සෙංකඩගල අගනුවරට මුලින්ම දළදා හිමි වැඩම වූයේ ක්‍රි.ව. 1592 පළමු විමලධර්මසූරිය රජු කලයි. ඒ සීතාවක දෙල්ගමු විහාරයේ සිටය. දෙල්ගමු විහාරයේ සිට ඌව පාරෙන් සෙංකඩගලට දළදා හිමි වැඩම වීම මාස කීපයක්, පළමු විමලධර්මසූරිය රජු (ක්‍රි.ව. 1592- 1604) සැලසුම් කළ වැඩපිළිවෙළක ප්‍රතිඵලයකි. දළදා හිමි මහනුවරට වැඩම වීමට හිරිපිටියේ ඒකනායක රාළ දියවඩන නිළමේ, දෙවනගල රතනාලංකාර හිමි සහ ගලඋඩ හිමි මුල් වී ඇත. දළදා හිමි මහනුවරට වැඩමවන ආරංචිය ලැබී පළමු විමලධර්මසූරිය රජු නගරය අලංකාර ලෙස සරසා ඇමැතීත් පිරිවරාගෙන අම්පිටියට ගොස් දළදාහිමි ගෞරවයෙන් පිළිගත් බව ''දළදා පුවත'' කාව්‍ය ග්‍රන්ථය කියයි. එදා දළදා වැඩ සිටීමට ස්‌ථානයක් නොවූයෙන් එක් රැයක් හෝ කෙටි කාලයක් අස්‌ගිරිය ගෙඩිගේ විහාරයේ දළදා හිමි තබා ඇත. ඒ සිහිවීමට අදත් දිය කපන දා රාත්‍රියේ පෙරහැර කරඬුව අස්‌ගිරිය ආදාහන මළුව විහාරයට වැඩමවයි.
දළදා පුවත කාව්‍ය ග්‍රන්ථය අනුව ඉන්පසු දළදා හිමි දළදා මැඳුරක් ඉදිවන තුරු පළමු විමලධර්මසූරිය රජුගේ රජ මැඳුරේම ශාලාවක තැන්පත් කර තබා ඇත. ඒ ආරක්‌ෂාව, ගෞරවය පිණිසය. එය "සඳ දක්‌නාගේ" නම් විය.
පළමු විමලධර්මසූරිය රජු ඉදිකළ පළමු දළදා මැඳුර
චූල වංශය ඇතුළු වංශකතා අනුව ඉන්පසු පළමු විමලධර්මසූරිය රජු දළදා හිමි තැන්පත් කිරීමට රජ මැඳුර අසලම දෙමහල් දළදා මැඳුරක් ඉක්‌මනින් ඉදිකරවීය. දළදා හිමි රජ මැඳුරේ ශාලාවක වැඩ සිටි බැවින් මෙම දෙමහල් දළදා මැඳුරේ වැඩ කඩිනමින් නිම කළ බව පෙනෙයි.
පළමු විමලධර්මසූරිය රජු ඉදිකළ තුන්මහල් දළදා මැඳුර
පළමු විමලධර්මසූරිය රජු මුලින් ඉදිකළ දෙමහල් දළදා මැඳුර අසලම පසු කල ඔහු වඩාත් විසිතුරු තුන්මහල් දළදා මැඳුරක් ඉදිකළ බව දළදා පුවත කාව්‍ය ග්‍රන්ථය හා සිංහල දළදා වංශය කියයි. මේ අනුව කාලයක් යනතුරු පළමු විමලධර්මසූරිය රජු ඉදිකළ දෙමහල් දළදා මැඳුර ද ඒ ළඟම පිහිටි තුන්මහල් දළදා මැඳුර ද තිබී ඇත. ඒවා විනාශ වූයේ පෘතුගීසි ආක්‍රමණවලින් බව පෙනී යයි.
දෙවැනි රාජසිංහ රජු ඉදිකළ දෙමහල් දළදා මැඳුර
උඩරට දෙවැනි රාජසිංහ රජු දෙමහල් දළදා මැඳුරක් කළ බව සිංහල දළදා වංශය කියයි. (ක්‍රි.ව. 1636-1687) ඒ මුල් දළදා මැඳුරු දෙක පෘතුගීසීන් විනාශ කළ බැවිනි. මෙකල ලියවුණු ''පළමු මහ හටන'' ප්‍රශස්‌ති කාව්‍යයේ පරංගීන් දළදා මැඳුර වැනසූ බව කියයි. දෙවැනි රාජසිංහ රජු ඉදිකළ දළදා මැඳුර දෙමහල් විය.
