මැණික් ගැරීම් පිළිබඳව අතීතයේ පටන්ම උනන්දුවක් ජනතාව අතර තිබිනි. එමෙන්ම වටිනා මැණික් මතුවීම හේතුවෙන් මීට පෙර මැණික් කර්මාන්තයේ යෙදුණු නැති පිරිස් අතර ද මැණික් ගැරීම සම්බන්ධයෙන් උනන්දුවක් මතුව තිබෙන බවක් පෙනේ.
අතීතයේ සම්ප්‍රදායික කර්මාන්තයක් ලෙස මැණික් ගැරීම තිබුණු නිසා එහි යම් අන්තරායකාරී භාවයක් ද නොතිබුණා නොවේ. තාක්‍ෂණය දියුණු වීම හේතුවෙන් පෙරට වඩා එම අන්තරායකාරී භාවයෙන් මැණික් කර්මාන්තය මිදී තිබීම ද අලුත් පිරිසක් ඒ ගැන උනන්දුව දැක්‌වීමට හේතුව වී තිබේ.
රැකියාවක නිරත වන අතරේම සති අන්තය තෙක් එක දිගට දින කිහිපයක් නිවාඩු දමා මැණික් ගැරීමට ද ඉඩ ප්‍රස්‌ථාවක් තිබෙන හෙයින්, අමතර ආදායම් මාර්ගයක් ලෙස මැණික් ගැරීම සඳහා යොමුවීමට බොහෝ දෙනෙකු අපේක්‍ෂාවෙන් සිටින බව පෙනේ.
මැණික් ගැරීමේ නිත්‍යානුකූල මාර්ගය වැදගත් වන්නේ එවැනි පිරිස් සඳහා වන අත්‍යවශ්‍ය මඟපෙන්වීමක් ලෙසය.
රත්නදීපයේ සෑම තැනම මැණික් තිබෙන බව කාෙව්‍යාaක්‌ති සඳහාම සීමා වූවක් නොවේ. එය විද්‍යාත්මක ලෙස පහදා දුන් කාරණයකි. ශ්‍රී ලංකාවට අයත් දූපත්වල හැරුණු කොට අනිකුත් බොහෝ ස්‌ථානවල මැණික් සැඟවී තිබෙන බව විද්‍යාත්මක මතයයි. දැනට මැණික් හමු නොවන ප්‍රදේශ ලෙස ගණන් ගැනෙන හැටන්, තලවාකැලේ සිට කැකිරාව, හා අගනුවර ආසන්න කළුතර, පාදුක්‌ක වැනි ස්‌ථාන අතීතයේදී මැණික් ලබා ගත් ස්‌ථාන බව එම පළාත්වල ග්‍රාම නාමවලින් පවා දැන ගත හැකිය.
මේ නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ධනෝපායන මාර්ගයක් ලෙස මැණික් ගැරීම පත් කරගත හැකි තත්ත්වයක් තිබේ.
රුවන් මුවා පොලෝ තලයෙන්
ඒ රුවන් මතුකර ගන්නේ කෙසේද?
ඒ පිළිබඳව පියවරෙන් පියවර විස්‌තර කර දෙන්නේ, ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ජී. එන්. එම්. වික්‍රමසිංහ මහතාය.
මැණික් ගැරීම සම්බන්ධව පවතින ප්‍රධාන ක්‍රමවේද මොනවාද?
මැනික් ගැරීම සම්බන්ධව ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමා තමන්ට අයිති සින්නක්‌කර ඉඩමක මැණික් ගැරීම, අනෙක රජයට අයත් ඉඩමක මැණික් ගැරීම, මෙය ක්‍රමවේද දෙකක් හරහා සිදු වෙනවා.
තමන්ට අයත් ඉඩමක මැණික් ගැරීම සිදු වෙන්නේ තමන්ට අයිති ඉඩමක හෝ බදු ගත්තොත් බදු අයිතිය මතත් මැණික් ගරන්න පුළුවන්. ප්‍රථමයෙන්ම ඉඩමේ අයිතිය තමන්ට භුක්‌ති විඳීමට අවසරය තියෙනවා කියලා සනාථ කරගන්න ඕන. හවුල් ඉඩමක් නම් බලපත්‍රය ඉල්ලන බලපත්‍රධාරියා ඉඩමේ අයිතිය තහවුරු කරගන්න ඕනේ. අවම වශයෙන් එම ඉඩමේ 2/3 ක අයිතියවත් තහවුරු වුණොත් තමා බලපත්‍රය නිකුත් කරන්නේ. බලපත්‍රය ලැබී අවුරුද්දක් යනකම් මැණික් ගැරීම සිදු කරන්න පුළුවන්. නැවතත් බලපත්‍රය ගන්න ඕන නම් අදාළ බලපත්‍රධාරියා විසින් බලපත්‍රය ඉල්ලුම් කරන්න ඕනේ. එවිට නැවත අලුත් බලපත්‍රයක් විදියට තමා නිකුත් වෙන්නේ. 2/3 ක තහවුරු වුණත් විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන්. එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල ඇති දැන්වීම් පුවරුවල විරෝධතා ඉදිරිපත් කරන්න කියලා දැන්වීම් අලවනවා. ඊට විරෝධතා තියෙනව නම් දින 14 ක් ඇතුළත ඉදිරිපත් කරන්න ඕනේ. විරෝධතා ඉදිරිපත් වුවහොත් විරෝධතා පරීක්‍ෂණයක් මෙහිදී සිදු කරනු ලබනවා. පතල්හෑරීම පටන් ගත්තට පස්‌සෙත් විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන්. එහිදී ද මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරියේ නීතිඥ අංශය විසින් පරීක්‍ෂණ සිදු කරනු ලබනවා. කෙනෙක්‌ගේ බලපත්‍රය අහිමි කළොත් මහවැලි සංවර්ධන හා අමාත්‍යාංශ ලේකම්ට අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්.
ආණ්‌ඩුවට අයත් ඉඩමක් හෝ ප්‍රාදේශීය ලේකම්වලට අයත් ඉඩමක මැණික් ගරන්න පුළුවන්. එහිදී ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරියේ පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රසිද්ධ වෙන්දේසියක් හරහා ලබා දෙනවා.
විශේෂයෙන් අපේ රටේ බලපත්‍රය ලබා ගන්නැතුව මැණික් ගරන්න බැහැ. මූලික දේ බලපත්‍රය ලබා ගැනීම.
බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන්නේ කොහොමද?
රත්නපුර, ඇහැලියගොඩ, නාවුල, මාතර, මොනරාගල බල ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලියුමක් හරහා ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්‌සේ ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරිය විසින් අයෑදුම් පත්‍රය ලබා දෙනවා. ඒක සම්පූර්ණයෙන් පුරවලා ලබා දුන්නට පස්‌සේ විරෝධතා සලකා බලලා සභාපතිතුමාගේ අත්සන මගින් මාස එකහමාරක් ඇතුළත බලපත්‍ර ලබා දෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව බලපත්‍ර 6000 - 7000 ක් අතර ප්‍රමාණයක් නිකුත් කරනවා. වැඩිපුරම නිකුත් කරන්නේ රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙන්. එය 90% ක් ම 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරි පනත හරහා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේය.
බලපත්‍රය නිකුත් කිරීමට බලපානු ලබන නිර්ණායක මොනවාද?
මේ සඳහා ඉඩමේ ස්‌වභාවය, පරිසර තත්ත්ව, පරිසර සංරක්‍ෂණය, ඉඩමේ අයිතිය සහ මායිම් බලපානවා. මේ කෙරෙහි අවධානය යොමු කරලා තමා බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ. විශේෂයෙන් සින්නක්‌කර අයිතිය තිබුණත් තමන්ගේ ඉඩමක් වුණත් මෙම කොන්දේසිවලට යටත් වීමට සිදු වෙනවා.
මැණිකක වටිනාකම තක්‌සේරු කිරීමට බලපානු ලබන නිර්ණායක මොනවාද?
මේ සඳහා මැණික් වර්ගය, මැණිකේ වර්ණය, පලුදු ඇති නැති බව සහ බර ප්‍රමාණය බලපානවා. විශේෂයෙන් නිල් හෝ රතු මැණිකේ වටිනාකම වැඩියි.
මැණික් ගැරීම සම්බන්ධව පවතින නෛතික ක්‍රියාමාර්ග මොනවාද?
අනවසර මැණික් ගැරීම්වලදී පූර්ණ වගකීම ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරියට තියෙනවා. එහිදී
* ඕනෑම යන්ත්‍රයක් අත්අඩංගුවට ගැනීමට
* දඩ නියම කිරීමට
* අධිකරණයට ඉදිරිපත් කිරීමට
ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරියට අයිතිය තියෙනවා. මේ සඳහා පොලිසියේ සහයෝගය ලබා දෙනවා. ආරක්‍ෂාව සම්බන්ධව ගැටලුවක් පවතිනවා නම් විශේෂ කාර්ය බලකායේ සහයෝගය ලබා ගන්නවා.
මැණික් කර්මාන්තය හා සම්බන්ධව පවතින ගැටලු මොනවාද?
