සෙනසුරු සාපය වැදුණේ ලංකාවටද


නාගරික බවක්‌ නොපෙනන ගානය. වැල්ලවත්ත බෝධිරුක්‌ඛාරාම මාවත හරිම නිහඬය. ඉඳහිට ගමන් කරන වාහනයක ශබ්දය නොඇසෙන්නට හනුමාන් කෝවිල දෙසින් ඇසෙන ඝණ්‌ඨාර හඬ දෙසවන් තුළ රැව්පිළි රැව් දෙන්නේය. අවට දොaර ගලන මල් පහන් සුවඳ නැහැපුඬු පුරවාලන්නේය. හනුමාන් කෝවිල දෙසින් ඇසෙන ස්‌තෝත්‍ර හඬට සිත නිවෙන සුලුය. මල් ගොටු දොaතින් ගත් මිනිසුන් හදපිරි භක්‌තියෙන් යුක්‌තව කෝවිල භූමිය වෙතට ඇදෙන්නාහ. දවස ආරම්භ කිරීමට පෙර හනුමාන් දෙවියන්ගෙන් ආශිර්වාද ලැබ ගැනීමට පැමිණි බැතිමතුන්ගෙන් කෝවිල් භූමිය නොසිස්‌ය. ඒ සැදැහැවතියන් අතරින් අපිදු කෝවිල් පරිශ්‍රයට ඇතුළු වීමු.

කෝවිල් භූමිය තුළ නැගෙනහිර දිසාවට මුහුණලා හනුමාන් කෝවිල් ගර්භයේ ප්‍රධාන දොරටුව පිහිටා තිබේ. එයට මුහුණලා සෙනසුරු දේවාලයේ ප්‍රධාන දොරටුව පිහිටා තිබේ. හනුමාන් දෙවියන් සහ සෙනසුරු මුහුණට මුහුණ බලා සිටිති. අපි කෝවිල් දෙක අතර මැද මිදුලට වී හනුමාන් දෙවියන් වඳින්න එන බැතිමතුන් දෙස බලා සිටිමු. කෝවිල් ගර්භයට පිවිසීමට පෙර බැතිමතුන් දෙපා දොවන අයුරු, කහදියර හිස තවරාගෙන පිරිසිදු වන අයුරු, 'ශ්‍රී රාම්.... ශ්‍රී රාම්...' තොල් මතුරමින් කෝවිල් ගර්භයට ඇතුළු වන අයුරු මහත් වූ ප්‍රහර්ෂයකින් යුතුව දකිමින් හිඳිමු. සැදැහැවතුන්ට අනුව හනුමාන් කෝවිල මහා අනුහස්‌ ඇති එකකි.

කෝවිල තුළට ඇතුළු වන විටම පංචමුඛ ආංජනේයර් ප්‍රතිමාව නැගෙනහිර දිශාවෙන් දර්ශනය වේ. දොරටුව අසල ඉදිරියෙන් ලෙඩ රෝගවලට සුවය ප්‍රාර්ථනා කර වැඳුම් පිදුම් කරනු ලබන ශ්‍රී ධන්වන්තරී භගවාන් ප්‍රතිමාව පිහිටා තිබේ. එම ප්‍රතිමාව පිටුපස රාමා, සීතා, ලක්‍ෂ්මන් යන ප්‍රතිමා ප්‍රධාන පංචමුව ආංජනේයර් ප්‍රතිමාවට දර්ශනය වන පරිදි බස්‌නාහිර දිසාවට මුහුණලා නිර්මානය කර ඇත. ප්‍රධාන පංචමුඛ ආංජනේයර් ප්‍රතිමාව තනි කළු ගලින් නිමවා ඇත. අඩි හැටක්‌ ගැඹුරේ පංචරත්න තැන්පත් කර තිබේ. ප්‍රතිමාවේ පාද රත්තරනින් දිලිසේ. ප්‍රධාන පංචමුඛ ආංජනේයර් ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ ඉන්දියාවේ 'ශිල්ප කලා නිළයම්' කලා ආයතනයේ 'භවානන්දන්' මහතා විසිනි.

