ගබ්සාව හා නූතන සංස්‌කෘතිය


ගබ්සාව සමාජයේ විවෘතව සාකච්ඡාවට නොගැනෙන කරුණක්‌වීමේ සමාජ අනතුර නම් නීති විරෝධී ගබ්සාවට ඉඩකඩක්‌ විවරවීමයි. එවිට හොරවෙදුන්ගේ හා හොර වෛද්‍ය මධ්‍යස්‌ථාන බිහිවීමේ අවදානමක්‌ ඇතිවේ. සාමාන්‍ය ජනයා සිය අවශ්‍යතාව මතුවූ විට කෙසේ හෝ ඊට විසඳුමක්‌ ලබාගැනීම පිණිස යොමුවනවා මිස තමන් යොමුවනුයේ නීතිගත වූ ආයතනය හා සුදුසුකම් සහිත වෛද්‍යවරුන් වෙතදැයි සොයාබැලීමේ හැකියාවක්‌ ඔවුන්ට නැත. කුමන හෝ අවදානමක්‌ ගෙන හොර රහසේම තමාගේ අවශ්‍යතාව ඉටුකරගැනීමට මානබැලීමට එබඳු අවශ්‍යතා උග්‍රවූ පිරිසට සිදුවේ. ඒ නිසා එම පිරිසට සාධාරණයක්‌ ගබ්සාව නීතිගත කර තැබීම තුළ ඉටුවෙතැයි පැවැසිය හැකිය.

ගබ්සාව (Abortion) යනුවෙන් හැඳින්වෙන්නේ නීත්‍යානුකූල පදනමක්‌ ඇතිව හෝ නැතිව මව්කුසයෙන් පිළිඳකු බිහිවීමට පෙර ඒ ළඳරු කළලය විනාශ කිරීමයි. වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතා සඳහා දරු ප්‍රසූතියකට මුහුණපෑ නොහැකිවූ බරපතල අවදානම්කාරී තත්ත්වයේ පසුවන මවකගේ ජීවිතය බේරාගැනීම පිණිස නීත්‍යානුකූල පදනමක්‌ යටතේ ගබ්සාව සිදුකරනු ලැබේ. සමාජයීය හා පුද්ගල වශයෙන් උද්ගතවන පිළිගතහැකි හේතු මතද ගබ්සාවක්‌ සිදුකිරීමට හැකිය. මෙසේ ගබ්සාවක්‌ සිදුකරනුයේ ඒ සඳහා වෙනත් විකල්පයක්‌ නැතිම අවස්‌ථාවක පමණකි. හුදෙක්‌ අවිවාහක යුවතියක්‌ පිළිසිඳ ගැනීමකට ලක්‌වූ විට, ඒ පිළිසිඳ ගැනීම දූෂණයට. අතවරයට පත්වීම නිසා සිදුවූවක්‌ වන අවස්‌ථාවකදී ගබ්සාවේ පිහිටපතා නීත්‍යානුකූලව හෝ ඉන් පරිබාහිරව ක්‍රියාකරන අවස්‌ථා දැකගත හැකිය. නමුදු ගබ්සාව බහුලව දක්‌නට ලැබෙනුයේ මේ හේතු නිසාම නොවන අවස්‌ථාද තිබේ. විවාහයෙන් පරිබාහිර ලිංගික ඇසුර, නීත්‍යානුකූල සැමියාගේ නොවන, විවාහයට පෙර ලිංගික ඇසුර නිසා ආදී සාවද්‍ය චර්යා හේතුවෙන් සිදුවන පිළිසිඳ ගැනීම්වලදී ගබ්සාවේ පිහිට පතා පැමිණෙන අය වඩා බහුලබව සායනික අත්දැකීම් තුළදී බොහෝ විට දැකගැනීමට ලැබේ. අද මේ තත්ත්වය සමාජයේ වැඩිදෙනකු අතර කතාබහට ලක්‌ නොවෙතත්, සමාජ දේහය තුළ පිළිකාවක්‌ පරිද්දෙන් මුල්බැසගත් දෙයක්‌ බවට පත්ව තිබේ. විවෘත චර්යාව සමාජ සම්මතව පවතිද්දී, බටහිර සමාජක්‍රමයේ ආභාෂය ලැබීමට ජනතාව වඩාත් යොමුවෙත්ම නිදහස්‌ ලිංගික ඇසුර ලබා ගැනීම කෙරෙහි යෞවන යෞවනියන් යොමුවීමේ අනතුර සමාජය ඉදිරියේ අද පවතී. පුරාණ සමාජයේදී කාන්තාවකගේ පවිත්‍ර බව ඉතා උසස්‌ ලෙස සමාජ වටිනාකමක්‌ව සැලකිනි. නමුදු අද ස්‌ත්‍රියකගේ භූමිකාව පුරාණ සමාජයේදීට වඩා ඉතා විවෘත නිදහස්‌වූවකි. එහි විවෘත, නිදහස්‌ බව නිවැරදි ලෙස භාවිත කිරීමට වඩා ඉන් අයුතු ප්‍රයෝජන ගැනීමට බහුලව යොමු වීමේ ප්‍රවණතාව නිසා ගබ්සාව පාලනය කළ නොහැකි ලෙස සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. නමුදු සාමාන්‍ය සමාජයට මේ සමාජ අනතුර එක්‌වරම ප්‍රදර්ශනය නොවේ. මන්ද තවමත් අපේ සමාජය ප්‍රශ්න එළිපිට කතාබහට ගැනීමට වඩා හංගගෙන කටයුතු කිරීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ලැබෙන බැවිනි. එහි දැඩි අවදානම වනුයේ කිසිවෙකු නොදැනම ප්‍රශ්න උඩු දිවීමයි.

