ජීවමාන ශාස්‌තෘවරයාණන්ගේ ඓතිහාසික ලංකාගමනය

ප්‍රභාතයේ හිරු කිරණින් බණ්‌ඩාරනායක ගුවන්තොටුපළ පරිශ්‍රය නැහැවී අමුතු දීප්තියකින් වෙළී ගත්තා සේය. ගුවන්තොටුපළ පරිශ්‍රය අමුතු සිරියකින් ඇළලී ගොස්‌ තිබිණි. රතු පලසින් විචිත්‍රවත්ව ජාතික හා කිතුනු කොඩි අතින් ගත් ළමා ළපටීන්ගෙන් පිරී ගොස්‌ තිබිණි. ජාතියේ අභිමානය කියාපාන සංස්‌කෘතික අංගයන් සඳහා විශාල පිරිසක්‌ සූදානම්ව සිටියහ. අභිමානනීය හරසර දැක්‌වීමකට සියල්ල සූදානමින් තිබිණි. දුරුත්තේ සීතල ද නොතකා අලුයම සිටම ජනතාව තමන්ගේ එඩේරාණන් පිළිගැනීමට සූදානම් සිටියහ.

ඒ පසුගිය 13 වැනිදාය. සියල්ලන්ගේ දෙනෙත් නිල්වන් අහස්‌ කුස දෙසට යොමුව තිබිණි. අහස්‌ ගැබින් ක්‍ෂණයෙන් මතුව ගුරුත්වය කරා ඇදෙන ගුවන් යානය ඊළඟ නිමේෂයේ ගුවන්තොටුපළ පරිශ්‍රය සිප ගත්තේය. වේලාව හරියටම උදැසන 8.45 වී තිබිණි. දහස්‌ සංඛ්‍යාත පරිසකගේ දෙනෙත් ඇසිsපිය නොහෙලාම ගුවන් යානය දෙසටම යොමුවී තිබිණි. තවත් විනාඩි කිහිපයකින් පසු එළඹුණේ ලක්‌වාසී ජනයා ඉමහත් සෙනෙහසින් අපේක්‍ෂා කළ සමස්‌ත ලෝකවාසී කිතුනු ජනතාවගේ ජීවමාන එඩේරාණන් වන අති උතුම් ශුද්ධෝත්තම පළමු වැනි µ්‍රeන්සිස්‌ නම් ඒ අසිරිමත් නායකයාණන් සම්ප්‍රාප්ත වීමේ ඓතිහාසික අවස්‌ථාවයි. ගුවන්තොටුපළ පරිශ්‍රය මඟුල් බෙර ජය සක්‌හඬින් පිරී යද්දී ප්‍රීති ඝෝෂා අත්පොලසන් නාදයෙන් අවට ප්‍රදේශයම ගිඟුම් දුන්නේය. සැපත් වූ "අලිතාලියා" විශේෂ ගුවන් යානයෙන් මෙරටට පැමිණි උන්වහන්සේ සිය සසුන් පිය නිල නියෝජිත පිරිස සමග තරප්පු පෙළ බසිමින් ලක්‌ දෙරණට පා තැබීමේ ඓතිහාසික අවස්‌ථාව උදා වූයේ පෙරවරු 9.05 ටය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මිය විසින් මල්දමක්‌ පළඳවා උන්වහන්සේ පිළිගැනිණි. ඉන් පසුව අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පාප් වහන්සේ පිළිගන්නා ලදී. රතු පලසින් යුත් බිමෙහි සිටි සසුනිසුරාණන්ට ත්‍රිවිධ හමුදා උත්තමාචාරය පුද කෙරුණේ ඉන් අනතුරුවය. මහත් අභිමානවත් උළෙලකින් ඇළළුණු ගුවන්තොටුපළ පරිශ්‍රය සිසාරා සීතල සුළං පොදක්‌ හමා යන මොහොතේ නිරන්තරයෙන් මුවඟ රැඳුණු සිනහවෙන් ප්‍රතිචාර දක්‌වමින් සිය හදවතින්ම නැඟුණු හැඟීම් වචනවලට පෙරලූ උන් වහන්සේ "මාගේ ශ්‍රී සංචාරයේ මූලික වශයෙන් ඇත්තේ එඩේරික ස්‌වරූපයකි. කතෝලික සභාවේ විශ්ව එඩේරාණන් වශයෙන් මේ ද්වීපයේ කතෝලික ජනතාව හමුවන්නටත් ඔවුන් දිරිමත් කර ඔවුන් හා යදින්නටත් මම පැමිණින ඇත්තෙමි. මේ චාරිකාවේ උච්ඡ අවස්‌ථාවක්‌ වන්නේ භාග්‍යවත් ජුසේවාස්‌ පියතුමන් ශුද්ධවරයට උසවනු ලැබීමයි. ජාතිය හා ආගම නොතකා කිතුනු දයාව හා සැම දනන් හට ගෞරව කිරීම පිළිබඳ එතුමා දුන් ආදර්ශය අදටත් අප ප්‍රබෝධයට පත් කරමින් අපට ගුරුහරුකම් ලබා දෙයි. එහෙත් සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සභා මාතාව දක්‌වන ප්‍රේමය හා සැළකිල්ල පලකිරීමත් මේ සමාජයේ ජන ජීවිතයට ක්‍රියාකාරී ලෙසින් සහභාගි වන්නට කතෝලික සැදැහැ සංඝය තුළ ඇති ආශාව සහතික කිරීමත් මාගේ සංචාරයෙන් අදහස්‌ කෙරේ." යෑයි පැවැසූහ.

