නොමිලේ ඇස්‌ කණ්‌ණාඩි ලබාදීම හෙවත් රටේ ජනතාව අන්ධ කිරීම


දකුණු ආසියාවේ වැඩිම අන්ධ ජනගහනයක්‌ සිටින රට ශ්‍රී ලංකාව බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2016 වසර සඳහා නිකුත් කළ ශ්‍රී ලංකාවේ අක්‌ෂි සෞඛ්‍ය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.

දකුණු ආසියාව යනු ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, භූතානය, පකිස්‌ථානය යන රටවල් අයත් කලාපයයි.

මෙම රටවල් අතර සෞඛ්‍ය සේවාව උසස්‌ මට්‌ටමක පවතින රටක්‌ බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. සෞඛ්‍ය සේවාව යනු රෝහල්හි ඇති වෛද්‍ය උපකරණ, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්‌ඩලය, ඖෂධ ආදිය පමණක්‌ නොව එම පහසුකම් රෝගීන්ට පහසුවෙන් ලබා ගැනීමටද හැකිවිය යුතුය.

ශ්‍රී ලංකාවේ අන්ධ ජනගහනය සමස්‌ත ජනගහනයෙන් 1.7 ක්‌ ලෙස වාර්තාවේ. එය සංඛ්‍යාත්මකව බැලුවහොත් ලක්‍ෂ දෙකහමාරකට අධිකය. කෝටි දෙකකට අධික ජනගහනයෙන් ලක්‍ෂ දෙකහමාරක්‌ යනු එතරම් බරපතළ තත්ත්වයක්‌ නොවේ යෑයි යම් පුද්ගලයකුට සිතිය හැකිය.

නමුත් මෙම අන්ධ ජනතාව උපතින්ම අන්ධභාවයට පත්වූවන් නොවේ. නොයෙකුත් අක්‌ෂි රෝග හේතුවෙන් ජීවිතයේ තුරුණුවියේදී සහ මැදිවියේදී අන්ධ භාවයට පත්වූවන්ය. මෙම ජනතාවගෙන් හරි අඩකටත් වැඩි පිරිසක්‌ අන්ධ බවින් මුදාගත හැකිය. මොවුන් මෙලෙස අන්ධභාවයට පත්ව ඇත්තේ නිසි අක්‌ෂි වෛද්‍ය පහසුකම් නොලැබීම සහ එම පහසුකම් ලබා ගැනීමට ඇති දුෂ්කරතාවයන් පැවැතීමය.

දියවැඩියාව, හෘදයාබාධ, අධික තරබාරුව වැනි බෝ නොවන රෝග මෙන් අන්ධභාවයට පත්වීමද බෝ නොවන රෝගයක්‌ වුවත් මේ සඳහා ඇති සැලකිල්ල අවමවීම කනගාටුදායකය.

අන්ධභාවයට පත්වීමට බලපා ඇති ප්‍රධාන හේතුව

අපගේ ඇස්‌වල පෙනීමේ දුර්වලතාවයක්‌ මතුවීමට බලපාන වයස්‌ සීමාවක්‌ නැත. උපන් දවසේ සිට මියයන මොහොත දක්‌වාම ඕනෑම වයස්‌ සීමාවකදී ඇසේ දුර්වලතාවයක්‌ මතුවිය හැකිය.

එනිසා අවම වශයෙන් වසර දෙකකට වරක්‌වත් අප ඇස්‌ පරීක්‍ෂා කර ගැනීමට යොමුවිය යුතුය. එවිට ඇසේ මතුව ඇති පෙනීමේ දුර්වලතාවලට බලපාන රෝග හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාර කළ හැකිය.