කෙසේ වෙතත්, ලෝකයේ බොහෝ රටවල ගබ්සාව ඉතා සාමාන්‍ය දෙයකි. මන්ද එබඳු රටවල එය නීතිගතකොට ඇති බැවිනි. එනිසා එවැනි රටවල ගබ්සාවක්‌ යනු ඉතා පහසුවෙන් කරගතහැකි ඉතා සාමාන්‍ය දෙයකි. එය එක්‌ අයුරකින් හොඳය. තවත් අයුරකින් නරකය. එහි දක්‌නට ඇති හොඳ පැත්ත නම් සුදුසුකම් සහිත වෛද්‍ය පහසුකම් නිසි ලෙස ලබා ගැනීමේ හැකියාව ලැබීමය. හොර රහසේ සිදුකරන විට සුදුසුකම් ඇති වෛද්‍යවරුන්ගේ සේවය හා සෞඛ්‍ය පහසුකම් නිසි ලෙස ලැබීමේ දුෂ්කරතාවක්‌ මතුවන බැවිනි. ගබ්සාවට නීතිමය රැකවරණය සැලසීමේ ඇති අයහපතනම් ඕනෑ දේට මෙන්ම එපාදේටද බහුලව භාවිතයට ගතහැකි වීමයි. එවිට සැබවින්ම ගබ්සාව අත්‍යවශ්‍ය පිරිසට පමණක්‌ නොව ඕනෑම දෙයක්‌ කර පසුව සමාජ අවමානයෙන් ගැලවීමේ කදිම මඟක්‌ වැරදි කරුවන්ට මෙමගින් හිමිවන බැවිනි. ඒනිසා ගබ්සාව සමාජ පිළිගැනීමක්‌ ඇති දෙයක්‌ බවට පත්කිරීමේ යහපත් හා අයහපත් පැතිකඩ දෙකක්‌ ඇති බව වටහාගත යුතුය. බොහෝ විට මිනිසුන් භාවිතයට ගන්නේ හොඳ පැතිකඩට වඩා නරක පැතිකඩවීම මෙහි ඇති අනතුරුදායක තත්ත්වයයි. එම නිසාම ගබ්සාව නීතිගතකොට සමාජ පිළිගැනීමක්‌ ඇතිදෙයක්‌ බවට පත්කිරීම පනින රිළවුන්ට හිණිමං තැබීමක්‌ හා සමාන විය හැකිය. දැනටද රෝහල්වල අවශ්‍යතාව ඇති රෝගීන්ට ගබ්සාව සිදුකෙරේ. නමුදු එහි අවශ්‍ය, අනවශ්‍ය බව තීරණය කිරීම වෛද්‍යවරුන්ට බාර කටයුත්තකි. ඒ හැර ඕනෑම අයෙකුට මුදල්ගෙවා සිය අභිමතය පරිදි ගබ්සා සිදුකරවා ගත නොහැකිය. වත්මන් යුගයේ වැඩිහිටි ස්‌ත්‍රීන්ට වඩා ලාබාල යුවතියන් අතර ගබ්සාව සුලබ බව පැවැසීමට සිදුව ඇත්තේ කනගාටුවෙනි. මේ සමාජය තුළ හෙළිදරව්නොවන එක්‌ සමාජ පැතිකඩක්‌ බව අවිවාදිතව දැක්‌විය යුතුමය. මින් බොහෝ යුවතියන් තවම පාසල් යන වයසේ පසුවන්නියන්ය. බොහෝ විට ලිංගික අපයෝජන, අතවර, බලහත්කාරකම්, දූෂණයවීම් ආදියට මුහුණ දීම නිසා ලාබාල වියේදීම ගර්භනී බවට පත්වන යුවතියන්ය. අනුරාධපුර, අම්පාර, මොණරාගල, බදුල්ල ආදී දුෂ්කර පළාත් වල මේ තත්ත්වය වඩාත් සුලභ වශයෙන් දක්‌නට ලැබේ. සාමාන්‍යයෙන් වයස අවුරුදු 14-20 අතර යුවතියන්ගෙන් 58% ක්‌ද, අවුරුදු 20-30 අතර ස්‌ත්‍රීන්ගෙන් 29% ක්‌ද, අවුරුදු 30-40 අතර ස්‌ත්‍රීන්ගෙන් 13% ක්‌ද ගබ්සාවට ලක්‌වන බව හෙළිවී තිබේ.