විසි වසරකට පසුව සිය ජීවමාන ශාස්‌තෘවරයාණන් සියෑසින් දැකබලා සිත් පහන්කර ගැනීමේ ප්‍රාර්ථනයෙන් කටුනායක සිට කොළඹ දක්‌වා වූ මාර්ගය දෙපස එකම හිස්‌ ගොඩක්‌ බවට පත් වී තිබිණි. උදාවූයේ ඔවුන්ගේ ඒ මහඟු අවස්‌ථාවයි. ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිට විශේෂ විවෘත රථයකට නැගී සුදුතුම් පියාණන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමගින් තමන්ගේ සම්ප්‍රාප්තිය දකිනු රිසින් නෙත් නොසළා මඟ දෙපස හිදින බැතිමතුන්ට ගෞරවාචාර පුද කළේ සුපුරුදු ලෙස නඟා ගත් සිනහ වතිනි. මීගමුව - කොළඹ මහා මාර්ගය පෙනෙන නොපෙනෙන මානයේදී එක්‌ අවස්‌ථාවක උන්වහන්සේ විවෘත රියෙන් බිමට පා තැබීම ඇස්‌ අදහාලිය නොහැකි දර්ශනයක්‌ විය. එතැන රැස්‌ව සිටි පිරිස උන්වහන්සේ වසාගත්තේ ක්‍ෂණයකිනි. විනාඩි කිහිපයක්‌ එහි රැඳුණු පාප්වහන්සේ රැගත් විවෘත රිය පසුව යළි ගමන් ආරම්භ කළ අතර මඟ දෙපස ජනතාවගේ පිළිගැනීම අතිශයින් ම උණුසුම් විය.

එදින දහවල් පියාණන් වහන්සේ කොළඹ අගරදගුරු මැඳුරේදී කතෝලික රදගුරු හිමිපාණන් හමුවූහ. දිවා භෝජන සංග්‍රහයට සහභාගි වූයේ ද අගරදගුරු මැඳුරේ දීය.