නමුත් අවාසනාව වී ඇත්තේ එසේ ඇස්‌ පරීක්‍ෂාවක්‌ සඳහා යොමුවීමට අප රටේ ජනතාව තුළ පුරුද්දක්‌ නොමැති කමය. වසරකට වරක්‌ හෝ රුධිර පරීක්‍ෂාවක්‌ සිදුකර ගැනීමට වර්තමානයේ බොහෝ දෙනා හුරුව ඇතත් ඇස්‌ පරීක්‍ෂාවකට යොමුවීමට පුරුද්දක්‌ ඇතිකර ගෙන නැත. එසේම ඇස්‌ පරීක්‍ෂාවකට යොමුවීම සඳහා ඇති වෛද්‍ය පහසුකම් සහිත ස්‌ථානද රට පුරා පිහිටුවා නැත. මේ පිළිබඳව සිදු කළ සමීක්‍ෂණයකදී අනාවරණය වී ඇත්තේ ජනතාව ඇස්‌ පරීක්‍ෂාවකට යොමු නොවන්නේ ඒ සඳහා වැය කිරීමට මුදල් නොමැතිකම නොව එවැනි පරීක්‍ෂාවකට යොමුවීම සඳහා ඇති රාජ්‍ය හෝ පෞද්ගලික සෞඛ්‍ය මධ්‍යස්‌ථාන පහසුකම් නොමැති කමය.

ශ්‍රී ලංකාවේ අන්ධ පුද්ගලයන් වැඩි වශයෙන් ජීවත්වන පළාත බවට පත්ව ඇත්තේ ඌව පළාතය. මෙම පළාතේ ඇති රජයේ රෝහල්හි සහ පෞද්ගලික රෝහල්හි ප්‍රමාණවත් පහසුකම් සහිත අක්‌ෂි සායන නොමැති බව හඳුනාගෙන ඇත. මෙම සමීක්‍ෂණයට සහභාගිවූ මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පවසා ඇත්තේ තමා උපන් දා සිට ඇස්‌ පරීක්‍ෂාවකට ලක්‌වී නැති බවය. දැන් තමාගේ ඇස්‌ පෙනීමේ දුර්වලතාවයක්‌ පවතින බවත් ඒ සඳහා ඇස්‌ පරීක්‍ෂාවකට ලක්‌ව ඇස්‌ කණ්‌ණාඩි යුගළක්‌ ගත යුතුව ඇති බවත් ඔහු සමීක්‍ෂකයන්ට පවසා ඇත.

ඒ සඳහා තමා සේවය කරන පොලිස්‌ ස්‌ථානයේ සිට කිලෝමීටර් 35 ක්‌ දුර යා යුතුව ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ. ඇස්‌ පරීක්‍ෂාකර ගැනීම සඳහා කිලෝමීටර් 35 ක්‌ දුර යැමට සිදුවීමත්, එසේ ගොස්‌ එම වෛද්‍ය සායනයේ දවසින් හරි අඩක්‌ පමණ කාලය ගතකිරීමට සිදුවන නිසා ඔහු තම ඇස්‌ පරීක්‍ෂාකර ගැනීමට යැම දිනෙන් දින කල් දැමීම සිදුකර ඇත. අප රටේ සමස්‌ත ජනතාවටද සිදුවී ඇත්තේ මෙම ෙ€දවාචකයට මුහුණ දීමටය.

රුධිර පරීක්‍ෂණ, මුත්‍රා පරීක්‍ෂණ මධ්‍යස්‌ථාන රට පුරාම ඇත. නමුත් ඇස්‌ පරීක්‍ෂා කරගත හැකි රජයේ හෝ පෞද්ගලික මධ්‍යස්‌ථාන එලෙස රට පුරා තවම ව්‍යාප්තවී නැත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විෂන් 20-20 වැඩසටහන යටතේ ජංගම අක්‌ෂි සායන බස්‌ රථයක්‌ නිර්මාණය කර ඇත. ඒ සඳහා රුපියල් කෝටි තුනක්‌ පමණ වැයකර තිබේ. එම ජංගම බස්‌ රථය කිලෝමීටර තුනක්‌ ධාවනය සඳහා ඩීසල් ලීටරයක්‌ වැයවේ.

