ග්ලුකෝමාවට සහනය දෙන විශේෂ අත් බෙහෙත් 2 ක්‌

ප්‍රශ්නය - ග්ලුකෝමාව සම්බන්ධයෙන් පසුගිය සතියේදී ඔබ අපට විස්‌තර කළා. ග්ලුකෝමාව හට ගැනීමට හේතු පුළුල් ලෙස සාකච්ඡා කළා. රුධිර පීඩනය, අධික ස්‌ථුලභාවය, ඉරුවාරදය සහ දියවැඩියාව තිබෙන අය ග්ලුකෝමා අනතුර අත ළඟ බව සළකා කටයුතු කළ බව ඔබ කිව්වා. එසේම දෘශ්‍ය ස්‌නායුවට සම්පූර්ණ වශයෙන් හානි සිදු වී පූර්ණ අන්ධභාවය හටගත්තොත් එය සුවපත් කිරීමට ආයුර්වේදයට, පාරම්පරික වෛද්‍ය ක්‍රමයට තබා වෙන කිසිදු වෙදකමකට බැරි බව ඔබ කියා සිටියා. ඔබ එසේ කියන්නේ ඇයි.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අප වෛද්‍යවරු වශයෙන් අහිංසක රෝගීන් රැවටිය යුතු නැහැ. දෘෂ්‍ය ස්‌නායුව විනාශයට පත් වී එමගින් පූර්ණ අන්ධභාවයට පත් වූ රෝගියකුට ඇස්‌ දෙක සනීප කරලා දෙනවා කීවාම ඔහු විශාල බලාපොරොත්තුවක්‌ තබා ගන්නවා. යළි මෙලොව ආලෝකය දැක ගැනීම සඳහා ඔහු ගේ දොර පවා උකස්‌ තබලා බෙහෙත් වලට වියදම් කරන්න සූදානම්. එවැනි කෙනෙකුට එහෙම බලාපොරෝතුවක්‌ දීලා මුදල් අරගෙන වැඩේ කරගන්න බැරිව මගදි අත්හැරදැමීම පාපයක්‌. ඒ නිසා අප එයට අත ගැසිය යුතු නැහැ. එහෙත් යන්තම්වත් පෙනීම තිබෙනවා නම් එය වැඩිදියුණු කරන්න. පාරම්පරික ඖෂධවලට පුළුවන්. ඒ හැරුණාම දියුණු රටවල මෙවැනි ක්‍රමයක්‌ තිබෙනවා. එය පූර්ණ අන්ධ භාවයට පත් වු අය සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙළක්‌. මේ සඳහා නළල මත පැළඳිය හැකි කුඩා වීඩියෝ කැමරාවක්‌, කමිසයේ උඩ සාක්‌කුවේ දමාගත හැකි කුඩා පරිගණකයක්‌, එම පරිගණකයට සම්බන්ධ කර සැත්කමක්‌ මගින් මොළයේ දෘශ්‍ය ස්‌නායුව සම්බන්ධ වන ප්‍රදේශයට යා කළ දෘශ්‍ය තන්තු රැහැනක්‌ මේ ක්‍රමයට අයත් වෙනවා. පරිගණකය පණ ගැන්වූණාම නළල මත තිබෙන වීඩියෝ කැමරාවෙන් ඉදිරිපස තිබෙන රූප ලබාගෙන ඒවා පරිගණකයට යවනවා. 

පරිගණකය එම රූප ආලෝක සංඥා බවට පරිවර්තනය කර දෘශ්‍ය තන්තු දිගේ මොළයේ දෘශ්‍ය ප්‍රදේශයට යවනවා. මොළයේ දෘශ්‍ය ප්‍රදේශය එම ආලෝක සංඥා නැවතත් රූප බවට පරිවර්තනය කරනවා. මා මුලිනුත් කියා ඇති පරිදි අප දකින්නේ ඇස්‌ වලින් නොව මොළයෙන්. ඉහත සඳහන් ක්‍රමයේදී ඇසේ කාචය ලෙස ක්‍රියා කරන්නේ වීඩියෝ කැමරාවයි. දෘශ්‍ය ස්‌නායුව ලෙස දෘශ්‍ය තන්තු සමූහය ක්‍රියා කරනවා. ඇස ලෙස ක්‍රියා කරන්නේ පරිගණකයයි. මේ ක්‍රමය මෙයට අවුරුදු 20 කට පෙර මුලින්ම රෝගියකුට බද්ධ කළ අවස්‌ථාවේදී රූප මැවුණේ කලු සුදු වර්ණවලින් පමණයි. අද වන විට මේ පර්යේෂණය ඉතා දියුණු වී ඇති බවත් වර්ණයන් පෙනීමට පටන් ගෙන තිබෙන බවත් මා අන්තර්ජාලයේ දුටුවා.

ප්‍රශ්නය - ග්ලුකෝමාව සහ දියවැඩියාව අතර තිබෙන සම්බන්ධය ගැන පුළුල් වශයෙන් කතා කරන්නැයි පාඨකයන් කිහිපදෙනෙක්‌ අපෙන් ඉල්ලා තිබෙනවා.

වෛද්‍ය වික්‍රමාරච්චි - දියවැඩියාව හෙවත් මධුමේහය කියන්නේ ඉතා සංකීර්ණ තත්ත්වයක්‌. රුධිරයෙන් සීනි වෙන්කර ගැනීම සිද කරන ඉන්සියුලින් හෝමෝනය අවශ්‍ය තරම් නිපදවා ගන්නට හෝ සම්පූර්ණයෙන්ම නිපදවා ගන්නට ශරීරයට බැරි වුණාම එයට අපි දියවැඩියාව කියලා කියනවා. නියම විදියට නම් මේ සීනි ශරීරයේ සෛල තුළට ගොස්‌ ශක්‌තිය නිපදවීම සිදුවිය යුතුයි. දියවැඩියාව සහ අන්ධ භාවය අතර සම්බන්ධයක්‌ නිතැතින්ම හටගන්නවා. ග්ලුකෝමාව මෙවැනි එක්‌ අක්‍ෂි රෝගයක්‌. ඊළඟ රෝගය තමයි සුද මතු වීම. ඊළඟ රෝගය අපේ රෙටිනාව හෙවත් දෘෂ්ටි විතානය හානි වීමෙන් හටගන්නා අන්ධභාවය. මෙහිදී දෘෂ්ටි විතානයේ තිබෙන කුඩා ලේ නහර හානියට පත්වෙනවා. සාමාන්‍ය කෙනෙකුට ඇසේ සුද හට ගැනීමේ අවස්‌ථාව වගේ දෙගුණයක අවදානමක්‌ දියවැඩියා රෝගීන්ට තිබෙනවා.

ප්‍රශ්නය - මෙයට සුදුසු පාරම්පරික අත් බෙහෙත් තිබෙනවාද?

වෛද්‍ය වික්‍රමාරච්චි - ඇසේ රෝගවලට අත් බෙහෙත් කිරීම අන්තිම භයානකයි. කළ හැක්‌කේ ප්‍රධාන බෙහෙත් ධාරාවට අමතරව උපකාරක ප්‍රතිකාර කිරීමයි. එවැනි ප්‍රතිකාර කිහිපයක්‌ කියන්නම්.

1. ආමන්ඩ් ඇටයක්‌ ගෙන අල්පෙනිති තුඩක්‌ තරම් මිරිස්‌ කුඩු ස්‌වල්පයක්‌ දමා පිරිසිදු ජලයෙන් අඹරන්න. මෙයට වතුර කෝප්පයක්‌ කළවම් කර ෆිල්ටරයකින් පෙරා ටිකක්‌ එකතු කර රාත්‍රි කාලයට ඇස්‌ සෝදන්න. මේ මිශ්‍රණය පසු දිනට පාවිච්චි නොකළ යුතු අතර පසු දිනය සඳහා අලුත් මිශ්‍රණයක්‌ සාදා ගත යුතුයි.

2 ලූනු ඉස්‌ම මිලි ග්‍රෑම් 20 ක්‌ සමඟ මී පැණි මිලි ග්‍රෑම් 20 ක්‌ මිශ්‍ර කර එයට කපුරු (කපුරු බෝල නොවේ) ග්‍රෑම් 4 ක්‌ මිශ්‍ර කරන්න. සෑම රාත්‍රියකම ඇස්‌ වටා මෙය ආලේප කරන්න.

මේ අතර ඉන්දියානු ආයුර්වේදයේ කියන පරිදි කැරට්‌, නිවිති, අරළු යනාදිය ආහාරයට ගැනීමෙන් ග්ලුකෝමාව පාලනය කරගත හැකියි. එසේම වියළි මිදි අනුභව කිරීම ග්ලුකෝමා රෝගීන්ට ඉතාම සුභදායකයි. Vitamin A, Beta Karotin වැනි ඇස්‌ වලට සුදුසු ඖෂධීය සංඝටක වියළි මිදිවල තිබෙනවා.

මීළඟට මා ඔබට කියන්නේ ආයුර්වේද ඉරුම් කුඩක්‌ ගැන පරණ ගඩොල් කැබල්ලක්‌ හොඳින් අඹරා ගන්න. එය වතුර සමඟ මිශ්‍රකර ෆිල්ටරයෙන් පෙරා ගන්න. වතුර වියලුන පසු ඉතිරිවන කුඩ එලවරාගසේ කිරි (calotropis gigantea) සමඟ මිශ්‍ර කර කිරිටික වියළී යන තුරු මඳ පවනේ වියළන්න. මේ කුඩු වලින් ග්‍රෑම් 10 කට කරඳමුංගු ගෙඩි 5 - 6 ක ඇට කුඩුකර එකතු කරන්න. දිනකට පස්‌ හය වතාවක්‌ මේ කුඩු ස්‌වල්පයක්‌ නාසයට උරන්න. මෙය ග්ලුකෝමාවට ඉතා ගුණදායකයි.

නොමිලේ විස්‌තර සඳහා 0713464276/ 0759061771
අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments