සිඟිත්තන්ගේ සොඳුරු ලොව අඳුරු කරන සෙල්ලම් බඩු


ඔබ ඔබේ සිඟිත්තා සඳහා සෙල්ලම් බඩුවක්‌ මිලදී ගැනීමට සාප්පුවකට ගිය විට එම භාණ්‌ඩවල අලවා ඇති ලේබල ඉතා සියුම්ව පරීක්‍ෂාකර බැලුවත් ඔබේ දරුවා අතට ඒවා පත් නොකර සිටීමට බොහෝවිට අසමත් වන්නට ඉඩ තිබෙනවා.

අද ලෝකයේ ප්‍රධාන නගරවල පිහිටා ඇති සාප්පු සංකීර්ණවල රාක්‌ක පිරී ඇති නානාප්‍රකාර සෙල්ලම් බඩුවලින් වැඩි හරියක්‌ චීනයේ නිෂ්පාදිත සෙල්ලම් බඩු, සෙල්ලම් බඩුවලින් 80% ක තරම් ප්‍රමාණයක්‌ නිෂ්පාදනය කරන්නේ චීනයේ.

"ඇයි චීන සෙල්ලම් බඩු හොඳ නැද්දැයි දැන් ඔබ ප්‍රශ්න කරනවාට කිසිම සැකයක්‌ නෑ. මෑතක සිට චීනයේ නිෂ්පාදිත සෙල්ලම් බඩු ලෝකයේ බොහෝ සෙල්ලම් බඩු සාප්පුවලින් ඉවත්කරන බව සමහර විට ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. එයට හේතු වෙලා තියෙන්නේ ඔබ නොසිතූ කාරණයක්‌.

එම නිෂ්පාදනවල ගල්වා ඇති වර්ණාලේපයන් ඊයම් විෂ සහිත වීමයි එයට හේතුවෙලා තියෙන්නේ. එම විෂ දරුවන්ගේ ශරීර ගත වී ඔවුන් නොයෙකුත් රෝගාබාධයන්ට ගොදුරුවීමේ අවදානමක්‌ උදාවී තියෙනවා. එම විෂ ද්‍රව්‍යයන් දරුවන්ගේ මොළයට හානි කරන අතර වමනය නිරුක්‌තිය හා ඉගෙනීමේ ක්‍රියාවලියේ ඌණතාද ඇති කරවන බව වෛද්‍ය මතයයි.

මේ තත්ත්වය නිසා මවුපියන් පමණක්‌ නොව ලෝකයේ සෙල්ලම් බඩු අලෙවි කරන සමාගම් පවා විශාල තර්ජනයකට මුහුණ පා සිටිනවා. මෑතකදී ඇමරිකාව චීනයෙන් ගෙන් වූ සෙල්ලම් බඩුවල මිලියනයක ප්‍රමාණයක ආලේපිත තීන්තවල ඊයම් විෂ තිබූ බව සොයාගෙන තිබෙනවා. මෙම සෙල්ලම් බඩු ගෙන්වා ඇත්තේ ඇමරිකාවේ ප්‍රධාන අපනයන සමාගමක්‌ වන මැටෙල් ආයතනය විසින්. මේ සෙල්ලම් බඩු ආපසු චීනයට යෑවීමට සූදානම් කර ඇති බැවින් චීනයේ සෙල්ලම් බඩු නිෂ්පාදිත ආයතන මහත් කලබලයට පත්වී තිබෙනවා.

ශ්‍රී ලංකාවද බොහෝ සෙල්ලම් බඩු ආනයනය කරන්නේ චීනයෙන්. ඒ නිසා ඔබ යන ඇතැම් සාප්පු සංකීර්ණයක සිය ගණනක්‌ සෙල්ලම් බඩු අතර මේ මාරක විෂ සහිත ආලේපන තැවරූ සෙල්ලම් බඩු තියෙන්න පුළුවන්. එහෙත් එහි සැඟවී සිටින මාරයා ඉතාම දර්ශනීය ලෙස සිත්තම් කළ පසුතලයක වර්ණ ගැන්වූ පුෂ්පයක හෝ කුඩා දරුවෙකුගේ රුවක නැත්නම් බොනික්‌කෙකුගේ කම්මුලක හෝ දෙතොලක සැඟවී සිටින්නට පුළුවන්.

