පරිසරය සමතුලිත කර මිනිස්‌ ජීවිත රකින කඩොලාන


කඩොලාන සාමාන්‍ය ශාකවලට ජීවත්වීමට අසීරු පරිසර සාධක හමුවේ ඒවා ඉතා මැනවින් හැඩ ගැසී ජීවින් රාශියකට වාසස්‌ථන සපයන ශාක විශේෂ ගණනාවක එකතුවකි. ස්‌වභාවිකව අපට මේවා හමුවනුයේ ගංමෝය, කලපු සහ ගං ඉවුරු ආශ්‍රිතවය.

ශ්‍රී ලංකාවේ කඩොලාන හෙක්‌ටයාර් 10000-12000 ක්‌ පමණ පවතින අතර පුත්තලම, මඩකලපුව, ත්‍රිකුණාමලය , කල්පිටිය, කොග්ගල, කෝකිලායි, කලවැටිය, රැකව හා මීගමුව වැනි ප්‍රදේශවල විශාල කඩොලාන ප්‍රජාවන් දැක ගත හැකිය. 

හෙක්‌ටයාර් 3385 ක්‌ පමණ වන ශ්‍රී ලංකාවේ විශාලතම කඩොලාන පරිසර පද්ධතිය පිහිටා ඇත්තේ පුත්තලම කලපුව ආශ්‍රිතවය. කඩොලාන ශාක විශේෂ 50 කට අධික සංඛ්‍යාවක්‌ ශ්‍රී ලංකාවේ පවතී.

කඩොලාන වැවෙන ප්‍රදේශයේ විශේෂ පරිසර සාධක හෙවත් ලක්‍ෂණ පවතී. එනම් මෙම ප්‍රදේශ වඩදිය බාදිය ක්‍රියාවලියට ලක්‌ වේ. ඇතැම් කඩොලාන පවතින ස්‌ථානවල දෛනිකවද ඇතැම් ස්‌ථානවල වසරේ විවිධ කාල වකවානුවලද පස ජලයෙන් යට වීම සහ නැවත නිරාවරණය වීම සිදු වේ.

කඩොලාන පවතින පරිසරයේ ජලය ලුණු ගතියෙන් (ලවණ සාන්ද්‍රණය) වැඩිය.

තවද කඩොලාන ඇති පසෙහි පාංශූ වාතය ඉතා අඩු බැවින් නිර්වායු තත්ත්වය නිසාද සමුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය සෙමින් සිදු වේ. වියෝජන ක්‍රියාවලිය සෙමින් සිදුවීම නිසා කාබනික ද්‍රව්‍ය එකතු වී කලු පැහැති මඩ ගොහොරු තත්ත්වයක්‌ ඇති වේ. කඩොලාන ඇති ප්‍රදේශවලට තද සූර්යාලෝකය ලැබේ. තවද එම ප්‍රදේශවල අධික සුළං ද පවතී.

ඉහත සඳහන් කළ පරිසර සාධක ශාක වර්ධනය සඳහා එතරම් හිතකර නොවන බව අපට පෙනීයන කරුණකි. එසේ වුවද කඩොලාන ශාක මෙම අහිතකර පරිසර සාධක හමුවේ නොනැසී ජීවත්වීමට මැනවින් අනුවර්තනය වී ඇත. 

මඩ සහිත පසක කඩොලාන ශාකයට නොපෙරළී සිටීම සඳහා "කරු මුල්" හා "කයිරු මුල්" නම් විශේෂිත මුල් කඳේ පාදයෙන් සහ අතුවලින් හට ගනී. ඒ මගින් ශාකය ඉතා හොඳින් පසට සවිකර ගනී. මහ කඩොල් (Rයසzදචදර්)ල මල් කඩොල් (ඊරමටමසැර්)ල වල මෙම අනුවර්තනය පවතී. මහ කඩොල් ශාකවල කරු මුල් සහ කයිරු මුල් පැවතියද මල් කඩොල්වල ඇත්තේ කයිරු මුල් පමණි.

කඩොලාන ශාක ප්‍රජාවෙන් මිනිසාට හා පරිසරයට ප්‍රයෝජනයන් රැසක්‌ සැලසේ. කඩොලාන ශාක ප්‍රජාව මගින් කලපු පරිසර පද්ධතියට මෙන්ම මිනිසාට ප්‍රයෝජන රැසක්‌ ලබාදෙයි.

කැරන්කොකු (Aජරදිඑසජයමප) ශාකයේ දළු රසවත් මැල්ලුමක්‌ ලෙස ආහාරයට ගනී. කිරල පලතුරක්‌ ලෙසද, කිරල කිරිබීමක්‌ ලෙසද භාවිත වේ. ගිංපොල් (භහච්රෙමසඑසජ්බි) ශාකයේ වියළාගත් අතුවලින් පැදුරු මලු සහ වට්‌ටි නිපදවීම සිදු වේ. කිරලවල ස්‌වසන මුල් කපා පොරොප්ප ඇබ ලෙස සකස්‌ කරයි.

මහ කඩොල් ශාකයේ ටැනින් ග්‍රන්ථ බහුලව පවතින නිසා එම ශාකයේ පොතු ගසා මුට්‌ටියක දමා තම්බා ධීවර දැල් සායම් කර ගැනීම පාරම්පරික සිරිතකි, කඩොලාන ආශ්‍රිතව හමුවන කදුරු (Ceරඉeර්ක) ශාකයේ ලීය වෙස්‌ මුහුණු කර්මාන්තය සඳහා සුලභව භාවිත වේ.

