සිපිරිගෙයි සිරවුණු ප්‍රේමා


ඇගේ නම ප්‍රේමවතී. සහෝදර, සහෝදරියන් සතර දෙනෙක්‌ ඇති පවුලේ වැඩිමලා ඇයයි. මාදම්පිටිය ඇය උපන්ගමයි. ප්‍රේමවතීගේ පියා ජීවතුන් අතර නැත. ඇගේ මව දරුවන් හදාවඩා ගත්තේ කීර විකිණීමෙන් ලැබුණ සොච්චම් මුදලින්ය. පවුලේ බර ඉසිලිය නොහැකි ලෙස අග හිඟකම් වැඩිවිය.

මේ අතර ඇගේ නිවස අසල ජීවත්වූ නගර සභාවේ රැකියාව කළ ගුණදාස නම්වූ තරුණයෙක්‌ ඇගේ අත පැතීය. ප්‍රේමවතීගේ සිතද ඔහු වෙත ඇදුණි. දෙපැත්තේ කැමැත්ත ඇතිව ඔවුන් දෙදෙනාගේ විවාහය සිදුවිය. ඔවුන් විවාහවූ පසු වෙනම කුඩා නිවසක්‌ ගෙන නව දිවිය ඇරඹීය. ඉතාමත් ආදරයෙන් ජීවත්වූ මේ දෙපලට දරුවන් දෙදෙනෙක්‌ ලැබුණි. කලක්‌ගත වෙද්දී හදිසියේ ගුණදාසගේ රැකියාව අහිමි විය.

කාලය වේගයෙන් පියඹා යන්ට විය. ඊටත් වඩා වේගයෙන් ප්‍රේමවතීගේ පවුලේ අග හිඟකම් වැඩි විය. ගෙවල් කුලිය මාස දෙකකින් ගෙවාගැනීමට බැරිවූ නිසා දිනක්‌ ගෙහිමියා දොරකඩට පැමිණ රතු එළිය දල්වා ගියේය. ගුණදාස ඉඳහිට කුලී වැඩක්‌ කර ගෙන එන සුළු මුදලින් හතර දෙනෙකුගේ බඩ වියත රැක ගැනීම පහසු කාරියක්‌ නොවේ. බඩට දැනෙන්න ආහාර වේලක්‌ කෑමට ලැබෙන්නේ එහෙමත් දවසකය.

දිනක්‌ ප්‍රේමවතී තම සැමියාට මෙවැනි යෝජනාවක්‌ කළාය.

ගුණේ, මෙහෙම ගියොත් අපි හතර දෙනාට බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ. මට දුක දරු දෙන්නා ගැන. මට හිතෙනවා මැද පෙරදිග රටකටවත් ගිහින් රස්‌සාවක්‌ කරන්න.

එපා ප්‍රේමා, ඔයා ගියාම මම කොහොමද මේ පුංචි දරු පැටව් දෙන්නා ගෙදර දාලා කුලී වැඩකටවත් යන්නේ?

"මටත් දුක මගේ මේ දරුවෝ දෙන්නා ගැන. ඔයා ගෙදරට වෙලා දරු දෙන්නා බලාගන්නකෝ. මම යන්නම් ගුණේ වෙන කරන්න දෙයක්‌ නැහැ.

ටික දිනකින් පවුලේ හිතවතෙකුගේ ආධාරයෙන් මැද පෙරදිග රැකියාවකට යැමට ප්‍රේමවතීට අවස්‌ථාවක්‌ සැළසුණි. තම දරු දෙදෙනා රැකබලා ගැනීමට ගුණදාසට සහ තම මවට භාර කළ ඇය, මැද පෙරදිග රැකියාවට ගියේ දහසකුත් එකක්‌ අපේක්‍ෂාවන් හද තුළ පුරවාගෙනයි.

මුල් මාස කීපයේදී ඇය ගෙදරට එවූ මුදලින් ණය තුරුස්‌ වලින් නිදහස්‌ව සැපවත්ව ජීවත්වීමට පවුලේ අයට ඉඩකඩ සැළසුණි. ඇය ඉඳහිට තම පවුලේ සියලු දෙනාටම අවශ්‍ය ඇඳුම් පැළඳුම් එවීමටද අමතක කළේ නැත.

ප්‍රේමවතීගේ ශ්‍රමය වැය වෙද්දී, ගුණදාසගේ අතට මුදල් ලැබෙද්දී අලුත් හිත මිතුරන් ඔහුගේ ඇසුරට වැටුණි. ඔහුගේ හිස යකාගේ කම්මලක්‌ බවට පත්විය. ඒ සමඟම ගුණදාස ක්‍රම ක්‍රමයෙන් කුඩුවලට ඇබ්බැහි විය.

වසර දෙකක්‌ ඇවෑමෙන් ප්‍රේමවතී තම මවු රටට පැමිණියේ, ගුණදාසත්, දරු දෙදෙනාත්, තම පවුලේ අයත් සමඟ වාසනාවන්ත ජීවිතයත් ගත කිරීමේ බලවත් අපේක්‍ෂාවෙන්ය. තම මවු රටට පැමිණ දින දෙකකින්ම ගුණදාසගේ වෙනසක්‌ ඇති බව ප්‍රේමවතීට වැටහුණි. මට මතකයි මම ලංකාවට ආපු මුල්ම දවස. ඉස්‌සර මාව ළඟ තියාගෙන මට ආදරයෙන් සලකපු ගුණදාස, එදා රෑ මාත් එක්‌ක හැසිරුණේ අමුම අමු තිරිසනෙක්‌ වගේ. එයා පිස්‌සු බල්ලෙක්‌ වගේ මාව පහුරු ගෑවා. වේදනාව උහුලගන්න බැරි වුණත් මම විඳදරාගෙන සිටියා. මගේ ඇඟ පුරාම සීරිලා. මම වේදනාවෙන් මිරිකුණා.

