ප්ලාස්‌ටික්‌ ගැන භයානක කතාවක්‌

යුරෝපයේ බොහෝ රටවල් වතුර ටැංකියේ සිට බෑගය දක්‌වා විවිධ ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ පාවිච්චිය තහනම් කර හෝ සීමා කර ඇත. ශ්‍රී ලංකාවේ තවම එවැනි පියවරක්‌ ගෙන නැත. නමුත් ආරම්භයක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ කුඩා දරුවනට කිරි පොවන ප්ලාස්‌ටික්‌ බෝතලය පාවිච්චිය නතර කළ යුතුය. මේ රටේ ප්ලාස්‌ටික්‌වල ගුණත්වය පරීක්‌ෂා කරන ආයතනයක්‌ නොමැත. එම නිසා කුමන තත්ත්වයේ ප්ලාස්‌ටික්‌ මහජනතාවගේ පාවිච්චිය සඳහා යොමු කර ඇත්ද පිළිබඳව තක්‌සේරුවක්‌ කළ නොහැක.

ඔක්‌කොම කුණු බේරුවල් බොක්‌කට යනුවෙන් කියමනක්‌ අපගේ ව්‍යවහාරයේ පවතී. නමුත් මෙය බේරුවල් බොක්‌ක පිළිබඳ කතාවක්‌ නොවේ. කුණු නමැති පොදු කුලකය පිළිබඳවද නොවේ. කුණු ගොඩේ ඇති ප්ලාස්‌ටික්‌/පොලිතින් පිළිබඳව බියජනක කතාවකි. අප පරිසරයට මුදාහරින මෙම අපද්‍රව්‍යවලින් නිකුත් වන විෂ රසායනික අපගේ ශරීරයට පහසුවෙන් ඇතුළු වී රෝගාබාධ රාශියක්‌ ඇති කරයි.

ප්ලාස්‌ටික්‌ නිපදවන්නේ ඛනිජ තෙල් ඇසුරිනි. ලෝක ඛනිජ තෙල් නිෂ්පාදනයෙන් 8% ප්ලාස්‌ටික්‌ නිපදවීමට වැය වන බව ගණන් බලා ඇත. බෝතල්, වෙනත් ඇසුරුම්, පිඟන්, බෑග්, සෙල්ලම් භාණ්‌ඩ සහ තවත් බොහෝ භාණ්‌ඩ නිපදවීමට ප්ලාස්‌ටික්‌ භාවිතා කරන්නේ මිල අඩුකම නිසාය. ලෝකය පුරා ජනතාව පරිසරයට මුදාහරින ප්ලාස්‌ටික්‌ ශාන්තිකර සාගරයේ උතුරට වන්නට මුහුදු පතුලේ ගොඩ ගැසී ඇත. මෙම මහා පැසිපික්‌ කුණු කන්ද ඉන්දියාව යුරෝපය සහ මැක්‌සිකෝව එකට ගත් විට සෑදෙන භූමි ප්‍රමාණය තරම් විශාලත්වයකින් යුක්‌තය.

මහ පොළවට එකතු වන ප්ලාස්‌ටික්‌ පිළිස්‌සීම, දිරාපත් වීම හෝ පීඩනයට ලක්‌ වීමෙන් බිස්‌පිනෝල් A, ස්‌ටයිරේන්, පොලිවයිනයිල් ක්‌රොරයිඩ් හෙවත් පීවීසී ආදී අපගේ ශරීරයට විස රසායනික නිපදවයි. මෙම රසායන ද්‍රව්‍ය අප බීමට ගන්නා ජලයෙන්, වෙනත්a බීම වර්ගවලින්, බෙහෙත් සහ ආහාර මඟින් ශරීරගත වී අපගේ හෝමෝන නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ ඉන්ඩොසීන් පද්ධතිය අඩපණ කරවයි. එහි ප්‍රතිඵලයක්‌ ලෙසට පිළිකා, වකුගඩු ආබාධ, දියවැඩියාව, ඇදුම ස්‌ථුලභාවය ආදී රෝග ඇතිවේ.