ගබ්සාව සමාජයේ විවෘතව සාකච්ඡාවට නොගැනෙන කරුණක්‌වීමේ සමාජ අනතුර නම් නීති විරෝධී ගබ්සාවට ඉඩකඩක්‌ විවරවීමයි. එවිට හොරවෙදුන්ගේ හා හොර වෛද්‍ය මධ්‍යස්‌ථාන බිහිවීමේ අවදානමක්‌ ඇතිවේ. සාමාන්‍ය ජනයා සිය අවශ්‍යතාව මතුවූ විට කෙසේ හෝ ඊට විසඳුමක්‌ ලබාගැනීම පිණිස යොමුවනවා මිස තමන් යොමුවනුයේ නීතිගත වූ ආයතනය හා සුදුසුකම් සහිත වෛද්‍යවරුන් වෙතදැයි සොයාබැලීමේ හැකියාවක්‌ ඔවුන්ට නැත. කුමන හෝ අවදානමක්‌ ගෙන හොර රහසේම තමාගේ අවශ්‍යතාව ඉටුකරගැනීමට මානබැලීමට එබඳු අවශ්‍යතා උග්‍රවූ පිරිසට සිදුවේ. ඒ නිසා එම පිරිසට සාධාරණයක්‌ ගබ්සාව නීතිගත කර තැබීම තුළ ඉටුවෙතැයි පැවැසිය හැකිය. ගබ්සාව නීතිගත කර තිබුණද නොතිබුණද ඒ අවශ්‍යතාව උද්ගතවූ විට එය ඉටුකර ගැනීමට යුහුසුළුවීම සාමාන්‍ය මිනිස්‌ ස්‌වභාවයයි. නිසි සෞඛ්‍ය පහසුකම් හා සුදුසුකම් ඇති වෛද්‍යවරුන් අතින් එය ඉටුනොවන විට නුසුදුසු ස්‌ථාන කරා ඇදීගොස්‌ හෝ සිය අවශ්‍යතාව කෙසේ හෝ ඉටුකරවා ගැනීමට ඔවුහු මාන බලති. ගබ්සාවක්‌ සිදුකරන තැනට අවශ්‍යතාව ඇතිවූ විට එය සදාචාර විරෝධීද, නැද්ද යන පිළිබඳව ඒ පිරිසට අනුශාසනාකර කිසිදු ඵලක්‌ නැත. සිදුවිය යුත්තේ එවැනිදේ ඇතිවීමට පෙර නිසි ක්‍රියාමාර්ග ගැනීම තුළින් එබඳු දේ වළක්‌වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමයි. මවගේ ජීවිතයට අනතුරක්‌ වියහැකි බැවින් වෛද්‍ය නිර්දේශය මත සිදුවන ගබ්සාව හැර අන් සියලුම වර්ගයේ ගබ්සා කිරීමේ ක්‍රම සදාචාර විරෝධී බව පැවැසිය හැකිය. මෙහි සදාචාර විරෝධී යන්න දක්‌වා ඇත්තේ ආගමික ඉගැන්වීම්වලට අනුකූල නොවීම හා සමාජ සම්මත සදාචාරයට එකඟනොවීම යන කරුණු දෙක අරමුණු කොටය. දරුවෙකු පිළිසිඳ ගැනීමේ ආරම්භයේ පටන්ම එය පවතිනුයේ සජීවි සෛල පොදියක්‌ ලෙසිනි. වෙනත් වදනකින් පැවසුවහොත් එය නව ජීවිතයෙකි. බුදුදහම අනුව මව හා පියා එක්‌වීම තුළ පිළිසිඳ ගැනීම යනු පටිසන්ධි විඤ්Æණය බැසගැනීමකි. එම පිළිසිඳගැනීම ඇතැම්විට පියවි දෙනෙතට නිරීක්‍ෂණය කළ නොහැකි තරම් අති සියුම්බව සූක්‍ෂමතාව සහිත දෙයක්‌ විය හැකිය. නමුදු පියවි ඇසට නොපෙනුනද එය නව ජීවියෙකුගේ මුල්ම ඇරඹුම බව බුදුදහම පිළිගෙන තිබේ. මේ නිසා පිළිසිඳගත් කළලය අනුක්‍රමයෙන් වර්ධනයවී අවශ්‍ය මාස ප්‍රමාණය පිරී බිහිවන අවස්‌ථාව දක්‌වා ජීවියෙකු බව බෞද්ධ ආකල්පයයි. පණ තිබෙන බව දැන දැන එය විනාශකිරීම නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවේ. ගබ්සා නිසා ඝාතනය වනුයේ පණඇති ජීවියෙකි. ගබ්සාව ප්‍රාණඝාත අකුසලයකි. එබැවින් බුදුදහමින් ගබ්සාව අනුමත නොකරයි.