ඒ අනුව එම ජංගම අක්‌ෂි සායන බස්‌ රථය බදුල්ල දිස්‌ත්‍රික්‌කයට ගොස්‌ පැමිණීමට ඩීසල් ලීටර් දෙසීයක්‌වත් වැයවේ. එවිට එම ජංගම බස්‌ රථයේ ඩීසල් සඳහා පමණක්‌ රුපියල් විසිදහසක්‌ පමණ වැය කළ යුතුය.

ශ්‍රී ලංකාවේ අක්‌ෂි සායන පැවැත්වීම සඳහා ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන සහ පෞද්ගලික ආයතන විසින් රුපියල් කෝටි ගණනින් මුදල් ආධාර ලබාදේ.

මෙම මුදල් වැඩිපුරම වැය කරන්නේ ඇස්‌ කණ්‌ණාඩි නොමිලයේ ලබාදීමටය. ඇස්‌ පෙනීමේ දුර්වලතා සඳහා ඇති එකම විසඳුම ඇස්‌ කණ්‌ණාඩි ලබාදීම නොවේ.

දියවැඩියාව, ස්‌නායු රෝග, නිසාද ඇස්‌ පෙනීමේ දුර්වලතා මතුවේ. උපතින් මතුවන ජාන රෝග නිසාද ඇස්‌ පෙනීමේ දුර්වලතා ඇතිවේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නාගරික පාසල් දරු දැරියන් සහ තරුණ තරුණියන් විශාල පිරිසක්‌ අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙති. එනම් ළඟ පෙනීම හොඳින් සිදුවේ. දුර පෙනීමේ දුර්වලතා පවතී.

මීට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ ඔවුන් වැඩි කාලයක්‌ ඇස්‌ වෙහෙසවන්නේ මීටර් සියයක්‌ පමණ වූ ළඟ ඇති දේ සඳහාය. පාසල්හි පංති කාමර ද කුඩාය. පොත්පත් සඳහාම ඇස වෙහෙසවති. පොත්පත් වලින් පසු පරිගණකයට, ජංගම දුරකථනය ඔස්‌සේ අන්තර් ජාලය වෙත යොමුවීම ආදියට හුරුව සිටිති.

මෙවැනි දරුවන්ට, තරුණ තරුණියන්ට මතුවන දුර පෙනීම දුර්වලතාවයට ඇති විසඳුම කණ්‌ණාඩි පැළඳීම නොවේ. ඔවුනගේ ඇසේ මාංශපේශිවල ක්‍රියාකාරිත්වය වර්ධනය කරන ව්‍යායාම වල යෙදවීමය.

ඇස්‌ කණ්‌ණාඩි පැළඳීම යනු මහා පාපකර්මයකි. වසරින් වසර එහි පෙනීමේ හැකියාව පරීක්‍ෂාකර ඊට ගැළපෙන ලෙස කාච වෙනස්‌ කළ යුතුය. ශ්‍රී ලංකාවේ වසරකට ඇසේ සුද රෝගයට ලක්‌ෂයක්‌ පමණ දෙනා ගොදුරුවති. මේ සඳහා ඇති ප්‍රතිකාරය ඇසේ සුද ඉවත්කර කෘත්‍රිම අක්‌ෂි කාචයක්‌ බද්ධ කිරීමය.

නමුත් දැනට ශ්‍රී ලංකාවේ සිදුකරන ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලින් සම්පූර්ණ පෙනීම යළි හිමිවන්නේ 51% පිරිසකට බව 2016 වසර අක්‌ෂි සෞඛ්‍ය පිළිබඳ වාර්තාවේ දැක්‌වේ.