දෙවැනි විමලධර්මසූරිය රජු ඉදිකළ තුන්මහල් දළදා මාලිගාව
පරසතුරු ආක්‍රමණවලින් පසු දෙවැනි රාජසිංහ රජු ඉදිකළ දෙමහල් දළදා මැඳුර විනාශ වූ බැවින් දෙවැනි විමලධර්මසූරිය රජු (ක්‍රි.ව.1687- 1707) තුන්මහල් අලුත් දළදා මැඳුරක් කළ බව චූලවංශය ඇතුළු වංශකතා විස්‌තර දක්‌වයි.
නරේන්ද්‍රසිංහ රජු ඉදිකළ දෙමහල් දළදා මැඳුර
දෙවැනි විමලධර්මසූරිය රජු ඉදිකළ තුන්මහල් දළදා මැඳුර අසල ඒ කොටස් කඩා ඉවත් කොට අලුත් දෙමහල් දළදා මැඳුරක් ඉදිකළේ කුණ්‌ඩසාලේ රජකළ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. (ක්‍රි.ව. 1707- 1739) නරේන්ද්‍රසිංහ රජු ඉදිකළ මේ දෙමහල් දළදා මැඳුර ගැන දීර්ඝ විස්‌තරයක් එහි ඇඳි ජාතක කතා වලින් චූලවංශයේ දක්‌වයි. අද මහනුවර දක්‌නට ලැබෙන දෙමහල් වැඩ සිටින මාලිගය නරේන්ද්‍රසිංහ රජු කරවූ මෙම පැරණි දළදා මැඳුරයි. ඒ මහනුවර නගරයේ ඉදිවූ පස්‌වැනි දළදා මැඳුරයි. එය දැනට අවුරුදු 300 ක් තරම් පැරණිය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු එම මුල් දළදා මැඳුර ප්‍රතිසංස්‌කරණය කිරීම
ක්‍රි.ව. 1765 වෑන් ඊක් යටතේ ඕලන්දවරු උඩරටට කඩාවැදී රජ මැඳුර සහ දළදා මැඳුර නගරය වැනසූහ. ඒ නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747- 1782) ඕලන්දයන් වැනසූ දළදා මැඳුර දීර්ඝ පූර්ණ ප්‍රතිසංස්‌කරණයකට ලක් කළේය. නරේන්ද්‍රසිංහ රජු මුලින් ඉදිකළ මෙම දෙමහල් දළදා මැඳුරේ දීර්ඝ ප්‍රතිසංස්‌කරණයට කීර්ති ශ්‍රී රාජසිංහ රජුට අවුරුදු හතකට වැඩි කලායක් ගත විය. දළදා මැඳුරේ අදත් භාවිත වන පෙරහැර කරඬුව ඇතුළුව පූජා භාණ්‌ඩ රැසක් පූජා කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුය. දළදා මැඳුරේ බුදු මැඳුර රාජාධිරාජසිංහ රජු (ක්‍රි.ව. 1782- 1798) ඉදිකළේය.
ශ්‍රී වික්‍රමරාජසිංහ රජු පත්තිරිප්පුව ඉදි කිරීම
දළදා මාලිගාවට පත්තිරිප්පුව එකතු කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය. (ක්‍රි.ව. 1798-1815) පත්තිරිප්පුව දෙහිගම දියවඩන නිලමේගේ සැලැස්‌මක් අනුව දේවේන්ද්‍ර මූලාචාරියා විසින් ඉදිකර ඇත. පත්තිරිප්පුව අසල අද ඇති දිය අඟල, වලාකුළු බැම්ම අද දක්‌නට නැති එදා තිබූ අටවැනි පත්තිරිප්පුව හා බෝගම්බර කිරිමුහුද ඉදිකළේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය.
එස්. කේ. ජයවර්ධන
0 Comments