ගබ්සාවේ සමාජ විද්‍යාත්මක පැතිකඩක්‌ද තිබේ. එනම් අවිවාහක යුවතියකට කිසියම් හේතුවක්‌ නිසා දරුවෙක්‌ පිළිසිඳ ගතහොත් ඇයට මුහුණපෑමට සිදුවන සමාජ අපවාදයයි. ඇයට කෙසේවත් නිරුපද්‍රිතව දරුවෙකු බිහිකොට ඇති දැඩි කිරීමට මේ සමාජය ඉඩනොදේ. දරුවෙකු බිහිකිරීමේ අපවාදය, නින්දාව නිසා ඇයට සාම්ප්‍රදායික විවාහ දිවියට ප්‍රවිශ්ඨ වීමේ ඉඩකඩ පවා ඇගෙන් මේ සමාජය බලහත්කාරයෙන් උදුරාගනු ලැබේ. මේ නිසා අසරණ දරුවෙකු සමග හුදකලා යුවතියකට දරුවා හදාවඩා ගැනීමේ අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා මේ සමාජක්‍රමයට අනුව ඇයට අනිවාර්යයෙන්ම තෝරාගැනීමට සිදුවනුයේ ලෝකයේ පැරණිම වෘත්තියයි. දැඩි ආර්ථික දරිද්‍රතාවයේ අර්බුදයට හසුවන යුවතියකට මේ මග තෝරාගැනීමට සිදුවනුයේ ඇගේ බලවත් අකමැත්ත පිටය. මන්ද කෙසේ හෝ දරුවා හදාවඩා ගෙන තමන්ද ජීවත් විය යුතු බැවිනි. මෙබඳු සිදුවීමකට මුහුණපෑ යුවතියකට සිය පවුලෙන්ද කොන්වීමට සිදුවේ. මන්ද ඇගේ පවුලේ සෙසු අය පවා සමාජයේදී කොන්කර දැමීමට මිනිසුන් ක්‍රියාකරන බැවිනි. මේ සිදුවීම සිදුවූයේ ගමක නම් බොහෝවිට පවුලේ අයට තවදුරටත් ඒගමේ විසීමට නොහැකි තත්ත්වයක්‌ උදාවේ. ඒ පවුල් මුහුණදෙන නින්දාව, අපහාසය එතරම් බලවත්ය. මෙබඳු සිදුවීම්වලට මුහුණ පෑ යුවතියන් බහුලව සියදිවි නසා ගැනීමට යොමුවන ප්‍රවණතාවක්‌ද විද්‍යමානය. එයට හේතුව ලාබාල වයසේ පසුවන බැවින් මෙබඳු නින්දා, ගැරහුම්, අපහාස, සමාජ අවමාන ආදියට මුහුණපෑමට එබඳු යුවතියකට අපහසුවීමයි. මෙබඳු තත්ත්වයකට මුහුණ පෑ යුවතියකට මෙන්ම ඇගේ පවුලේ සෙසු අයටද සියදිවි නසා ගැනීමේ මාවතට තල්ලුකරදමා මුළු පවුලම අපකීර්තියට පත්කරවීමට මිනිසුන්ට ඇතිවන තදබල ආශාව හා වුවමනාව සංස්‌කෘතිකගතව පැවතෙන්නකි.

