මුලින්ම දුවන සැලොන් එක


සැලුන් සහ සැලෝන් (salon and saloon) යනුවෙන් බොහෝ දුරට එක සමාන හඬක්‌ මෙන්ම ආසන්න තේරුමක්‌ දෙන වචන දෙකක්‌ අද සමාජයේ භාවිතා වෙයි. මෙයින් සැලෝන් යනු නගරයේ සහ අර්ධ නාගරික කාන්තාවන් යැමට ඊමට බොහෝ ප්‍රිය කරන අඟනන් සුරඟනන් කරන ලියන් මනාලියන් කරන රූපලාවන්‍යාගාර බව බොහෝ දෙනා දනිති.

එමෙන්ම සැලුන් යන්නටද අර්ථකථන කීපයක්‌ ඇත. ඉන් ලාංකේය සමාජයේ මෙන්ම ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු සම්මතය වන්නේ පිරිමින් සහ තරුණයන් කොන්ඩා රැවුල් කපා ගැනීමට යන බාබර් සාප්පුවයි. නමුත් යුරෝපයේ සැලුන් කියා බාර්වලට හෙවත් තැබෑරුමටද අමතයි. එමෙන්ම විශාල නෞකාවල සහ රාජ්‍ය මන්දිරවල ඇති නිලධාරීන්ගේ විවේකාගාර (officer’s mess) හඳුන්වන්නේද සැලුන් කියායි. එසේම බටහිර ගොපළු කොල්ලන්ගේ (western cow boy) චිත්‍රපට සංස්‌කෘතියට අනුව සැලුන් කියන්නේ සම් තොප්පි පැළඳ පොන්චෝවෙන් දෙවුර වසාගත් ඩෙනිම් කලිසම් සහ කොටු කොටු කමිස ඇඳ උල් බූට්‌ සපත්තු පැළඳි කව්බෝයිස්‌ලා ශෙරීෆ්ලා මෙන්ම හොරු මංකොල්ලකාරයන් චණ්‌ඩින් ආදි චරිත පත්තුවෙන යකඩ අවි ආයුධ ඉණ පැළඳගෙන අරක්‌කු බොන්නට එන නගරයේ මැද හතර මං හන්දියක පිහිටි නිතර රූමත් ගණිකාවන් පවා ගැවසෙන අවන්හලයි. තවද සුවපහසු වඩා ඉඩකඩ ඇති සුඛෝපභෝගී දිග මෝටර් රථයකට හෝ එවැනි සැප වාහනයකටද සැලුන් කියා කියති.

පිරිමින් සඳහා වෙන්වුණ සැලුන් ගැන කතා කිරීම ඉදිරි සතියකට කල් දමා අපි අද කාන්තාවන් වෙනුවෙන් පමණක්‌ ඇරුණු සැලෝන් ගැන කතා කරමු.

අප රටේ නාගරික සහ අර්ධ නාගරිකව වෙසෙන කාන්තාවන් බහුතරයකගේ බාහිර ස්‌වරූපය හෙවත් රූ පෞරුෂය රැඳී තියෙන්නේත් ඒවා පාලනය කරන්නේත් මේ සැලෝන් වලින් සහ ඒ ආශ්‍රිතව අලෙවි කිරීමට ඇති විවිධ ස්‌වභාවික සහ රසායනික ආලේපන වලින් බව කීවොත් කවුරුත් මා සමග උරණ නොවනු ඇතැයි සිතමි.

