දිගු කලක් මුළුල්ලේ පීඩනයෙන් තෙරපී වැළලුණු බිම් බෝම්බයක් මෙන් තිබී අවසානයේ නිලධාරි ත්‍රස්‌තවාදයේ බරට පිපිරී ගිය වැලිකඩ බන්ධනාගාරයේ කතාව දැන් ඇත්තේ දවසින් දවස අතීතයට එක් වෙමිනි.
එහෙත් වැලිකඩ කතාව එසේ අතීතයට එක් වෙමින් තිබුණද අදටත් මෙරට බන්ධනාගාර පිළිබඳ කතාව ඇත්තේ කොතැනකද? එය ඇසෙන කල්හි සැබෑවටම මේ බිම පිළිබඳ දැඩි කනගාටුවක් ඇති වන්නේය. එකී කනගාටුව සමග බන්ධනාගාර කුලකයට අරක් ගෙන සිටින බලධාරි කුම්භාණ්‌ඩයන්, පිශාචයන් සහ මළ පෙරේතයන් ගැන සිහි වී මහා අප්පිරියාවක්‌ද හටගන්නේය.
සාමාන්‍යයෙන් අප දන්නා මළ පෙරේතයන් හා පිශාචයන් සිය පිදේනිය සඳහා නරයන්ගෙන් ඉල්ලන්නේ ගොඩ මස්, දියමස් ආදිය ඇතුළු පිදේනි තටුවක්‌ය. එය පිදූ කල්හි උන් අසල ඇති ගසක කොස් අත්තක්, දෙල් අත්තක් ආදිය බිඳ දමා සලකුණක්‌ද ඉතිරි කර කිසිවකුටත් වින නොකොට වෙනත් විමානයක් සොයා පලා යන්නේය.
නමුත් අද ඇතැම් බන්ධනාගාර බලධාරි මළ පෙරේතයන් එසේ සිය දොළ පිදේනිය ලෙස ගනිමින් සිටිනුයේ මොනවාද? උන් අතු බිඳීම පසෙක ලා කොස් ගස් පිටින් ගිලින්නේය. තේක්‌ක ලෑලි ගිල දමන්නේය. බන්ධනාගාර සුබසාධනයට ඇති බුෙµa සෙට් ගිලින්නේය. හොරට බිල් දමා ආණ්‌ඩුවේ මුදල් කුට්‌ටි පිටින් ගසා කන අතරේ සිරකරුවා නන්නත්තාර කර අධිකාරි සාකච්ඡා වැනි විවිධ දේ සමග සිරගත වන කුඩු මෝරුන්, පාතාලයන් කරට ගෙන රුපියල් ලක්‍ෂ ගණනින් ජරාව බුදින්නේය.
අපට මුන් පිළිබඳ අප්පිරියාව හට ගන්නේ එහිදීය. එසේම මෙකී පෙරේතයන්ගේ ක්‍රියා හමුවේ අනාත කෙරෙන සිරකරුවන් හේතුවෙන් දිනෙන් දින වැනසී යන්නේ මේ බිමේ සදාචාරය සහ සමාජ යහපැවැත්ම වන්නේය. බන්ධනාගාර කථාව හමුවේ උපන් බිම පිළිබඳ කනගාටුවක් අප තුළ මතු වනුයේ එහෙයිනි.
එහෙත් පුදුමයට කරුණ වී ඇත්තේ බන්ධනාගාර මළ පෙරේතයන් මෙසේ පිදේනි ලෙස ජරාව බුදිමින් එහිම විමාන තනද්දීත් අදාළ ඉහළ දේශපාලන බලධාරින් මුන් එලවා දැමීමට කිසිත් නොකරීමය.
අප මෙකී පෙරේතයන් සහ පිශාචයන් පිළිබඳ සැකෙවින් කරුණු අනාවරණය කරමින් අවස්‌ථා රැසකදී සියල්ල පෙන්වා දුන්නද අදටත් එකී දේශපාලන බලධාරිහු නිහඬවම සිටින්නාහ. එකී නිහඬ බව තුළ ඇත්තේ කුමක්‌දැයි අපි නොදනිමු. එහෙත් එම නිහඬ බව හමුවේ කළ යුත්ත නිසි කලට සිදු නොවීමෙන් වර්තමානය වන විට මේ රට සාපරාධී මාවතක් වෙත තල්ලු වෙමින් තිබෙන බව පමණක් පෙනෙන්නේය.
තිස් වසරක් පුරා මේ බිම වෙලාගෙන පැවැති යුද්ධය සේම 1988-90 අතීතයේ ඉස්‌මතු වූ භීෂණකාරී යුගයේදීද මෙරට තුළ සාපරාධී වටපිටාවත් තිබූ බව අපි දන්නෙමු. එහෙත් ජීවත් වීම පසෙක තිබියදී මරණය සිල්ලර කෙරුණු එම යුගයන් අප දැන් පසුකර සිටින්නේය.
එසේ නම් වර්තමානයේ යළිත් මෙරට තුළ එවන් සාපරාධී වටපිටාවක් නැගී ඒම පසුපස ඇත්තේ කුමන සාධකයක් විය හැකිද? එම සාධකය මෙරට බන්ධනාගාර තුළ කලක සිටම පවතින මළපෙරේත විමාන තනා ගැනීමේ භූමිකාව හෙවත් සිරකරුවා අනාථ කරමින් නැගී සිටින නිලධාරි ත්‍රස්‌තවාදය විය නොහැක්‌කේද?
ඇත්තෙන්ම බලධාරින් ඇතුළු අප සැවොම එක්‌ව වගකීමෙන් වටහා ගතයුතු වුවද මෙතෙක් කිසිවකුත් අවධානය යොමු නොකළ වත්මන් අපරාධ රැල්ලේ ජන්මය හෙවත් රට සාපරාධී මාවතක් දෙසට තල්ලු වී යැමේ සැඟවුණු කතාව ඇත්තේ එතැනය.
"අනේ මේ රටට මොනවා වෙලාද? අයියෝ ඇයි මේ විදිහට අපරාධ සිද්ධ වෙන්නේ.. මේ සටහන් කෙරුණේ අද වන විට රට පුරා මතු වෙමින් එන අපරාධ රැල්ල දෙස බලමින් රටේ ජනතාව කින කතාවය. එහෙත් එම ජනතා හඬ හමුවේ අපරාධ මර්දනයට සිටින පොලිසිය කියනුයේ කුමක්‌ද?
"අපරාධ බොහොමයක් මෙහෙය වන්නේ බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන්.. කුලී ඝාතන, කප්පම් ගැනීම්, මත් කුඩු ජාවාරම වගේම කොල්ලකෑම් වැනි දරුණු ගණයේ අපරාධ රැසක්‌ම බන්ධනාගාරගතව සිටිමින් සිය ගෝලබාලයන් හරහා කරවන්නේ ඔවුන්.. පොලිසියේ කතාව එය වී ඇත්තේය.
ජනතාවත් පොලිසියත් කියන කතාව එසේ වන්නේ නම් මෙකී කතා දෙකෙන්ම කියෑවෙන පොදු කතාව වන්නේ වර්තමානයේ මෙරට අපරාධ රැල්ලක් මතුවී තිබෙන්නාක් සේම ඊට හේතුව ලෙස කෙසේවත් නොවිය යුතු ආකාරයේ අපරාධ සංස්‌කෘතියක් රට පුරා බන්ධනාගාර තුළ නිර්මාණය වී තිබෙන බවය.
සිදුව ඇත්තේ එය නම් සමාජයේ යහපැවැත්ම උඩු යටිකුරු කරමින් මෙවන් සාපරාධී පරිසරයක් රටේ ඉස්‌මතු වීමට සහ බන්ධනාගාර තුළ අපරාධ සංස්‌කෘතියක් නිර්මාණය වීමට කුමන කරුණක් මුල් වී තිබිය හැකිද?
අපි පැහැදිලිවම කියමු. ඒ පසු පස ඇත්තේ පෙර කී ලෙසම මෙරට බන්ධනාගාර තුළ ක්‍රියාත්මක ඉහත කී නිලධාරි ත්‍රස්‌තවාදය හෙවත් "මළ පෙරේත" භූමිකාවමය. මෙය කාලයක සිටම මෙරට බන්ධනාගාර තුළ ක්‍රියාත්මකව තිබුණකි. නමුත් අප පසු කළ යුදමය කඩඉම හමුවේ මීට වසර හතර පහකට ඉහත එමගින් සිදුවන සමාජ තෙරපුම අපට නොදැනුනේය.
එහෙත් පසුකර පැමිණි යුද සමය නිමාවේ අද රට ඇත්තේ නිසොල්මනේය. එහෙයින් ඉහත පීඩනය දැන් අපට දැනෙමින් තිබෙන්නේය. ඒ කාලයක් පුරා නොදැනුණු සහ නොහැඟුණු සියල්ලේ පොලියත් සමගිනි. වර්තමානයේ මෙරට සමාජයට දැනෙන සහ හැඟෙන අපරාධ රැල්ලේ නිමිත්ත ඇත්තේ එතැන බවද මෙහිදී කිව යුතුය.