ප්ලාස්‌ටික්‌වල අඩංගු මෙම අහිතකර රසායනික ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක්‌ දැනටමත් අපගේ ලේවල සහ මුත්‍රාවල අඩංගුය. මෙම විෂ ද්‍රව්‍යය අපගේ හෝමෝන සමබරතාවයට සිදු කරන්නා වූ බලපෑම හේතුවෙන් අපගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය, ශරීර වර්ධනය සහ අපගේ බාහිර පෙනුමට පවා අහිතකර බලපෑම් ඇති කරයි. මෙම තත්ත්වය අති භයානක නොවුවද අපට වැළඳෙන බොහෝ රෝග සහ ශරීර සංවර්ධන ක්‍රියාවලිය සමඟ ප්ලාස්‌ටික්‌ විෂ රසායනික ප්‍රබලව සම්බන්ධ වී ඇත.

හෝමෝන ක්‍රියාකාරීත්වය අවුල් සහගත කරන මෙම විෂ රසායන නිසා මිනිසාගේ ස්‌ථුලභාවය, ඇදුම, ඉන්සියුලින් නිපදවීමට බාධාවීමෙන් දියවැඩියාව ඇති වීම සිදු වේ. කාන්තාවන් වියපත් වන විට පියයුරු පිළිකා ඇති වීමත්, අනෙකුත් පිළිකා සෛල වේගයෙන් ව්‍යාප්ත වීමත් සිදු වේ. ප්‍රොස්‌ටියුට්‌ ග්‍රන්ථියේ පිළිකා සහ වෘෂණ කෝෂ සම්බන්ධ පිළිකා වැඩි වීම සම්බන්ධව සිදු කරන ලද අධ්‍යයනයන්ට අනුව පෙනී ගියේ ප්ලාස්‌ටික්‌ සම්බන්ධ පාරිසරික කරුණු නිසා මෙම තත්ත්වය ඇති වූ බවයි. බී. පී. ඒ. ස්‌ටයිරෙන් සහ පී. වී. සී. සම්බන්ධ කරන ලද පර්යේෂණ මඟින් සනාථ වී ඇත්තේ මෙම රසායනික ද්‍රව්‍ය ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයේම මඳ සරුභාවය ඇති වීමට හේතු වී ඇති බවයි.

කාන්තා ඩිම්බ තුළ ඇති ජානවලට සහ පුරුෂ ශුක්‍රාණු සම්බන්ධ ජානවලට මෙම රසායනික ද්‍රව්‍ය මඟින් හානි සිදු වීමෙන් ගබ්සා වීම් සහ වඳ භාවයට හේතු විය හැක. දිගු දුර ගමන් කිරීම, අච්චාරු, අන්නාසි හෝ ගස්‌ලබු ආහාරයට ගැනීම දරු ගැබක්‌ විනාශ වීමට හේතු වන බවට අප සමාජයේ විශ්වාසයක්‌ පවතී. නමුත් ඊට ප්‍රධාන හේතුව මෙකී රසායන ද්‍රව්‍ය මඟින් කළලයේ ජානවලට හානි සිදු කිරීමයි. ගබ්සාවලින් 50% ක්‌ සඳහාම කළලය වැඩෙන අවස්‌ථාවේ සිදු වන්නා වූ ජානමය ගැටලු හේතු වන බව පර්යේෂණ මඟින් අනාවරණය කර ඇත.

කාන්තාවන් උපදින විටම සියලුම ප්‍රජනන ඩිම්බ රැගෙන එයි. දැරියන් සහ කාන්තාවන් දිගු කාලයක්‌ ප්ලාස්‌ටික්‌ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් ඔවුන්ගේ ජානවල විකෘති ලක්‌ෂණ ඇති විය හැකිය. මිනිසාගේ ජාන පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට රැගෙන යන නිසා ඉදිරි පරම්පරාවලටද මෙම දුර්වල ජාන උරුම වීම නොවැළැක්‌විය හැක.

