උඳුවප් පොහොයදා හෙවත් පසුගිය දහතුන් වෙනිදා කන්තලේ, තල්ගස්‌වැව පිහිටි සිය බඩ ඉරිඟු වත්තේ කිසි දිනෙක දැක නොමැති රත්තරං පාට දුර්ලභ ගණයේ වවුලකු සැරිසරන අයුරු කමල් චන්ද්‍රසිරි දුටුවේය. තම මිතුරෙකු සමඟ පැය තුන හතරක් වෙහෙස වීමෙන් පසු මේ "අමුතු වවුලා" අල්ලා ගැනීමට ඔහු කටයුතු කළේය. වවුලා පිළිබඳ මාතෘකාව සඳහා නිමිත්ත සපයන ලද්දේ කන්තලේ දී දුටු මේ අමුතු වවුලාය.
වවුල් තොරතුරු කතාබහ කිරීමට පෙර, යම් අයෙකුට දුර්ලභ සත්වයකු හෝ ශාකයක් දකින්නට ලැබුණහොත් කළ යුතු දේ පිළිබඳව සඳහන් කළ යුතුය. මෙහිදී ඒ තැනැත්තාට කළ හැක්‌කේ සහ කළ යුත්තේ වාර්තාකරණයක් පමණය. එම සතා අල්ලා ගැනීමට යැම, සෑම අතින්ම අසාර්ථක ක්‍රියාවකි. සතාගේ භයානකත්වය එහි පළමුවැන්නය. සමහරක් භායනක නොවන සතුන් පවා ආත්මාරක්‌ෂාව උදෙසා දක්‌වන ප්‍රතිචාර එවැනි මොහොතක භායනක වන්නට පුළුවන. අනෙක් අතින් එවැනි සතෙකු අල්ලා ගැනීමෙන් කළ හැකි දේ අවම වීමය. නෛතික අතින් ද සමහරක් දුර්ලභ සතුන් අල්ලා ගැනීම, ළඟ තබා ගැනීම, විකිණීම තහනම්ය. දුටු අයකු අල්ලා ගත්තේ එවැනි සතෙක් නම් නීතියෙන් එම පුද්ගලයාට ගැලවීමක් ඇත්තෙම නැත. අල්ලා ගත් සතුන් ස්‌භාවික පරිසරයේදී මෙන්, මෙවැනි විටකදී හැසිරෙන්නේ නැත. ආහාර පාන නොගැනීම ඇතුළු බොහෝ අත්‍යාවශ්‍යතාවලින් බැහැර වෙමින් මෙහිදී සත්වයන් හැසිරෙන බව පෙනේ. මේ නිසා අල්ලා ගත් සත්වයා දින කිහිපයක් තුළදී මියයැමට ඇති ඉඩ කඩ වැඩිය. එසේම අල්ලා ගැනීමට යාමේදී සිදුවන තුවාල සහ කැඩීම් බිඳීම් ආදියෙන් ලක්‌වන කම්පන හේතුවෙන් නිදහසේ සිටි නිරෝගී සතෙකු සදාකාලික රෝගියකු හෝ මරණය කරා ගෙන යැමේ අවස්‌ථාවද වැඩිය. මෙසේ මියයන්නේ හෝ අබල දුබල වන්නේ දුර්ලභ සත්වයකු නම් එම පරම්පරාව අහිමි වීම සඳහා එය විසල් හේතුවක් බවට ද පත් විය හැකිය. සමහරුන් මෙසේ සතුන් අල්ලා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ විකිණීමය. දේශීය වශයෙන් එවැනි සතුන් මිලදී ගන්නා පුද්ගලයන් නොමැති අතර, විදේශීය වශයෙන් ද එවැනි සතුන් ළඟ තබා ගැනීම ජාත්‍යන්තර සම්මුති අනුව නීති විරෝධී බැවින් එතෙර ඇති සත්වෝද්‍යාන සඳහාවත් මෙවැනි සතුන් නොමිලේවත් භාර ගන්නේ නැත. එවැනි සතෙකු ගුවන් ගතකිරීම, නැව් ගත කිරීම ද නීති විරෝධී අතර නීතියේ ඇස් වසා සප්‍රාණික සතෙකු එතෙර යෑවීම කිසිසේත්ම කළ නොහැක්‌කකි. දුර්ලභ සතුන් ලෝකය තුළ හුවමාරු වන එකම පදනම වන්නේ රජයක් මගින් තවත් රජයකට ලබා දීම පමණය.
