මිනිසුන් විසින් ජනනය කරන කසල ගොඩගැසීම හෝ පස් යොදා ගොඩකර විකල්ප සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම හැර වෙනත් කිසිදු වැදගත්කමක් නොමැති හුදෙකලා භූමියක් ලෙස ගැරහුමට ලක්‌ව තිබුණු තෙත් බිම්වල වටිනාකම මිහිතලයේ වකුගඩු (ණසාබැහි දෙ Eaරඑය) දක්‌වා උතුම් බව ලෝකයා වටහා ගන්නේ 1970 දශකයේදී පමණය. ඒ 1971 දී ආරම්භ වී 1975 වසරේදී ක්‍රියාත්මක වූ රම්සා සම්මුතියත් සමගය. මේ යටතේ 1974 දී ආරම්භ වූ ජාත්‍යන්තර වටිනාකමක් සහිත රම්සා තෙත් බිම් නාමාවලිය සකස් කිරීම අන්තර්ජාතික වශයෙන් තෙත් බිම් පිළිබඳ පොදුජනතාවගේ හා පාලකයන්ගේ අවධානය යොමුවීමට හේතුවක් විය. නමුත් රම්සා තෙත් බිම් නාමාවලියට ඇතුළත් කරන ලද ශ්‍රී ලංකාවේ දෙවැනි තෙත් බිම නම්, මේ වන විට පවතින්නේ බලධාරීන්ගේ අවධානයෙන්ද ගිලිහෙමින් ඉතා ශෝචනීය තත්ත්වයකය. ඒ අන් කිසිවක් නොව වයඹ පළාතේ පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති ආනවිලුන්දාවයි.
ලොව පුරා ඉතා වැදගත් තෙත් බිම් සිසාරා ඇදී ගිය රම්සා තෙත් බිම් නාමාවලියට වර්ෂ 2001 අගෝස්‌තු 03 වැනිදා ශ්‍රී ලංකාවේ දෙවැනි රම්සා තෙත් බිම ලෙස ආනවිලුන්දාව ඇතුළත් වන්නේ සැබෑ ලෙසම එහි පැවැති පෘථුල ජෛව විවිධත්වය හේතුවෙනි. නමුත් අවාසනාවක මහත නම් නොයෙකුත් අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් සහ මෙහි වෙසෙන ප්‍රකටම ජීවී විශේෂ වන ජලචර පක්‌ෂීන් දඩයම් කිරීම නිසා අද වන විට ආනවිලුන්දාව ඈලියාවට යමින් පැවතීමය.
අතිශය ජෛව විවිධත්වයකින් යුත් තෙත් බිමක් ලෙස සංකතිය වන්නට පෙර ආනවිලුන්දාව වැව් සංකීර්ණය ඓතිහාසික වටිනාකමකින් යුතු වාරි නිමැවුමකි. එකිනෙකට සම්බන්ධ ප්‍රධාන වැව් පහකින් සහ පරිවාරක වැව් දෙකකින් සමන්විත මෙම නොගැඹුරු වැව් පද්ධතිය මහා පරාක්‍රමබාහු රජතුමාගේ යුගයේ ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම වැව් සුරුවිල, ආනවිලුන්දාව, මයියාව, මරදන්සෝලේ, පිංකට්‌ටිය, වෙල්ලාවල සහ ඉරක්‌කාවෙල ලෙස හැඳින්වෙන අතර ඒවායේ උපරිම ගැඹුර අඩි 4 - 5 කට නොවැඩිය. අතීතයේදී වැසි ජලය සංරක්‍ෂණය කරගැනීම සඳහා ඉදිකළ මෙම වැව් පද්ධතිය කුඹුරු ඉඩම් හෙක්aටයාර් 412ක් පමණ අස්‌වැද්aදීමට අවශ්‍ය වාරි ජලය සපයා දී තිබිණි. වැව් බැමි මගින් එකිනෙකට බැඳී ඇති මෙම ජලාශ දෙපසින් කුඹුරු හා ගම්මාන පිහිටා ඇති අතර වැව් බැමි මාර්ග වශයෙන් භාවිත කෙරෙයි. ඩී. ඇස්. සේනානායක මහතා විසින් මෙම තෙත් බිමට ජලය සැපයීම සඳහා සෙංගල්ඔය ව්‍යාපාරය කරවන ලද අතර එමගින් දැදුරු ඔයේ ජලය රතඹලා ඔය ඔස්‌සේ මෙම වැව් පද්ධතිය වෙත ගලා ඒමට සලස්‌වන ලදී.
එකිනෙකට වෙනස් පරිසර පද්ධති කීපයකින් සමන්විත ආනවිලුන්දාව එහෙයින්ම වඩාත් පුළුල් ජෛව විවිධත්වයකටද උරුමකම් කියයි. කඩොලාන, ලවණ කලපු, කිවුල් දිය ඇළ මාර්ග, කිවුල් දිය තෙත් බිම්, වැව් හා කෘෂිකාර්මික පරිසර පද්ධති මේ තුළ දැකගත හැකි අතර ඒ තුළ දැවමය ශාක 110ක් පඳුරු ශාක 54ක්, පැළෑටි විශේෂ 68ක් වැල් වර්ග 30ක් සහ අපි ශාක විශේෂ 02ක් ඇතුළුව ශාක විශේෂ 264ක් මෙම තෙත් බිම ආශ්‍රිතව හඳුනාගෙන ඇත.