මේ සැලෝන් වලට 16 වන සියවස දක්‌වා ඇදී ගිය ඉතිහාසයක්‌ ඇත. මුලින්ම ප්‍රංශයේ ධනවත් වංශාධික රදළ කුළ කාන්තාවන් තම මන්දිරයේ ඇති අතිශය පෞද්ගලික කුටියක (නිදන කාමරයේ) තම සම තත්වයේ මිතුරු කුල කාන්තාවන් සමග රැස්‌වූ අතර එයට සැලෝන් හෝ සැලෝනා කියා ඇමතූහ. එහිදී මන්දිරයේ ස්‌වාමිදුවගේ මූලිකත්වයෙන් සහ සත්කාරකත්වයෙන් එකමුතුව එකිනෙකා සතුටු වන දේවල් කිරීම හෝ දැනුමෙන් එකිනෙකා පෝෂණය කිරීම සිදුවුණි. “either to please or to educate” (“aut delectare aut prodesse est”).පසුව මෙය ප්‍රංශයෙන් ඉතාලියටද 17 සහ 18 වන සියවස්‌ වන විට මුළු යුරෝපයටද ව්‍යාප්තව 1900 පමණ වන විට ආසියාවටත් අප රටටත් ආදේශ විය. සැනසීමට සහ ඉගැන්වීමට ඇරඹුනු මෙම ගෘහස්‌ථ සැලෝන් සංකල්පය අද රූපලාවන්‍යයට මුල් තැන දෙමින් නගර දනව් පුරා පැතිරී ඇත.

අද අප රටේ ඕනෑම නගරයක වටයක්‌ කැරකැවී බැලුවහොත් මෙකී සැලෝන් හැට හැත්තෑවක්‌ පහසුවෙන් සොයා ගත හැක. ව්‍යාපාර ස්‌ථාන ලෙස සැලකෙන නගරයේ සහ මහා මාර්ග අයිනේ පමණක්‌ නොව ඇතුළට වන්නට පිහිටි නිවෙස්‌වලද මනහර දර්ශනීය ඩිජිටල් බෝඩ් ලෑලි ප්‍රදර්ශනය කරමින් මෙම රූපලාවන්‍යාගාර අපූරුවට පවත්වාගෙන යයි.

අපේ රටේ බහුතරයක්‌ නාගරික කාන්තාවන්ට යම් විශේෂ අවස්‌ථාවකට මුහුණ දීමට අවශ්‍ය වූ විට මුලින්ම සිහියට එන්නේ මේ සැලෝන් එක යයි කීම අතිශයෝක්‌තියක්‌ නොවේ. එම විශේෂ අවස්‌ථාව මංගල උත්සවයක්‌ කොටහලු ගෙයක්‌ සම්මුඛ පරීක්‍ෂණයක්‌ බණ ගෙයක්‌ පාටියක්‌ දානයක්‌ පමණක්‌ නොව මලගෙයක්‌ වන්නටද පුළුවන. ඒ කොහේ යන්නටත් පෙර නාගරික ස්‌ත්‍රියට තම කොණ්‌ඩය හදා ගැනීමටත් ඇහි බැම පිළිවෙළට සකස්‌ කර ගැනීමටත් ලප කැලැල් කලු තිත් ඉවත් කර ක්‌ලීන්අප් එකක්‌ දමා ගැනීමටත් මුහුණ පැහැපත් වන්නට ෆේෂල් එකක්‌ කර ගැනීමටත් මහත් අවශ්‍යතාවයක්‌ ඇති වෙයි. එවිට ඔවුන් වහා සරණ පතා යන්නේ මෙකී සැලෝන් එකක්‌ වෙතයි.

දීඅම්මා නැතිවෙලා කියල ආරංචිය ආවා විතරයි .ගෙදර දරුවො ඔක්‌කොම බොහොම දුකෙන් ගෙවල් අස්‌පස්‌ කරල පින්තූරු බිත්තියෙන් ගලවල අයින් කරල ඇඬු කඳුළෙන් මරණෙ ගෙදරට ගේන්න ලැහැස්‌ති වෙනව. ඒත් පොඩි එකී පේන්න නැහැලු. එදා වැඩටත් ගිහින් නැති නිසා කට්‌ටිය කලබලවෙලා කෙල්ලව හොයනව. මෙන්න ඒකි ටිකකින් දාඩිය දාගෙන එනවලු හන්දියට ගිහින් සැලෝන් එකකින් කොන්ඩෙ ස්‌ටේ්‍රට්‌ කරගෙන මූණට ෆේෂල් එකක්‌ දාගෙන මෙහෙම කියාගෙන අපෝ හෙට අනිද්දා නෑයොයි යාලුවොයි ඔෆිස්‌ එකේ නඩෙයි මෙහෙ පිරෙයි ඒක නිසා දැන්ම මූණ හදාගත්තා අනේ.