ඉහත කී නිලධාරි ත්‍රස්‌තවාදය සහ "පෙරේත" භූමිකාව හමුවේ අද මේ සියල්ල සිදු වෙමින් තිබෙන්නේ කෙසේද? අතීතයේ සිටම මෙරට ඇති බන්ධනාගාර සියල්ල පාලනය වනුයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ වන්නේය.
මෙකී බන්ධනාගාර දෙපාර්තමේන්තුව වර්තමානයේ පවතිනුයේ බන්ධනාගාර සහ පුනරුත්ථාපන අමාත්‍යංශය යටතේ ඇති ආයතනයක් වශයෙන් වන අතර ඊට අමතරව බන්ධනාගාර සහ පුනරුත්ථාපන අමාත්‍යංශය යටතට වැටෙන තවත් ආයතන දෙකක්‌ද ඇත. පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව ඉන් එකකි. අනෙක ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව ලෙස හැඳින්වේ.
බන්ධනාගාර අමාත්‍යංශය යටතට මෙවන් දෙපාර්තමේන්තු ත්‍රිත්වයක් එක්‌ව ඇත්තේ පුළුල් අරමුණක් සහිතවය. දඬුවම - ඒ හා සමග කෙරෙන පුනරුත්ථාපනය සහ විශෝධනය යන්න එකී පළල් අරමුණ තුළ කැටි වූ මූලික කරුණු වේ. නමුත් අද මෙකී ආයතන ත්‍රිත්වය යනු අදාළ පළල් අරමුණ වෙත ගමන් කිරීම වෙනුවට සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් බවට පත්ව තිබෙන්නක් බවද මුලින්ම කිව යුත්තකි.
මෙරට නීතියට අනුව යම් නීති විරෝධී ක්‍රියාවක් හමුවේ අධිකරණය මගින් දඬුවම් නියම කරන්නන් Rජුවම භාර වනුයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවටය. එහිදී අධිකරණයේ අරමුණ වන්නේ නියම වූ දඬුවම සමග අදාළ වරදකරුවා පැහැදිලි පුනරුත්ථාපනයකට ලක් කරමින් යළි යහපත් මිනිසකු ලෙස සමාජගත කිරීමය.
නමුත් අධිකරණයේ අරමුණ එසේ යහපත් මිනිසකු සමාජගත කිරීම වුවද කාලයක සිට මෙරට බන්ධනාගාර වෙතට එන වරදකරුවන්ට සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද? ඔවුහු බන්ධනාගාරයට පැමිණෙන්නාහ. එතැන් සිට මිහිපිට ඇති අමු අපායකට වී සියලු හිමිකම් අහිමිව විඳවන්නාහ.
වරදකරුවකු වී බන්ධනාගාරගත වන පුද්ගලයකුට මූලික වශයෙන් බන්ධනාගාරය තුළදී ලබා දිය යුතු පහසුකම් කිහිපයක් මෙරට නීතිගතව ඇත්තේය. ඇඳීම සඳහා පිරිසිදු ජම්පර දෙකක්, තුවායක්, නිසි පරිදි නිදා ගැනීමට තැනක්, සබන් කෑල්ලක්, අහර ගැනීමට පිඟානක් (තැටිය) සහ කෝප්පයක් වැනි දැ ඒ අතරින් කිහිපයකි.
එහෙත් අද දවසේ මෙරට බන්ධනාගාරයකට පැමිණෙන කිසිවකුට මේ කිසිත් අහිමිය. එය එසේ වුවද අප පෙර කී නිලධාරි ත්‍රස්‌තවාදය මගින් සිරකරුවා අරබයා සැපයෙන පහසුකම් ලැයිස්‌තුවලට මේ සියල්ල ඇතුළත්ව ඇත්තේය. ඒ ගසා කෑමේ අරමුණ හේතුවෙනි. ඇතුළට එන එකා මොකා වුවද මෙරට බන්ධනාගාර තුළදී සිරකරුවා මුලින්ම නන්නත්තාර කෙරෙනුයේ මෙතැනදීය. නැතහොත් පෙර කී "මළ පෙරේත" භූමිකාව හමුවේ සිරකරුවා සූරා කෑම ඇරඹෙන්නේa මෙහිදීය.