ඉන් හෙළිවන්නේ ඇසේ සුද සැත්කම්වලින් 49% සාර්ථක නැති බවය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ මැදිවියේ පුද්ගලයින් අන්ධභාවයට පත්වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඇසේ සුද මතුවීමයි. මේ අනුව ඇසේ සුද ප්‍රතිකාරවලින් 49% අසාර්ථක වීම තුළින් සිදුවන්නේද රට තුළ අන්ධ පුද්ගලයන් වැඩිවීමය. මෙලෙස ඇසේ සුද සැත්කම් අසාර්ථක වීමට බලපා ඇති හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ ප්‍රමාණවත් තරම් අක්‌ෂි ශල්‍ය වෛද්‍යවරුන් නොමැතිකම. මෙවැනි සැත්කම් සඳහා නවීන තාක්‌ෂණය භාවිතා නොකිරීමය.

ශ්‍රී ලංකාවේ දැනට අක්‌ෂි ශල්‍ය වෛද්‍යවරුන් සිටින්නේ 85 ක්‌ පමණ පිරිසකි. ඉන් ක්‍රියාකාරී රාජකාරී කටයුතුවල නිරත වන්නේ 50 ක්‌ පමණ පිරිසකි. ශ්‍රී ලංකාවේ අඩුම තරමින් අක්‌ෂි ශල්‍ය වෛද්‍යවරුන් දහසක්‌වත් සිටිය යුතුය. ශ්‍රී ලංකාව තුළ සිටින දෘෂ්ටි විශේෂඥවරුන්ගේ සංඛ්‍යාව ද දෙසියයක්‌ පමණ වේ.

රට පුරා පවතින පෞද්ගලික ඇස්‌ කණ්‌ණාඩි අලෙවිසල්හි බහුතරයක්‌ සිටින්නේ දෘෂ්ටි පරීක්‍ෂකවරුන් (Optician) මිස දෘෂ්ටි විශේෂඥයන් (Optimistic) නොවේ.

දෘෂ්ටි පරීක්‍ෂකවරුන් සතු දැනුම වනුයේ අක්‌ෂි වෛද්‍යවරයකු විසින් නිර්දේශ කරන අයුරින් කාච සහිත ඇස්‌ කණ්‌ණාඩි නිපදවීමය. දෘෂ්ටි විශේෂඥයකු සතු දැනුම ඊට වඩා පුළුල්ය. ඔවුනට ඇස්‌ පරීක්‍ෂාව කිරීමේ දැනුම ඇත. ඒ අනුව ඔවුනට ඇසේ මතුව ඇති රෝග හඳුනාගත හැකිය. ඒ අනුව අදාළ සැත්කම් කළයුතු නම් අක්‌ෂි ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු කළ හැකිය. මේ අනුව අප රට තුළ අන්ධභාවයට පත්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අවම කිරීමට නම් කළ යුත්තේ නිවැරදි අයුරින් අඩුපාඩුවලට විසඳුම් ලබාදීමය. ඇස්‌ කණ්‌ණාඩි ලබා දීම තුළින් සිදුවන්නේ තව තවත් අන්ධ භාවයට පත්කිරීම ඉක්‌මන් කරවීමකි.

ඇස්‌ කණ්‌ණාඩි ලබා දිය යුත්තේ අත්‍යවශ්‍ය පුද්ගලයන්ට පමණි. ඇතැම් දෙනා මහා පුණ්‍යකර්ම සිදුකර ගැනීමේ බලාපොරොත්තුවෙන් නොමිලේ ඇස්‌ කණ්‌ණාඩි ලබාදෙති. මෙම බොහෝ කණ්‌ණාඩිවල නිසි ප්‍රමිතියක්‌ නැත. අවශ්‍ය අනවශ්‍ය සෑම දෙනාම ඇස්‌ කණ්‌ණාඩි ලබා ගනිති. මෙය ඉතා භයානක තත්ත්වයකි.

ඉන් සිදුවන්නේ රටේ ජනතාව ඉතා ඉක්‌මනින් අන්ධභාවයට පත්වීමය.

උපාලි ද සේරම්

Post a Comment

0 Comments