දුර්ලභ යෑයි සිතෙන සතෙකු දුටුවහොත් කළ යුතු වන්නේ එය ඡායාරූප ගත කිරීම සහ හැකිනම් වීඩියෝ ගත කර ගැනීමය. සරල ජංගම දුරකතනයකින් පවා කර ගත හැකි මෙම කාර්යයන් දෙක සතා අල්ලා ගැනීමට යැමට වඩා පරිසරවාදී සේම නීත්‍යනුකූලද වේ. එසේම එහි කිසිමාකාරයක භායනකත්වයක්‌ද නොමැත්තේය.
ලොව පුරා වවුල් විශේෂ 900 ක් පමණ ජීවත්වන අතර, මින් ශ්‍රී ලංකාවේ වාසය කරන වවුල් විශේෂ ගණන 29 කි. කන්තලේට පියාඹා ඇවිත් ඇත්තේ මෙයින් කවර ගණයට අයත් වන වවුලෙක්‌ද...? නැතිනම් අලුත්ම වවුලෙක්‌ද...? ඊට පෙර අප වවුල් ලෝකයේ තොරතුරු කතා කළයුතුය.
පෙර පාදවල ඇඟිලි අතර පිහිටා ඇති චර්මීය පටලය හේතුවෙන් පියාඹීම සඳහා අවස්‌ථාව උදා වූ මෙම ක්‌ෂීරපායි සත්වයා හට, පක්‌ෂීන්ට මෙන් පියාපත් නොමැති අතර මෙම චර්මීය පටලය පියාපත් ලෙස කටයුතු කරනු ලබයි. වවුලා වර්ගීකරණයට ලක්‌වී ඇති කිරෝප්ටෙරා යන නාමය ගී්‍රක භාෂාවෙන් ඉපදී තිබේ. පියාපත් බවට පත්වූ දෑත් යන්න එහි තේරුමය. පෙර පාදවල සිට පසු පාදය දක්‌වා විහිදෙන මෙය වවුලාටම ආවේණික වූ අංගයකි. එසේම තමන්ට ආවේණික ශබ්ද තරංග ක්‍රමයක් භාවිතා කර වස්‌තුන් හඳුනා ගත හැකි හා දුර පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි වවුලා, ඒ සියල්ල ඒකරාශී කරගනිමින් පියඹීමේ කාර්යයේ නිමග්න වෙයි.
අදින් වසර මිලියන 70 කට ඔබ්බෙන් තිබූ ඉයෝසින යුගයේ පවා සිටින ලද බවට පොසිල සාක්‌ෂි සහිත වවුලා, කිරොප්ටෙරා (Chiroptera), මෙගා කිරොප්ටෙරා (Mega
Chiroptera), මයික්‍රෝ කිරොප්ටෙරා (Micro Chiroptera) යන නාමකරණයෙන් ප්‍රධාන ආකාර තුනකට වර්ග කරනු ලබයි.
කිරොප්ටෙරා වර්ගයට අයත් වවුලන් ආහාර ගැනීමේ රටා අනුව උප ගෝත්‍ර දෙකකට බෙදේ. මෙගා කිරොප්ටෙරා හා මයික්‍රො කිරොප්ටෙරා යන එම වර්ග දෙකෙන් මෙගා කිරොප්ටෙරාන් පලතුරු, මල් පැණි ආහාරයට ගන්නා අතර, ප්‍රමාණයෙන් විශාලයි. නිරක්‌ෂයට ආසන්න ප්‍රදේශවල බහුලව ජීවත්වෙන මෙම වර්ගය රාත්‍රී කාලයේ දී විශාල ගස්‌වල රංචු වශයෙන් එල්ලී සිටියි. ගස්‌වල එල්ලී සිටීමේ දී කබායක් සේ පියාපත් ඇඟ වටේ ඔතාගෙන සිටින ඔවුන් අව්වෙන්, වැස්‌සෙන්, සුළඟෙන් ආරක්‌ෂාවීම සඳහා එය භාවිතා කරයි. උෂ්ණත්වය අධිකව දැනෙන විට පවන් සලා ගැනීම සඳහා අවානක් සේ සිය විසල් පියාපත් මෙම වවුලන් භාවිතා කරනු දැකිය හැකිය. සිටිනු මොවුන්ගේ සුවිශේෂ ලක්‌ෂණයක් වන්නේ පසුපාද බොහො විට අප්‍රාණිකව පැවතීමය.
මෙගා කිරොප්ටෙරා වර්ගය පලතුරු වවුලන් (Fruit Bats Flxing Foxes) ලෙස ද හඳුන්වනු ලබයි. පලතුරු ශාක හි බීජ පැතිරවීම සඳහා මොවුන් ඉහළ දායකත්වයක් දක්‌වනු ලබයි. ලොව පුරා පලතුරු වවුලන් විශේෂ 130 ක් පමණ වාසය කරන අබව වාර්තා වේ. මල් පැණි උරා බොන වවුලන් මගින් ශාක පරාගනය සඳහා දායකත්වය ලැබේ. වවුල් මුඛයේ තැවරුණු 'මල් පරාග' මගින් මෙසේ ශාක පරාගනය සිදු වේ.