වරදක් හමුවේ අධිකරණයකින් දඬුවම් ලබන්නකු මුලින් බන්ධනාගාරය වෙත එනුයේ දැඩි ලෙස බිඳ වැටුණු මානසිකත්වයක්‌ද සමගිනි. ඉහත කී නිලධාරි ත්‍රස්‌තවාදය විසින් එසේ පැමිණෙන සිරකරුවා බන්ධනාගාරගත වූ අවස්‌ථාවේදීම පුනරුත්ථාපනය පසෙක තිබියදී අනාත කරනුයේ ඉහත අන්දමින්ය.
ඇතැම්විට එකී මුල් අවස්‌ථාවේදී යම් සිරකරුවකුට එක් ජම්පරයක් හිමි වුවද එයද බොහෝ දෙනා පාවිච්චි කිරීමෙන් පසු ඉවත දමන තත්ත්වයේ පවතින්නකි. දිනක් හෝ දෙකක් ඇඳීමෙන් පසු එය සේදීමේදී ජම්පරය සෝදා වියළෙන තුරු නිරුවතින් සිට යළි එය හැඳ ගැනීමට සිරකරුවාට සිදුවේ.
මේ සියල්ල සිදු වනුයේ යල් පැන ගිය බන්ධනාගාර පනතේ සිරකරුවා පාලනයට ඇති සියලු විධිවිධානයන්ගෙන් බන්ධනාගාරගත වූ එකා දැඩි ලෙස බන්ධනාගාර බලධාරි ග්‍රහණයට නතුවෙද්දීය. සැබෑ තත්ත්වය මෙසේ වෙද්දී ඇතුළට ආ එකා කුඩු රජකු හෝ පාතාලයකු නම් එතැන් පටන් ඔහුට අදාළ නිලධාරි ත්‍රස්‌තවාදීන් ලවාම අවැසි සියල්ල මුදල් විසි කර පිටතින් ගෙන්වා ගැනීමේ හැකියාවද තිබේ.
නමුත් සිරගත වූ එකා අසරණයකු නම් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම හමුවේ හෙතෙම බන්ධනාගාර උප සංස්‌කෘතියේ ගොදුරක් වන්නේ නිරායාශයෙනි. අද වන විට මෙරට බන්ධනාගාර තුළදී සිරකරුවා පුනරුත්ථාපනය වෙනුවට පැමිණි දිනයේ සිටම නරුමයකු කිරීමේ බලධාරි ත්‍රස්‌තවාදය ක්‍රියාත්මකව ඇත්තේ එසේය.
"මහත්තයෝ. නැති බැරි එකෙක් ආපුවහම මානසිකව බිංදුවටම වැටිලා එන ඒ මිනිහට අන්තිමට සිද්ධ වෙන්නේ කුඩු ජාවාරම් කාරයෙක්‌ගේ කකුල් මිරිකල හරි ජාවාරමට උදව් කරලා හරි තමන්ගේ අවශ්‍යතා ටික සපයා ගන්න. එහෙම නැත්තන් පාතාල ගැන් එකකට සෙට් වෙලා ඌත් එතන ඉඳන් කරන්න දෙයක් නැති කමට කප්පම් ගන්න ඒවට, මිනී මරවන වැඩවලට හවුල් වෙනවා.
ඉතින් ඔය විදිහට බරපතළ වැරදි කරලා විතරක් නෙමේ. සුළු වරදක් කරලා සතියකට දෙකකට මෙහෙට ආපු එකත් අන්තිමට බන්ධනාගාරයෙන් එළියට යන්නේ මහා තිරිසනෙක් වෙලා. ඒකත් නිකම්ම නෙමේ. ඌ එළියට යනකොට හොඳ ගේම්කාරයෝ ටිකක් එක්‌කත් සම්බන්ධතා ගොඩනගාගෙනයි යන්නේ. අද බන්ධනාගාර ඇතුළේ පුනරුත්ථාපනය වෙනුවට සිද්ධ වෙන්නේ මේ ටික"
මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින එක්‌තරා සිරකරුවකු වර්තමානයේ බන්ධනාගාර අවර සංස්‌කෘතිය තුළින් අපරාධකරුවකු බිහි වීම සිදු වන ආකාරය අපට පැහැදිලි කළේ එලෙසිනි. අද සමාජයට පිළලයක් වී තිබෙන අපරාධ රැල්ලට වත්මන් බන්ධනාගාර අපරාධ සංස්‌කෘතිය හරහා නවකයකු බිහි වෙමින් තිබෙන අයුරු සරලව පැහැදිලි කළහොත් එසේය.
