ප්‍රශ්නය - පසුගිය සතියේදී උග්‍ර දියවැඩියාවට සුදුසු අගනා කසායක් ගැන ඔබ සඳහන් කළා. ඉඟිනි ඇට, නෙල්ලි, වෙනිවැල්ගැට, රණවරා පොතු, රසකිඳ, කලාඳුරු මුල් කලං 2 බැගින් ගෙන වතුර පත 8 කට දමා එකට සිඳුවා මී පැණි දමා සති 2 ක් දිනපතා උදේ හිස්‌බඩ පානය කළ යුතු බව එහි කියා තිබුණා. මෙයින් සිදුවන්නේ දියවැඩියාව සුව වීමක්‌ද එහෙමත් නැත්නම් පාලනය වීමක්‌ද?
වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - මා මේ කසාය නියම කළේ උග්‍ර දියවැඩියාවටයි. සාමාන්‍යයෙන් උග්‍ර දියවැඩියාව හැදුනාම ඉන්සියුලින් නිපදවීම සම්පූර්ණයෙන් ම නතර වෙනවා. ඉන්සියුලින් නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධානතම ශරීරාංගය වන අග්න්‍යාශයේ තිබෙන සෛල මිය යැම නිසා තමයි එහෙම වෙන්නේ. දියවැඩියාව නැවත සුවපත් කරන්න නම් අග්න්‍යාසය හා එහි තිබෙන සෛල නැවත වතාවක් සම්පූර්ණයෙන් ම ප්‍රාණවත් විය යුතුයි. එසේ කරන්නට බැරි කමක් නැතත් ඒ සඳහා විශාල ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වෙනවා. ආයුර්වේද ශාක සාර මගින් අග්න්‍යාශය ප්‍රාණවත් කර ගන්නා පාරම්පරික ක්‍රමයක් තිබෙනවා. වසර දහස් ගණනක් පැරැණි රෝගයක් වන දියවැඩියාව අපේ පැරැන්නන් විසින් නිට්‌ටාවට සුව කරගත් අවස්‌ථා ඉතිහාසයේ තිබෙනවා. ඒ පාරම්පරික ශාකසාර ප්‍රතිකාර ගැන අප මේ දිනවල පර්යේෂණයක් කරගෙන යනවා. එය කසායක්. හොයාගන්න අමාරු බිං කොහොඹ, ලිහිනි කූඩු වැනි ද්‍රව්‍ය අඩංගු කසායක්. නැකත් බලලා, රාහු කාලය මඟහැරලා ලිප තැබිය යුතු කසායක්. මෙය කසාය කළ යුත්තේ මද ගින්න ඇති කරන දර වර්ගයකින්.
පසුගිය සතියේ මා දෙන ලද කසාය මගින් උග්‍ර දියවැඩියාව ඉතා හොඳින් පාලනය කළ හැකියි. සති 2 ක කාලයක් කසාය බී අවසන් වුණාම ආහාර පාලනයෙන් රුධිර සීනි මට්‌ටම සාමාන්‍ය මට්‌ටමට ගෙන එන්නට පුළුවන්. එසේම පැවැත්ම සම්බන්ධයෙන් ද විශේෂයෙන් සැලකිල්ල යොමු කළ යුතු වෙනවා. තමා දියවැඩියා රෝගියකු බව හඳුනා ගත් පසු ඔහු පහත සඳහන් අංශ ගැන කල්පනාකාරී විය යුතුයි. එනම්.
1. ආහාර
2. නිසි වෙලාවට නින්ද
3. තමාගේ පෞද්ගලික සෞඛ්‍යය සහ පිරිසිදුකම.
4. බඩ හිස් නොකර තබා ගැනීම - එනම් සුළු වශයෙන් හෝ ආහාරයක්/ පාන වර්ගයක් උදරයේ
රැඳෙන පරිදි කටයුතු කිරීම.
ප්‍රශ්නය - දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා තිබෙන වෙනත් පාරම්පරික කසාය මොනවාද?
වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - මා පහත කියන කසාය වසර 500 කට වඩා පැරැණියි. එනම්,
කොතලහිඹුටු, කොහිල අල, කෙකටිය අල
ඕලු දලු, මානෙල් අල, රණවරා
වෙනිවැල්ගැට, නුග, බෝ, ඇහැල
මැල්ල කොල, දිවුල් ඇට, වැල්මී
මීමල්, කොස් කොල, අඹ පොතු
අඹ පොතු ගන්නා විට ඉදුන කොහු අඹ යොදා ගැනීම තමයි වඩා යෝග්‍ය. මේ සියල්ල කලං 3 බැගින් ගෙන පත 8 එකට සිඳ මී පැණි ස්‌වල්පයක් දමා සති දෙකක් උදේ වරුවේ පානය කළ යුතුයි. ඒ අතර විටින්විට සීනි මට්‌ටම පරීක්‍ෂා කිරීමෙන් මෙහි තිබෙන ගුණය දැන ගත හැකියි.
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව
0 Comments