බ්‍රිතාන්‍යයේ යකඩ ගැහැණිය යෑයි විරුදාවලි ලත් මාගරට් තැචර් පෙරේදා මිය ගියාය. ඇය බ්‍රිතාන්‍යයේ ඉතිහාසය තුළ විශිෂ්ඨතම කාන්තාවක් වන්නේ අයි. ආර්. ඒ. සංවිධානයට හා එහි දේශපාලන ඒකකය වූ සින්පෙත් නැමැති සංවිධානයට හිස නොනැමීමයි. මේ නිසාම අයි. ආර්. ඒ සංවිධානය 1984 දී බ්‍රින්ටන්හි කොන්සවටිවු පක්‍ෂ සමුළුව පැවැත්වූ ග්‍රෑඩ් හෝටලයේ බෝම්බයක් ඇටවීමෙන් ඇයව ඝාතනය කිරීමට උත්සාහ කළේය. මෙහිදී පස් දෙනෙකු මිය ගොස් 30 දෙනෙකු බරපතල තුවාල ලැබීය. එහෙත් තැචර් සැලුනේ නැත. ඇය කොන්සවටිව් පක්‍ෂ සමුළුව අමතමින් මෙසේ කියා සිටියාය. ප්‍රජාත්‍රන්තවාදය විනාශ කිරීමට ත්‍රස්‌තවාදීන් දැරූ සියලු උත්සාහයන් අසාර්ථක විය. ත්‍රස්‌තවාදය යනු ත්‍රස්‌තවාදය මිස සාමාන්‍ය අපරාධයක් නොවේ. අයි. ආර්. ඒ. සංවිධානය තමන් ජයගත්තා යෑයි සිතනවා නම් ඔවුන් සිතාගත යුත්තේ ඔවුන්ට වැරදුන බව යන්නයි.
එපමණක් ද නොවේ. ඉල්ලීමක් කීපයක් ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍යයේ සිරගෙයකදී අයි. ආර්. ඒ. ක්‍රියාකාරයෙකු වූ බොබි සෑන්ඩ්ස් ඇතුළු දසදෙනෙකු උපවාසයක් කළත් තැචර් ඔවුන්ගේ ඉල්ලීම්වලට එකග වුණේ නැත. අපරාධයක් යනු අපරාධයක් මිස දේශපාලන ක්‍රියාවක් නොවේ යෑයි ඇය අයි. ආර්. ඒ. උපවාස කරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාරය දක්‌වමින් පල කලාය. එකී අයි. ආර්. ඒ ක්‍රියාකාරීහු අවසානයේ මරණයට පත්වුහ. 1984 ඔක්‌තෝම්බර් 12 වැනිදා බ්‍රින්ටන්හි ග්‍රෑන්ඩ් හෝටලයේ කොන්සවටිව් පක්‍ෂ සමුළුව ඇමතීමට පෙර ඇය නානාකාමරය වෙත යාමෙන් අයි. ආර්. ඒ බෝම්බයෙන් දිවිගලවා ගත්තාය. මෙහිදි ටෝරි පාර්ෂික මන්ත්‍රී ඇන්තනී බෙරී පාර්ලිමේන්තු ලේකම් ජෝන් වෙක්‌හේම්ගේ බිරිය වූ රොබටා ඇතුළු පස් දෙනෙක් ජීවිතක්‍ෂයට පත්වීය. මෙම සිද්ධියෙන් පසු ඇය අයි. ආර්. ඒ ක්‍රියාකාරීන්ට එරෙහිව දැඩි ලෙස ක්‍රියාකළාය. සින්පෙත් සංවිධානයේ නායක ඡේරී ඇඩම්ස්‌ගේ කටහඩ පවා බී. බී. සීයේ විකාශනය කිරීම නතර කරනු ලැබීය. මේ පසුබිම යටතේ මාගරට් තැචර්ගේ අභාවය සමගම සින්පෙත් සංවිධානයේ නායකයාව සිටි ඡේරී ඇඩම්ස් ප්‍රකාශයක් කරමින් අයි. ආර්. ඒ සංවිධානයට බරපතල වේදනාවක් දුන්නේ තැචර් බව කියා සිටියේය. ඇය යුද්ධය මතම ක්‍රියා කළා. මාධ්‍ය වාරණයක් ගෙන ගියා. අපට එරෙහිව රහසිගත මෙහෙයුම් දියත් කළා