ආනවිලුන්දාව තෙත් බිමේ දැකිය හැකි ප්‍රධානම සත්ත්ව කාණ්‌ඩය වනුයේ පක්‌ෂීන්ය. සැබෑ ලෙසම ආනවිලුන්දාව විහඟුන්ගේ ආලකමන්දාවක් බඳුය. නොයෙකුත් විශේෂවල නොයෙක් වර්ණවලින් යුත් නොයෙකුත් ගොදුරු බිම් පරිභෝජනය කරන පක්‌ෂීන් විශේෂ 170ක් පමණ මෙම පරිසරය තුළ නිරීක්‍ෂණය කර ඇත. දේශීය මෙන්ම පර්යටන පක්‌ෂීන් 37ක්‌ද, ඒ අතර වෙයි. විශේෂයෙන් දිවයිනේ බටහිර වෙරළ ඔස්‌සේ පහළට පැමිණෙන විදේශීය පක්‌ෂි විශේෂ මෙම තෙත් බිම තම තාවකාලික නවාතැන්පොළ බවට පත්කර ගනිති. අවස්‌ථා කීපයකදී මෙම රමණීය තෙත් බිමේ පක්‌ෂීන් නිරීක්‍ෂණය කිරීමට මෙම ලියුම්කරුටද හැකියාව ලැබී ඇතත් ප්‍රදේශවාසීන් පවසන්නේ අතීතයේදී ඉතා විශාල පක්‍ෂීන් ප්‍රමාණයක් මෙහි දැකගත හැකි වුවද වර්තමානයේදී එසේ නොවන බවය.
ඊට අමතරව උරඟ විශේෂ 30ක් මිරිදිය මසුන් විශේෂ 29ක් කිවුල්දිය මසුන් විශේෂ 18ක්, ක්‌ෂීරපායින් විශේෂ 20ක්, උභය ජීවී විශේෂ 09ක්, සමනල විශේෂ 74ක් මෙහිදී හඳුනාගෙන ඇති බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති.
ආනවිලුන්දාව තෙත් බිමේ ඇති පාරිසරික වටිනාකම් මෙන්ම ජෛව විවිධත්වයද හේතුවෙන් 1997 ජුනි 11 වැනිදා මෙම තෙත් බිමට අයත් හෙක්‌ටයාර් 1397ක භූමි ප්‍රමාණයක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. වනජීවී හා වෘක්‌ෂලතා ආරක්‍ෂක ආඥ පනතේ ප්‍රතිපාදන යටතේ ප්‍රකාශයට පත්කරන ලද ආනවිලුන්දාව අභය භූමිය තුළ සිදුවන අනර්ථකාරී මිනිස් ක්‍රියාකාරකම් පාලනය කිරීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව බැඳී සිටී. නමුත් වර්තමානයේ ආනවිලුන්දාව තෙත් බිම මුහුණදී සිටින සංකීර්ණ තත්ත්වය එහි දිවිගෙවන විහඟුන් තරම් සුන්දර නැත. දැදුරු ඔයේ වැලි ගොඩදැමීම නිසා රතඹලා ඔය මගින් මෙම තෙත් බිමට ගලා එන ජල ප්‍රමාණය සීමා වී ඇති අතර එමගින් මෙම පරිසර පද්ධතියේ පැවැත්මට දැඩි බලපෑම් එල්ලවී ඇත. වර්ෂා සමයට වැව් පිරී ඉතිරී ගිය වසර පුරාම කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබාදීමට ද එම නිසා මෙම තෙත් බිම අපොහොසත්ව ඇත. ඒ හේතුවෙන් වන ජීවීන් මෙන්ම ආශ්‍රිත ගොවි ජනතාවද කබලෙන් ලිපට විසිවී ඇත. තවද රතඹලා ඔයේ ජල පෝෂක ප්‍රදේශය විනාශ වී යාම නිසා තත්ත්වය තවත් සංකීර්ණ වී ඇත. තවද වෙල්ලාවල සහ ඉරක්‌කාවෙල යන වැව්වලට පසුගිය කාලයේ රොන්මඩ අධික ලෙස තැන්පත් වීම නිසා ජලය රඳවා ගැනීමට අපොහොසත් වී ඇත.
පසුගිය කාලයේ පෞද්ගලික දේපළ වෙළෙ¹ම් සමාගමක් මගින් මෙම ප්‍රදේශය ආශ්‍රිතව ඉඩම් කට්‌ටි කර විකිණීමටද තැත් කළ අතර ප්‍රදේශයේ දේශපාලන හිතවතුන් හා ධනවතුන් තම මනදොළ පිනවා ගැනීම සඳහා මෙහි පක්‌ෂීන් දඩයම් කිරීමද ආනවිලුන්දාවේ හෙට දවස අවාසනාවන්ත තත්ත්වයට ඇද දමා ඇත.
ආනවිලුන්දාව තෙත් බිම සතු අගනා සොබා උරුමයට සැබෑ වටිනාකමක් අත්කර දීමට අන්තර්ජාතික රම්සා සම්මුතිය කටයුතු කළද ඒ වටිනාකම අනාගත පරපුර සඳහා ආරක්‍ෂා කර තැබීමේ වගකීමෙන් අද වන විට සියලු බලධාරීන් කරහැර ඇති බව අපගේ වැටහීමයි. නමුත් අද අදවත් මෙම රමණීය තෙත් බිමේ සංරක්‌ෂණය වෙනුවෙන් උරදීමට අපට හැකි නම් ආනවිලුන්දාව හෙවත් විහඟුන්ගේ ආලකමන්දාව සුරක්‌ෂිත කිරීමට අප තවමත් ප්‍රමාද නැත.
සටහන හා ඡායාරූප -
සුපුන් ළහිරු ප්‍රකාශ්
0 Comments