වැඩි දෙනෙක්‌ නොදන්න බුද්ධගයාවේ සිරිපතුළ


යන්නම්මදාය නදියා පුලිනේචතීරේ
යංසච්චබද්ධ ගිරිකේ සුමනාචලග්ගේ
යංතත්ත යෝනක පුරේ මුනිනෝච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි

බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය පිහිටි තැන් හතරක්‌ ගැන කියෑවෙන ඉහත සඳහන් ගාථාව පිළිබඳව පසුගිය සතියක ද කීවෙමු. ඉන්දියාවේ නර්මදා නදී තීරයෙහි ද එරට සච්චබද්ධ නමැති කඳු මුදුනෙහි ද යෝනක පුරය හෙවත් මක්‌කම (හෝ ශ්‍රී ලංකාවේ කල්පිටියේ) ද සමනල කන්ද මුදුනෙහි ද එකී උත්තම ශ්‍රී පාද ලාංඡන පිහිටා ඇති බව කියෑවෙන මේ පාලි ගාථාව මෙයට වසර 40 කට පෙර සිරිපා තරණය කළ සියලුම දෙනා කටපාඩමින් දැන සිටියහ. එහෙත් මේ ගාථාව අද වැඩි දෙනා නොදනිති. එය සමාජ පරිහානියක්‌ හෝ මනුෂ්‍යයාගේ වරදක්‌ නොව කාලය සමඟ සිදු වූ විපර්යාසයකි. ක්‍රිස්‌තුස්‌ වහන්සේ මෙයට වසර දෙදහස්‌ ගණනකට පෙර ධර්ම දේශනා සිදු කළ ඇරමයික්‌ භාෂාවෙන් අද කවුරුත් කතා කරන්නේ නැත. එය අද මළ භාෂාවක්‌ වන අතර කෞතුකාගාර තුළ පමණක්‌ සුරක්‍ෂිතව පවතී. එසේම බුදුන් වහන්සේ මෙයට වසර දෙදහස්‌ පන්සිය පනස්‌ ගණනකට පෙර ධර්ම දේශනා කළ පාලි භාෂාව ද අද තිබෙන්නේ පරණ පුස්‌කොළ පොත්වල සහ පිරිත් පොත්වල පමණි. ඇරමයික්‌ වෙනුවට අද වෙනත් භාෂාවලින් කතෝලික ධර්මය දේශනා කරනු ලැබේ. භාෂාව මාරු වුවද කිතු දහම එසේම පවතී. අද බුදු දහම පාලි භාෂාව වෙනුවට සිංහලෙන්, ඉංග්‍රීසියෙන්, ජපන් බසින්, ජර්මන් බසින් සහ වෙනත් භාෂා බොහොමයකින් දේශනා කරනු ලැබේ. භාෂාව වෙනස්‌ වුවද ධර්මය වෙනස්‌ වී නැත.

විෂ්ණු දෙවියන් සහ බුදුන් වහන්සේ අතර සම්බන්ධයක්‌ හින්දු ආගමිකයන් දකින බව පසුගිය සතියේ අපි මෙවැනිම ලිපියකින් පෙන්වා දුන්නෙමු. හින්දුවරුන් විශ්වාස කරන්නේ බුදුන් වහන්සේ යනු විෂ්ණු දෙවියන්ගේ ස්‌වරූප දහයකින් එකක්‌ බව ය. මෙයට දස අවතාර යෑයි කියනු ලැබේ. මේ නිසා හින්දු කෝවිල් වැඩි හරියක බුද්ධ ප්‍රතිමා ද තිබෙන අතර බැතිමත්හු විෂ්ණු දෙවියන්ට මෙන් බුද්ධ ප්‍රතිමාවට ද නමස්‌කාර කරති. ඒ අනුව ශ්‍රී පාද කඳු මුදුනෙහිත්, සච්චබද්ධ පර්වත මුදුනෙහිත්, නර්මදා නදී තීරයේත්, මක්‌කමත් (කල්පිටියේත්) තිබෙන ශ්‍රී පාද ලාංඡනවලට ඔවුහු විෂ්ණු දේව පාද ලාංඡනය ආදේශ කරති. හින්දු භක්‌තිකයන්ට බුදුන් වහන්සේ සමඟ කිසිදු ආරවුලක්‌ නැත. ඔවුන්ට එකම ආරවුල තිබෙන්නේ ලංකාවේ රාවණා රජු සමඟය. රාම කුමරුගේ ප්‍රිය බිරින්දැ වූ සීතා දේවිය පැහැරගෙන ලංකාවට ගෙන ඒම නිසා ඔවුන් කවදාවත් රාවණාට සමාව දෙන්නේ නැත.