මයික්‍රො කිරොප්ටෙරා වර්ගයට අයත් වන්නේ කෘමිභක්‌ෂක හා මාංශ භක්‌ෂක වවුලන්ය. කෘමි භක්‌ෂක වවුලන් සාමාන්‍ය ව්‍යවහාරයේදී කිරි වවුලන් යන නමින් හැඳින්වේ. මිනිසාට හානි කරන මදුරුවන් මොවුන්ගේ ගොදුරක් වීම සහ වගාවන්ට හානි කරන බොහෝ කෘමීන් ගොදුරු කරගැනීම නිසා මිනිසාගේ මිතුරෙකු ලෙස කිරි වවුලා හැඳින්විය හැකිය. සාමාන්‍යයෙන් එක් රාත්‍රියක දී කෘමීන් 3000 ක් පමණ කෘමි භක්‌ෂක වවුලෙකු විසින් ආහාරය සඳහා ගන්නා අතර ලෝකයේ කෘමි භක්‌ෂක වවුලන් විශේෂ 700 ක් පමණ ජීවත්වේ. ඇමරිකාවේ ටෙක්‌සාස් ප්‍රාන්තයේ වාසය කරන වවුලන් විසින් දිනකට මදුරුවන් කිලෝ ග්‍රෑම් 2277796 ක් පමණ ආහාරයට ගන්නා බව ගණන් බලා තිබේ. වවුලන්ගේ නවාතැන් ලෙස අතීත සිංහල ගොවියා සිය කුඹුරු අසල මී ගස් සිටුවා තිබුණේ මෙම වාසි සලකා බලාය. කුඹුරට පොහොරද කුඹුරේ කෘමීන් මර්දනයද වියදමක් නැතිව කර ගැනීමේ මගක් ලෙස පැරැන්නෝ එසේ කළහ. ඇතැම් රටවල මදුරු මර්දනයට වවුල් කොළණි පිහිටුවා තිබේ. වවුල් අසූචිහි නයිට්‍රජන් බහුල නිසා එය කදිම පොහොරකි.
අනෙක් සතුන්ගේ ලේ උරා බොමින් ජීවත්aවන වවුල් වර්ග උතුරු ආර්ජන්ටිනාව, චිලී රට යන රටවල වාසය කරයි. රුධිරයෙන් යෑපෙන එකම ක්‌ෂීරපායි සතුන් වර්ගය මොවුන්ය. කුරල්ලන්ගේ, අශ්වයන්ගේ හා හරකුන්ගේ ගෙල සිදුරු කොට ලේ උරා බොන මොවුන් වැම්පයර් වවුලන් (Vampire Bats) නමින් හඳුන්වනු ලබයි. desmodus rotundus, Diphylla
ecaudata yd Diaemus youngi ලෙස වැම්පයර් වවුලන් වර්ග තුනකි.
ලෝකයේ වාර්තාවන විශාලතම වවුල් විශේෂය හඳුන්වන්නේ ඉගිලෙන වෘකයන් (pteropus vampyrus) යන නමිනුයි. උන්ගේ මුහුණ වෘකයකුගේ මුහුණට සමාන වීම මෙම හැඳින්වීම සඳහා හේතුවය. පියාපත් දිගහැරිය විට එහි සම්පූර්ණ දිග අඩි පහකටත් වඩා වැඩි වන මෙම විශේෂය බරින් කිලෝග්‍රෑම් එකක් පමණ වෙයි. කුඩාම වවුල් විශේෂය වන ක්‍රාසියෝනිස්‌ටරිස් ටෝන්ක්‌ලෝංයා නමැති වවුලා පියාපත් දිගහැරිය විට පළල අඟල් පහක්‌වත් නැති තරම්ය. එම විශේෂයේ එක් වවුලෙකුගේ බර ග්‍රෑම් දෙකක් පමණය.
වරකට එක් පැටියකු පමණක් බිහිකරන වවුල් මව ඒ සඳහා සැකසී ඇත්තේ ස්‌වභාවධර්මයේ හේතු සාධක මතය. මව පියාඹන විට දී පැටවා බඩේ එල්ලා ගෙන යැම සඳහා හැඩ ගැසීමක් ලෙස මෙසේ නිර්මාණය වී ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ වාසය කරන වවුල් විශේෂ දෙකක් එකවර පැටවුන් දෙදෙනා බැගින් බිහි කිරීම සුවිශේෂී තත්ත්වයක්‌ද වවුල් ලෝකයෙන් වාර්තාවේ.
