ස්‌පර්ශය ප්‍රහාණය කළ යුතුයි කියල (කායසම්ඵස්‌සෝ පහාතබ්බෝ). කයේ ස්‌පර්ශයෙන් උපදින්නාවූ සැප හො දුක්‌ හෝ සැප රහිත හෝ යම් විඳීමක්‌ තිබේ නම් ඒකත් ප්‍රහාණය කළ යුතුයි කියල (යම්පිදං කාය සම්ඵස්‌සපච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්‌ඛං වා අදුක්‌ඛම සුඛං වා තම්පි පහාතබ්බං).

ඊළඟට අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මනස ප්‍රහාණය කළ යුතුයි කියල. (මනෝ පහාතබ්බෝ). මනසට අරමුණු වන දේ ප්‍රහාණය කළ යුතුයි කියල (ධම්මා පහාතබ්බං). මනසේ විඤ්ඤාණය ප්‍රහාණය කළ යුතුයි කියල (මනෝ විඤ්ඤාණං පහාතබ්බං). මනසේ ස්‌පර්ශය ප්‍රහාණය කළ යුතුයි කියල (මනෝ සම්ඵස්‌සෝ පහාතබ්බෝ). මනසේ ස්‌පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ දුක්‌ හෝ දුක්‌ සැප රහිත හෝ යම් විඳීමක්‌ තිබේ නම් ඒකත් ප්‍රහාණය කළ යුතුයි කියල (යම්පිදං මනෝසම්ඵස්‌සපච්චයා උප්ප-ජති සුඛං වා දුක්‌ඛං වා අදුක්‌ඛමසුඛංවා තම්පි පහාතබ්බං). සියල්ල ප්‍රහාණය කිරීම පිණිස පවතින ධර්මය මෙයයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළා (අයං ඛෝ භික්‌ඛවේ සබ්බප්පහානාය ධම්මෝති).

බුදු කෙනකුගේ ශ්‍රී මුඛයෙන්ම අපිට දේශනා කරන්නේ මේ ආයතන හයෙන් ඒ හා බැඳී පවතින සියල්ලත් ප්‍රහාණය කළ යුතුයි කියල. ඒ නිසා අපි මේ ආයතනවලට බැඳෙන්නේ නැතිව ඒවා ලැබීම නිසා ඇතිවන ආදීනව ගැන මනා අවබෝධයක්‌ ඇති කරගෙන සසර දුකින් නිදහස්‌වීමට අධිෂ්ඨාන කර ගනිමු. ඔබ සියලු දෙනාටත් සියල්ලම ප්‍රහාණයකොට ලබන උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ දුර්ලභ වාසනාව උදාවේවා!

පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි
divaina.com

Post a Comment

0 Comments