ශ්‍රී ලංකාවේ භාවිත වන යන්නම්මදාය නදියා පුලිනේචතීරේ යන ගාථාව වැනිම ගාථාවක්‌ ඉන්දියානු හින්දු භක්‌තිකයන් සතුව ද ඇත. සංස්‌කෘත බසින් මෙයට වසර දහස්‌ ගණනකට පෙර ලියන ලද එම ගාථාවේ සඳහන් වන්නේ විෂ්ණු දෙවියන්ගේ පාද ලාංඡන පිහිටි තැන් ය. ඒ ගාථාව අපි ගිය සතියේ ද පළ කළෙමු. මේ සතියේ ද නැවත මතක්‌ කරමු.

ඒක පාදං ගයායන්තු
මක්‌කායන්තු ද්විතියතම්
ත්‍රිතයම් ස්‌ථාපිතම්
දිව්‍යං මුක්‌තියායි ශුක්‌ලස්‌ස සන්නිධවු
ඒක පාදං ගයායන්තු - 

මේ ගාථාවේ සඳහන් වන ගයායන්තු යනු බුද්ධගයාවය. හින්දු ආගමික ඉතිහාසයේ එන පරිදි ගයා යන නම එම ප්‍රදේශයට ලැබී ඇත්තේ ගයා නමැති අසුරයාගෙනි. ගයා අසුරයා, විෂ්ණු දෙවියන් විසින් මෙම භූමියේදී පරදවන ලද බවත් පසුව ඔහුගේ සිරුර ගයාවේ අද පවතින ගල් සහිත උස්‌බිම් බවට පත් වූ බවත් ඔවුහු අදහති. මේවා ජනප්‍රවාදයේ කොටස්‌ ය. එහෙත් ලිත ඉතිහාසය පෙන්වා දෙන පරිදි සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ බුදු බවට පත් වන්නේ ගයාවේදී ය. නූතන ගයා නගරයෙන් කිලෝමීටර් 11 ක්‌ ඈතින් වූ එතැන අද බුද්ධගයාවය. විෂ්ණු පාද මන්දීර් යනුවෙන් හඳුන්වන හින්දු කෝවිලක්‌ ගයාවෙහි තිබේ. මේ කෝවිල මැද පිහිටි ගල් තට්‌ටුවක්‌ මැද සෙ. මී. 40 ක්‌ දිග පාද ලාංඡනයක්‌ තිබේ. එම ගල් ලෑල්ල වටා රිදියෙන් කළ ආවරණයක්‌ ඇත. හින්දු භක්‌තිකයන් විශ්වාස කරන්නේ මේ පා සටහන විෂ්ණු පාද ලාංඡනයක්‌ බව ය. විෂ්ණු දෙවියන් විසින් මර්දනය කරන ලද ගයා අසුරයා මේ ස්‌ථානයෙහි උඩුබැලි අතට ඇදවැටුණු බවත්, විෂ්ණු දෙවියන් ගයා අසුරයාගේ පපුව මැදට සිය පාදය තබා තද කළ බවත් ගයා අසුරයා එකෙණෙහිම ගලක්‌ බවට පත් වෙද්දී විෂ්ණු පාද ලාඡනය එම ගල මත ඉතිරි වූ බවත් ඉතිහාස කතාවල එයි. එහෙත් තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත්වන දෙමළ බෞද්ධයන් විශ්වාස කරන්නේ මෙය බුද්ධ පාද ලාංඡනයක්‌ බවය. බුදුන් වහන්සේ ගයාවෙහි වැඩ සිටි බැවිනුත් එහිදී බුදු වූ බැවිනුත් ඔවුහු තම මතයෙහි එකහෙළාම පිහිටා සිටිති.