යෑයි ඡේරී ඇඩම්ස් අතීතය සිහිපත් කරමින් පල කළාය. මාගරට් තැචර් බලයේ සිටන තුරු අයි. ආර්. ඒ සංවිධානයට සිය ඉල්ලීම් ඉටු කර ගැනීමට නොහැකි විය. මේ නිසා අයි. ආර්. ඒ. සංවිධානය විසින් ඇගේ සමීපතම බුද්ධි සේවා නිලධාරියෙකු වු අයිරේ නීවේව වාහන අංගනයකදී බෝම්බයක් අටවා ඝාතනය කළේය. එසේ වූවත් මාගරට් තැචර් තවත් දැඩිව ක්‍රියා කළා මිස අයි. ආර්. ඒ. සංවිධානයේ ඉල්ලීම්වලට එකග වූයේ නැත. බ්‍රිතාන්‍යය දේශපාලනයෙන් විශ්‍රාම යාමෙන් පසු මාගරට් තැචර් තවත් බරපතළ ප්‍රශ්නයකට මුහුණ පෑවාය. ඒ හිටපු බ්‍රිතාන්‍ය කුලී සොල්දාදුවෙකු වු සයිමන් මෑන්ස් සමග එක් වූ ඇගේ පුත් මාක් නිවර්ථන ගිනියා රාජ්‍යයේ කුමන්ත්‍රණයක් දියත් කිරීමට උත්සාහ කිරීමයි. එකී කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තැචර්ගේ පුත්‍රයා පසුව වරද පිළිගත්තේය. වෙළෙඳ සැල් හිමිකරුවකුගේ දියණිය වූ මාගරට් තැචර් කිසිම සිද්ධියකට නොසැලුණු කාන්තාවක් යෑයි ලන්ඩන් නගරාධිපති බොරිස් ජෝන්සන් කියා සිටීයේය. බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වින්සන් චර්චිල්ගෙන් පසු බ්‍රිතාන්‍යයට සිටි දක්‍ෂතම දේශපාලඥයා තැචර් යෑයි දේශපාලන නිරීක්‍ෂකයෝ පවසති. ඇගේ දේශපාලන ඉතිහාසයේ පිළිබඳව නිරීක්‍ෂණය කරන විට දැඩි තීරණ ගත් දේශපාලන නායිකාවක් ලෙස බ්‍රිතාන්‍ය ඉතිහාසයට එක් වී තිබේ. තැචර් බලයට පත් වූ විගස පාසල් දරුවන්ට නොමිලේ කිරි දීම නතර කළාය. මේ නිසා ඇයව හඳුන්වනු ලැබුවේ කිරි පැහැර ගත් තැනැත්තිය ලෙසිනි. එසේම සිය ගණනක් ප්‍රාථමික පාසල් වසා තැබීමට ඇය නියෝග කළාය. කෙසේ වෙතත් 1959 යේදී පින්ච් ලේ අසුන කොන්සවටිව් පක්‍ෂයෙන් ජය ලබා පාර්ලිමේන්තුවට පත් වූ තැචර් 1992 විශ්‍රාම යනතුරුම එකී අසුන රැක ගැනීමට සමත් වූවාය. 1951 දී රසායනික ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු වූ ඩෙනිස් සමග විවාහ වූ ඇයට කැරල් සහ මාක් යන දරුවන් දෙදෙනෙකුද සිටී. වසර 11 ක් තිස්‌සේ බ්‍රිතාන්‍ය දේශපාලනයේ රැඳී සිටි මාගරට් තැචර් අනිකුත් දේශපාලඥයන්ට වඩා ඉහළම තත්ත්වයේ සිටි බව බ්‍රිතාන්‍ය මාධ්‍ය කියා සිටී. ඇගේ ක්‍රියා කලාපය ගැන නිරීක්‍ෂණය කරන විට අයි. ආර්. ඒ. සංවිධානය සම්බන්ධයෙන් අනුගමනය කළේ මරා දැමීමේ පිළිවෙතයි. ජිබ්‍රල්ර්ටාර් හිදී බ්‍රිතාන්‍ය