සෑම හනුමාන් භක්‌තිකයෙක්‌ම කෝවිලට ඇතුළු වූ පසු වම් පස සිට ආරම්භ කර වැඳුම් පිදුම් සිදු කිරීමට ගමන් මාර්ගයක්‌ නිර්මාණය කර ඇත. එකී ගමන් මාර්ගයේ ප්‍රථමයෙන් වැඩ හිඳුවා ඇත්තේ බුදුපිළිමයකි. එම ස්‌ථානයේම දකුණු පසින් විනයනගර් ප්‍රතිමාව තැන්පත් කර තිබේ. වම් පසින් මුරුගන් ශක්‌ති, සරස්‌වතී, ලක්‍ෂ්මී ප්‍රතිමාවන් තැන්පත් කර තිබේ. එයට පිටු පසින් දෙපසට නාගම්මා සහ දුර්ගා ප්‍රතිමාවන් තැන්පත් කර තිබේ. ප්‍රධාන පංචමුඛ ආංජනේයර් ප්‍රතිමාව ආසන්නයේම දකුණු පසින් ගණදෙවි ප්‍රතිමා සහ කතරගම දෙවියන්ගේ ප්‍රතිමාව පිහිටා තිබේ. එයට පිටුපසින් දෙවියන්ටත් මුදල් ලබාදෙන ධන කුවේරයකු ලෙස සැලකෙන ලක්‍ෂ්මි කුබේරන් ප්‍රතිමාව තැන්පත් කර තිබිණි. වසන්ත මණ්‌ඩපයට වම්පසින් නවග්‍රහ මණ්‌ඩලය තැන්පත් කර තිබේ.

ස්‌තෝත්‍ර හඬ සමග මුසු වූ ඝණ්‌ඨාර නාදය කෝවිල් ගර්භය තුළ රැව් දෙන්නේය. උදේ පූජාවට දෙවියන් වැඩමවීමට සියල්ල සූදානම්ය. නොයෙක්‌ බැතිමත්හු හනුමාන් කෝවිලේ ආනුභාවයෙන් ආශ්චර්යය ළඟා කරගනු සඳහා සුදු මල් දොaතීන් ගෙන එක පෙළට සිටිති. එක තැනක කිරි දරුවෙක්‌ සහිත මවකි. තව තැනක තරුණ යුවළකි. තව තැනක කිහිලිකරුවකට බරදී සිටින ආබාධිතයෙකි. ප්‍රයෝගික ජීවිතයේ උත්තර නොමැති ගැටලු හනුමාන් දෙවියන් හමුවේ තැබීමට එකී මිනිසුන් පෙළ ගැසී සිටිති. කිරි සුදු පොළව මත දැසට හසු වන වැලි කැටයක්‌ තරම්වත් නැති තරම්ය. සිරිත් පරිදි හිමිදිරි උදෑසන හනුමාන් දෙවියන් එළකිරිවලින් දොaවනය කළ ද මල් සුවඳ හැරෙන්න කිරි සුවඳක්‌වත් නැත. මොහොතකට හනුමාන් කෝවිල් ගර්භයෙන් පිටතට දිව ගිය අපේ දැස සෙනසුරු දේවාලයේ සෙනසුරු ළඟ නතර විණි.