ඒ මා දන්නා අයෙක්‌ මට කී සත්‍ය කතාවකි සැලොන් වලට ඇබ්බැහිවුණ මෙවැන්නියන් අති සුලබ නැති වුවත් හොඳින් විමසා බලන කල අනන්තවත් අප අතර සිටින බව අපට කිව හැකිය.

සාමාන්‍යයෙන් සැලෝන් කියන මෙම රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන්නේ සුරූපි කාන්තාවන්ය. බොහෝවිට මෙවැන්නියන් නිළි වෘත්තියේ යෙදෙන්නියන් හෝ කලක්‌ එහි යෙදී සිටිය අයයි. ඇඳුම් විලාසිතා ඉදිරිපත් කරන නිරූපිකාවන්ද සැලෝන් කරති. එසේම ලලනාවකගේ ගති ලක්‍ෂණ ඇති ලතාවකට කතා කරන ලතාවකට ඇවිදින ලතාවකට මුකුළු කරන ගැහැනුන් මෙන් අඳින පළඳින පිරිමින් ද අති විශාල ප්‍රමාණයක්‌ මෙම සැලෝන් සංස්‌කෘතිය හරහා රූපලාවන්‍ය කටයුතු ඇඳුම් විලාසිතා සහ කොණ්‌ඩා මෝස්‌තර දැමීමේ වෘත්තියට අතපොවා ඇත්තේ අද ඊයෙක නොවේ. අප ඔවුන්ව එසේ ඇඳින්වූයේ ඒ අයට අවමාන කිරීමට නොව ඔවුන් ගැන නොකියා මෙම මාතෘකාව ගැන කතා කළ නොහැකි නිසාය.

දීනිළියක්‌ ජනප්‍රියත්වයේ ඉහළම තැනක ඉන්න අවස්‌ථාවේ එයාට වෙන දේවල් ගැන හිතන්න වෙලාවක්‌ නැහැ රඟපෑම තමයි එයාගෙ එකම වෘත්තිය. නමුත් ටිකෙන් ටික ජනප්‍රියත්වය ගිලිඟිලා වැඩ අඩු වෙද්දී ඒ අය බොහෝ දෙනෙක්‌ තෝරා ගන්නා වෘත්තීන් කීපයක්‌ තියෙනවා. එකක්‌ තමයි නාට්‍ය හෝ චිත්‍රපට පුහුණු වැඩමුලු පවත්වලා අවසානයේ අධ්‍යක්‍ෂණයට බහිනව. දෙවැන්න තමයි ඇඟලුම් සහ නිමි ඇඳුම් ව්‍යාපාරය, තවත් අය බොහෝම රහස්‌ විදියට ලිංගික සේවා සැපයීම හෙවත් ගණිකා වෘත්තිය තෝරා ගන්නවා. ඒ ඔක්‌කොටම වැඩිය බහුතරයක්‌ බහින්නෙ මේ සැලොන් ව්‍යාපාරයට."

මෙහෙම තම අදහස්‌ බෙදා ගත්තෙ අපේ රටේ පැරණිම වෘත්තියමය වේශ නිරූපණ ශිල්පියෙක්‌. ඔහු කී දේවල්වල සත්‍ය අසත්‍යතාවය ගැන නිගමනයකට පැමිණීම මෙය කියවන ඔබගේ අපගේ වැඩකි.