එදිනම සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ උන්වහන්සේ ඉන් අනතුරුව බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සර්වාගමික හමුවට ද එක්‌ වූහ. බෞද්ධ, කිතුනු, ඉස්‌ලාම් සහ හින්දු යන සියලු ආගම්වලට අයත් ආත්මීය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්වාගමික සමුළුව පාප්වහන්සේට සුවිශේෂී අද්දැකීමක්‌ වන්නට ඇත. "මෙවැනි ධනාත්මක වර්ධනයක්‌ අන්තර් සාමයීක සබඳතා සහ කිතුනු ආගමික සබඳතා ශ්‍රී ලංකාව තුළ වර්ධනය වීමේ අවකාශයක්‌ පවතී. වසර ගණනාවක්‌ තිස්‌සේ මේ රටේ කාන්තාවන් සහ පුරුෂයන් සිවිල් අරගල හා ප්‍රචණ්‌ඩත්වයේ ගොදුරු බවට පත් වූහ. දැන් අවශ්‍යව ඇත්තේ තුවාල සුවපත් කිරීම සහ එකමුතුවයි. තව දුරටත් අර්බුදයන් හෝ බෙදීම් අවශ්‍ය නැත. සහතික ලෙස සුවපත් කිරීමේ සහ එකමුතුවේ රැකවරණය සුවිශේෂී දෙයක්‌ වන අතර එය දේශයේ යහපත උදෙස්‌ හදවත් ඇත්තවුන්ගේ මෙන්ම සමස්‌ත මානව පවුලේම අවශ්‍යතාවකි. එහෙයින් මගේ බලාපොරොත්තුව නම් අන්තර් සාමයික සබඳතාවන් සහ කිතුනු සමගිය මඟිaන් වනිතාවන් හා පුරුෂයන් ස්‌වකීය අනන්‍යතාවයන් වූ ජාතිකත්වය හෝ ආගමිකත්වය අහිමිකර ගන්නවා වෙනුවට සිය සහෝදර සහෝදරියන් සමග සමෘද්ධියෙන් ජීවත් වීමට ඉඩකඩ ලබා දිය යුතුය. මට හැඟෙන පරිදි දිළින්දන් අනාතයන් සැනසිල්ලක්‌ සහ බලාපොරොත්තුවේ වදනක්‌ අසන්නට පුල පුලා බලාසිටින්නන්ගේ ද්‍රව්‍යමය සහ ආධ්‍යාත්මික අවශ්‍යතා කොපමණ වේද? එහිදී මා සිතන්නේ පවුල්වල බොහෝ දෙනකු සිය ප්‍රියයන් වෙන්වීමේ දුකින් පෙළෙන බවයි. විවිධ ආගමික සංඝයන්හි නායකයන් අතර ගොඩනැගෙමින් පවත්නා සහයෝගයේ ස්‌ප්‍රීතුව තුළ සියලු ශ්‍රී ලාංකිකයන් සංහිඳියාව ඔස්‌සේ සමාජයත් එහි සියලු ආයතනත් නව මංගන්වන්නට පෙළ ගැසෙමින් තිබේ. සාමයේ ආගමික විශ්වාසයන්ගේ නාමයෙන් කිසිවිටක ප්‍රචණ්‌ඩත්වය සහ යුද්ධයට හේතුකාරක වන දේ අනුමත කළ නොහැකිය. අපගේ සංඝයන් මුළුමනින් සාමකාමී අෙන්‍යාaන්‍ය සුහදතාවයෙන් සෑම ආගමක්‌ තුළම ජීවත් වීමට කැපවිය යුතු අතර සියලු ආකාරයේ ප්‍රචණ්‌ඩත්වයත් හෙළා දකින්නට ඔවුහු ඇපකැප විය යුත්තාහ." යෑයි ප්‍රකාශ කළේ ඒ නිසා විය යුතුය.

ශුද්ධෝත්තම පාප්වහන්සේ මෙරටට සැපත් වීමේ ප්‍රධානතම අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ අපෝතුළුවරයාණන් වන භාග්‍යවන්ත ජුසේවාස්‌ මුනිඳුන් සාන්තුවරයට එසවීමය. ඒ උත්තරීතර කර්තව්‍ය වෙනුවෙන් ගාලුමුවදොර සූදානම් කෙරුණේ සති කිහිපයක සිටය. ජුසේවාස්‌ මුනිඳුන් ශුද්ධවරයට එසවීමේ දේව මෙහෙය සඳහා අල්තාරය ඇතුළත් දර්ශනීය වේදිකාවක්‌ ගාලුමුවදොර ඉදිකර තිබුණේ දේශීය කලාවන්ට මුල් තැන දෙමිනි. පෙර දින සිටම ගාලුමුවදොරට පැමිණි බැතිමත්හු මහත් භක්‌තියෙන් යුතුව දේව මෙහෙය ඇරැඹෙන ඒ ඓතිහාසික අවස්‌ථාව උදාවන තෙක්‌ නිදිවරා බලා සිටියහ. පසුගිය 14 වැනිදා පෙරවරු 8.30 ට දේව මෙහෙය ආරම්භ කිරීමට පෙර පාප්වහන්සේ විවෘත රථයක නැගී බැතිමතුන් අතරින් සංචාරය කළේ ප්‍රීතිඝෝෂා අත්පොළසන් නාදය ගාලුමුවදොර සිසාරා ගිගුම් දෙන මොහොතේය.

