ආදරයේ සහ ලිංගිකත්වයේ වෙනස


පෙම්වතුන් අතර ඇතිවන විවිධ ගැටලු සියදිවි නසා ගැනීම් වගේම ඝාතනත් වර්තමාන සමාජය තුළ සුලබ සිදුවීම් බවට පත්වෙමින් තිබෙන බව පෙනෙනවා. තරුණ පෙම්වතුන් අතර ගැටුම් ඇතිවීම අස්‌වාභාවික තත්ත්වයක්‌ නෙමෙයි. නමුත් ඒවා ෙ€දවාචක දක්‌වා දුරදිග යැම තුළ ඇති අස්‌වාභාවිකත්වයත් අවබෝධ කරගත යුතු වෙනවා. හිංසකත්වය, ප්‍රේමය තුළම ක්‍රියාත්මක වන අන්දම අප කිහිපවර නිරීක්‍ෂණය කර තිබෙනවා.

එක්‌ අවස්‌ථාවක මනෝ වෛද්‍ය උපදේශනයට යොමුවුණු විශ්වවිද්‍යාල සිසුවියක්‌ ඇයගේ පෙම්වතාගේ අස්‌වාභාවික හැසිරීම් ස්‌වභාවයක්‌ පිළිබඳ කියා සිටියා. තම පෙම්වතා තමා යන එන තැන් කතා බස්‌ කරන පුද්ගලයන් සහ කරන කියන දැ පිළිබඳ සෑම මොහොතකම සොයා බලන බවත් එය ඇයට මහත් කරදරයක්‌ වී ඇති බවත් මා සමග පැවසුවා. ජංගම දුරකථනයෙන් විටින් විට ඇය අමතන ඔහු තමා ඉන්නේ කොහෙද කර කර ඉන්නෙ මොනවද ආදි වශයෙන් තොරතුරු විමසා රහස්‌ පරීක්‍ෂකයකු සේ යළි යළිත් ඒ තොරතුරු නිවැරැදිදැයි විමසමින් ඇය විශාල මානසික පීඩනයකට ලක්‌ කිරීම ඔහුගේ පුරුද්දක්‌ බවයි ඇය කියා සිටියේ. 

තමා පිළිබඳ ඔහු දක්‌වන මේ දැඩි සැලකිල්ල ආදරය නිසා යෑයි ඇය මුලින් සිතා සිටියත් කෑම ගැනීමට, වැසිකිළියට යැමට පවා අවස්‌ථාවක්‌ නොලැබෙන තරමට ඔහුගේ සොයා බැලීම් වැඩිවන විට එය ඇයට විශාල හිරිහැරයක්‌ බවට පත් වුණා.

ඉතාම ලෙන්ගතුව ඇරඹෙන ආදරයක්‌ පසුව දැඩි වෛරයක්‌ බවට පත්වන අවස්‌ථා අප දැක තිබෙනවා. පෙම්වතුන්ව සිටින සමයේ පමණක්‌ නොවෙයි විවාහ පත්වූ දෙදෙනෙක්‌ තුළත් ආදරය නිසා මෙබඳු තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. බිරිඳට ඊර්ෂ්‍යා කරන සැමියන් වගේම සැමියන්ට ඊර්ෂ්‍යා කරන බිරින්දැවරු මේ සමාජය තුළ සිටිනවා. රූප සොබාවය, රැකියාව, සමාජ තත්ත්වය නිසා එකිනෙකාට ඊර්ෂ්‍යා කරන අඹුසැමියන් සිටිනවා.

