උපවාස කාලය ආරම්භයේ සිට අවසානය තෙක්ම දේව භක්තියෙන් මුස්ලිම් ජාතිකයන් සිටින අතර අල්ලා දෙවියන්ට කරන ගෞරවයක් වශයෙන් තම දෛනික ආශා පවා යටපත් කර සිටීමට මුස්ලිම් භක්තිකයෝ පෙළඹී සිටිති. දහවල් කාලයේ දී ආහාරපානවලින් වැළකී, කොපමණ රස පානීය දේ තිබුණද ශරීර අවශ්‍යතා තිබුණද ඒවා යටපත් කොටගෙන සම්පූර්ණ කාලය දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප කරති.
නෝම්බි උත්සවය නැතහොත් රාමලාන් දිනය සැමරීමේ මූලිකම පරමාර්ථය වන්නේ මුස්ලිම් භක්තිකයන් තුළ ආගමික ගෞරවය, සාමය, සතුට අන් අයට පිහිටවීමේ උතුම් ගුණාංග මගින් මුස්ලිම් භක්තිකයා පෝෂණය කිරීමය.
උපවාස මාසය තෝරා ගැනීමට මූලිකම හේතුවක් වී ඇත්තේ "අල්කුරාන්" නමැති මුස්ලිම් භක්තිකයන්ගේ ධර්ම ග්‍රන්ථය බිහිවීම මේ මාසයේදී සිදුවූ බව විශ්වාස කරන බැවිනි.
ඉස්ලාමීය ආගම් ඇදහිල්ලට අනුව දේව ඇදහිලි සඳහා කාලය දින, මාස යොදා ගන්නේ "සඳ" බැලීමෙනි. රාමලාන් මාසය ආරම්භ වන සඳ දුටු දිනට පසු දින සිට උපවාස කාලය ආරම්භ වෙයි. මෙසේ ආරම්භ වන දින තිහක කාලය අවසානයේ නව සඳ බලා උපවාස කාලය අවසන් කරයි.
උපවාස මාසය තුළ මුස්ලිම් භක්තිකයන් අතින් ඉටුවිය යුතු තවත් උතුම් කරුණක් වන්නේ "දුගී බද්ද" ගෙවීමය. මෙය රජයේ බදු අයකර ගැනීමක් සේ කෙනෙකු පිටුපසින් පන්නා අය නොකරන අතර සෑම අයෙකුම තමා උපයන ආදායමෙන් 2.5 ක ප්‍රමාණයක් දුගී මගී යාචකයන්ට දිය යුතුය. මෙය දුප්පත් පොහොසත් භේදයකින් තොරව දෙවියන් වහන්සේ වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකමක් බව අල්කුරාණයේ සඳහන් වේ.
මුස්ලිම් ආගමේ පෙන්වාදී ඇති ආකාරයට සෑම මුස්ලිම් ජාතිකයකුම ආත්මාර්ථකාමීත්වයෙන් තොරව, පිරිසිදු පවිත්‍ර මනසකින් යුතුව සිටිය යුතු යෑයි විශ්වාස කෙරේ. මේ තත්ත්වය ඇති කළ යුතු වන්නේ ආගම ඇදහීම මගින් මනස සකස් කිරීමෙනි. "සෑම විටම මාව දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා. මම දෙවියන් වහන්සේ ඉදිරියේ සිටිනවා" යෑයි සිතා හැකිතාක් දුරට වැරැදිවලින් මිදී සිටීමට ආගම මගින් පෙන්වාදී තිබේ.
දේව භක්තිය ඇති පුද්ගලයකු කිසි දිනක කිsසිදු අයුරක වරදක් අන් අයට නොකරනා බවද විශ්වාස කෙරේ.
සෑම මුස්ලිම් භක්තිකයකුම දිනකට පස් වතාවක් දෙවියන් වැඳීම කළ යුතුය. උපවාස කාලයේදී ද මෙම ක්‍රියා පිළිවෙත මෙසේ ක්‍රියාත්මක විය යුතු අතර උපවාස කාලය පුරාවට රාත්‍රියේ දී වැඩි කාලයක් ආගමික වතාවත්වල යෙදීමට මුස්ලිම් භක්තිකයන් පුරුදු වී ඇත්තේය.
සංස්කෘතිය පිළිබඳ යමක් සඳහන් කිරීමේදී මුස්ලිම් භක්තිකයන් කුමන රටක, කුමන තරාතිරමක සිටියද දෙවියන් වහන්සේ විසින් ප්‍රකාශයට පත්කරන ලද දේව කැමැත්තට එකඟ විය යුතුය.
එය කරුණු පහක් යටතේ පෙන්වා දී ඇත.
Õ ඉස්ලාම් දෙවියන් පිළිගෙන, කටින් උච්චාරණය කර ගිවිසුමක් ඇතිකර ගැනීම.
