උඩරට කඳුකරයට එළැඹෙමින් පවතිනුයේ වසන්ත උදාවයි. නැතහොත් නුවරඑළියේ සැළලිහිණි වසන්තයයි. අප්‍රේල් මාසය පුරා ලක්‌වාසී ජනතාවගේ සංචාරක පාරාදීසයක් බවට පත්වෙමින් උඩරට කඳුකරය අමුතුම සිරියකින් හැඩ වැඩ වීම මෙහිදී විශේෂත්වයකි.
මේ අතර ශ්‍රී පාද වන්දනා බැතිමතුන්ද උඩරට කඳුකරය හරහා යැම නිසා මෙම ජන සංචාරයන් තව තවත් ඔපවත් වී තිබේ. උඩරට කඳුකරයේ ප්‍රධාන වසන්ත උදාව පවත්වනුයේ නුවරඑළිය කේන්ද්‍ර කරගෙනය. එයට සමගාමීව බණ්‌ඩාරවෙලද වසන්ත උදාව සමරමින් ඉදිරියට ඒමට මහත් උත්සාහයක යෙදී සිටිනු දැනට වසර ගණනාවක සිටම අපි දුටිමු.
මේ හැරුණු විටද හපුතලයද එයට එක්‌වීමට විවිධ සංචාරක උපක්‍රම ක්‍රියාත්මක කරති.
කෙසේ වුවද වසන්ත උදාවට නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් කිසිවකු හෝ අගනුවර සිට මහනුවර හා හැටන් මාර්ගවලින් නුවරඑළියට ආවත් ඒ මාර්ගයේම ආපසු නොයති. ඔවුන් ආපසු යනු ලබන්නේ බණ්‌ඩාරවෙල හරහා රත්නපුර මාර්ගය ඔස්‌සේය.
ඒ අන් කිසිවක් නිසා නොව කඳුකරයේ වසන්ත සිරිය වැඩිපුර ඇත්තේ නුවරඑළිය, බණ්‌ඩාරවෙල හා හපුතලේ ආසන්නයේ බැවින්ය.
නුවරඑළිය වසන්ත උදාවට සම්ප්‍රදායික තුරඟ තරග හැරුණ විට විවිධ විශේෂාංගයන් අප්‍රේල් මාසය පුරාම නුවරඑළිය නගරයේ සංවිධානය කරති.
මේ නිසා දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන නුවරඑළිය ප්‍රදේශය ඉඩකඩ මඳවීම නිසා නුවරඑළිය වැලිමඩ මාර්ගයේ කැප්පෙටිපොළ දක්‌වාම ඔවුන්ගේ නවාතැන් පොළවල් කර ගනිති.
උඩරට වසන්ත සැණකෙළියේ ප්‍රධාන සංචාරක ස්‌ථාන වන්නේ තුරග තරග පවත්වන නුවරඑළිය නගරය හැරුණ කොට හක්‌ගල මල්වත්ත, ඔහියේ ලෝකාන්තය, හපුතලේ එඩිසන් බංගලාව හා දියතලාව පොක්‌ස් හීල් මෝටර් ධාවන තරගාවලියන්ය.
මෙයින් වැඩිම සංචාරක පිරිසක් ඇදී යන්නේ අති රමණීය වූ හක්‌ගල මල්වත්ත වෙතටය. හක්‌ගල මල්වත්තේ ඉතිහාසයද වසර අටදහසක් පැරැණි වන්නේ එයද රාම රාවණා කථා පුවතට සම්බන්ධ බැවින්ය.
රාවණා රජු දක්‌ෂ වෛද්‍යවරයකු ලෙසටද ප්‍රසිද්ධ වී සිටි බැවින් රාජකීය ඔසු උයන හක්‌ගල පිහිටා තිබූ බව කියෑවේ. රාමා - සීතා කතා පුවත්වල සඳහන් වන අන්දමට සීතා දේවිය ඌවපරණගම ලුණුවත්තේ ස්‌ත්‍රී පුර ගල්ලෙනේ සඟවා සිටියදී වැඩි කාලයක් ගත කිරීමට සිදුව තිබුණේ ඝනඳුර මධ්‍යයේ ලු.
