පිරිහීමේ දොරටු හඳුනා ගෙන ජීවිතය සාර්ථක කර ගනිමු


පුද්ගලයාගේ මෙලොව ජීවිතය සාර්ථක කරලීම සඳහා බෙහෙවින්ම උපකාරවත් වන ඉගැන්වීම්වලින් යුක්‌තව පරාභව සූත්‍රය දේශනා කොට ඇත. බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කළේ පුද්ගලයාගේ පිරිහීමට හේතු කවරේ දැයි දෙවියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. මෙහි පිරිහීමේ කරුණු 18 ක්‌ ගාථා 12 කින් දේශනා කොට තිබේ. එම ගාථාවන් එකින් එකට අනුව පිරිහීමේ කරුණු මෙසේය.

1. ධර්මයට අකමැති වීම.

2. අසත් පුරුෂයන් ප්‍රියවීම.

3. සත් පුරුෂයන් ප්‍රිය නොකිරීම.

4. අසත් පුරුෂ ධර්මයට ප්‍රිය කිරීම.

5. නිතරම නිදනසුලු බව.

6. කතාවෙන්ම දවස ගෙවීම.

7. උත්සාහයෙන් තොරවීම.

8. අලසකම.

9. ක්‍රෝධ කරන බව.

10. මහලු වියට පත් දෙමවුපියන්ට හැකියාව තිබිය දීත් නොසැලකීම.

11. බමුණන්, පැවිද්දන් හෝ වෙනත් තවුසන් බොරුවෙන් රැවටීම.

12. බොහෝ ධනය ආහාරපාන තිබිය දීත් ඒවා හුදකලාව භුක්‌ති විඳීම.

13. ජාතිය, ධනය, ගෝත්‍රය පිළිබඳ මානයෙන් උදම් වී ස්‌වකීය ඥතීන් පහත් කොට සිතීම.

14. ස්‌ත්‍රීන් කෙරෙහි, සුරාව කෙරෙහි, දූ කෙළියෙහි ලොල් වී ලත් ධනය විනාශ කිරීම.

15. ස්‌වකීය භාර්යාවගෙන් තෘප්තිමත් නොවී වෛශ්‍යාවන් හා පර අඹුවන් කරා යැම.

16. ඉක්‌මගිය යොවුන් බව ඇති මිනිසෙකු ලාබාල තරුණියක සරණපාවා ගෙන ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොනිදා ඇය රැකීමට වෙහෙසීම.

17. රසයෙහි ගිජු වූ නාස්‌තිකාර ස්‌ත්‍රියක හෝ පුරුෂයකු ආධිපත්‍යයෙහි තැබීම.

18. ක්‌ෂත්‍රිය කුලයෙහි ඉපදුණු ධනයෙන් හීන, මහත් වූ වස්‌තු තෘෂ්ණාවෙන් යුක්‌ත අයෙකු රජකම පැතීම.

මෙම පිරිහීමේ කරුණු මැනවින් වටහාගෙන ආර්ය දර්ශනයෙන් යුතුව ක්‍රියා කොට මෙලොව පරලොව අභිවෘද්ධියම සලසා ගැනීමට නුවණැති පුද්ගලයා ක්‍රියා කරයි. ගිහි ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මෙම ධර්ම කරුණු බෙහෙවින්ම හේතු වෙයි. මේ තුළින් ඉගැන්වෙන්නේ හොඳ නරක පිළිබඳ බෞද්ධ නිර්ණායකයි.

නුවණැත්තෝ ධර්මය ප්‍රිය කරති. අනුවණයෝ එය අප්‍රිය කරති. මෙම පරාභව සූත්‍රයෙන් උගන්වන්නේ නුවණැත්තන්ගේ ක්‍රියාකාරකම් විමසා බලා කුසල් අකුසල් තේරුම් ගෙන අප ක්‍රියා කළ යුතු බවයි. මෙම සූත්‍රයේ ධර්ම කරුණු අවබෝධ කරගෙන තමා තුළ යම් පිරිහීමේ ලක්‌ෂණයක්‌ ඇතැයි වටහා ගතහොත් එය සහමුලින්ම තුරන් කර ගැනීම අපගේ වගකීමයි. උදාහරණයක්‌ ලෙස යම් පුද්ගලයෙකු නිතර නිදන සුලු යෑයි සිතමු. ඔහුගේ අලසකමක්‌, උත්සාහයෙන් තොර වීමත් එයට බලපා ඇත. උට්‌ඨාන සම්දාව හරි හැටි තේරුම් ගෙන අලස නොවී දක්‌ෂව ක්‍රියා කිරීමෙන් ඔහුට එම තත්ත්වයෙන් මිදිය හැකිය.

මවුපිය උපස්‌ථානය පිළිබඳ මහා මංගල සූත්‍රයෙහිද සඳහන් වෙයි. එය උතුම් පින්කමකි. අපට මවුපියන්ගෙන් අපමණ සැලකිලි ලැබේ. එසේ සැලකිලි ලබා අප දියුණු වූ පසු ඔවුනට කෙළෙහි ගුණ දැක්‌විය යුතුය. උවටැන් කළ යුතුය. එය අප තරයේ සිත් හි තබාගත යුතු උතුම් ගුණ ධර්මයකි. සභාවෙහි ඇලුණු බව හෙවත් කතාවෙන්ම දවස ගෙවීම යනු නිතර තැන් තැන්වලට වී ඕපාදූප කතාවෙන්ම කාලය ගෙවීමයි. එසේ නිතර දොඩමලු ස්‌වභාවයෙන් යුක්‌ත වීම පුද්ගලයාගේ පිරිහීමට හේතුවකි. කිසිදු වැදගත් ක්‍රියාවක නිරත වීමට එමඟින් අවස්‌ථාව නො ලැබෙයි. කෝටි ගණන් ධනය තිබුණද යමෙකු සූදුවට හුරු වූයේ නම් ස්‌වල්ප කාලයකින් ඔහු දුගියෙකු බවට පත් වේ. එවැනි දේට උදාහරණයන් අපට වත්මන් සමාජයේ කොතෙකුත් දැකිය හැකිය.

ඌරුගමුවේ අස්‌සජී හිමි

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us