ආදරය නිසා පුද්ගල ජීවිත තුළ මෙබඳු තත්ත්වයක්‌ ඇතිවෙන්නෙ ආදරය එක අරමුණක ගමන් නොකරන නිසයි. ඒ තුළ ආත්මාර්ථකාමීත්වය, අත්පත් කර ගැනීම සහ ආදරය තුළ තිබෙන වෙනස්‌ වීමේ ස්‌වභාවය නිසයි. ආදරය තුළ සතුට වගේම ආත්මාර්ථය අත්පත් කර ගැනීමේ අවශ්‍යතාව මෙන්ම වෙනස්‌ වීමේ ගුණයත් තිබෙන බව අවබෝධ කරගෙන ආදරය කරන අය ආදරය නිසා ජීවිතයට ෙ€දවාචක ළඟාකර ගන්නෙ නෑ. 

අද සමාජයේ තරුණ වැඩි දෙනකුට ආදරය සහ ලිංගිකත්වය වෙන් කරල හඳුනගන්න බැහැ. රාගය නිසා ඇති කරන පෙළඹවීමෙන් සිත පාලනය කරගන්න බැරි වර්තමාන ආදරවන්තයො හුඟ දෙනෙක්‌ ප්‍රේමයෙන් බැඳුන ගමන්ම වාගේ ලිංගික කටයුතුවලත් යෙදෙනවා. යොවුන් ආදරය අද තරුණ ජීවිත අකාලයේ කඩා බිඳ දමන බලවේගයක්‌ ලෙස ක්‍රියාත්මක වෙන්නෙ වර්තමාන බොහෝ පෙම්වතුන්ට ආදරයේ හා ලිංගිකත්වයේ වෙනස හරිහැටි අවබෝධ කරගන්න බැරි නිසයි.

ආදරය වගේම ලිංගිකත්වයත් ජීවිතයට අවශ්‍යයි. ආදරය හා ලිංගිකත්වය යන සංකල්ප දෙකෙන් බැහැර වූ සමාජයකට පවතින්න බැහැ. නමුත් අද සමාජයේ වැඩි දෙනකුට විශේෂයෙන් තරුණ පිරිසට මේ පිළිබඳ අවබෝධයක්‌ ලබාගත හැකි මගක්‌ නෑ. පාසල් අධ්‍යාපනය තුළත් සරසවි අධ්‍යාපනය තුළත් ඒ සඳහා කිසිදු ක්‍රමවේදයක්‌ නෑ. අපේ රටේ පාසල් තුළත් සරසවි තුළත් ලිංගිකත්වය ගැන කතාබහ කිරීම තහනම් මාතෘකාවක්‌. ආදරය වගේම ලිංගිකත්වය ගැන නිවැරැදි අවබෝධයක්‌ නැතිව යහපත් විවාහයකට ඇතුල්වීමට හෝ යහපත් පවුල් ජීවිතයක්‌ ගතකිරීමට හැකියාවක්‌ නෑ. 

රටක සමාජ කාර්යක්‍ෂමතාව ඇති වෙන්නෙ යහපත් පවුල් සබඳතා සහිත පිරිසකගෙන් යුතු සමාජයක්‌ තුලයි. කාර්යක්‍ෂමතාව බිඳ වැටුණු සමාජයකින් රටේ සංවර්ධනයට කිසිදු දායකත්වයක්‌ ලැබෙන්නේ නෑ. යහපත් පවුල් සබඳතා බිඳුණු සමාජයක්‌ තුළ අපරාධ වර්ධනයට අවශ්‍ය පසුබිම සැකසෙනවා. අපරාධකරුවකු බිහිවීමේ ක්‍රියාවලිය ගැහැනියකගේ මව්කුස දක්‌වාම ගමන් කරනවා.