දරු පිළිසිඳ ගැනීම නොවන්නා වූ ගැටලු කාන්තාවන්ට පමණක්‌ සීමා නොවේ. විවාහක ජෝඩු අතුරින් 50% පමණ පිරිමින් වඳ භාවයෙන් හෝ මඳ සරු භාවයෙන් පෙළෙන බවට අනාවරණය වී ඇත. ශුක්‍රාණු දශලක්‌ෂ ගණනින් ශරීරය තුළ නිපද වුවද පරිසරයේ සිදු වන්නා වූ කුඩා වෙනසක්‌ නිසා විවිධ සංකූලතා ඇති විය හැකිය. එමඟින් ශුක්‍රාණුවල ගුණත්වය බාල වන අතර, එයින් පුරුෂ මඳ සරු භාවය ඇති වේ. පර්යේෂණවලට ලක්‌ වූ බොහෝ තරුණ ජෝඩු අතුරින් පුරුෂයාගේ ශුක්‍රාණු මට්‌ටම පහළ මට්‌ටමක පැවතුණි. ආහාර හෝ ජලය මඟින් මෙම ප්ලාස්‌ටික්‌ විෂ රසායන ශරීරයට ඇතුළු වී ඉන්ඩොසීන් නිෂ්පාදනයට සිදු කරන බාධාව මෙම පුරුෂ මඳ සරු භාවයට හේතු වී ඇත. ශුක්‍රාණු බලගැන්වීමේ ඖෂධ පිළිබඳ ඇමෙරිකානු සංගමය, සරු භාවය පිළිබඳ ජාත්‍යන්තර පෙඩරේෂණය ඒකාබද්ධව ප්‍රසිද්ධ කරන ලද පර්යේෂණ වාර්තාවක්‌ මඟින් මේ බව සනාථ කර ඇත.

දරු ගැබට සිදු වන බලපෑම 

මෙම අහිතකර රසායන ද්‍රව්‍ය කාන්තාවන්ට, පුරුෂයන්ට, දරුවන්ට මෙන්ම ළඳරු කළලයටද එකසේ අහිතකර ලෙස බලපායි. මවගේ ආහාරයට එකතු වන්නා වූ විෂ ගර්භාෂයේ සිටින ළදරු කළලයටද එකතු වේ. එම කළලය පිරිමි දරුවකු නම් විෂ ඔහුගේ වෘෂණ කෝෂවලට බලපෑම් සිදු කරයි. මෙයින් අවදානම් 2 ක්‌ ඇති වේ. වෘෂණ කෝෂ ආශ්‍රිත පිළිකා තත්ත්වයක්‌ හෝ වෙනත් පිළිකා, ඇදුම, ස්‌ථුලභාවය ආදිය ඇති විය හැකියි. තවද ළඳරුවනට කිරි පෙවීම සඳහා භාවිතා කරන ප්ලාස්‌ටික්‌ බෝතලයට උණුසුම් ජලය හෝ කිරි දැමූ විට හෝ දිගු කාලයක්‌ තිස්‌සේ මෙය භාවිතා කිරීම නිසා විෂ රසායනික දරුවාගේ ශරීරයට එකතු විය හැක.

අහිතකර මට්‌ටමේ සීමා

ප්ලාස්‌ටික්‌ රසායන ද්‍රව්‍යවල අහිතකර මට්‌ටමේ සීමා පිළිබඳව කොතෙක්‌ අධ්‍යයන සිදු කළද මෙම අවම සීමා පිළිබඳව නිශ්චිතවම නිගමනයකට එළඹි නොමැත. ප්ලාස්‌ටික්‌ කර්මාන්තය මතු කරන තර්කය වන්නේ තම නිෂ්පාදන අනුමත රසායනික මට්‌ටමේ පවතින බවයි. මේවා කර්මාන්තය ආරක්‌ෂා කර ගැනීමට ගෙන එනු ලබන තර්කයි. අනුමත මට්‌ටමේ වුවද මෙම රසායනික ද්‍රව්‍යවලට ගොදුරු වීම සෞඛ්‍යයට අහිතකර බැවින් කුමන මට්‌ටමක හෝ ප්ලාස්‌ටික්‌ රසායන විෂ සඳහා ආවෘත විම වළක්‌වා ගත යුතුය.

