ගැස්‌ට්‍රයිටිස්‌වල අතීතය


ප්‍රශ්නය - පසුගිය සතියේ අපි කැහිපිත්ත කොළවලින් හදාගන්නා ඖෂධයකින් අම්ල පිත්ත රෝගය සුව කරගන්නා ආකාරය ගැන සාකච්ඡා කළා. මෙතැනදී ඔබ සඳහන් කළා මේ ඖෂධය හිස්‌බඩ පානය කළ යුතුයි කියලා...

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - මෙතැනදී මට ප්‍රශ්නයකට මුහුණදෙන්න සිදුවුණා. ඒ තමයි හුඟදෙනෙක්‌ හිස්‌බඩ කියන වචනයේ තේරුම දැන නොසිටීම. සමහරු හිතන්නෙ හිස්‌බඩ කියන්නේ උදේට කට සෝදලා තේ එකක්‌ හෙම බීමෙන් පසු පටන්ගන්න කාලය කියලයි. එය වැරදියි. හිස්‌ බඩ කියන එකේ තේරුම මේකයි. අපි රාත්‍රි හතහමාරට පමණ රාත්‍රි ආහාර ගන්නවා යෑයි සිතමු. අපි ඊළඟ ආහාර වේල, එනම් තේ හෝ කෝපි කෝප්පයක්‌ පානය කරන්නේ පහුවදා උදේ 7 ට විතර. පෙරදා රාත්‍රි ගන්නා ආහාරය ආමාශයට ගොස්‌ දිරවූවාට පස්‌සෙ පසු දින උදය දක්‌වා ආමාශය ආහාර දිරවීමේ කටයුත්තට සම්බන්ධ නොවී නිසලව තිබෙනවා. ආමාශයේ තිබෙන ආහාරවල ශේෂය කොටස්‌ ඇඟට උරාගෙන ඉතිරිය මල මාර්ගයට ගොස්‌ ආමාශය හිස්‌ වෙනවා. අප හිස්‌බඩ කියන්නේ ආමාශය තුළ මේ තත්ත්වය හටගැනීමටයි. කිසියම් ඖෂධයක්‌ ශරීරයට ශක්‌තියක්‌ වන්නට සුදුසුම අවස්‌ථාව තමයි එය හිස්‌බඩ ගැනීම.

ප්‍රශ්නය - අම්ල පිත්ත රෝගය හැදෙන්නේ ආහාර ගැනීමේ චක්‍රය විෂම වීම නිසා බව ඔබ පසුගිය සතියේ කීවා. මෙය තවදුරටත් විස්‌තර කරන්න.

වෛද්‍ය මුහන්දිරම් - මෙයට අවුරුදු 50 කට පෙර ජීවත් වූ මිනිස්‌සු ඉතා හොඳට කය වෙහෙසා වැඩ කළ අය. ඊටත් සියවස්‌ දෙක තුනකට පෙර අප අවට තිබූ සමාජය ගොඩනැඟී තිබුණේ ඉතාම සරල ක්‍රමයකටය. ගොවියා ගොවිතැන් කළා. වඩුවා මේස පුටු බංකු හැදුවා. ගෙවල් හදාගැනීම සිදුවූයේ තමන් අතින්මයි. උළුවහු ජනෙල් දොරවල් විතරක්‌ වඩුවගෙන් ගත්තා. රෙදි වියන අය ඒ කර්මාන්තය කළා. "ගමට ලයිට්‌" සංකල්පය පමණක්‌ නොව "රටට ලයිට්‌" සංකල්පයක්‌වත් නොතිබූ එකල ජනයා වේලාසනින් උයා පිහාගෙන කාබී හැකි ඉක්‌මනින් ගෙවල් තුළට වැද නිදාගත්තා. එකල ගැමි ගෙවල් බොහොමයක රාත්‍රි ආලෝකය වූයේ ළිපේ ගින්දර විතරයි. කඳුකර පළාත්වලට නම් ලිපේ ගින්දර නිවෙන්නට දීමක්‌ තිබුණේම නැහැ. එමගින් නිවසට මඳ ආලෝකයක්‌ වගේම උණුසුමකුත් ලැබුණා. මහ මිනිසුන් වගේම ළමයිනුත් උදේ පාන්දර අවදි වුණා. හැමෝම වැඩ කළා. ළමයින් පවා, දවසේ ඉගෙන ගන්නා කාලයෙන් පසු තමාට හිමි වැඩ කොටස ගෙදර වෙනුවෙන් ඉටුකළා. ඒ කාලෙ මිනිසුන් කෑවේ එළවළු සහ බත්. වැව් මාළු ලැබුණ විටෙක අනුභව කළා. දඩ මසක්‌ ඉතා කලාතුරකින් ලැබුණත් එය පාපයක්‌ ලෙස සැලකීම නිසා ගෙවල්වල හිටපු ගැහැනුන් හා ළමයින් ඒවා ආහාරයට ගැනීමෙන් වැළකී සිටියා. ඔවුන් දැන සිටි ඉහළම මත්පැන වූයේ පොල් රා හෝ තල් රා පමණයි. මත්පැන් ආසවනය කිරීමත් ඒ කාලයේ නොතිබූ නිසා කසිප්පු හෝ අරක්‌කු තිබුණේ නැහැ. ඒත් 1505 දී පෘතුගීසීන් ආපසු ගම වෙනස්‌ වුණා. 17 වැනි සියවස වන විට එතෙක්‌ රටේ පැවැති දේශීය වෙදකම සහ ආයුර්වේද වෙදකම තුරන්ව ගිහින් බටහිර වෛද්‍ය ක්‍රමය ලංකාවට ආවා. ඒ ඒක්‌කම බටහිරයන් අපට රතු මිරිස්‌ සහ මස්‌ මාළු සහිත බත් පිඟානක්‌ පුරුදු කළා. බත් පිඟාන ලස්‌සන කිරීම සඳහා ඔවුන් කැකුළු බතේ රතු පැහැති කුරුට්‌ට ඉවත් කර සුදුපාට හාල් ඇටයක්‌ හඳුන්වා දුන්නා. මෙය තඹ සල්ලි භාගයක ගුණයක්‌ නැති බත් පිඟානක්‌. ස්‌වභාවධර්මය හැදී තිබුණේ මෙවැනි බත් පිඟානකට නොව තබ්බපු හාල් බත් සහිත, එහෙමත් නැත්නම් කුරුට්‌ට සහිත කැකුළු බත් කෑම පිඟානකටයි. එහෙත් අප ස්‌වභාව ධර්මයට පිටින් ගියා. අන්තිමේදී සිදුවූයේ කුමක්‌ද? රෝගී ජාතියක්‌ බිහිවීමයි. මෙහිදී රෝගීන් වූයේ සිංහලයන් විතරක්‌ නොවෙයි. රට තුළ මිශ්‍ර සියලු ජනවර්ග රෝගීන් වූනා. මේ ආහාර ක්‍රමයෙන් බාහිරව සමබල ආහාර වේලක්‌ ගන්න හැකිනම් අම්ල පිත්ත රෝගයෙන් වළකින්න අපට පුළුවන්.

සාකච්ඡා කළේ- අශේන් රඹකොස්‌වැව

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us