අද අප රටේ ඇති සැලොන් වල බොහෝ කටයුතු සිදුවෙයි. වැඩියෙන්ම අය කළ හැකි වැඩේ මනාලියන් ඇන්දවීමයි. මුල් දින ඇඳුම, පෝරුව, දෙවැනි දිනය මල් කුමරියන්ගේ ඇඳුම් මල් කළඹ කොණ්‌ඩා සැකසීම ආදී දේ මේ සැලෝන්වල ප්‍රධාන කාර්යන් වෙති. ඒ සඳහා අය කරන මිල ගණන්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට ගමෙන් ගමට තැනින් තැනට වෙනස්‌ වෙයි. රට සුපතළ නමක්‌ ඇති සුරූපී උසස්‌ පන්තියේ යයි සැලකෙන කාන්තාවක්‌ විsසින් තරු පහේ හෝටලයක පවත්වාගෙන යන සැලෝන් එකක මෙම මංගල පැකේජය සමහර විට මිලියනය දෙක (ලක්‍ෂ දහය විස්‌ස) පමණ දක්‌වා ඉහළ අගයක්‌ ගනී. ගමේ නගරයේ එකියක්‌ බොහෝම ප්‍රාථමික මට්‌ටමෙන් කරගෙන යන සැලෝන් එකක වුවද මෙවැනි කටයුත්තකට අවම වශයෙන් රුපියල් පනස්‌ දාහක්‌වත් ගෙවිය යුතුයි.

ගැහැනුන් හැඩ වැඩ කිරීම මෙන්ම හැඩ වැඩ කරන ශිල්පිනියන් පුහුණු කරන ඇකඩමිද අද සුලබ කාරණාය. මෙවැනි තැන් සොයා අද දහස්‌ ගණන් ලාබාල තරුණියන් ඇදී යන්නේ මනාව සාත්තරේ ඉගෙන ගතහොත් මද කලක්‌ සැලෝන් එකක වැඩ කර ඉන් පසු ගමට ගොස්‌ තමාගේම එකක්‌ දාගෙන ගොඩ ඒමට හැකි බව දන්නා නිසාය. ඇත්තටම එසේ ගොඩ ගිය අය කීප දෙනෙක්‌ම මම දනිමි.

දීමං ගමෙන් කොළඹ ආවේ හැමදාම සමුපකාරෙ බිල් ලියලයි, අයියල අක්‌කලගෙ දරුවො බලලයි එපා වෙලයි. මං ගෙදරින් එනවට අම්මල අක්‌කල කිසි කැමත්තක්‌ පෙන්නුවෙ නැහැ. කොහොම හරි මං කොළඹ ඇවිත් යාලුවෙක්‌ගෙ ගෙදර නැවතිල ඉඳල හොඳ බියුටි කල්චර් උගන්නන තැනක්‌ හොයා ගත්තා. ඒකේ මැඩම් හරිම හොඳයි සාත්තරේ අන්තයටම ඉගැන්නුව. ඊට පස්‌සේ මම අවුරුදු දහයක්‌ විතර තැන් තැන්වල වැඩ කෙරුව. පුදුම කට්‌ටක්‌ කෑවේ හැබැයි මට හොඳට ඉවසීම පුරුදු වුණා. කොහොම හරි මම ගාණක්‌ ඉතුරු කරගෙන ගමට ඇවිල්ල මගේම කියල පොඩි සැලෝන් එකක්‌ පටන් ගත්තා. දැන් දෙයියනේ කියල මටම තැනක්‌ තියෙනව. හොඳ වාහනයක්‌ තියෙනව මා ගාව කෙල්ලෝ පස්‌ දෙනෙක්‌ වැඩ කරනව."

ඒ අවිස්‌සාවේල්ල පැත්තේ චතුරිකාගේ කතාවයි මේ කෑගල්ලේ අෂානිගේ කතාවයි.