Õ දිනකට පස් වතාවක් දෙවියන් ඇදහීම
Õ දුගී බද්ද සඳහා වසරකට තමා උපයන මුදලින් දෙකහමාරක කොටසක් වෙන් කිරීම
Õ උපවාස මාසයේ දී උපවාසයේ යෙදීම
මෙසේ බැලූ කල මුස්ලිම් භක්තිකයන් අදහන දේව චාරිත්‍ර වාරිත්රයන්හි හුදෙක් සංස්කෘතික වටිනාකමට වඩා ඇත්තෙත් ආගමික වටිනාකමය. රාමලාන් උපවාසය සෑම මුස්ලිම් භක්තිකයකුම අනිවාර්යයෙන්ම සැමරිය යුතු අතර එසේ නොකරන මුස්ලිම් බැතිමතුන්ට ඉස්ලාමීය රජයක් පවතින රටකදී කස පහර පවා හිමිවෙයි.
ලංකාවේ මෙවැනි තත්ත්වයක් ක්‍රියාත්මක නොවුණද උපවාසයේ නොයෙදෙන්නන්ට විනාශය ළඟාවන බව ඉස්ලාම් ආගමේ පෙන්වා දී ඇත. සෑම ඉස්ලාම් බැතිමතකුම උපවාසයේ යෙදීම අනිවාර්ය වුවත්, උපවාසයේ යෙදීමට අපහසු අයකුට එහි නොයෙදී සිටිය හැකිය. කුරාණයේ සඳහන් වන ආකාරයට, ගැබිනි මාතාවන්ට, රෝගී පුද්ගලයන්ට, කිලෝමීටර් 89 කට වඩා දුර යන මගියෙකුට නෝම්බි උපවාසයේ නොයෙදී සිටිය හැකිය.
යම් හේතුවකින් උපවාස කාලයෙන් එක් දිනක් හෝ කඩ වුවහොත් ඒ තුළින් සිදුවන පාපය මකා ලන්නට තමාගේ රටේ ප්‍රධාන ආහාරය ලෙස සැලකෙන දෙයින් ග්‍රෑම් 750 ක ප්‍රමාණයක් දුගියකුට දිය යුතුය. රාමලාන් උපවාසයේ දී මනුෂ්‍ය ජීවිතයට ඇතිවන යහපත පිළිබඳවද කතා කළ යුතුය. එහි ප්‍රධානතම කරුණ වන්නේ ජීවිතයේ කවර දිනක්වත් බඩගින්න නොදැනුණු ධනපතියකුට පවා අනෙක් මිනිසාට දැනෙන දුක, වේදනාව දැන ගැනීමට හැකිවීමයි.
නෝම්බි උපවාසය අවසන් පිළිවෙත රටින් රටට වෙනස් විය හැකිය. පොදුවේ බොහෝ රටවල මුස්ලිම් භක්තිකයන් දෛනික උපවාසය අවසන් කරන්නේ "රටඉඳි" ආහාරයට ගෙනය.
මෙම කාලයේදී පිටරටවලින් රටඉඳි ගෙන්වීමේදී රජය මගින් පවා සහන සලසා ඇති අතර විදේශ රටවල මුස්ලිම් භක්තිකයන් මගින් තෑගි වශයෙන් රටඉඳි මෙරටට එවයි.
රටඉඳි අනුභවයෙන් උපවාසය අවසන් කිරීමට මුස්ලිම් භක්තිකයන් පෙළඹී ඇත්තේ නබිතුමා නෝම්බි අවසන් කිරීමට ගත් ආහාරය රටඉඳි බැවිනි. උදෑසන උපවාසය ආරම්භ කිරීමට ප්‍රථම, තම රටේ ප්‍රධාන ආහාරය අනුභව කර කුස පුරවාගෙන ආගමික වතාවත් ආරම්භ කරයි.
රාමලාන් උත්සව දිනයේදී ආගමේ සඳහන් වන පරිදි මසක් පුරාවට උපවාසයේ යෙදීම දෙවියන් වහන්සේ පිළිගන්නට නම් උදෑසන පල්ලියට යැමට පෙර සහල් කිලෝග්‍රෑම් දෙකහමාරක් දුගියකුට ලබාදීමට සෑම තරාතිරමකම මුස්ලිම් බැතිමතෙකුම ක්‍රියා කළ යුතු වෙයි.
මෙම චාරිත්‍රය සෑම මුස්ලිම් බැතිමතකු අතින්ම ඉටුවිය යුතු අතර රාමලාන් සඳ දැකීමට පෙර බිලිඳකු උපන්නහොත් ඒ සඳහා ද මෙම දානය දිය යුතු අතර සඳ දැකීමෙන් පසු අයකු මියගියහොත් ඒ සඳහා ද මෙම සහල් දානය දිය යුතුය.
එම්. ඡේ. එම්. රිස්මි
0 Comments