බන්ධනාගාරගත වූ දිනයේ පටන් කුසට නිසි අහරක්, නෑමට නිසි පරිදි වතුර බිඳක්, නිදන්නට තැනක් අහිමි වන සිරකරුවන් මෙරට බන්ධනාගාර තුළදී අවසානයේ රට වනසන නරුම ගැන්සියේ සාමාජිකයන් වනුයේ එලෙසිනි. මේ සියල්ල සිදුවනුයේ සිරකරුවාගේ සිට සියල්ල සූරා ගිල දමන ඉහත කී පෙරේත භාවිතාවේ ඵලයක් ලෙසිනි.
මේ අතරේ එකී සිරකරුවන් පෙරකී නිලධාරි ත්‍රස්‌තවාදය විසින් තම වුවමනා එපාකම් වෙනුවෙන් භාවිත කරනු ලබන අවස්‌ථාද බොහෝමයකි. අධිකරණයට රැගෙන ගොස් එද්දී උසස් නිලධාරින්ගේ සිට ඇතැම් බඩගෝස්‌තරවාදීන්ගේ අනුදැනුම ඇතිව ජංගම දුරකථන, කුඩු පාර්සල් වැනි දේ බංකර් (පශ්චාත් භාගයේ) ගසාගෙන ඒමට යෙදවීම වැනි දේ ඒ අතරේ බහුලවේ.
අද වන විට මෙරට බන්ධනාගාර පද්ධතියේ මුල් පුටු අරා සිටිමින් මෙකී පෙරේත භූමිකාව රඟන්නන්ද රැසකි. ඒ අතරේ ඇතැම් බන්ධනාගාරවල ප්‍රධානින් හෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් ලෙස කටයුතු කරනු ලබන කිහිප දෙනකුද සිටී. කිසිවකුට හෝ අවැසි නම් ඔවුන්ගේ ජාතකයේ සිට සියල්ල පෙන්වා දීමටද අප සතුව කරුණු තිබේ.
කිසියම් අවංක නිලධාරියකු බන්ධනාගාර ත.=ළ කුඩු විකුණන එකෙකුගේ කුඩු පාර්සලයක් අත්අඩංගුවට ගෙන මෙකී ප්‍රධානින්ට භාර කෙරුවහොත් එකී කුඩු තොගය ගිනි තබන්නේ යෑයි කියමින් සිය ලාච්චුවේ ඔබා ගන්නා මහ එවුන් අවසානනයේ කුඩු පාර්සලය යළිත් සිරගත කුඩු මුදලාලිට අලෙවි කරන්නේය.
නිලධාරියකු ජංගම දුරකථනයක් අල්ලා ගතහොත් එය වටිනා එකක් නම් තවත් සිරකරුවකුට එය අලෙවි කරනුයේද එකී මහ වුන්මය. මෙහිදීද යොදා ගැනෙනුයේ පෙරකී අසරණ සිරකරුවාගේ සේවයමය. ඉනුත් නොනැවතී මෙකී බලධාරිහු සිරකරුවා වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම, නැතහොත් ඉන්නට නිසි තැනක් සැපයීම, නීතියට පිටින් යම් කිසි තහනම් ද්‍රව්‍යයක් ලබාදීමේ සිට සිරකරුවාට වැඩි වේලාවක් වැසිකිළි පහසුකම් සැලසීම දක්‌වාම මුදල් ගසාකති.
ඉදින් බලධරයනි. තත්ත්වය මෙය නම් පවතින වත්මන් අපරාධ රැල්ලට තිත තැබීම සඳහා අප මුලින් කළ යුත්තේ පොලිසිය යොදවා සිරකරුවා පරීක්‍ෂා කිරීමට පෙර බන්ධනාගාරවලට අරක් ගෙන සිටින මෙකී පෙරේතයන් පන්නා දමා යහපත් බන්ධනාගාර සේවයක් ස්‌ථාපිත කිරීම නොවේද?
එතුළින් දැනට බිඳ වැටී ඇති පුළුල් අරමුණක් සඳහා වන දඬුවම-පුනරුත්ථාපනය සහ විශෝධනය යන ජාලය යළි සැකසීමේ තැනට අප ගමන් කළ යුතු නොවන්නේද?
ඉතාම පහසුවෙන් පෙනෙන සහ වැටහෙන මේ ක්‍රියාවලිය වෙත නොගොස් බන්ධනාගාර ත්‍රස්‌තවාදයට තවදුරටත් වැජඹෙන්නට ඉඩදී ඒවා තුළට සිරකරුවන් පුරවමින් ඉදිරියටත් නවක අපරාධකරුවන් බිහිවන්නට ඉඩහැර අප බලා සිටියහොත් අනාගතයේ මේ රට ඇදී යන මානය කොතරම් භයානක විය හැකිද?
සමන් ගමගේ
0 Comments