දීමාව අම්මි ඇකඩමියට දැම්මෙ කෝස්‌ එක කරල එග්සෑම් පාස්‌ කරල සහතිකේ අතට ගත්තම එයා ගාවට ගන්නම් කියල පොරොන්දු වෙලයි. ඒ ඇකඩමිය හරි ෆේමස්‌ එකක්‌ අපිව තුන් පාරක්‌ම බැංකොක්‌ වලටත් එක්‌කන් ගියා. අපි ලවා හැම පාරම ඒකේ ලොකු මිස්‌ එක එක ක්‍රීම් ජාති ලෝෂන් ජාති ලගේජ් දාලා එයාර්පෝර්ට්‌ එකෙන් ලංකාවට පන්න ගත්තා. අපිට මේකප් වැඩ වගේම බියර් බොන්න කොල්ලො කරකවල අපිට නම්මගන්න පච්ච කොටන්න එහෙමත් උගන්නල අපේ ලැ-ජ බය නැති කරල දැම්ම. කොහොම හරි කිව්ව වගේම අම්මි මාව කටාර් එකට ගත්ත හැබැයි සැලෝන් රස්‌සාවක්‌ මට හම්බවුණේ නැහැ. මං ආයෙත් ලංකාවට ඇවිත් මේ රස්‌සා දෙක තෝරාගත්තා ඇත්තම කියන්න මගේ ජීවිතේ නරකට හැරුණෙ සැලුන් රස්‌සාව පුරුදු වෙන කාලෙ ඇතිවෙච්ච නරක ආශ්‍රය නිසයි."

අෂානි අද වෙනකොට දවල් කාලයේ නීත්‍යානුකූල නොවන ස්‌පා එකක (මසා- එකක) තෙරපිවරියක්‌ ලෙස රස්‌සාව කරන ගමන් රාත්‍රියට කැරෝකේ රංග ශාලාවක අඩ නිරුවතින් නටන නාට්‍යාංගනාවක්‌ වගේ වැඩ කරනව. ඇය ඒ වගේම මත්පැන් වලට සහ කොකේන් වලට තදින්ම ඇබ්බැහිවෙලයි ඉන්නේ.

කළින් කී මංගල රූපලාවන්‍ය කටයුතු වලට අමතරව මුහුණේ කලු ලප ඉවත් කිරීම ඇහි බැම සකස්‌ කිරීම, මුහුණේ සහ ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම කොණ්‌ඩා වර්ණකිරීම මෝස්‌තර දැමීම ඉන්නන් කැපීම. පච්ච කෙටීම වැනි දේවල්ද ඉටු කරවා ගත හැකිය. එසේම ඇඟිලි හැඩ කිරීම දෙපා ලස්‌සන කිරීමද මෙකී සැලෝන්වලින් ලබා දෙන සේවාවන්ය.

කාන්තාවන් ලස්‌සන කරනවා මෙන්ම ලස්‌සන කිරීමට අවශ්‍ය ආලේපන ඖෂධ ආදිය අලෙවියද බොහෝ සැලෝන්වලින් සිදුවෙයි. එම ආලේපනවල ආරක්‍ෂාකාරී බව සහ පිළිගත් බව කොතරම් දුරට ඇත්තක්‌දැයි විමසීමට දැන් දැන් රජයේ වගකිවයුත්තන් ක්‍රියාකරගෙන යාම අගය කළ යුතුය. මෙයට වසර කීපයකට පෙර එවන් ආලේපනයක්‌ ඇලජික්‌ වී මීගමුව පැත්තේ තරුණ රූමත් කාන්තාවක්‌ සැලෝන් එක තුළම මිය ගිය කතාවත් ඇඟේ තෙල් අයින් කරන්නට කියා බම්බලපිටියේ හොර දොස්‌තර මහත්තයෙක්‌ වෙත ගොස්‌ සැත්කමක්‌ වැරදී ජීවිතයෙන් සමුගත් මැදිවියේ මවක්‌ ගැනත් මතකය තාමත් අප අතර පවතී. ඒ නිසා සැලෝන වලට යැමට පෙර දෙවරක්‌ කල්පනා කළ යුතුය.