විසල් කෝවිල් ගර්භය කෙන්ද්‍රස්‌ථානයේ සෙනසුරු සහ දේවිය (ජ්‍යෙෂ්ඨා දේවිය) එකට සිටින පිළිමයකි. තනි කළු ගලෙන් නිර්මාණය කර ඇති පිළිමයේ උස අඩි හයක්‌ පමණය. ඒ පිළිමයට පසෙකින් තවත් කළු ගලින් නිර්මාණය කළ සෙනසුරු පිළිමයකි. පිළිම දෙකම සම්පූර්ණයෙන්ම කළුය. දේවියත් සමග එකට සිටින විට සෙනසුරුගේ රෘද්‍ර පෙනුම මඳක්‌ අඩු වුවද ඊට පසින් තිබෙන සෙනසුරු පිළිමය දුටුවන් භ්‍රාන්ත කරන තරමට පෙනුම බියකරුය. කෝවිල් ගර්භය තුළ ද අමුතුම නිහඬ සහ ගුප්ත බවකින් වේලී ගොස්‌ය. අපි සෙනසුරු පිළිමය දෙස බලා හිssඳිමු. සෙනසුරු එක එල්ලේ අපේ දෑස්‌ දෙස බලා සිටී. සෙනසුරු කොයි මොහොතක අපව කරදරයට පත් කරයිදෝ යන්න දන්නේ අප ඉදිරියේ සිටින සෙනසුරු පමණි. කිසිදු ජගතෙකුට සෙනසුරුගෙන් බේරී සිටීමට නොහැකිය. දෙවි දේවතාවුන්ටත් මිල මුදල් ලබාදුන්නැයි කියන කුබේරන්ටත් සෙනසුරුගෙන් බේරීමක්‌ නැති විය. විෂ්ණු දෙවියන්ට පවා බටකොළ කැවුවේය. අකුසලයක්‌ කළා නම් සෙනසුරු අනිවාර්යයෙන්ම දඬුවම් කරනවාමය. 

ශිව දෙවියන්ගෙන් කුබේරන් රජකම ලබාගත් පසු ප්‍රථමයෙන් ඔහු රාජ සභාව කැඳවා පවසා ඇත්තේ 'මේ ග්‍රහයෝ නව දෙනාගෙන් හරි කරදරයි. උන් තමයි මේ හැම දේම කරන්නේ. ඔය ග්‍රහයන් නව දෙනාව ගෙනත් කණපිට ගහපල්ලා මට පාගගෙන යන්න' යි කුබේරන් කියා තිබේ. සෙනසුරු ඒ කතාවත් සිත තබාගෙන සිටියේය. රාවණා විසින් කුබේරෙන්ට බාල වයස්‌ තරුණියක්‌ සරණ පවාදෙන අයුරු ද සෙනසුරු බලා සිටියේය. ඒ වන විට කුබේරන්ට වයස අවුරුදු අසූවකි. සෙනසුරු ඒ විවාහය කිසිසේත් අනුමත නොකළේය. එය අකුසලයක්‌ යෑයි සිතා සෙනසුරු කුබේරන්ටයි, රාවණාටයි සාප කළේය. ඒ සාපයෙන් කුබේරන් නැත්තටම නැති විය. සෙනසුරු එසේ සාප කර ඇත්තේ ලංකාවේදීය. සෙනසුරුගේ ඒ සාපය අදටත් ලංකාවට කොඩිවිනයක්‌ වී ඇති බවත්, කාලයෙන් කාලයට විවිධාකාරයෙන් භීෂණයන් පැමිණ ලංකාවේ මිනිසුන් මියෑදෙන්නේ ද එකී සාපයේ ප්‍රතිඵලයක්‌ බව යෑයි වරක්‌ ඉන්දියාවේ ඝෘෂිවරයෙක්‌ පවසා ඇති බව හනුමාන් කෝවිලේ ප්‍රධාන පාලකයා වශයෙන් කටයුතු කරන සුමන්දිරම් මහතා අප සමග පැවසුවේය.