ප්‍රතිපත්ති තීරණය

ප්ලාස්‌ටික්‌ විෂ රසායනවල අහිතකර භාවය පිළිබඳ තර්කයක්‌ නොමැති වුවද යම් මට්‌ටමක විචක්‌ෂණ පාලනයකින් යුතුව පාවිච්චි කිරීම පිළිබඳව ප්‍රතිපත්ති සැකසීම ඉතා වැදගත් වේ. යුරෝපයේ බොහෝ රටවල් වතුර ටැංකියේ සිට බෑගය දක්‌වා විවිධ ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ පාවිච්චිය තහනම් කර හෝ සීමා කර ඇත. ශ්‍රී ලංකාවේ තවම එවැනි පියවරක්‌ ගෙන නැත. නමුත් ආරම්භයක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ කුඩා දරුවනට කිරි පොවන ප්ලාස්‌ටික්‌ බෝතලය පාවිච්චිය නතර කළ යුතුය. මේ රටේ ප්ලාස්‌ටික්‌වල ගුණත්වය පරීක්‌ෂා කරන ආයතනයක්‌ නොමැත. එම නිසා කුමන තත්ත්වයේ ප්ලාස්‌ටික්‌ මහජනතාවගේ පාවිච්චිය සඳහා යොමු කර ඇත්ද පිළිබඳව තක්‌සේරුවක්‌ කළ නොහැක.

බොහෝ රටවල් පීවීසී වතුර බට, පීවීසී වතුර ටැංකි භාවිතය ක්‍රමයෙන් අත්හිටුවීමට තීරණය කර ඇත. බොහෝ රටවල් ප්ලාස්‌ටික්‌ වතුර ටැංකි භාවිතය තහනම් කර ඇත. අතීතයේ සිමෙන්ති ටැංකි සහ මළ නොබැඳෙන වානේ ටැංකි භාවිතය තිබුණි. කල්යැමේදී ප්ලාස්‌ටික්‌ ටැංකි භාවිතයට මාරු විය. මේවා උෂ්ණත්වයට ප්‍රතික්‍රියා දක්‌වයි. එබැවින් ප්ලාස්‌ටික්‌ වතුර ටැංකි භාවිතා කරන්නේ නම් හිරු එළිය නොවැටෙන සේ ආවරණය කර පාවිච්චි කළ යුතුය. අද වන විට සාමාන්‍ය ජනතාව ඉතා විශාල ලෙස ප්ලාස්‌ටික්‌ භාවිතයට යොමු වී සිටින නිසා ඒවා නිසි පරිදි පාවිච්චි කරන අන්දමත්a අවදිමත් පාවිච්චියෙන් සිදු වන්නා වූ අහිතකර ප්‍රති විපාකත් පිළිබඳ ජනතා අවබෝධය ඇති කිරීමත්, හානිය අවම කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීමත් බලධාරීන්ගේ වගකීම වනු ඇත.

මහාචාර්ය වෛද්‍ය සුරංග හෙට්‌ටිපතිරණ, මහාචාර්ය වෛද්‍ය කෝලිත එච්. සෙල්ලහේවා, මහාචාර්ය වෛද්‍ය නෙවිල් ඩී. පෙරේරා, විශේෂඥ වෛද්‍ය ලක්‌කුමාර ප්‍රනාන්දු, විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක යන විද්වතුන්ගේ සාකච්ඡාවක්‌ ඇසුරින් ලිපිය සැකසුණි. 

Post a Comment

0 Comments