දීමං නං වැඩක්‌ කරගන්න යන්නේ සබ්‍රිනා ගාවට. ගැහැනු නමක්‌ දාගෙන කෙල්ලෙක්‌ වගේ ඇඳල හිටියට ඇත්තටම එයා කෙල්ලෙක්‌ නෙමෙයි කොල්ලෙක්‌. හැබැයි හරිම අවංකයි. අපේ ඇඟපත කොච්චර අතගෑවත් ඒ නරක හිතෙන් නෙමෙයි. මාසෙකට වතාවක්‌ මම ෆේෂල් එකක්‌ දාලා කොන්ඩෙ ලෙයර්ස්‌ කපලා කලු කරගන්න එයා ගාවට යනවා මං විතරක්‌ නෙමේ මගේ වයසෙ ඉන්න පනහ පැන්න ලේඩිස්‌ලා ගොඩාක්‌ යන්නේ සබ්‍රිනාගේ සැලෝන් එකට එයා අපට එයාගේ ගානේ අන්තිමට නොමිලේ ෆුල් බොඩි මසාජ් එකකුත් දෙනවා. ඇත්තටම ඌට තියෙන්නෙ මැජික්‌ ඇඟිලි, උගෙන් මසා- එකක්‌ ගත්ත එකියක්‌ ආයෙ වෙන කෙනෙක්‌ ගාවට යන්නෙ නැහැ. අනික ඒකා අපි එක්‌ක ඉරිසියා නැහැ සමහර ගෑනු සල්ලි ගන්නවා. විතරයි අපිව ලස්‌සන කරන්නෙ නැහැ ඒකට මූ පුලුවන් තරම් උත්සාහ කරන්නෙ අපිව ලස්‌සන කරන්න."

මැදිවිය පසුකළ නුගේගොඩ කැතරින් ඇන්ටි විසින් ඒ විස්‌තර කෙරුණු සබ්‍රිනා වැනි රූපලාවන්‍ය ශිල්පීන් අප රටේ අඩුවක්‌ නැතිව සිටිනවා මෙන්ම ඔවුන් වෙත යන හැට පැන්න ආච්චි අම්මලාද අප රටේ කිසි අඩුවක්‌ නැති බවද මතක්‌ කරමි.

රූපලාවන්‍ය ක්‍රියාවලියට මුවා වී තරුණියන් සම්බාහන සේවයට සහ ගණිකා වෘත්තියට යොමුකරන සැලෝන් කීපයක්‌ද අපි දනිමු. විටෙන් විට ඒවාට පොලිසියේ මහත්තුරු ගොඩ වී යනවාද මාසයකට වරක්‌ එහි සිටින කෙල්ලන් රෑන කුදලාගන ජීප් රියෙක පටවාගෙන ගොස්‌ උසාවි දාන බවද ආයෙත් දින කීපයකින් ඒ කෙල්ලන්ම මෙහි පැමිණ සුපුරුදු රැකියාවෙහිම යෙදෙන බවද අප මෙන්ම අදාළ නීතිය ක්‍රියාත්මක කරන අංශද දන්නා බව අපි දනිමු.

පිරිමින්ට කෙසේ වෙතත් අද සමාජයේ බහුතරයක්‌ කාන්තාවන්ට නම් මෙම සැලෝන් යනු නැතුවාම බැරි දෙයක්‌ බවට පත් වී තිබේ. ඒ නිසා සැලුන් වසා දැමිය යුතුයි කියා කාටවක්‌ යෝජනා කළ නොහැක. නමුත් මේවා තුළ හරි දේ වෙනවාද ප්‍රමිතීන් කෙසේද අය කරන මිල ගණන් කොතරම් සාධාරණද සේවක සේවිකාවන් කොතරම් දුරට එසේ කිරීමට සුදුසුද සහ ඔවුන්ට හරි වැටුපක්‌ ගෙවනවාද යන්න රජයේ අදාළ බලධාරීන් විසින් සොයා බැලිය යුතු යයි යෝජනා කරමි.

මිත්‍ර ශ්‍රී කරුණානායක

Post a Comment

0 Comments