කෙසේ වෙතත් කුඩා දරුවෙකුට සෙල්ලම් බඩු මිලදී නොගත යුතු යෑයි මේ සටහනින් කිසිසේත් අදහස්‌ කරන්නේ නැහැ. දරුවන් සෙල්ලම් බඩුවලින් ලබා ගන්නේ නොමඳ ආශ්වාදයක්‌ බව කිව යුතු නැහැ. එමෙන්ම ළදරු අවධියේ දරුවාගේ කායික හා මානසික වර්ධනය සඳහා සෙල්ලම් බඩු බෙහෙවින් උදව් වන බව මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි.

දරුවාගේ නිර්මාණ කුසලතාවය වර්ධනය කර ගැනීමට මේ සෙල්ලම් බඩු උදව් වෙනවා. හැඩතල පැහැය හඳුනා ගැනීමටත් කුඩා ක්‍රියාකාරකම් සඳහාද මේවා උදව් වෙනවා. රැකියාව සඳහා පාන්දරින්ම ගෙදරින් පිටවන අම්මා තාත්තාගෙන් ගිලිහී යන සෙනෙහස ආදරය පාළුව අකා මකා දමා මේවා ඔවුන්ට තනි රකිනවා.

දරුවෙකුට සෙල්ලම් බඩු ගෙන දී ඔවුන්ගේ "කරදරයෙන්" මිදීමට හෝ අනියම් ලෙස ඔහුගේ ආදරය ලබා ගැනීමට සූදානම් වීම නම් නුවණක්‌කාර දෙයක්‌ නොවෙයි. එය අල්ලසක්‌ දීම වැනි අමනෝඥ ක්‍රියාවක්‌. සෙල්ලම් බඩුවේ අවසානයත් සමග ඒ ආදරයත් අවසාන වන බව වටහා ගැනීම වැදගත්. තුවක්‌කු පිස්‌තෝල වගේ දරුවාගේ මනස රළු කරවන දේත් ක්‍රියා කරවීමේදී ඉතා සංකීර්ණ සෙල්ලම් බඩුත් කුඩා දරුවන්ට සුදුසු නැහැ.

සෙල්ලම් බඩුවක්‌ කියන්නේ අරුමෝසම් බඩුවක්‌ නොවේ. එය දරුවාගේ මනස යහපත් ලෝකයක්‌ දෙසට යොමු කරවන ඉගෙනුම් උපකරණයක්‌ කිව්වත් වැරදි නැහැ. අනික විශාල වියදමක්‌ දරා ගෙනෙන සෙල්ලම් බඩුවක්‌ කෙටි කාලයකින් ඔහු ඉවත දමන බව ඔබ දැක ඇති. සෙල්ලම් බඩුව තමා අතට පත් වුණාට පසුව එයට ඇති උපයෝගීතාව ක්‍රමයෙන් පහත බසින්නට පටන් ගන්නවා. ඒ වගේම සෙල්ලම් බඩුවලට ඇබ්බැහි වීමත් මවුපියන්ට පසුකලකදී තර්ජනයක්‌ වීමට ඉඩ තියෙනවා. පුංචි කරුණක්‌ ඉටුකිරීමටත් ඔවුන් සෙල්ලම් බඩු ඉල්ලන්නට පටන් ගනිවී.

ඉතින් දැන් ඔබට තේරෙනවා ඇති දරුවාට සෙල්ලම් බඩුවක්‌ ගෙන දීමේදී සැලකිය යුතු කරුණුවලට අමතරව තවත් එක්‌ වැදගත් කරුණක්‌ එයට එක්‌වී ඇති බව. අනෙක්‌ සියලු කරුණු අබිබවා එය පෙරමුණ ගෙන තිබෙනවා.

ලීලානන්ද වික්‍රමසිංහ

Post a Comment

0 Comments