මෙරට සංස්‌කෘතික ගබ්සාව පිළිබඳ දක්‌වන සමාජ ආකල්පය මෙයට හේතුවයි. බොරු කුහක බවේ සළුපිළි පොරවා වැරදීමක්‌ සිදුවූ යුවතියකව සදහටම සමාජයෙන් කොන්කරවා තැබීමේ වුවමනාව බොහෝ විට පිරිමින්ට වඩා ස්‌ත්‍රීන් තුළ අධික වශයෙන් ඇති බව දක්‌නට ලැබේ. මෙබඳු කුණු කන්දල් ඕපාදූප ලෙසින් කටකතා මගින් ප්‍රචාරණය කරවීමට මූලික ස්‌ථානය ගනුයේද බොහෝ විට ස්‌ත්‍රීන්ය. ස්‌ත්‍රීන් තමන් වැනිම යුවතියකට එරෙහිව ගෙනයන ප්‍රචාරාත්මක අපහාසය නිසා අසරණ වූ ඇයට කිසිවක්‌ කරකියාගත නොහැකිව ඇතැම්විට මෙලොවින්ද සමුගැනීමට සිතන බව පෙනේ. බොහෝවිට පාසල් වියේ යුවතියකට පිළිසිඳ ගැනීමක්‌ ඇතිවනුයේ ඇය බලහත්කාරයෙන් දූෂණය කිරීමකට ලක්‌වූ බැවින් විය හැකිය. එවිට මෙබඳු යුවතියක ගර්භනී බවට පත්ව ඇත්තේ කිසිසේත් ඇගේ කැමැත්තෙන් නොවන බව පෙනී යයි. යම් ස්‌ත්‍රියකට බලහත්කාරයෙන් සිදුවූ දූෂණය කිරීමකදී සිදුවන පිළිසිඳ ගැනීම් ඇගේ දැඩි විරෝධය මැද සිදුවන දේ නිසා අනවශ්‍ය පිළිසිඳ ගැනීම් ලෙස පෙන්වාදිය හැකිය. එබඳු අවස්‌ථාවකදී එබඳු යුවතියක ලවා දරුවෙකු බිහිකරවීමට ගොස්‌ ඇයව සමාජය තුළ තවතවත් අසරණ බවට පත්කිරීම වෙනුවට ඇගේ අනාගත යහපත තකා ගබ්සාව අනුමත කළ හැකිය. අද යුවතියකට මේ සමාජය සුරක්‍ෂිත තැනක්‌ නොවේ. සමාජය තබා වරෙක සිය නිවෙස පවා යුවතියකට අනාරක්‍ෂිත බව ජනමාධ්‍යයන්හි දිනපතා පළවන විවිධ පුවත් අනුව පැහැදිළි වේ. මව්වරුන් විදේශගත වී රැකියාවල නියුතු වීම නිසා බොහෝ විට සිය පියා හෝ පවුලේ සමීපතම ඥතීන් අතින්ම ලිංගික අතවරවලට ලක්‌ව ගර්භනී බවට පත්වන දියණිවරුන් පිළිබඳව තොරතුරුද දිනපතා අසන්නට ලැබේ. සිය නිවස පවා එබඳු ලාබාල දැරියන්ට අනාරක්‍ෂිත වනවිටදී සමාජය ගැන කියනුම කවරේද?