"ඉතින් පසුවෙනිදා ප්‍රේමවතී, මේ ගැන ගුණදාසගෙන් ඇහුවේ නැද්ද?"

"මම ඇහුවා ඇයි මට මෙහෙම කළේ කියලා"

"එතකොට ගුණදාස ඔයාට මොනවද කිව්වෙ?"

"එයා මගේ ළඟ දණින් වැටිලා පිං සෙන්ඩු වුණා. ආයිත් එහෙම දෙයක්‌ වෙන්නේ නැහැ කියලා මගෙන් සමාවත් ගත්තා.

"අනේ ප්‍රේම මට සමාවෙන්න. මටත් හිතාගන්න බැහැ ඇයි මම ඔයාට එහෙම කළේ කියලා. ඒත් ඊට පසු වතාවලත් ඒ දේ ඒ ලෙසම සිදුවුණා.

ප්‍රේමවතී එතෙර සිටියදී දුක්‌ මහන්සි වී එවූ මුදල්වලින් ගුණදාස මිතුරන් සමඟ එක්‌වී මත්කුඩු භාවිතයට ඇබ්බැහිවී ඇති බවත් රාගාධිකව පාපතර ආකාරයට කම් සැප ලබන්නට ඔහු පුරුදුව ඇති බවත් ඇය අවබෝධ කරගත්තේ ගුණදාස කළ පාපෝච්චාරණයෙන්මය.

ඒ කෙසේ වෙතත් තමා පණමෙන් ආදරය කළ ගුණදාසව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමට, ඇය කීපවරක්‌ම උත්සාහ කළත් එයද අසාර්ථක විය. ඇය බොහෝ විට තම දරු දෙදෙනාවද රැගෙන මවගේ නිවසට ගියත් පසුවදාම ගුණදාස පැමිණ ඔවුන්ව නැවත තම නිවසට රැගෙන යයි. එම අවස්‌ථාවල තම මවටද ඔහු අපහාස ලෙස බැණවැදී මෙවැනි අවස්‌ථා දිගින් දිගටම පැවතුනහොත් තම සොහොයුරන් දෙදෙනාගේ ඉවසීමේ සීමාව ඉක්‌මවා යැමට අවස්‌ථාව සැලසේ. එවිට ඔවුන් අතින් ගුණදාසගේ ජීවිතයට හානියක්‌ සිදුවීමට පවා ඉඩ ඇත. එසේ වූ විට තමන්ගේ මවත්, නංගිලා දෙදෙනාවත්, ප්‍රේමවතීගේ දරු දෙදෙනාත් රැක බලාගෙන, ඔවුන් ජීවත් කරවන්නාවූ සොහොයුරන් දෙදෙනාට නීතියෙන් සහනයක්‌ නොලැබෙන බව ඇයට වැටහුණි. කල්පනා ලොවක පැටලී සිටි ප්‍රේමවතීට තමන් තවත් ජීවත් වීමෙන් පලක්‌ නොමැති බව සිතුණි.

වසර දෙකක්‌ දුරු රටක බැල මෙහෙවරකම් කර කඳුලින්, සුසුමින්, දහදුක්‌ විඳ උපයාගත් මුදල් හදල් නැති නාස්‌ති වීමත්, තම සැමියාගෙන් නිරන්තරයෙන් ලැබෙන හිරිහැරත් අතර අතරමංවූ ප්‍රේමවතීට තම ජීවිතය අන්තයටම තිත්ත විය.

"මට තවත් මේ අපා දුක්‌ විඳින්න බැහැ

මට මැරෙන්න ඕනේ"

ප්‍රේමවතී වරක්‌ දෙවරක්‌ නොව සියදහස්‌ වරක්‌ ගුණදාසට අනතුරු ඇඟෙව්වාය. ඒ සෑම දෙයක්‌ම "බීරි අලියට වීණා වැයීමක්‌" බඳුවිය.

ඇය අවසානයේ එක්‌ වේදනාබර මොහොතක, ඇගේ ඇගේ දරු දෙදෙනා නිවසේ නැති අවස්‌ථාවක්‌ බලාá සැළන දැතින් තම හිසට භූමිතෙල් වත්කර ගත්තාය. ඇගේ වෙව්ලන ඇඟිලි අතර රැඳී තිබුණ ගිනිකූරු දෙක දල්වද්දීම ප්‍රේමවතීගේ සිරුර වසා ගිනි ජාලාවක්‌ම පැතිරුණි.

අහල පහල අය පැමිණ ගින්න නිවා දමා ඇයව රෝහල වෙත රැගෙන යන ලදී. අද ඇය සිපිරි ගෙදර සිටින්නේ සියදිවි හානිකර ගැනීමට තැත්කිරීමේ චෝදනාව මතය.

ප්‍රශ්න වලට පිළිතුර විය යුතු වන්නේ ජීවිතයෙන් පලා යැම නොව බුද්ධිමත්ව කල්පනා කර ප්‍රශ්න ජය ගැනීමයි."

මාලා වජිරා පෙරේරා

Post a Comment

0 Comments