ආත්‍රයිටිස්‌ වේදනාව නැති කරන ආලේපයක්‌

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගය සුවපත්කර ගැනීම සඳහා ගෙදරදීම හදාගෙන පානය කළ හැකි කසායක්‌ ගැන පසුගිය සතියේ ඔබ අපට කිව්වා. එවැනි තවත් බෙහෙතක්‌ ගැන අපට කියන්න පුළුවන්ද?

වෛද්‍ය වසන්න උදයජීව - මේ රෝගය සුවපත් කර ගැනීම සඳහා පානය කළ යුතු කසාය, හන්දිවල ගෑ යුතු තෙල් සිඳ ගන්නා ආකාරය, පානය කළ යුතු ගුලි වර්ග යනාදිය ගැන වට්‌ටෝරු අපේ පරම්පරාවේ වෙද පොත්වල තිබෙනවා. එහෙත් සාමාන්‍ය ජනතාව ඒ සඳහා අවශ්‍ය ඖෂධ වර්ග මිලදී ගැනීම ප්‍රශ්නයක්‌ වී තිබෙනවා. සමහර බෙහෙත් කඩවල බෙහෙත් අඩුවක්‌ තිබෙනවා. අඩුපාඩු සහිත කසාය පානය කළහම රෝගය සුව වෙන්නේ නැහැ. එවිට සිදුවන්නේ රෝගය සුව නොවූ බවට වෛද්‍යවරයාට බැනුම් අහන්නයි. ඒ අනුව අපි මේ සාකච්ඡාවලදී කියන්නේ රෝගීන්ට ඕනෑම බෙහෙත් කඩයකින් ලබා ගැනීමට හැකි කසාය ගැන විතරයි. අපේ කසාය සඳහා ද අපි බෙහෙත් වර්ග ඉන්දියාවෙන් ගෙන්වා ගන්නවා. දේශීය දුර්ලභ බෙහෙත් වෙනම අපට සපයන අය ඉන්නවා.



ආයුර්වේදය සහ පාරම්පරික සිංහල වෙදකමට සම්බන්ධ බෙහෙත් වට්‌ටෝරු පරිහරණය කිරීමේදී වෛද්‍යවරයාගේ අනුමැතිය නැතිව කිසිදු විටෙක විකල්ප බෙහෙත් වර්ග මිශ්‍ර නොකළ යුතුයි. උදාහරණයක්‌ වශයෙන් බිංකොහොඹ වර්ග දෙකක්‌ ලංකාවේ තිබෙනවා. එකක ගුණ නියම ලෙස තිබෙන අතර අනෙකෙහි ගුණය අඩුයි. ඒ නිසා ගුණ අඩු බිංකොහොඹ මිශ්‍ර කළ කසාය වලින් නිසි ගුණය ඇඟට ලැබෙන්නේ නැහැ. තවත් උදාහරණයක්‌ තමයි පොල්පලා. පොල්පලා වර්ග දෙකක්‌ තිබෙනවා. එකක්‌ ලංකාවේ. අනෙක ඉන්දියාවෙ. ඉන්දියාවේ පොල්පලා කොච්චර බිව්වත් ප්‍රශ්නයක්‌ නැහැ. ඒත් ලංකාවේ පොල්පලා වැඩිපුර බිව්වොත් මුත්‍රා පෙරීමට වකුගඩුවල තිබෙන නෙµaරෝන නරක්‌ වෙනවා. මා මේ කියුවේ අමතර කාරණයක්‌.

ප්‍රශ්නය - ආතරයිටිස්‌ වර්ග රැසක්‌ තිබෙනවා නේද?

වෛද්‍ය උදයජීව - සියයකට වඩා තිබෙනවා. නමුත් මූලික වශයෙන් ගත්තාම සියලුම ආත්‍රයිsටිස්‌ වර්ගවල ස්‌වභාවයේ සමාන බවක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ කියන්නේ මොකක්‌ද?

වෛද්‍ය උදයජීව - ශරීරයේ සන්ධිවල හටගනනා මේ රෝගයෙන් සන්ධිවල තිබෙන කාටිලේජ හානියට පත්වීමත් යාවී තිබෙන අස්‌ථි ආබාධ හටගැනීමත් සිදු වෙනවා.