අද අපේ සමාජයේ ආදරය පිළිබඳ දරන ආකල්ප නිසා දරුවකු බිහිකිරීමට උවමනා සුබවාදී ආකල්ප මනස තුළ ඇති කර ගන්න බොහෝ මව්වරුන්ට හැකියාවක්‌ නෑ. තම සැමියන්ගේ බීමත්කම නිසා, අනියම් සබඳතා නිසා හෝ ගෘහස්‌ථ හිංසනය නිසා අද බොහෝ මව්වරු මානසික පීඩාවකට ලක්‌වී සිටිනවා. අද දරුවන් බිහිකරන බොහෝ මව්වරු තම දරුවන් මව් කිsරෙන් පෝෂණය කරන්නේ සැමියන් පිළිබඳ උපන් මෙබඳු වෛරී සහගත සිතිවිලි මනසේ දරාගෙනයි. මෙබඳු දරුවන් සමාජයට වැඩදායක පිරිසක්‌ වනවාට වඩා සමාජයට හිරිහැරයක්‌ වන පිරිසක්‌ බවට පත්වීමට වැඩි ඉඩකඩක්‌ තිබෙනවා. අනාගතයේ අපේ රටේ සමාජ සංවර්ධනයට මෙය විශාල ප්‍රශ්නයක්‌ බවට පත්විය හැකි කාරණයක්‌. මෙයට යම් ආකාරයක හෝ විසඳුමක්‌ ලබාගත හැක්‌කේ මනෝවිද්‍යාව පදනම් කරගෙන ආදරය ප්‍රේමය හා ලිංගිකත්වය පිළිබඳ සමාජය දැනුවත් කිරීම තුළින් පමණයි.

ලිංගිකත්වය කියන්නෙ ස්‌ත්‍රී පුරුෂ ආකර්ෂණය පදනම් කරගෙන කායික හා මානසික තෘප්තිය ලැබෙන ක්‍රියාදාමයක්‌. සෑම සත්වයකුටම පොදුවේ බලපාන පෙළඹුම් රටාවක්‌ ලිංගිකත්වය තුළ තියෙනවා. මෙය අභිප්‍රේරණය ලෙසත් හඳුන්වනවා. කුසගින්න, පිපාසය, ලිංගිකත්වය වැනිදේ හඳුන්වන්නෙ ප්‍රේරණ විදිහටයි. ලිංගික කටයුතුවල නොයෙදුණ නිසා යමෙකු මිය යන්නේ නැහැ. නමුත් කුසගින්න හෝ පිපාසය යමෙකුට දිගු කාලයක්‌ දරාගෙන සිටින්න බැහැ.

යම් පුද්ගලයෙක්‌ ලිංගික කටයුතුවලින් ඉවත්ව සිටියහොත් ඔහු මිය නොගියත් යම් යම් සෞඛ්‍ය ගැටලු ඔහුට ඇතිවෙන්න පුළුවන්. ලිංගිකත්ව යෙන් සම්පූර්ණයෙන් ඈත්ව සිටින පුද්ගලයකුගේ කායික හා මානසික සමතුලිතතාවයේ යම් යම් සංකූලතා ඇතිවිය හැකියි. ලිංගික ප්‍රේරණය ඇතිවෙන්නෙ යමකු තුළ ඇතිවන ජීව විද්‍යාත්මක සාධක නිසයි. එනම් ශරීරය තුළ ඇතිවන හෝ මෝනවල ක්‍රියාකාරීත්වය නිසයි. සතුන් තුළ ඇතිවන ලිංගික ප්‍රේරණය නම් මුළුමණින්ම පාහේ හෝමෝන මත පදනම් වූ ක්‍රියාදාමයක්‌. මිනිසාගේ මෙය හෝමෝනවලට අමතරව සමාජීය හෙවත් ද්විතියික සාධක මතත් තීරණය වන බව සොයාගෙන තිබෙනවා. විවිධ ආකල්ප, අධ්‍යාපනය පරිසරය තුළින් ලබාගන්නා අත්දැකීම් ආදී බොහෝ දේ මිනිසාගේ ලිංගික අභිප්‍රේරණයට ඉවහල් වෙනවා.

