ප්රශ්නය - පසුගිය සතියේ අප ඔබෙන් ඇසූ ප්රශ්නවලදී අවසන් වශයෙන් සාකච්ඡා කෙරුණේ ආත්රයිටිස් රෝගය සුව කිරීම සඳහා "කහ" තුළ ඇති ඖෂධීය බලය ගැනයි. එවැනි තවත් ඖෂධ වර්ග ගැන අපි අවසානයේ දී සාකච්ඡා කරමු. ඒ අතර අප දැන ගන්නට කැමැතියි ආත්රයිටිස් රෝගය නිසා කෙනකු සම්පූර්ණ ආබාධිත තත්ත්වයකට පත් වනවාද කියන එක.
වෛද්‍ය වසන්ත උදයජීව - ඇමරිකාවේ වැසියන්ගෙන් විසි ලක්ෂයක් දෙනාට ආත්රයිටිස් රෝගය නිසා හරිහැටි දෛනික වැඩපළ කරගන්නට බැරි තත්ත්වයක් ඇතිව තිබෙනවා. පසුගිය කාලයේ ඇමරිකන් ප්‍රාන්ත කිහිපයක කළ සමීක්ෂණවලින් පෙනී ගියේ වැඩකරන ජනතාව අතුරින් වැඩි දෙනකුට සේවයට වාර්තා කිරීමට බාධා කළ ලොකුම කායික දුෂ්කරතාව ආත්රයිටිස් බවයි. වැඩට එනවා වෙනුවට ඔවුන්ට සිදුව තිබුණේ දොස්තරලා වෙත යන්නයි. මේ අනුව වසරක කාලයක් නියෑදියක් ලෙස ගත්තොත් පෙනී යන්නේ ආත්රයිටිස් නිසා ඩොලර් බිලියන 100 ක ප්‍රමාණයක් ඒ කාලය තුළ ඒ රටට අහිමි වන බවයි. හැම වසරකම ඇමරිකානුවන් දශලක්ෂයක් මේ රෝගය නිසා රෝහල්ගත වෙනවා. දශලක්ෂ 45 ක ජනගහනයක් රෝහල්ගත නොවී රෝහල්වල බාහිර රෝගී අංශවලින් (O.P.D) බෙහෙත් අරගෙන ගෙවල්වලට යනවා.
ප්රශ්නය - මේ තත්ත්වය ඔබ ලංකාව සමඟ සසඳන්නේ කොහොමද?
වෛද්‍ය උදයජිව - මෙහෙමයි ඇමරිකාව කියන්නේ සෞඛ්‍ය පහසුකම් ඉහළින්ම තිබෙන රටක්. ඒ රටේ සියලුම පුරවැසියන් Social Health Care හෙවත් සමාජ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළවල් යටතේ ඉතා සුරක්ෂිත ජීවිත ගත කරනවා. ඔවුන්ට මොන රෝගය සැදුණත් ඔවුන් බලාගන්න රටේ ආණ්ඩුවට පුළුවන්.
එහෙත් අපේ රටේ තත්ත්වය වෙනස්. ලංකාව තවදුරටත් දුප්පත් රටක් නොවන බව ඇත්ත. ඒත් ඇමරිකාව කරන විදියේ සෞඛ්‍ය රක්ෂණ කටයුතු අපට නැහැ. රෝහල්වලින් බෙහෙත් නියම කළාට ගන්න වෙන්නෙ පිටින් සල්ලිවලට. ඒ බෙහෙත් හරිම මිලයි. ඒ නිසා ජනතාව කළ යුත්තේ රෝග නොහැදෙන තත්ත්වයත්, එහෙම නැත්නම් රෝග හැකි තරම් අඩුවෙන් හැදෙන තත්ත්වයක් ඇති කර ගැනීමයි. ඒ සඳහා මුලින්ම කළ යුත්තේ ආහාර රටාව සහ පවතින විදිය වෙනස් කර ගන්න එකයි. මොකද ආත්රයිටිස් වගේ රෝගයන් හැදුනම එය ලොකු කරදරයක්. මේ ගැන එක උදාහරණයක් කියන්නම්. ආත්රයිටිස් හැදුනම හරියට බෙහෙත් නොකළොත් තත්ත්වය දුරදිග යනවා. එවිට දෛනික ජීවිතයේ වැඩපළ කරගන්නට බැරිව ඔහේ පැත්කට වෙලා ඉන්න සිදු වෙනවා. මෙහෙම එක තැන ඉන්නකොට ඇඟ මහත් වෙනවා. වැඩක් පලක් නොකිරීම නිසා කොලෙස්ටරෝල් ප්‍රතිශතය ඉහළ යනවා. එවිට හෘද රෝග හටගන්නවා. ආත්රයිටිස් රෝගීන් වැඩි පිරිසකට මානසික ආතතිය තිබෙන බවත් මෙහිදී සඳහන් කළ යුතුයි. ආතතිය තිබෙන පුද්ගලයා නිතරම බය වෙනවා. නිරන්තර භීතිය නිසා ඔහුගේ හෝ ඇයගේ සිරුර තුළ රසායනික විපර්යාස ඇති වෙනවා. මේක කෙළවරක් නැති කතන්දරයක්.
ප්රශ්නය - මේ රෝගය සම්බන්ධයෙන් සහනයක් ලබාගත හැකි අත් බෙහෙතක් දැන් තියනවාද?
වෛද්‍ය වසන්ත උදයජීව - වතුර කෝප්ප දෙකක් ගෙන හොඳින් උතුරවා එසේ උතුරන අතර එයට අඹරන ලද ඉඟුරු තේ හැඳි භාගයක් සහ අඹරන ලද කහ තේ හැඳි භාගයක් (මේ සඳහා කහ කුඩු නොව වියළි කහ කැබලි අඹරා ගන්න) එකතු කරන්න. විනාඩි 15 ක් මෙසේ ඉතිරූ පසු පෙරා සීනි එකතු කර මදක් නිවෙන්නට හැර මී පැණි තේ හැන්දක් එකතු කර පානය කරන්න මෙතැනදී මී පැණි තමයි අනුපානය. මේ ද්‍රdවණය දෙකට බෙදා උදේ සහ සවස පානය කරන්න. සති දෙකක් එක දිගට පානය කළ විට යම් සහනයක් ලබාගත හැකිය.
එහෙත් මෙය කුඩා අත් බෙහෙතක් බව පමණක් මතක තබාගත යුතුය. රෝගය සඳහා නිසි ප්‍රතිකාර ගන්නට නම් වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුමයි.
මේ පිළිබඳ නොමිලේ උපදෙස් සඳහා
0718341834, 0372230667 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව
0 Comments