එනිසාම දෝ සීතා දේවියට ආලෝකය ලැබීම මදවීමෙන් ඇස් රෝගයක් සෑදී තිබිණ.
එනිසා සීතා දේවිය රහසිගතවම මෙම හක්‌ගල ඔසු වන උයනේ ස්‌ථානයක සඟවාගෙන එම ඇස් රෝගයට ප්‍රතිකාර කර තිබේ. එම ඇස් රෝගය සුව වී සීතා දේවියට යළි පෙනීම ලබාදුන් ස්‌ථානය "සීතා එළිය" නම්වීලු. එයට පසුව හක්‌ගල පිළිබඳව ඓතිහාසික තොරතුරු මතු වන්නේ යුරෝපීය ආක්‍රමණයන් සමගය.
1861 දී හක්‌ගල උද්භිද උදානය ලෙසට නම් කරමින් යුරෝපීය ජාතිකයන් මෙම ස්‌ථානයට විශේෂ සැලකිල්ලක් දක්‌වා තිබිණ.
මේ වන විට වසර 151 ක් සපිරෙන හක්‌ගල මල්වත්ත නුවරඑළිය සිට වැලිමඩ මාර්ගයේ කිලෝමීටර් 9 ක් දුරින් පිහිටා තිබේ මුහුදු මට්‌ටමේ සිට මීටර්Ê2173 ක් උසින් පිහිටි හක්‌ගල කඳුවැටිය පාමුල මීටර් 1745 ක උසකදී හක්‌ගල උද්භිද උද්‍යානය පිහිටා ඇත.
යුරෝපීය පාලන යුගයේ ලොව පුරා පැතිරී ගිය මැලේරියා රෝග වසංගතය නිසා එයට ප්‍රතිකර්මයක් ලෙසට භාවිත කළ "ක්‌විනික්" නිෂ්පාදනයට අවශ්‍ය සින්කෝනා ශාකය වගා කිරීමට මෙම ඔසු උයන භාවිත කර තිබේ. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ 1859 වසරේÊසිට පර්යේෂණ කටයුතු හක්‌ගල උද්භිද උද්‍යානය හරහා කරනු ලැබීය. නුවරඑළිය හා බදුල්ල දිස්‌ත්‍රික් මායිමේ පිහිටි මෙම හක්‌ගල උද්භිද උයනට ඊසාන දිග හා නිරිත දිග මෝසම් වැසිවලින් වාර්ෂිකව මිලිමීටර්Ê2200 ක වර්ෂාපතනයක් ලැබේ.
එනිසා වසරේÊදින 360 න් දින 210 ක්‌ම වැසි ලැබෙන මෙම ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3-15 අතර පවතී.
හක්‌ගල දැඩි රක්‌ෂිතය ආසන්නයේ පිහිටා ඇති මෙම උද්භිද උද්‍යානය යුරෝපීය පාලන යුගයේ එදා 1861 දී අක්‌කර 500 ක් පුරා විහිදී පැවතියද අද ඉතිරිව ඇත්තේ අක්‌කර 68 ක් පමණකි.
මේ අනුව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය විසින් මෙම උද්භිද උද්‍යානයේ සින්කෝනා වගාවන් කරන අතරතුර තේ හා කෝපි වගා පර්යේෂණද සිදුකර තිබේ. එම ඓතිහාසික මුල්ම තේ ගසද අද විරාජමානව අඩි 15 ක් පමණ උසට හක්‌ගල උද්භිද උයනේ දී දැකගත හැකිය. මේ අතර 1861 වසරේÊදී ප්‍රථමයෙන්ම සිටවූ "සින්කෝනා" ශාකය ද දැනට විදේශ මල් උයන්වලින් ගෙන්වා සිටවූ විවිධ දර්ශනීය මල් වර්ගයන්ද මෙහි තිබේ. එහෙත් ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ගස්‌වැල්වලට පමණක් නොව සත්ව විශේෂයන්ටද හක්‌ගල උද්භිද උද්‍යානයේ විශේෂ ස්‌ථානයක් ලබාදී තිබිණ.