එමෙන්ම කටු ඉකිළිය යනු වටිනා දේශීය ඖෂධයකි. ගොඩනැගිලි වැට සැදීම හා ඉන්ධන සඳහා දැව වශයෙන් ද කඩොල් දැව භාවිත වේ. විශේෂයෙන් වියළි කලාපයේ සත්ව ආහාරයක්‌ ලෙස කඩොලාන අතු යොදාගනී. කලපු ධීවරයන් මසුන් ඇල්ලීමේදී මස්‌ අතු බැඳීම සඳහා මහ කඩොල් යොදා ගනී.

කඩොලාන ශාක ආශ්‍රිතව ධීවර කර්මාන්තයේදී ඉතා වැදගත් වන ඉස්‌සන්, කකුළුවන් සහ මත්ස්‍යයන්, රැසක්‌ ජීවත්වෙන අතර ඔවුනට අවශ්‍ය ආහාර, ආරක්‍ෂාව සහ සෙවණ කඩොලාන මගින් සැපයේ. ගොඩ බිම දෙසට වේගවත්ව හමා එන සුළං පහර ද, රළ පහරද කඩොලාන ශාක නිසා පාලනය වේ. එමගින් ඉවුරු ඛාදනය අඩු වේ. කොළ පොහොර නිපදවීම සඳහා ද කඩොල් පත්‍ර භාවිත වේ. මී මැස්‌සන්ට දිනපතා පරාග එකතු කිරීමට කඩොලාන ශාක වැදගත් වේ. 

මෙයට අමතරව කඩොලාන ප්‍රජාව ආශ්‍රිත කොටගෙන විශේෂ රැසකට අයත් මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන් පක්‍ෂීන් සහ ක්‍ෂීරපායින් වාසය කරති. පාසල් කඩොලාන ප්‍රජාව යනු කදිම විද්‍යාගාරයකි.

මෙසේ මිනිසාටත් පරිසරයටත් ඉමහත් ප්‍රයෝජනයක්‌ ලබා දෙන කඩොලාන ශාක ප්‍රජාවන් අහිතකර මිනිස්‌ ක්‍රියාකාරකම් රැසක්‌ නිසා විනාශවෙමින් පවතී. නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා එළිපෙහෙළි කිරීම, ඉස්‌සන් කොටු දැමීමට කඩොලාන විනාශ කිරීම, අපද්‍රව්‍ය සහිsත දූෂිත ජලය කලපුවලට එකතුවීම, බෝට්‌ටුවලින් එකතු වන තෙල් නිසා කලපු ජලය දූෂණය වීම, දැව සඳහා මහා පරිමාණයෙන් කඩොලාන ගස්‌ කපා දැමීම, කඩොලාන ප්‍රදේශවල පොල් ලෙලි පල් කිරීම සඳහා වළවල් හෑරීම කර්මාන්ත ශාලාවලින් හා නිවාසවලින් බැහැර කරන කැලි කසළ කඩොලානට එකතු කිරීම, කඩොලාන ආශ්‍රිතව කලපු ඉවුරුවල සංචාරක හෝටල් ඉදිකිරීම, වන සතුන් දඩයම් කිරීම සඳහා කඩොලාන ගිනිතැබීම, මත්පැන් නිෂ්පාදනය සඳහා කඩොලාන ප්‍රදේශ විනාශ කිරීම වැනි කරුණු මේ අතර වේ.

විනාශ වෙමින් පවතින කඩොලාන සම්පත ආරක්‍ෂා කර ගැනීම සඳහා අපට ගත හැකි ක්‍රියාමාර්ග රැසක්‌ ඇත. ඒවායින් කිහිපයක්‌ ලෙස කඩොලාන විනාශ කර ඇති ස්‌ථානවල නැවත කඩොලාන සිටුවීම , කඩොලන පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම, කඩොලාන පවතින ප්‍රදේශ සංරක්‍ෂිත ප්‍රදේශ බවට ප්‍රකාශ කිරීම, විකල්ප ආදායම් / සම්පත් පරිහරණ ක්‍රම හඳුන්වාදීම, කලපු දූෂණය අවම කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීම වැනි ක්‍රියාමාර්ග නම් කළ හැකිය.

දැනට ශ්‍රී ලංකාවේ පවතින කඩොලාන ප්‍රජාවේ ප්‍රමාණය කුඩා වුවද ඉන් සිදුවන මෙහෙය සුළුපටු නොවේ. ප්‍රජාව දායක කර ගනිමින් විනාශ වූ ස්‌ථානවල නැවත කඩොලාන ස්‌ථාපනය කිරීමේ ව්‍යාපෘතියක්‌ කැස්‌බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් පුත්තලම කලපුවේ ක්‍රියාත්මක කරනු ලබයි.

එහිදී වෙරළබඩ පක්‍ෂීන්ගේ භෝජන කලාප, තොටුපළ පවතින ස්‌ථාන, කලපු ගොඩබිම සහ කඩොලාන විශේෂ සංයුතිය පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු කර ඇත. තවද කඩොලාන සම්පතෙහි ඇති වැදගත්කම පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමද මෙම ව්‍යාපෘතියෙන් සිදු කරන්නේ සාගර, කැස්‌බෑවුන්ටද කඩොලාන සහිත කළපු පරිසර පද්ධතියෙන් ඉමහත් සේවයක්‌ වන බැවිනි. 

(කැස්‌බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියේ තුෂාන් කපුරුසිංහ මහතා රුක්‌ සඟරාවට සපයන ලිපියක්‌ ඇසුරෙන්).

ඡායාරූප - අන්තර්ජාලය ඇසුරෙනි
බමුණාකොටුව -  නන්දන සිරිශාන්ත කුමාර 

Post a Comment

0 Comments