හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය


වර්ෂ 1876 දී ගම්පහ හෙනරත්ගොඩ ප්‍රදේශයේ අක්‌කර 36 ක භූමි භාගයක්‌ එවකට පේරාදෙනිය රාජකීය උද්භිත උද්‍යාන අධ්‍යක්‍ෂ වරයාවූ ආචාර්ය ජෝර්ඡ් ත්වේට්‌ස්‌ විසින් තෝරාගත්තේ ලංකාවට අලුත් ගස්‌ බෝග වගාවක්‌ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන්නටයි. මෙම බෝගය අනෙකක්‌ නොව බ්‍රසීලය නිජබිම වූ රබර් ගසයි.

හෙන්රි විකම් විසින් බ්‍රසීලයේ සිට එංගලන්තයේ කිව් රාජකීය උද්භිද උද්‍යානයට ගෙන ආ රබර් ඇටවලින් ලබාගත් පැළ හෙනරත්ගොඩට ගෙනගොස්‌ පර්යේෂණ වගාවක්‌ ලෙස ස්‌ථාපිත කිරීමෙන් අනතුරුව සුළු කාලයක්‌ තුළදී එය දකුණු ආසියාවේ ප්‍රධානතම රබර් බීජ හා පැළ බෙදා හැරීමේ මධ්‍යස්‌ථානය බවට පත්වීම සුවිශේෂ කරුණකි.

ඉන්පසු මෙම භූමි භාගය වෙනත් වගාවක්‌ හා පර්යේෂණ කටයුතුවලට යොමුවුණු අතර එහි මූලික නිර්මාණ කටයුතු සැලසුම් කළ මුහන්දිරම් ඒ ද සොයිසා මහතාගේ සිට මේ දක්‌වා උද්‍යානය භාරව කටයුතු කළ විවිධ නිලධාරීන්ගේ දක්‍ෂතා හා කැපවීම මත අලංකාරවත් ලෙස භූමි සැලසුම් කළ උද්භිද උද්‍යානයක්‌ බවට ක්‍රමයෙන් පත්විය.

හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය කොළඹට ඉතා ආසන්නව පිහිටා ඇති බැවින්, ගම්පහ හා කොළඹ ආශ්‍රිත දේශීය හා අපනයන මුල් වගාකරුවන්හට අවශ්‍ය නව තාක්‍ෂණික තොරතුරු ලබා දීමේ මල්වගා පර්යේෂණ හා සංවර්ධන ආයතනයක්‌ ලෙස එය වැඩි දියුණු කිරීමටත් ප්‍රජා සංවර්ධන වැඩපිළිවෙලක්‌ තුළින් මහජනයාට වඩා ඵලදායි ලෙස භුක්‌ති විඳීමට අවස්‌ථාව ඇති කිරීම තුළින් ආයතනික මූල්‍යමය ප්‍රතිලාභ ලබා ගැනීමටත් නව සංවර්ධන වැඩසටහනක්‌ දියත් කර ඇත.

එමෙන්ම කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් යානා හුවමාරු මගීන් සඳහා ගුවන්තොටුපොළට නුදුරු ආකර්ෂණීය ස්‌ථානයක්‌ ලෙස වැඩි දියුණු කිරීමටද සැලසුම් කර ඇත.

නව සංවර්ධන වැඩපිළිවෙලින් බලාපොරොත්තු වනුයේ උද්‍යානය පූර්ණ වශයෙන් මහජනතාවට ප්‍රයෝජනයට ගත හැකි වන ආකාරයට සංවර්ධනය කිරීම මගින් මහජනතාවගේ මානසික අධ්‍යාත්මික, ආර්ථික හා සමාජයීක සංවර්ධනයක්‌ හා උද්‍යානයට ආර්ථිකමය ප්‍රතිලාභ ලබා ගැනීමය. ගම්පහ හා කොළඹ අවට ඇති ප්‍රධාන ප්‍රජා මධ්‍යස්‌ථානයක්‌ බවට මෙම උද්‍යානය, මෙම සංවර්ධන වැඩපිළිවෙල තුළින් පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වේ.

ශාක පිළිබඳ විවිධ තොරතුරු මහජනයාට ලබාදීමේ නියෑලී සිටින වර්තමාන කාර්ය මණ්‌ඩලය විවිධ අධ්‍යාපන හා පුහුණු පාඨමාලා හා වැඩමුලු ප්‍රදර්ශන, පර්යේෂණ කටයුතුවල යෙදී සිටී. වසර කීපයක සිට ප්‍රදේශයේ මල් වගා කරුවන් සම්බන්ධ කරමින් වාර්ෂිකව පවත්වන මල් හා විසිතුරු පැළ ප්‍රදර්ශන කාගේත් සිත් යොමු වූ නව සංවර්ධන අංගයකි.

නව සංවර්ධන වැඩපිළිවෙල යටතේ උද්‍යානයට අක්‌කර 7 ක භූමි භාගයක්‌ අලුතින් එක්‌ කරන ලදී.

උද්‍යානයට අලුතින් එකතු කළ භූමි කොටසේ ඉදිකර ඇති වැවේ බෝට්‌ටු සේවාවක්‌ ආරම්භ කර ඇති අතර උද්‍යානයට දකුණු දෙසින් පිහිටි වෙල්යාය හා අත්තනගලු ඔය අසලින් ගම්පහ ජා ඇල ප්‍රධාන මාර්ගය දෙසින් නව ප්‍රවේශ මාර්ගය ඉදි කිරීමට නියමිතය.

ගම්පහ - ජා ඇල ප්‍රධාන මාර්ගයෙන් ඉදි කෙරෙන මේ නව පිවිසුම් මාර්ගය උද්‍යානයට දකුණු දෙසින් අත්තනගලු ඔය හරහා පාලම් පාරුවක්‌ මගින් නව භූමි කොටසට පිවිසෙන අතර ඉන්පසු උද්‍යානය පිටුපස දැනට ඇති මැඩිල්ල ඇළ හරහා ඉදිකළ නව පාලමින් උද්‍යානයට පිවිසේ. මෙම පිවිසුම් ස්‌ථානය ඉතා අලංකාර ලෙස නිර්මාණය කර ඇත. මේ සඳහා බස්‌නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ගම්පහ දිසාපතිතුමාගේ සහාය ලබා ගෙන ඇත.

පවුල් පිටින් සහභාගි විය හැකි ප්‍රජා හා සංස්‌කෘතික වැඩසටහන් මාසිකව හෝ අවස්‌ථානුකූලව සංවිධානාත්මකව ඉදිරිපත් කෙරෙන අතර බොහෝ විට අධ්‍යාපනය, පරිසර සංරක්‍ෂණය, පවිත්‍රතාවය මානසික හා කායික වර්ධනය වැනි තේමා යටතේ මෙම වැඩසටහන් සංවිධානය වී ඇත.

උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයක්‌ ඇසුරෙනි.

Post a Comment

0 Comments