උද්‍යානයේ "සින්කෝනා" ගස් අතරින් යන විට හමුවන්නේ 1883 දී සිටවා තිබූ ලොක් සුඹුලු ශාක පෙළකි. ඒ අසලින්ම 1893 වසරේදී චීනයෙන් ගෙන්වා සිටවන ලද කපුරු ශාකයන් දැකගත හැකිය.
එම ස්‌ථානයට පැන ආ ශ්‍රී ලංකාවට පමණක් ආවේනික "කලුවඳුරා" ද උද්‍යාන සේවකයන් විසින් අපට පෙන්වීය. මේ අතර තේ ගස්‌ද 1867 දී පර්යේෂණ සඳහා ඇසෑමයෙන් ගෙන්වා මෙහි බෝකර තිබේ.
ස්‌වභාවික ලෙසටම පිහිටි හක්‌ගල උද්භිද උද්‍යානය තුළ ඇති ගිරිලෙන හක්‌ගල උද්භිද උද්‍යානය නරඹන්නන්ගේ විඩාව සංසිඳුවා ගැනීමට කදිම ස්‌ථානයකි. ඒ අසලම ඇති මීවන ප්‍රභේදයන් දිලීර, ලයිකන්, ඇල්ගී හා විවිධ පාසි වර්ග උද්භිද නාමයන්ගෙන්ම හඳුන්වා ඇති නාමපුවරු උද්භිද ගවේෂකයන්ට මහත් රුකුලක් වන ලෙසට නැරැඹීමට ඉඩ සලසා තිබේ. ඒ සමගම උද්‍යානය වැඩි ඉඩක් ලබාගෙන ඇති වන උයනට පිවිසි විට එහි ඇති සෑම ශාකයකම එය අයත් කුලය, උද්භිද නාමය හා විශේෂත්වයන් සඳහන් නාමපුවරු දැකගත හැකිය.
එසේම උද්‍යානයේ පිහිටි නිදර්ශන ශාකාගාරය තුළදී වසර 100 ක් පමණ පැරැණි ශාකවල පවා බලාගත හැකි අතර දැනට ශාක 1000 ක පමණ නිදර්ශන ඇති බවද හෙළිවිය. මෙම උද්භිද උද්‍යානය තුළ පිහිටි ගිම්හාන නිවහන 1904-1909 උද්භිද උද්‍යානය පාලනය කළ ආරක්‌ෂක ඡේ. ඡේ. නොක්‌ස් මහතා සිහිවීම පිණිස 1912 දී ඉංග්‍රීසි පාලකයෝ ඉදිකර ඇති බව සඳහන්ය.
එසේම ගෙවී ගිය වසර 151 ක් තුළ හක්‌ගල උද්භිද උද්‍යානය 1882-1940 දක්‌වාම ඉහත කී නොක්‌ස් පවුලේ පරම්පරා තුනක් වසර 58 ක්‌ම පාලනය කර තිබීමද විශේෂිත සිද්ධියක් විය. 1881 දී මුලින්ම විලියම් නොක්‌ස් මහතා සින්කෝනා වගා පාලනයට පැමිණ 1882-1904 උද්‍යාන අධිකාරිවරයා ලෙසට කටයුතු කර තිබිණ.
1904 දී ඔහු විශ්‍රාම ගනු ලැබුවේ සිය පුතු වූ ඡේ. කේ. නොක්‌ස් වෙත එම කටයුතු භාර කරමිනි.