බුද්ධගයාව යනු සුවිශේෂ තැනකි. බුදුන් වහන්සේගේ ලොව පළමුවැනි සිතුවම බුද්ධගයාවේ පැරැණි බිත්තියක ඇඳ තිබෙන බව දෙමළ බෞද්ධයෝ තරයේ විශ්වාස කරති. ඒ බව කියෑවෙන සුවිශේෂ කතාන්දරයක්‌ ද ඔවුන් සතුව තිබේ. බුදුන් වහන්සේ මැදිවියට පත්ව තවදුරටත් දම් දෙසමින් ගයාවෙහි වැඩ සිටින අතර උන්වහන්සේගෙන් බණ ඇසීම සඳහා කුඩා දැරියක්‌ සිය මාපියන් ද සමඟ නිතර ගයාවට පැමිණියාය. ක්‍රමයෙන් තරුණ වියට පත් මේ දැරිය විවාපත් වූවාය. ඇය දිගටම සිය සැමියා සමඟ බුදු බණ ඇසීමට ගයාවට පැමිණියාය. මේ අතර බුද්ධ පරිනිර්වාණය සිදු විය. ඉන් ස්‌වල්ප කලකට පසු තරුණියට පිරිමි නිවුන් දරු දෙපළක්‌ ලැබිණ. ළමා වියේ සිටම ඔවුහු චිත්‍ර කර්මය කෙරෙහි සුවිශේෂ දස්‌කම් පෑවෝය. ක්‍රමයෙන් ඔවුන් දක්‍ෂ චිත්‍ර ශිල්පීන් බවට පත් වෙද්දී තරුණිය මහලු වූවාය. දිනක්‌ සිය දරුවන් දෙදෙනා සමඟ බුද්ධගයාවට ගිය ඇය බුදුන් වැඩ සිට දම් දෙසූ තැන බිත්තියෙහි උන්වහන්සේගේ චිත්‍රයක්‌ නිර්මාණය කරන ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටියාය. බුදුන් වහන්සේ දැසින් දැක නැති නිසා දරුවන්ට උන්වහන්සේගේ රූපකාය ගැන අවබෝධයක්‌ තිබුණේ නැත. එබැවින් සිය මවගේ මතකය ඇසුරින් ඇගේ උපදෙස්‌ පරිදි ඔවුහු බුදුන් වහන්සේ පද්මාසනයෙහි හිඳ දම් දෙසන අයුරු චිත්‍රණය කළහ. චිත්‍රය අඳින විට දරුවන්ට වැරදෙන තැන් මව නිවැරැදි කළාය. මෙය බුදුන් වහන්සේගේ රුව චිත්‍රයට නැඟුණු ලොව පළමුවැනි අවස්‌ථාව විය. එහෙත් පසු කලෙකදී බුද්ධගයාව අත්පත් කර ගත් බමුණන් කණ්‌ඩායමක්‌ විසින් මේ චිත්‍රය වැසී යන පරිදි බිත්තිය පුරා සායම් ආලේප කළ බවට එක්‌ මතයක්‌ පවතී. තවත් මතයක සඳහන් වන්නේ බුදුන්ගේ රුව චිත්‍රයට නැඟීම උන්වහන්සේට කරන මදිකමක්‌ ලෙස සැලකූ යුගයක මේ චිත්‍රය වසා සායම් ආලේප කළ බවය. මේ චිත්‍රය බුද්ධගයාවේ බිත්තියක්‌ තුළ අදටත් තිබෙන්නට පුළුවන.

අනුර සොලමන්ස්‌

Post a Comment

0 Comments