ගාලුමුවදොර එකම හිස්‌ ගොඩක්‌ බවට පත්ව තිබිණි. ලක්‌ ඉතිහාසයේ එක්‌ ස්‌ථානයකට

රැස්‌වූ විශාලතම ජනකාය ලෙස ඉතිහාසයට එක්‌වූ එම අවස්‌ථාව විස්‌මය දනවන්නක්‌ විය.

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලක්‍ෂ දෙකහමාරකට අධික ප්‍රමාණයක්‌ දේව මෙහෙයේදී බැතිමතුන්ට දානය කිරීම ද විශේෂත්වයකි. කතෝලික සභා ඉතිහාසයේ විශාලතම දිව්‍ය සත්ප්‍රසාද දානය වූ එම අවස්‌ථාවේ ඒ සඳහා ගෝවෙන් පැමිණි පැවිදි සොහොයුරියන්ගේ සහය ද ලබා ගැනිණි.

ජුසේවාස්‌ මුනිඳුන් ශුද්ධවරයට එසවීමේ අවස්‌ථාව බැතිමතුන්ගේ අමන්දානන්දයට හේතු වුයේ උන්වහන්සේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සාන්තුවරයා වන හෙයිනි. දේව මෙහෙයේදී පාප්වහන්සේ අසුන්ගෙන සිටි විශේෂ ආසනය දේව මෙහෙයෙන් අනතුරුව පූජ්‍ය පක්‍ෂයේ මෙන්ම බැතිමතුන්ගේ ද සිප ගැනීමට ලක්‌වීම හැඟුම්බර අවස්‌ථාවක්‌ විය.

දිව්‍ය යාගයෙන් පසු උන්වහන්සේ මඩු දේවස්‌ථානය කරා ගොස්‌ එහිදී ද මෙහෙයක්‌ පැවැත්වූහ. මඩු දේවස්‌ථානයට රැස්‌වූ සුවිශාල ජනතාව අතරින් විවෘත රියකින් උන්වහන්සේ ගමන් කර ආශිර්වාද කළහ. මඩු දේවස්‌ථානයේ සිට යළිත් කොළඹට සැපත් වූ උන්වහන්සේ කොළඹ මාළිගාවත්තේ පිහිටි මහබෝධි අග්‍රශ්‍රාවක විහාරයට ගොස්‌ විහාරාධිපති බානගල උපතිස්‌ස හිමියන් බැහැදුටහ. විනාඩි 20 පමණ කාලයක්‌ එහි ගත කළ උන්වහන්සේ විහාරස්‌ථානයේ තැන්පත් කර තිබූ ධාතු කරඬුවට ද ගරුබුහුමන් දැක්‌වූහ. ලොවම පිළිගත් ජීවමාන ශුද්ධෝත්තම නායකයාණන් සිය විහාරස්‌ථානයට සැපත් වීම බානගල උපතිස්‌ස හිමියන්ගේ විමතියට හේතු වී තිබිණි.

පසු දින මීගමුව බෝලවලාන අතිඋතුම් සොළොස්‌ වැනි බෙනඩික්‌ට්‌ සංස්‌කෘතික ආයතනයට සැපත් වූ පාප්වහන්සේ විනාඩි 15 ක පමණ කාලයක්‌ එහි රැඳී සිටියහ. අනතුරුව ගුවන්තොටුපළ බලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමග ගමන් ගත් එඩේරාණන් එහිදී ලක්‌ මවට සමුදීමේ චාම් උළෙලකට එක්‌ වූහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක්‌ එම අවස්‌ථාවට එක්‌ව සිටියහ. සමුදීමේ උළෙලින් අනතුරුව රතු පලස මතින් ගුවන්යානය කරා පියමනින උන්වහන්සේ වෙනුවෙන් නැඟුණ අත්පොලසන්නාදය දසත පැතිරිණි.

පීඩිතයන් දිළින්දන් කුඩා දරුවන් වෙනුවෙන් සිය අසීමිත සෙනෙහසේ දයාබරත්වයේ දැත් දිගු කරමින් සාමයේ පණිවුඩය ලොවට ප්‍රකාශ කරන ජීවමාන ශාස්‌තෘවරයාණන්ගේ ඓතිහාසික ලංකාගමනය අභිමානවත්ව එලෙස සනිටුහන් වූ වගයි.

නිලන්ත මදුරාවල,
නෝමන් පලිහවඩන
ඡායාරූප- නිශාන් එස්‌.ප්‍රියන්ත

Post a Comment

0 Comments