ඡේ. කේ. නොක්‌ස් කෙටි නිවාඩුවක් ලබා එංගලන්තයට නැව් මගින් යමින් සිටියදී 1909 දෙසැම්බර් 13 දින නැව සුළි කුණාටුවකට අසුවීමෙන් ඔහු මියගිය නිසා මෙ ගිම්හාන නිවහන ඔහු වෙනුවෙන් ඉදිකළ බව පැවසෙයි. එය සනාථ කරමින් ඔහුගේ හිස් වැසුම අද ද ආරක්‌ෂා සහිතව එහි ප්‍රදර්ශනය වෙමින් පවතී. හක්‌ගල උද්භිද උද්‍යානයේ රෝස පැළ උයන, පලතුරු උයන, අධ්‍යයන අංශය, මධ්‍යම පොකුණ දෙස් විදෙස් සංචාරක සිත්ගත් ස්‌ථානයන් විය.
මේ උද්භිද උද්‍යානයේ වර්තමාන උද්‍යාන සංරක්‌ෂක එම්. එම්. ඩී. ඡේ. සේනාරත්න මහතා පවසන අන්දමට මේ උද්භිද උද්‍යානයේ දැනට විවිධ ශාක වර්ග 20,000 ක් පමණ තිබෙනවා.
ඒ අතර ලංකාවට පමණක් ආවේනික ශාක 4143 ක්‌ද, ලංකාවට හා විදේශයන්ට ආවේනික ශාක 3107 ක් හක්‌ගල උයනට පමණක් ආවේනික ශාක 100 ක් පමණද තිබෙනවා. මෙම උයනේ ශාක වර්ග වැඩි ප්‍රමාණයක් වසර සියයකටත් වඩා පැරැණි නිසා එහි වටිනාකමක් තිබෙනවා.
1861 ආරම්භයේ සිට මේ උද්භිද උද්‍යානය 19 දෙනකු විසින් පාලනය කර තිබෙනවා.
1984-1989 දක්‌වා පාලනය කළ ඩී. එස්. ඒ. විඡේසුන්දර මහතා විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා. අද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පවතින ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් ලෙස සේවය කරන ඒ මහතා මේ උද්‍යානයේ සංවර්ධන කටයුතු සඳහා උපරිම සහායක් අපට ලබා දෙනවා. පසුගිය උතුරු නැගෙනහිර යුද සමයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් පැහැදිලිවම තිබුණා. ඒත් දැන් ඒ තත්ත්වය වෙනස්‌වෙලා. 2011 වසරේÊඅවසානයේ උද්‍යානයේ ලේඛන අනුව සංචාරකයන් 4,60,000 ක් දේශීය වශයෙනුත්, විදේශීය සංචාරකයන් 10,000 ක් බවද සඳහන් වෙනවා.
2012 වසරේÊදී අවසාන භාගය වන විට එම ප්‍රමාණය දෙගුණ වූවා. කුමන හේතුවක්‌ද කියා කියන්නට බැරි වුවත් මුස්‌ලිම් සංචාරකයන් විශාල වශයෙන් මේ උද්‍යානයට පැමිණෙනවා.
මේ උද්‍යානය අපට සම්පතක්. එය රැක ගැනීම පැමිණෙන සියලු දෙස් විදෙස් සංචාරකයන්ගේ වගකීමක් වෙනවා. වන සතුන්, රිලවුන්, වල් ඌරන්, ගෝණුන් උද්‍යානයේ ශාකවලට හානි කරනවා. ඒ නිසා උද්‍යානයට ආරක්‌ෂිත වැටක් අවශ්‍ය වෙනවා.
එසේම උද්‍යානයේ තිබෙන සංචාරක විවේකාගාර කාලය අනුව වැඩිදියුණු කළ යුතු වෙනවා.