ප්‍රශ්නය - ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ රෝගය හැදීගෙන එන බව අප දැන ගන්නේ කොහොමද?

වෛද්‍ය උදයජීව - ප්‍රධානම රෝග ලක්‍ෂණය තමයි හන්දි වේදනාව. ඒ නිසා වැඩක්‌ පලක්‌ කර ගන්නට අමාරු තත්ත්වයක්‌ ඇති වෙනවා. ඒ එක්‌කම අත්පාවල මාංශ පේෂි සහ ස්‌නායුබද්ධ හෙවත් බලනහර දැවිල්ලක්‌, වේදනාවක්‌ වගේ තත්ත්වයකට පත්වෙනවා. වැඩක්‌ පලක්‌ නොකර විවේකයෙන් හිටියාම මේ තත්ත්වය මඟහැරෙනවා. එත් ආපසු වැඩපල පටන් ගත්තාම පරණ වේදනාව මතුවෙනවා. අතේ පයේ හිරිය, අතපය දිග හැර ගන්නට බැරිව හයිවෙලා වගේ තිබීම තවත් රෝග ලක්‍ෂණයක්‌. මේ හිරිය සහ වේදනාව හුඟක්‌ වෙලාවට දැනෙන්නේ උදේ පාන්දර ඇඳෙන් නැගිට්‌ට ගමන්මයි. හැබැයි විනාඩි 30 ක විතර කාලයක්‌ තුළදී වේදනාව නැතිව යනවා. ඒත් තවත් සෑහෙන වෙලාවක්‌ යන තුරු වැඩක්‌ පලක්‌ කර ගන්න අමාරුයි. ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ රෝගියා අතපය නවනවිට ඇට කැඩෙනවා වගේ ශබ්දයක්‌ එනවා. එසේ ශබ්දය නිකුත් වන සන්ධි ස්‌පර්ශ කළාම අතට දැනෙනවා සන්ධි ආශ්‍රිත මාංශ පේෂීන්වල ගැස්‌මක්‌ තිබෙන බව. මෙයට භ්‍රාසය කියලත් කියනවා. ටික කලක්‌ යනකොට මේ සන්ධි තුළ ද්‍රවනයක්‌ - වතුර වැනි ද්‍රව්‍යයක්‌ එකතු වීමට පටන් ගන්නවා. එතකොට සමහරු කියනවා දණහිසේ වතුර පිරෙනවා කියලා.

ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ වැඩි වශයෙන් හැදෙන්නේ සිරුරේ කොඳු ඇට පෙළ, අත්, පාද, ඉන, දණහිස වැනි තැන්වලටයි. අත් හැර මේ සෙසු සියලුම තැන් ශරීරයේ බර වැටෙන තැන්. එහෙත් සාමාන්‍යයක්‌ වශයෙන් ගත්තම ශරීරයේ ඕනෑම සන්ධියකට මේ රෝග වැළඳෙන්න පුළුවන්. රෝගය වර්ධනය වෙන්නට පටන් ගත්තාම එයට භාජන වුණු සන්ධි ක්‍රමයෙන් ඉදිමෙන්නට පටන් ගන්නවා. අතේ ඇඟිලිවල සියලු සන්ධිත් ඉදිමෙනවා. එවිටි ඇඟිලි දිග හරින්නට බැරි වෙනවා. පාදයේ ඇඟිලි ඉදිමිලා රතු පාටට හැරෙනවා.

ප්‍රශ්නය - ලබන සතියේදී ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ ගැන තවදුරටත් කතා කරමු. ඒ අතර අපට කියන්න මේ රෝගය සමනය කර ගැනීමට සුදුසු කසායක්‌.

වෛද්‍ය උදයජීව - අද මා ඔබට කියන්නම් ඔස්‌ටි්‍රයෝ ආත්‍රයිටිස්‌ රෝගය නිසා ඉදිමී වේදනා දෙන සන්ධිවලට සහනයක්‌ දෙන ආලේපයක්‌. තල, බෙහෙත් එඬරු ඇට, සම සමව ගෙන එළකිරෙන් අඹරලා ඉදිමුන සන්ධිවල ගාන්න. මෙය හැමදාම කරන්න. මෙයින් යම් ගුණයක්‌ ලැබෙනවා.

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 
0718341834 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments