හෘදයාබාධ සුවකරන්න සිංහල වෙදකමට පුළුවන්


හෘද රෝගවලට හොඳම විසඳුම තිබෙන්නේ දේශීය පාරම්පරික වෙදකම තුළ බව වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය කියයි. නිසි ආහාර, නිසි පැවැත්ම සහ පාරම්පරික වෙදකම මගින් හෘදයාබාධ සුවකළ හැකි බවත් එසේ සුව කෙරුණ ලෙඩුන් කිහිප දෙනකු ගැනත් හෘද රෝගීන්ට යම් ප්‍රමාණයක සහනයක්‌ සලසන අත් බෙහෙත් ගැනත් අද සිට මෙම ලිපි පෙළ මගින් ඇය අපට කියනු ඇති.

ප්‍රශ්නය - හෘද රෝගය කියන සාධකය ලෝකයේ ප්‍රමුඛ පෙළේ මාරයකු බවට පත්ව තිබෙනවා. දැනට තිබෙන සංඛ්‍යා ලේඛනවලට අනුව හෘදයාබාධය නිසා දිනකට 20 දෙනකු පමණ ශ්‍රී ලංකාවේදී මිය යනවා. ලොව වඩාත්ම තරුණ වියේදී හෘද රෝගවලට භාජන වන්නේ ලංකාව ඇතුළු දකුණු ආසියාවේ අය. සාමාන්‍ය වශයෙන් ගත් විට ශ්‍රී ලංකාව තුළ හෘද රෝග නිසා වාර්ෂිකව මියයන ගණන 32,582 යි. www.worldlifeexpectancy.com වෙබ් අඩවිය බලන්න.) දේශීය වෛද්‍ය විද්‍යාව සමග කටයුතු කරන ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

වෛද්‍ය වික්‍රමාරච්චි - ලංකාව වැනි දකුණු ආසියාතික රටවල ජනයාට හෘද රෝග වැළඳෙන්නට බලපාන හේතු 5 ක්‌ තිබෙනවා. පළමුවැන්න තමයි රුධිරයෙහි කොලෙස්‌ටරෝල් ප්‍රමාණය ඉහළ යැම. දෙවැන්න ශරීරය තුළ Homocystine කියන ඇමයිනෝ අම්ල මට්‌ටම ඉහළ යැම. තුන්වැන්න ශරීරයේ අධි සංවේදී C-reative ප්‍රොටීන සංයුතිය ඉහළ යැම. හතර වැන්න පරිවෘත්තීය රෝග තත්ත්වයට (Metabolic sgndrome) ශරීරය පත්වීම. මේ රෝග තත්ත්වය නිසා හෘදයාබාධයට අමතරව දියවැඩියා රෝගයත් වැළඳෙන බව අප මතක තබාගත යුතුයි. අවසන් කාරණය තමයි උදර ස්‌ථුලභාවය. මෙයට ඉංග්‍රීසියෙන් කියන්නේ Abdominal obesity කියලයි. මේ කාරණාවලින් වැඩි හරිය හට ගන්නේ විවිධ ආහාරවලට ඇති කෑදරකම නිසයි. කෙටියෙන් කීවොත් කට පරෙස්‌සම් කර ගන්නට බැරි විට තමයි ප්‍රධාන හේතුව. අප අතට අසුවන හැම දෙයක්‌ම ගිල දමන ජාතියක්‌ සිටින රටක්‌. එහෙත් අපේ රටේ කර්ම ශක්‌තිය කොතෙක්‌ද කියනවා නම් එසේ අතට අසු වෙන්නේ පිරිසිදු එළවළු සහ පලතුරු නොව ඌරු මස්‌, හරක්‌ මස්‌, තෙලෙන් බැදලා කර කරපු ආහාර සහ ක්‍ෂණික ආහාර යනාදියයි.




ප්‍රශ්නය - හෘදයාබාධය මරණයට හේතුවන බව දන්නවා වුවත් හුඟක්‌ දෙනා දන්නෙ නැහැ හෘද රෝගයක්‌ කියන්නේ කුමක්‌ද කියන එක...

වෛද්‍ය වික්‍රමාරච්චි - හෘදයාබාධයක්‌ කියන්නේ හෘද ක්‍රියාකාරීත්වය නැවැතීමයි. හෘද රෝග ප්‍රධාන වශයෙන් තුන් වර්ගයයි. ඉන් පළමු වැන්න තමයි උපතින්ම එන හෘද රෝග තත්ත්වය, ඒ කියන්නේ සමහර දරුවන් උපදින කොටම කුමක්‌ හෝ හෘද රෝග තත්ත්වයක්‌ ඔවුන් තුළ තිබෙනවා. දෙවැන්න තමයි පසු කාලයේදී ඇතිවන හෘද රෝග. එය හැම විටම හට ගන්නේ වැරදි ආහාර සහ විහරණ නිසයි. තුන් වැන්න අක්‍රමවත් හෘද ස්‌පන්දනයයි. ඉහත සඳහන් හෘදයාබාධ තුන් වර්ගය නැවතත් සවිස්‌තරාත්මක ලෙස විස්‌තර වෙන්නේ මෙහෙමයි.

1. උපතින්ම එන හෘද රෝග - මෙහිදී සිදුවන්නේ ශරීරයට අවශ්‍ය ආකාරයට රුධිරය සංසරණය කිරීම සඳහා රුධිරය පොම්ප කිරීමට හෘදයට නොහැකි වීමයි. දරුවාගේ හෘදයේ මාංශ පේශී දුර්වල වීම සහ හෘද කපාට අසාමාන්‍ය ලෙස පිහිටීම මෙයට හේතුවයි. සමහර විට මේ කපාට කුඩාවට පිහිටනවා වෙන්නට පුළුවනි. එවිට ඒ කපාට තුළින් අවශ්‍ය තරම් රුධිරය පොම්ප වෙන්නේ නැහැ. සමහර විට මේ කපාටවල "ලීක්‌" එකක්‌ තිබෙන්නට පුළුවන්. එවිට රුධිරය හදවත තුළට වැරදි ලෙස ගලා යැම, හදවතේ වැරදි දිසාවට ගලා යැම නිසා ප්‍රශ්න හටගන්නට පුළුවන්. හෘද කපාට හරිහැටි වැඩ නොකරන විට හෘද මාංශ පේශීවලට සිදුවෙනවා වැඩිපුර වැඩ කරන්නට. එවිට ඒ පේශීන් වුවමනාවට වඩා මහන්සියට පත් වෙනවා.

2. Coronary Artery Disease හෙවත් කිරීටක ධමනි රෝගය. හෘද පේශීන්ට රුධිරය සපයන ධමනිවල හට ගන්නා රෝගයක්‌ ලෙස මෙය හඳුන්වනවා. මෙයට පොදු හේතුව වන්නේ හෘද පේශීන්ට රුධිරය සපයන නහර ක්‍රමයෙන් කුඩා වීමයි. සමහර විට මේ නහර අවහිර වෙනවා. ඒ කියන්නේ මෙහි කොලෙස්‌ටරෝල් බැඳීම වගේම කැල්සියම් බැඳීමක්‌ සිදුවෙන්න පුළුවන්. මේ හේතුව නිසා හෘද පේශීන්ට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. එවිට හෘද පේශීන් දුර්වල වෙනවා. රුධිර සැපයුම අක්‍රමවත් වුණොත් හෘද පේශීය මිය යැමටත් ඉඩ තිබෙනවා. හෘදයට රුධිර සපයන නාළ මෙසේ අවහිර වෙන්නේ දුම්පානය, කොලෙස්‌ටරෝල්, අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ මවුපියන්ගෙන් උරුම වුණ ශාරීරික තත්ත්වයන් නිසයි.

3. අක්‍රමවත් හෘද ස්‌පන්දනය - හෘදයේ තිබෙනවා එක්‌තරා ආකාරයක විද්යුත් ක්‍රියාවලියක්‌. හෘද ස්‌පන්දනය වේගවත් කරන්නට හෝ වේගවත් නොකරන්නට හැකියාව තිබෙන්නේ එම විද්යුත් ක්‍රියාවලියටයි. අක්‍රමවත් හෘද ස්‌පන්දනයකට පුළුවන් හෘදයට රුධිරය පොම්ප කිරීම අඩාළ කරන්නට හෝ එය නවත්වා දමන්නට. රුධිර පොම්ප කිරීම සඳහා හෘදයට අවශ්‍ය ඉතාම ක්‍රමවත් ස්‌පන්දනයක්‌. පොම්ප කිරීමේ වේගය වැඩිනම් රුධිරයට බැරි වෙනවා නිසි ලෙස හෘදය තුළට ඇතුළු වෙන්නට. පොම්ප කිරීමේ වේගය අඩුනම් එවිට සිදුවන්නේ එයමයි. මේ අවස්‌ථා දෙකේදීම සිදුවන්නේ ශරීරයේ රුධිර සංසරණ ක්‍රියාවලිය කඩාකප්පල් වීමයි.


Post a Comment

0 Comments