මිනිසාගේ ලිංගික චර්යාවන් සාමාන්‍ය සහ අසාමාන්‍ය ලෙස කොටස්‌ දෙකකට බෙදන්න පුළුවන්. සාමාන්‍ය ලිංගික හැසිරීමක්‌ කියන්නෙ ගැහැනියක්‌ සහ පිරිමියෙක්‌ අතර ඇතිවන ලිංගික බැඳීම. මෙය පරිපූර්ණ වී සඳහා අදාළ වන නිර්නායක කිහිපයක්‌ තිබෙනවා. එනම් ගැහැනිය සහ පිරිමියා නිසි වයසේ පසුවිය යුතුයි. ලිංගික හැසිරීම සඳහා දෙදෙනාගේම කැමැත්ත තිබිය යුතුයි. මේ සාධක සම්පූර්ණ වූ ගැහැණියක හා පිරිමියකු අතර සිදුවන ලිංගික බැඳීම සාමාන්‍ය ලිංගික චර්යාවක්‌ ලෙස හඳුන්වනවා. මේ ක්‍රියාදාමයට පටහැනි ලිංගික හැසිරීමක්‌ හඳුන්වන්නේ අසාමාන්‍ය ලිංගික චර්යාවක්‌ ලෙසයි.

සම ලිංගික සේවනය, ස්‌ත්‍රීන් හෝ පුරුෂයන් සතුන් සමග පවත්වන ලිංගික සම්බන්ධතා ආදිය අසාමාන්‍ය ලිංගික චර්යාවන් ලෙසයි හැඳින්වෙන්නෙ. මානසික විකෘතිතා නිසාත් යමෙක්‌ මෙබඳු අසාමාන්‍ය ලිංගික චර්යාවන්ට පෙළඹෙන්න පුළුවන්. අපගාමී ලිංගික චර්යාවන් ලෙස හඳුන්වන මේවා නිසා ස්‌ත්‍රී දූෂණ කාම හිංසන, ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම, මියගිය පුද්ගලයන් සමග ලිංගික කටයුතු වල යෙදීම, පරපීඩක කාමුකත්වය වැනි විෂමාචාරවලට පුද්ගලයන් යොමුවන්න පුළුවන්.

ලිංගිකත්වයත් ආදරය වගේම යහපත් ෙච්තනාවන් පෙරදැරි කරගෙන ඇතිවිය යුතු තත්ත්වයක්‌. නමුත් ලිංගිකත්වයක්‌ රෝගී ස්‌වභාවකයට පත්වූ පසු එය ක්‍රියාත්මක වන්නේ අපගාමී ලිංගික චර්යාවක්‌ ලෙසයි. ලිංගිකත්වය තුළ ඇති සාමාන්‍ය ලිංගික චර්යාව නම් ස්‌ත්‍රියක හා පුරුෂයකු අතර ඇතිවන ලිංගික සම්බන්ධයයි. එය පරිපූර්ණත්වයට පත් වන්නේ නිසි වයස, දෙදෙනාගේම කැමැත්ත, යහපත් මානසිකත්වය හා ඊටම සුදුසු පරිසරයක්‌ තුළ එම ක්‍රියාදාමය සිදුවුණොත් පමණයි. යම් පුද්ගලයෙක්‌ ආවේගශීලී අවස්‌ථාවක පසුවේ නම් සහකරු හෝ සහකාරිය එකිනෙකා කෙරෙහි සැකයෙන් පසුවේ නම් ඔවුනොවුන්ට තෘප්තිමත් ලිංගික සබඳතාවක්‌ ඇතිකර ගැනීම අපහසුයි. මෙය අද අපේ සමාජයේ වැඩිදෙනකුට තිබෙන ප්‍රශ්නයක්‌. අද සමාජයේ විශේෂයෙන් කාන්තාවෝ වැඩිදෙනෙක්‌ අතෘප්තිකර ලිංගික ජීවිතයක්‌ ගතකිරීමට ප්‍රධාන හේතුවක්‌ වී තිබෙන්නෙ මෙයයි. 

මානසික සෞඛ්‍ය පදනමේ සභාපති
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය 
ඥානදාස පෙරේරා
සාකච්ඡාවකින් සකස්‌ කළේ 
පාලිත සේනානායක

Post a Comment

0 Comments