දරුවන් නැති අයට දරු සම්පත් දෙන තවත් බෙහෙත් කිහිපයක්‌


ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ කතා කළේ දරුවන් පිළිසිඳ ගැනීමට කාන්තාවන්ට ශක්‌තිය ලබා දෙන තල තෙල් පිළිබඳවයි. දරුවන් නැති කාන්තාවන් හා පුරුෂයන් නිසි කායික එක්‌වීමකට පෙර තල තෙල් සහ එළඟි තෙල් පරිහරණය කළ යුතු ආකාරය ඉකුත් සතියට පෙර සතියේ අප පැහැදිලි කර දුන්නා. අද අප ඔබෙන් අපේක්‍ෂා කරන්නේ එළඟි තෙල්වල ගුණය පිළිබඳ තොරතුරු ලබා ගැනීමටයි.

වෛද්‍ය කෞමදි කරුණාගොඩ - කායික එක්‌වීමකට පෙර පුරුෂයෙක්‌ පිරිසිදු එළඟිතෙල් තේ හැඳි 3 ක්‌ පමණ පානය කළ විට ඔහුගේ ශූක්‍රාණුවල ජීව ගුණය බලවත්වන බව ආයුර්වේදයේ එනවා. එළඟිතෙල් කියන්නේ කිරිවල තිබෙන උපරිම ගුණයයි. කුසට එළඟි තෙල් ලබා දීම හරියට සමාන වෙන්නේ ආහාර ජීර්ණය නමැති ගිනි ජාලාවට ඉන්ධන ඉසීමටයි. ශරීරයේ ශක්‌තිය වර්ධනය කිරීම, අභ්‍යන්තර ඉඳුරන් මෘදු බවට පත් කිරීම, ශරීරයේ 'රස්‌ ගුණය තීව්‍ර කිරීම, වියපත් වීම හෝ වෙනයම් හේතුන් මත දුර්වල වන ශුක්‍ර වැඩි දියුණු කිරීම සහ ශක්‌තිමත් කිරීම, ප්‍රතිශක්‌තිකරණය ඉහළ දැමීම වැනි කාරණා සඳහා එළඟි තෙල් විශාල වශයෙන් බලපානවා. බුද්ධිය සහ මතකය වර්ධනය කිරීමටත් එළඟි තෙල් යොදා ගත හැකි අතර ඇතැම් ඉන්දීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාඥයන් කියන පරිදි ලොව හොඳම ආහාරය ලෙස එළඟි තෙල් සැලකිය හැකියි. මේ සියල්ලටම අමතරව ඉපැරැණි ඉන්දියානු වෛද්‍යවරුන් තුවාල සුවපත් කිරීම සඳහා එළඟි තෙල් යොදා ගත්තා. සැත්කම් ලදී යොදන කැපුම් යළි යථා තත්ත්වයට පත් කරන රෝපණ ගුණය එළඟි තෙල් වල තිබෙනවා. බඩවැල් තුවාල සුව කිරීම සඳහාත් එළඟි තෙල් මිශ්‍ර ඖෂධ ලබා දුන්නා. වියපත් පුද්ගලයන් දිගු කලක්‌ ඇඳට වී සිටින විට හටගන්නා Bed Sore නමැති තුවාල විශේෂය සුවපත් කරන්නටත් එළඟි තෙල් යොදා ගැනීම ඉපැරැණි භාරතයේ සිදු වුණා. කැඩුන අස්‌ථි යළි පිරිද්දීමේ ක්‍රියාවලිය ඉක්‌මන් කර ගැනීමටත්, සියලු ආකාරයේ චර්ම රෝග සුවපත් කරන්නටත් එළඟි තෙල් මිශ්‍ර ඖෂධ යොදා ගන්නවා. 

එළඟිතෙල් යොදා නොගන්නා වාජිකරණයක්‌ නැති තරම්. පුරුෂයන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය ප්‍රකෘතිමත් කරන්නටත් ඔවුන්ගේ සරු බව වර්ධනය කර ශුක්‍ර සංයුතිය (Sperm Count) ඉහළ දමන්නටත් එළඟිතෙල්වලට පුළුවන්. එළඟිතෙල් සම්බන්ධ කර ගනිමින් පහත සඳහන් ආයුර්වේදීය ශාකසාර ආහාර ගත් විට පුරුෂයන්ගේ ශුක්‍රානු සංයුතිය සහ එහි ශක්‌තිය වර්ධනය වන බවට පිළිගැනීමක්‌ තිබෙනවා. එනම්

1. සෑම දවසකම රාත්‍රි නින්දට යැමට පැය 3 කට පෙර දෙළුම් ගෙඩියක යුෂ පානය කරන්න. මෙයට එළඟි තෙල් තේ හැඳි 2 ක්‌ එකතු කළ විට ශුක්‍ර ශක්‌තිය ඉහළ යනවා. ශරීරයේ තැන්පත්ව තිබෙන සියලු ආකාරයේ විෂ ද්‍රව්‍ය විනාශ කරන්නට දෙළුම් යුෂවලට පුළුවන්.

2. වියළා ගත් එඬරු කොළ චූර්ණයක්‌ වන ලෙස කුඩු කර එයින් තේ හැඳි භාගයක්‌ පිරිසිදු මී පැණි තේ හැඳි 2 ක්‌ සහ පිරිසිදු එළඟි තෙල් තේ හැඳි දෙකක්‌ සමඟ හොඳින් මිශ්‍ර කර රාත්‍රි නින්දට යැමට පැයකට පෙර අනුභව කරන්න. මේ මගින් පුරුෂයන්ගේ ලිංගික ශක්‌තිය ඉහළ යනවා. සති 2 ක්‌ මේ ප්‍රතිකාරය කළ පසු ඔබේ ලිංගික හැකියාව තීව්‍ර වී ඇති බව ඔබට වැටහේවි. එසේම මේ මගින් ශුක්‍රාණුවල සංයුතිය ද ඉහළ යනවා.

3. මී එළදෙනුන්ගේ කිරි මිලි ලීටර් 500 ක්‌ ගෙන හොඳින් උතුරුවා ගන්න. එයට නැවුම් මිදි යුෂ මිලි ලීටර් 200 ක්‌ එකතු කරන්න. පිරිසිදු එළඟි තෙල් තේ හැන්දකුත් දමන්න. දිනපතාම හිස්‌බඩ මේ මිශ්‍රණය පානය කරන්න. සති 3 ක්‌ එක දිගට මෙය කළ විට ඔබේ ලිංගික ශක්‌තිය ඉහළ යනවා. ඒ වගේම ශුක්‍ර සංයුතියත් වැඩි වෙනවා.

4. වියළි රටඉඳි ගෙඩි 40 - 50 ක්‌ ගෙන එහි ඇට ඉවත් කර සෑම ගෙඩියක්‌ම කොටස්‌ 4 ක්‌ වන පරිදි කපන්න. කුඩා නැවුම් මැටි මුට්‌ටියක්‌ ගෙන ඇල් ජලයෙන් හොඳින් සෝදා, වියළෙන්නට හැර එයට රට ඉඳි සහ එළඟි තෙල් දමන්න. එළඟි තෙල් දමන විට එය රට ඉඳි වැසී යන පරිදි දැමිය යුතුයි. ඉන් පසු මුට්‌ටියේ කට බැඳ දින 21 ක්‌ සිසිල් ස්‌ථානයක තබන්න. ඉන් පසු උදේට රට ඉඳි කැබලි දෙකක්‌ සහ සවසට රට ඉඳි කැබලි දෙකක්‌ වශයෙන් අනුභව කරන්න. මෙය දින 90 ක්‌ අනුගමනය කළ විට ඔබේ ශුක්‍ර සංයුතිය සහ ශක්‌තිය ඉහළ යනවා. මේ ඖෂධය මගින් කොන්දේ අමාරු සහ හිසේ වේදනාව නැතිව යනවා.

Post a Comment

0 Comments