විවාහයෙන් පිට බාහිර ලිංගික සබඳතා දැඩි අනාරක්‍ෂිත පසුබිම මැද පැවැත්වීම නිසාද අනවශ්‍ය පිළිසිඳ ගැනීම් ඇතිවිය හැකිය. සිය නීත්‍යානුකූල විවාහ සහකරුට නොදැනුවත්ව අසම්මත, අයථා සබඳතා පැවැත්වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස සිදුවන පිළිසිඳ ගැනීම්වලදී බොහෝවිට ගබ්සාවේ අවශ්‍යතාව ඇතිවේ. රැකියා අවස්‌ථා පිණිස දිගුකාලසීමාවක්‌ විවාහක සහකරුගෙන් ඈත්ව සිටීම, බොහෝවිට අසම්මත, අයථා සබඳතාවක්‌ පැවැත්වීමට කායික, මානසික අවශ්‍යතාව ඇතිවිය හැකි හේතුවකි. විදේශ රැකියාවල නියුතුව සිටීම, දුර බැහැර පිටපළාත් වල දිගු සේවා කාලයක්‌ සේවය කිරීම වැනි හේතුන් නිසා නීත්‍යානුකූල විවාහයට බාහිර කායික, මානසික තෘප්තිය ලැබීම පිණිස අසම්මත, අයථා සබඳතා ගොඩනඟා ගැනීමේ හුරුපුරුදුකම් බහුලව ඇතිවේ. නමුදු එසේ රැකියාවල නියුතු සෑම අයෙකුම මෙසේ යෑයි මින් නොකියවේ.

එබඳු අවස්‌ථාවල ඇතිවන අනවශ්‍ය පිළිසිඳ ගැනීම්වලදී බොහෝවිට නීත්‍යානුකූල නොවන ගබ්සා මධ්‍යස්‌ථාන කරා එළඹ, සුදුසුකම් නැති අය ලවා මුදල් විය පැහැදම් කොට ගබ්සා කරවා ගැනීමට යොමුවීම නිසාද දැනට සංඛ්‍යාලේඛනගතවී නොමැති විශාල ප්‍රමාණයක්‌ ගබ්සාවට ලක්‌වූ අය සිටින බවට දැනගැනීමට ලැබේ. එසේම විවිධ රැකීරක්‍ෂා පතා විවිධ දුරබැහැර ප්‍රදේශවල සිට නගරයට සේන්දුවන යුවතියන් අතරින් බහුතර පිරිසක්‌ද විවිධ වංචනික සල්ලාල පිරිස්‌වල පහසු ගොදුරක්‌ව පළමුව දූෂණයට ලක්‌වූ පසුව කිසිත් කරකියාගත නොහැකි අවස්‌ථාවේදී මුදලට විකිණෙන අවස්‌ථා අනන්ත අප්‍රමාණය. එබඳු ලාබාල යුවතියන්ට සිදුවන පිළිසිඳගැනීම්වල දී බොහෝවිට විවිධ කූට තැරැව්කරුවන්ගේ මාර්ගයෙන් යොමුවනුයේ නීති විරෝධී ගබ්සා මධ්‍යස්‌ථාන හා නුසුදුසු අය වෙත බැව් නොරහසකි. දූෂණයට ලක්‌ව පිළිසිඳ ගැනීමකදී ඒ සියල්ල රහසේ තැබීමේ අවශ්‍යතාව නිසා මෙලෙස සිදුවේ.

කුඩාවියෙහි පටන් ධනවත් නිවෙස්‌වල මෙහෙකාරකම්හි නියෑළි යුවතියන්ට බොහෝවිට එබඳු නිවෙස්‌වල විසූ හාම්පුතුන් අතින් සිදුවන ලිංගික අතවරවලදී පිළිසිඳ ගැනීම් ඇතිවේ. එබඳු අවස්‌ථාවලදී අවශ්‍ය තරම් මුදල් වියපැහැදම් කර රහසේ එබඳු පිළිසිඳ ගැනීම් ගබ්සා කරවීමට වෑයම්කරනු ලැබේ. එවිටද බහුලව නීත්‍යානුකූල නොවන ක්‍රමයට අවශ්‍යවූ දේ ඉටුකර ගැනීමට ඔවුන් යොමුවේ.

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

Post a Comment

0 Comments