සංචාරක බස්‌රථ 10 ක් 15 ක් පැමිණ විට එම සංචාරකයන්ට වර්ෂාව අවස්‌ථාවලදී ඉන්න ස්‌ථානයක් නැහැ. දිවා ආහාර බොහෝ සංචාරකයන් රැගෙන ආවත් මෙහි දිවා ආහාර ගන්න පහසුකම් අවම වී තිබෙනවා. ඒ පිළිබඳව සංචාරකයන්ද අපට නිතරම පැමිණිලි කරනවා. ඒ සමගම දැනට තිබෙන සනීපාරක්‌ෂක පහසුකම් යල් පැනගිය ඒවා නිසා විශේෂයෙන්ම විදේශ සංචාරකයන් උදෙසා එම සනීපාරක්‌ෂක ක්‍රම කාලයට අනුව වෙනස් කළ යුතු වෙනවා. තවද උද්‍යානය තුළ මාර්ග කාපට් කිරීමෙන් මීට වඩා හොඳ සංචාරක ප්‍රතිචාරයක් ලබාගන්න පුළුවන්.
දැනට මෙහි කාර්ය මණ්‌ඩලයේ 78 දෙනකු පමණ සේවය කරනවා. අක්‌කර 68 ක් මේ පිරිස ඉතා උනන්දුවෙන් රැකබලා ගන්නවා.
ඒත් සුළු අතපසුවීමක් බලා ඇතැම් සංචාරකයන් මේ වටිනා ශාක පැහැර ගන්නවා. කඩලා දමනවා. අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මෙය අප කාගේත් මහඟු දායාදයක් ලෙස සලකලා ආරක්‌ෂා කරගන්න කියලා.
උද්‍යානය තුළට පොලිතින් රැගෙන ඒමත් මහත් ව්‍යසනයක් බවට පත්වෙලා තිබෙනවා. ඒවා නැවත ආපසු රැගෙන යන්නේ ටික දෙනෙක් පමණයි. ඒ නිසා විශාල පරිසර හානියක් එමගින් මේ උද්‍යානයට සිදු වෙනවා. අවසන් වශයෙන් මේ උද්‍යානය මේ දක්‌වා රැකගෙන ආ නිලධාරි පිරිස මතක් කළ යුතු වෙනවා.
1861-1866 දක්‌වා විලියම් මැක්‌නිකොල් නොක්‌ස්, 1866-1881 දක්‌වා ඡේ. කේ. නොක්‌ස්, 1882-1904 දක්‌වා ඩබ්ලිව්. නොක්‌ස්, 1904-1909 දක්‌වා ඡේ. කේ. නොක්‌ස්, 1909-1940 - දක්‌වා ඡේ. ඡේ. නොක්‌ස් පුරා අවුරුදු 58 ක් මේ නොක්‌ස් පරපුර මෙහි පාලනය භාරව සිටියා.
ඊට පසුව 1940-47 දක්‌වා ඊ. පෙරේරා, 1947-56 දක්‌වා ඩී, එන්. ඩබ්ලිව්. රණසිංහ, 1956-60 දක්‌වා ඩී. ටී. ඒකනායක, 1960-71 දක්‌වා එස්. බී, තෙන්නකෝන්, 1971-76 දක්‌වා රාජා අත්තනායක, 1976-79 දක්‌වා ඩී. බී. සුමිත්‍රආරච්චි, 1979-80 දක්‌වා ඒ. එම්. අබේරත්න, 1980-82 දක්‌වා ඩී. එස්. බී. විඡේසුන්දර, 1982-84 දක්‌වා ඩී. එම්. යූ. බී. ධනසේකර, 1984-89 දක්‌වා (දෙවන වරටත්) ඩී. එස්. ඒ. විඡේසුන්දර, 1989-91 දක්‌වා (දෙවැනි වරටත්) ඩී. එම්. යූ. බී. ධනසේකර, 1991 දෙසැම්බර් දක්‌වා කේ. එන්. යාපා, 1991 - 95 දක්‌වා ඩී. එච්. පී. පෙරමුණුගම, 1995 - 2003 දක්‌වා (දෙවැනි වරටත්) කේ. එන්. යාපා.
මේ අයුරින් රැකගෙන ආ හක්‌ගල උද්භිද උද්‍යානය මතු පරපුරටත් වැඩිදියුණු කර දීමයි අපගේ උත්සාහය වී තිබෙන්නේ.
වැලිමඩ - අර්නි දඹදෙණිය
0 Comments