'සාමාන්‍යයෙන් මිනිස්‌සු සෙනසුරුට බයේ වඳින්නේ නෑ. සෙනසුරු කියන කෙනා හොඳට හොඳයි. නරකට නරකයි. සමහර පුද්ගලයන්ව නැතිභංගස්‌ථානම කරලා දානවා. හොඳට හිටියොත් හිනිපෙත්තටම නඟින්න පුළුවන්. සෙනසුරු දඬුවම් දෙන්නෙ අපි කරන අකුසල්වලට. අපි ගිය ආත්මවල කරලා තියෙන අකුසල්වලට. අපේ අම්මා තාත්තා කරලා තියෙන පව්වලට. අපි ඉපදෙනකොටම මහාබ්‍රහ්මයා අපි කරලා තියෙන පව්, පින් ගණන් හදලා බලලා අපිව නවග්‍රහයන්ට භාර දෙනවා. සෙනසුරු අපිට කරදර කරන්න ඉස්‌සර වෙලා ඉඳලා සෙනසුරුට වඳිනවා නම් කරදර ගොඩක්‌ම අඩු වෙනවා. සෙනසුරු දේවාලේ සෙනසුරු පිළිම දෙකක්‌ තියෙනවා. තනි පිළිමයක්‌ සහ දේවියත් එක්‌ක ඉන්න පිළිමයක්‌. තනි පිළිමය ග්‍රහ අපල දුරු කරගන්න එන අයට නාවලා තම තමන්ගේ පව් සෝදලා යවන්න පුළුවන්. දේවියත් එක්‌ක ඉන්න පිළිමයට වඳින්න පුළුවන්. දේවියත් එක්‌ක ඉන්නකොට සෙනසුරු කරදර කරනවා අඩුයි...' චන්ද්‍රසේකරන් ස්‌වාමි සෙනසුරුගේ හොඳ නොහොඳ එසේ විස්‌තර කළේය.

'හනුමාන් දෙවියො මගේ ඇඟට එනකොට මට අවුරුදු දොළහයි. මම හනුමාන් දෙවියොත් එක්‌ක කතා කළා. ගස්‌ උඩ නැඟලා ගහෙන්, ගහට පැන්නා. ගඩා ගෙඩි කඩාගෙන කෑවා. ඒ කාලේ ඉඳලා මම කරලා තියෙන්නේ හරි අමුතු දේවල්. ඔහොම කාලය ගෙවිලා යනකොට දවසක්‌ සාමි කෙනෙක්‌ අපේ ගෙදරට ඇවිත් 'මේ ගෙදර පුංචි පුතෙක්‌ ඉන්නවද...' කියලා අපේ ආච්චිගෙන් අහලා තියෙනවා. ආච්චි ඔව් කියලා, ගෙයි කාමරයක හිටිය මට කතා කළා. මම සාමි ඉදිරියට අවහම සාමි මට අශීර්වාද කළා. එදා ඉඳලා අදටත් ඒ සාමිව දැකලා නෑ. පස්‌සේ මම පුංචි දේවාලයක්‌ හඳලා හනුමාන් දෙවියන්ගේ පිළිමයක්‌ තියලා වඳින්න පටන් ගත්තා. අංජනම් බැලුවා. එතකොට අපි පදිංචි වෙලා හිටියේ රණජය කියන ගමේ. මට සහෝදරයෝ එක්‌කෙනයි ඉන්නේ. ඒ මගෙ අයියා. මගේ මුතුන් මිත්තන් ඉන්දියානු සම්භවයක්‌ සහිත කේරල වැසියන්. මගේ දෙමවුපියන් ලංකාවේ පදිංචියට ඇවිත් තියෙන්නේ 1947 අවුරුද්දේ. මම පාසල් ගියේ නාවලපිටියේ කඳිරේශන් විදුහලට. හනුමාන් දෙවියෝ වඳින්න මම මුලින්ම දේවාලය හැදුවේ රණජය ගමේ පදිංචි වෙලා ඉන්නකොට. 1996 අවුරුද්දේ තමයි මෙතැනට කෝවිල අරගෙන ආවේ. ලංකාවේ පළමු වතාවට හනුමාන් දෙවියෝ වඳින්න කෝවිලක්‌ හැදුවේ මමයි...'