එස්. ඒ. එස්. බලකාය විසින් අයි. ආර්. ඒ ත්‍රස්‌තවාදීන් තිදෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක් මරා දැමීම ඊට නිඳසුනකි. තමාව මරා දැමීමට අයි. ආර්. ඒ සංවිධානය ගත් උත්සාහයෙන් පසු තැචර් ඇන්ගලෝ අයිරිෂ් ගිවිසුමද අස්‌සන් කරනු ලැබුවාය. මෙම ගිවිසුමෙන් ඇය අඩිතාලම දැමුවේ අයර්ලන්තය සහ බ්‍රිතාන්‍ය අතර සහයෝගීතාවයටයි. තැචර්ගේ අභාවය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති වැලඩමීර් පූටින් පැවසූවේ ත්‍රස්‌තවාදී බියගුල්ලන් හමුවේ නොසැලුණු ශ්‍රේෂ්ඨ කාන්තාවක් ලෙස තමා මාගරට් තැචර්ව හඳුන්වන බවත් ඇගේ දේශපාලනය අසමසම බවයි. විශ්‍රම යාමෙන් පසු තැචර් පවුන්ඩේෂන් නමින් සංවිධානයක් පිහිට වූ මාගරට් තැචර් ලෝ පුරා සංචාරය කරමින් විවිධ දේශපාලන කතා පැවැත්වූවාය. එහෙත් 2002 දී ඇයට හෘදයාබාධා ඇති වීමෙන් කතා පැවැත්වීම නවත්වන්නැයි වෛද්‍යවරුන් විසින් උපදෙස් දී තිබුණි. කෙසේ වෙතත් තැචර්ගේ අභාවය සම්බන්ධයෙන් ඇයට දොස් පවරන්නේ සිංපෙත් නායක ඡේරී ඇඩම්ස් පමණි. මාගරට් තැචර් අයර්ලන්ත හා බ්‍රිතාන්‍ය ජනතාවට වේදනාව ගෙන දුන්නේ යෑයි ඔහු කියා සිටියේය. මෙයට හේතුව නම් බ්‍රිතාන්‍ය ආරක්‍ෂක හමුදා ශක්‌තිමත් කළ තැචර් අයි. ආර්. ඒ සංවිධානය පරාජය බලාපොරොත්තු වීමයි. 1981 දී බ්‍රිතාන්‍යයේ මේස් සිරගෙදර අයි. ආර්. ඒ ක්‍රියාකාරීන් අයර්ලන්තයට ස්‌වයංaපාලනය ඉල්ලා කළ උපවාසයට තැචර් දැක්‌වූ ප්‍රතිචාරය නම් ත්‍රස්‌තවාදීන්ට උපවාසයක් මාර්ගයෙන් දේශපාලන හිමිකම් ලබා දෙන්නේ නැති බවයි.
මාගරට් තැචර් මියගියත් ඇය ලෝක ඉතිහාසයට එක් වූයේ ත්‍රස්‌තවාදීන්ගේ ඉල්ලීම්වලට එකග නොවු නොසැලුණු බියක් නැති කාන්තාවක් ලෙසිනි. ෂෙලි නැමැති කවියා වරක් මෙසේ පැවසීය. යමෙකු ජනතාව අතර සදානුස්‌මරණීය වන්නේ ඔහු ජීවත්ව සිටියදී නොව මිය ගියාට පසුවය. මාගරට් තැචර් ගැනද එයයි. ඇය අවසාන මොහොත දක්‌වාත් තමා ත්‍රස්‌තවාදීන් සම්බන්ධව ගත් ක්‍රියාමාර්ග වැරදි යෑයි කීවේ නැත. වසර ගණනකට පෙර ඇය අයි. ආර්. ඒ සංවිධානය දුර්වල කිරීමට ගත් ක්‍රියා මාර්ගය නිසා නිසි දේශපාලන ප්‍රවාහකයකට එළබීමට අයි. ආර්. ඒ සංවිධානයට සිදු විය. ඊට සමගාමීව මහසිකුරාදා ගිවිසුම අත්සන් කිරීමෙන් බ්‍රිතාන්‍ය සහ අයි. ආර්. ඒ. අර්බුදය සමථයකට පත් විය.
කීර්ති වර්ණකුලසූරීය
0 Comments