වවුලෙකුගේ ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 15 - 20 අතර යෑයි ගණන් බලා තිබේ. උෂ්ණාධික රටවල වවුලන්ගේ ආයු කාලය අවුරුදු 10 කට සීමා වී ඇතැයි විද්‍යාඥයන්ගේ මතයය.
දැන් අප කතා කළ යුත්තේ වවුල් මාතෘකාව අපට උරුමකර දුන් කන්තලේ වවුලා ගැනය. මෙම විශේෂය සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන්නේ විසිතුරු වවුලා හෙවත් විසිතුරු කෙසෙල් වවුලා ලෙසය. තැඹිලි සහ කළු පැහැති බතික් රටාවක් මෙන් චර්මීය පටලය පිහිටා ඇති මෙම වවුලා මීට පෙරද ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.
2013 වසරේ මැයි මාසයේදී අනුරාධපුර, විජයපුරයේ රෝහණගේ නිවස තුළදී මෙවැනි වවුලෙක් හමු වී ඇති අතර අල්ලා ගැනීමෙන් පසු පලතුරු හා ජලය ආහාරයට ලබා දී තිබේ. පසුදා අලුයම වන විට එම වවුලා මියගොස් තිබුණි.
එප්පාවල මැඩියාව ප්‍රදේශයේ එච්.පී.එම්. ආනන්ද නම් අයකුට අයත් ගෙවත්තක කෙසෙල් ගසක කඳෙහි මෙවැනි වවුල් යුවළක් සිට ඇති අතර එයින් එක් වවුලෙකු අල්ලා ගෙන තිබුණි. ඒ 2014 ජනවාරි මාසයේදීය.
2010 ජනවාරි මාසයේදී ද දඹුල්ල, පල්ලේගම, රන්දෙනියේදී මෙවැනි වවුලෙකු අල්ලාගෙන තිබුණේ, ඩී.එම්. කරුණාරත්න විසිනි.
මෙම සිද්ධි කිහිපය මගින් වුවත් පෙන්වා දෙන්නේ මෙම වවුලා දුර්ලභ සතෙකු නොවන බවය. දුර්ලභ යෑයි සිතා අහිංසක සතුන් අල්ලා ගැනීම සහ ප්‍රදර්ශනය සඳහා ඇති කැමැත්ත විසින් මෙම වවුල් විශේෂය දුර්ලභ බවට පත් කර තිබේ.
මෙම විශේෂය ශ්‍රී ලංකාවේ ජීවත් වන වවුල් විශේෂ අතරින් වර්ණවත්ම විශේෂය වේ. ශරීර වර්ණය කළු සහ තැඹිලි පැහැයට හුරු දීප්තිමත් කහ පැහයක් ගනී. ශරීරය කහ පැහැ වන අතර කළු වර්ණයෙන් යුත් පිහාටු වල ඇඟිලි පුරුක් හා ඊට සමාන්තර තීරුවක් කහ පැහැයෙන් යුක්‌ත වේ.
සෙමින් පියාඹා යන අතර, ශරීරයේ ප්‍රමාණයත් වලිගයේ ප්‍රමාණයත් සමානය. ශරීරය දිගින් සෙන්ටිමීටර 8 ත් 9 ත් අතර වේ. පියාපත් දිගහැරුණු විට දිග සෙන්ටිමීටර 18 ත් 30 ත් අතර වේ. ශරීර බර ග්‍රෑම් 5 ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ ඇඹිලිපිටිය, මොනරාගල, උඩවලව, වැනි ප්‍රදේශවල කෙසෙල් වගාවන් ආශ්‍රිතව ද ඇතැම් විට බස්‌නාහිර පළාතේ කෙසෙල් වගාවන් ආශ්‍රිතව ද වාර්තා වී ඇත. මුල් කාලයේ ලංකාවට ආවේණික විශේෂයක් ලෙස සැලකුවත් පසුව ඉන්දියාව, චීනය, බෲනෛ, ඉන්දුනීසියාව, මැලේසියාව, නේපාලය, වියට්‌නාමය ඇතුළු රටවලින් ද වාර්තා වී තිබුණි.
වැඩුණු පිරිමි සත්වයා ගැහැනු සත්වයාට සාපේක්‌ෂව දීප්තිමත් වර්ණයකින් යුක්‌ත වේ. ප්‍රජනන සමයන් ගැන කිසිවක් තවමත් වාර්තා වී නොමැති නමුත් මව පියා සහ පැටවකු ලෙස කුඩා පවුල් වශයෙන් දැකගත හැක. කෘමි සතුන් ආහාරයට ගන්නා මෙම වවුලා පෙන්ටඩ් බැට් නමින් ඉංගී්‍රසියෙන් ද නැරසඩදමක් චසජඒ යන විද්‍යාත්මක නාම කරණයෙන් ද හඳුන්වයි.
ඔසිත අත්තනායක
0 Comments