අපේ රටේ මැණික් කපන කට්‌ටිය අඩුයි. මෙය මේ කර්මාන්තයේ පවතින ලොකු ගැටලුවක්. විශේෂයෙන් අපේ රටේ ඉතුරු කරගන්න පුළුවන් ලක්‍ෂ ගණනක් පිටරටවලට යනවා. ඒ නිසා මැණික් කපන්නන් පුහුණු කිරීමට මේ වනවිට සැලසුම් යොදලා තියෙන්නේ. මෙහිදි පළවැනි කණ්aඩායම යටතේ 300 ක් පුහුණු කරනවා.
ඒ වගේම අපේ රටේ මේ සම්බන්ධව තාක්‍ෂණය ගොඩක් අඩුයි. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මැණික් පරීක්‍ෂා කිරීමට අලුත් තාක්‍ෂණය භාවිත කරන්න. ඒ වගේම ලංකාවට පිටරටින් මැණික් නිර්මාණ ශිල්පීන් පිටරටින් ඩිසයින්ස්‌ලා ගෙන්වලා අපේ රටේ පුහුණු කරන්නත් බලාපොරොත්තු වෙනවා.
ලංකාවේ මැණික්‌වලට බදු අය කිරීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් චීනය 42% ක සහ තායිලන්තය 30% ක බද්දක් අය කරනවා.
මැණික් අපනයනය කිරීමේදී පවතින නෛතික ක්‍රමවේදය කුමක්‌ද?
මැණික් අපනයනය කිරීමේදී මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරිය හරහා අපනයනය කළ යුතුයි. එහෙම නොවෙනව නම් මෙය නීතිවිරෝධී අපනයනය කිරීමක් වෙනවා. විශේෂයෙන් විශේෂයෙන් අප ආයතනය තක්‌සේරුවක් ලබාගන්න වෙනසක් කරන්න පුළුවන්නම් වෙනසක් කරනවා. ඊට පස්‌සේ සීල් කරලා රේගුවට ලබා දෙනවා.
කෙනෙක්‌ට විශ්වාසදායක ලෙස මැණිකේ මිලදී ගැනීමට අවශ්‍ය නම් ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයෙන් ලබා ගන්න පුළුවන්. අපේ කඩ 36 ක් එහි තියෙනවා. එම ස්‌ථානයෙන් ඕනෑම කෙනකුට විශ්වාසවන්ත විදියට මැණිකක් මිලදී ගන්න පුළුවන්. අපේ පරීක්‍ෂණාගාරයක් ද එහි පවතිනවා. එහි සහතිකය ලබා ගනිමින් මිලදී ගන්න පුළුවන්. එය ප්‍රමිතියෙන් අඩු නම් සල්ලි නැවත ලබාදෙන වගකීමක් තියෙනවා.
ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරියේ දැක්‌ම පරිසරයට අවම හානියක් වන ආකාරයට නිත්‍යානුකූලව කර්මාන්තයක් විධියට පවත්වාගෙන යැමට සහයෝගය ලබාදීම. ඔප නොදැමූ හෙවත්, රළු මැණික් අපනයනය කරන්න බැහැ. මෙය ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරිය විසින් තහනම් කරලා තියෙන්නේ. මොකද එහෙම කරනකොට විදේශ විනිමය අපතේ යැමක් සිදු වෙනවා. ඇත්තටම අපේ උත්සාහය පොඩි මැණික් සියල්ල ස්‌වර්ණාභරණයක් හෝ රත්තරන් විදියට ලෝහයක් සමඟ මිශ්‍ර කර අවසානයේදී පාරිභෝගිකයන් ට පළඳින්න පුළුවන් ආකාරයට සකස් කිරීම.
විශේෂයෙන් කිසිම පුද්ගලයකුට මැණික් ගැරීම, විකිණීම, ළඟ තබා ගැනීම මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරියේ අවරසය නැතිව කරන්න බැහැ.
අපි පෙබරවාරි මාසයේ ගාල්ල නගරයේදී ස්‌වර්ණාභරණ පරීක්‍ෂා කිරීමේ මධ්‍යස්‌ථානයක් විවෘත කරනවා. ඊට අමතරව දිවයින පුරා ආවරණය වන පරිදි මහනුවර, යාපනේ ආදී නගරවලත් මේ මධ්‍යස්‌ථාන පිහිටුවනවා.
මේ සියලු වගකීම් හමුවේ ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරිය නිසි මාර්ගෝපදේශනය ලබා දීමට ඇප කැප වී සිටිනවා.
ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්
එම්. ජී. එන්. එම්. වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි
සංවාද සටහන
නිර්මලා ලෙනගලආරච්චි
සමන්මලී නැලිගම
0 Comments