හනුමාන් දේවාල භූමියේ සෙනසුරු දේවාලයක්‌ හදන්න කියලා මට හීනෙන් කිව්වේ. එදා පාන්දර පහට විතර ඇති. සෙනසුරුයි, දේවින් වහන්සේයි දෙන්නම මගේ ඉදිරිපිට ඉඳගෙන හිටියා. මම ඇහිරිලා බැලුවා. බලනකොට කවුරුත් නෑ. එදාම මම නාලා කරලා ඇවිත් හනුමාන් දෙවියන්ටත් කිව්වා. හනුමාන් දෙවියෝ අකැමැති වුණේ නෑ...'

චන්ද්‍රසේකරන් ස්‌වාමි වැල්ලවත්ත හනුමාන් කෝවිලට මුහුණලා සෙනසුරු කෝවිල නිර්මාණය කිරීමේ වැඩ ආරම්භ කළේය. සෙනසුරු පිළිමේ නිර්මාණය කිරීමේ වගකීම ඉන්දියාවේ දානපතියකු අතින් සිදු විණි. කෝවිල් ගොඩනැඟිල්ල චන්ද්‍රසේකරන් ස්‌වාමින් විසින් සිදු කළේය. වැඩි කාලයක්‌ ගියේ නැත. සෙනසුරු කෝවිලේ වැඩ නිම විණි. මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙ 25 වැනිදා වැල්ලවත්ත හනුමාන් කෝවිලට මුහුණලා සෙනසුරු කෝවිල විවෘත විය. මෙරට පළමු සහ එකම සෙනසුරු කෝවිල බවට එම කෝවිල ඉතිහාසයට එකතු විය. එදා සිට අද දක්‌වා සෙනසුරු වඳින්නට බොහෝ සෙනග හනුමාන් කෝවිල් භූමියට පැමිණෙන්නාහ. සෙනසුරු දේවාලය විවෘත වූ කාලයේ සිට තම ප්‍රදේශයට සෞභාග්‍යය උදා වී ඇති බව ද වැල්ලවත්ත හනුමාන් කෝවිල අවට ප්‍රදේශවාසීන් කිහිපදෙනකු ද අප සමග පැවසූහ.

සෙනසුරු ඒරාෂ්ඨකය, සෙනසුරු මහ දිසාවේ සෙනසුරුගේ අතුරුදසාව, සෙනසුරු අටට පිවිසෙන දසාව, රාහු මහා දසාවේ සෙනසුරුගේ අතුරු දසාව, සෙනසුරු මහා දසාවේ රාහුගේ අතුරු දසාව, ඔබගේ ජීවිතයට සෙනසුරු අපල ගෙන දෙන කාලය පැමිණීමට පෙර සිටම සෙනසුරුට වැඳුම් පිදුම් කරගෙන සිටින්නේ නම් සෙනසුරු අපල බොහෝ දුරට අඩු වනු ඇතැයි විශ්වාසයෙන් යුක්‌තව දිනකට සෙනසුරු වඳින්න එන බැතිමතුන් අති විශාලය. වැල්ලවත්ත හනුමාන් කෝවිල් භූමියේ පිහිටි සෙනසුරු කෝවිලේදී දවසේ ඕනෑම වෙලාවක වැදුම් පිදුම් කිරීමට හැකියාව තිබේ. දවසේ තුන්වේලම සෙනසුරු දෙවියන් වෙනුවෙන් පූජා පැවැත්වේ. ඒ අවස්‌ථාවන්හිදී බාර හාර ඔප්පු කිරීමට අවස්‌ථාව සලසා දී තිබේ. පිරිසිදු ජලයෙන් සෙනසුරු පිළිමය දොaවනය කළ විට තම තමන්ගේ පව් සෝදා යන බවට විශ්වාසයකි. තල පොට්‌ටනියක්‌ පත්තු කර සෙනසුරුට පෙන්නා නිවා දැමීමෙන් අපල දුරු වන බවට විශ්වාසයක්‌ තිබේ. සෑම සෙනසුරාදාවකම සෙනසුරු වෙනුවෙන් සිදුකරන යාගම් පූජාවේදී පත්තු කර හරින්නේ ද තලය. සෙනසුරු කැමති තලවලට පමණි. සෙනසුරු වඳින්නට වෙන විශේෂ ක්‍රමයක්‌ නැත. එහෙත් හනුමාන් දෙවියෝ වඳින්නට විශේෂ ක්‍රමයක්‌ තිබේ. හනුමාන් දෙවියෝ වඳින්නට පෙර රාමාට වැඳුම් පිදුම් සිදු කළ යුතුය. හනුමාන් යනු රාමාගේ සේවකයෙකි. හනුමන්තට ශක්‌තිය ලැබෙන්නේ රාමාට වැඳුම් පිදුම් සිදු කිරීමත් සමගය. හනුමන්තා දෙවියන් වඳින්න පටන් ගත යුත්තේ 'ශ්‍රී රාම්... ශ්‍රී රාම්...' ස්‌තෝත්‍රය කියමින්ය. හනුමාන් කෝවිලට පැමිණෙන ඇතැම් බැතිමතුන් 'ශ්‍රී රාම්' ස්‌තෝත්‍රය විසි එක්‌ වතාවක්‌ මතුරන්නේය. තව අය එකසිය අට වතාවක්‌ ගායනා කරන්නේය. ශ්‍රී රාම් ස්‌තෝත්‍රය එක්‌දාහස්‌ අට වතාවක්‌ ගායනා කර බැතිsමතුන් ද වැල්ලවත්තේ හනුමාන් කෝවිලට පැමිණෙන බව කෝවිලේ ප්‍රධාන සාමි වන චන්ද්‍රසේකර ස්‌වාමි අප සමග පැවසීය.

දෙවියන් වැඳලා බැතිමතුන්ගේ කැමැත්තෙන් ලබාදෙන පඬුරු භාරගැනීමට ස්‌ථාන දෙක තුනක පිං පෙට්‌ටි තිබිණි. ඒ හැරෙන්නට වෙනත් කෝවිල්වල මෙන් ඇතුළු වනකොට ටිකට්‌ විකිණීමක්‌ මේ සිද්ධස්‌ථානයේ සිදු නොවේ. දෙවියන් වැඳ තමන්ට කැමති නම් පිං පෙට්‌ටියට පඬුරක්‌ දැමිය හැකිය.

අනේක විධ දුක්‌ඛ දොaමනස්‌සයන් දුරුකරගැනීම සඳහා දොහොත් මුදුන්දී දෙවි දේවතාවුන් වන්දනා කරන බැතිමතුන්ගේ ඉතිරී යන බැතියෙන් හනුමාන් කෝවිල් භූමියේ නැහැවෙමින් ඇති අයුරු හෝරා කිහිපයක්‌ අපි බලා හිඳිමු. දෙවි දේවතාවුන්ගේ බැල්මෙන් කෙනෙකුට අශිවාර්දයක්‌ ලැබෙන්නේ යෑයි විශ්වාසයක්‌ තිබේ. එහෙත් දෙවි දෙවිතාවුන් ඉදිරියේ වැඳ වැටුණු පළියට අප කරන පව්වලට සමාවක්‌ නොලැබේ. කළ අකුසල්වලට කවුරු සමාව දුන්නද හෘද සාක්‍ෂියෙන් සමාව නොදේ. කළ යුත්තේ සිතින් හෝ කෙනෙකුට කරදරයක්‌ නොකිරීමය.

තරංග රත්නවීර

Post a Comment

0 Comments