එදා මෙදා මතුදා ළමයි


එදා සිරිසේන පාසලේ සිට ගෙදර ආවේ දැඩි සිත් වේදනාවෙනි. සිත පමණක්‌ නොව අතද දැඩිලෙස පුපුරු ගසයි. විදුහල්පතිතුමාගේ වේවැල් පහර ඉතා සැරය. සිරිසේනගේ වයස අවුරුදු 12 කි.

ගෙදර ආ නමුත් පාසලේදී වූ සිද්ධිය ඔහු කිසිවෙකුට කීවේ නැත. පියාට තබා මවටවත් කීවේ නැත. ඔහුගේ පියා ගමේ බලවතෙකි. ඉක්‌මනින් කෝපයට පත් වෙන්නෙකි.

දින දෙකක්‌ යනතුරු සිරිසේන තනිවම වේදනා වින්දේය. එදා ආරියපාලත් සෝමදාසත් පන්තියේදී පුටුවකට රණ්‌ඩු වුණා. ආරවුල කොතරම් දුර දිග ගියාද කිවහොත් පුටුව බිම වැටී එහි කකුලක්‌ බිඳී ගියේය. රණ්‌ඩුව බේරීමට සිදුවූයේ සිරිසේනටය. ඔහු දෙදෙනා දෙපසට කොට පුටුව කෙළින් කොට නියමිත තැන තැබුවේය.

සිදුවීම විදුහල්පතිතුමාට සැලවිණි. රණ්‌ඩුවට පැටලුනු දෙදෙනාද සිරිසේන ද කාර්යාලයට ගියහ. විදුහල්පති කාරණාව කෙටියෙන් විමසා බැලීය. ළමයි විදුහල්පතිතුමාට බියය. ඔහු අනතුරුව කබඩ් එක මත වූ වේවැල අතට ගත්තේය. රණ්‌ඩුවට හවුල් වූ දෙදෙනාට වේවැල් පහර දෙක බැගින් වැදිණි.

"උඹත් අල්ලපන් අත" ඔහු සිරිසේනට අණ කළේය. සිරිසේන පසුබා සිටියේය. සිරිසේන මවිතවිය.

"අල්ලපන් අත" දිගු කළ ඒ අතටද වේවැල් පහර දෙකක්‌ වැදිණි.

රණ්‌ඩුව බේරා පුටුව නිසි පරිදි තැබුවාට විදුහල්පති මෙසේ පහර දුන්නේ ඇයි? සිරිසේනට සිතා ගත නොහැකි විය. පියාට මේ බව කීවොත් විදුහල්පතිතුමාට හොඳ පාඩමක්‌ උගන්වනු ඇත. එහෙත් සිරිසේන එසේ නොකොට වේදනාව ඉවසා දරා ගත්තේය.

සතියකට පමණ පසු ඔහුට ගැටලුවක්‌ වූ ඒ කාරණය පැහැදිලි කරදෙන ලද්දේ ඔහුගේ පන්තියේ ගුරුතුමා විසිනි. "සිරිසේන මොකටද අනුන්ගේ අහක යන දේකට අත දමන්න ගියේ?" ඒකටයි ඔය දඬුවම.

එම පාසලේම තවත් දරුවෙකු වූ වීරසිරිට ඉංගී්‍රසි පාඩම උගන්වද්දී එහි වචනයක්‌ ශබ්ද කරන අයුරු වැරදිණි. ගුරුතුමා ඔහු ඉදිරියට කැඳවා ඔහුගේ පසුපසට වේවැලින් පහර දෙකක්‌ දුන්නේය. ඔහුට ඇතිවූ කායික වේදනාවට වඩා ල-ජාව මහත් විය. එහෙත් ඔහු කරබාගෙන ගෙදර ගියේය.

ඒ පාසලේම තවත් ළමයෙකුට එවැනි ඇබ්බැද්දියක්‌ සිදුවිය. ඔහු සිටියේ ජ්‍යෙෂ්ඨ පන්තියේය. ගුරුතුමා උගන්වන වෙලාවේ ඔහු පසුපස ආසනයකට වී මිතුරෙකු හා කතාවට වැටිණි. ඔහු තමා ඉදිරියට පොතක්‌ දිගහැර තබා තිබුණේ තමා පොත කියවමින් සිටින බව ගුරුතුමාට අඟවන්නටය. මෙය ගුරුතුමාගේ ඇස ගැටිණි. ගුරුතුමා ඔහුට කතා කොට කුමක්‌ කරමින් සිටියාදැයි ඇසීය.

බොරුව කියන්නට කට අරින්නට හැදුවා පමණි. කන්පත හරහා වැදුණු පහරින් දෙනෙතින් ගිනි විසිවිය. ගුරුතුමා රැවටීමත් බොරු කීමත් යන වැරදි දෙකටම මතක හිටින දඬුවම එවලේම ලැබිණි.

මේ සිදුවීම් තුනම මීට අවුරුදු 30 කට පමණ ඉහතදී මාතර රාහුල විද්‍යාලයේ සිදුවූ ඒවාය. එකල එහි විදුහල්පති ඩී. ඡේ. කුමාරගේ මහතාය. ඉංගී්‍රසි ඉගැන්වූයේ වීරතුංග මහතාය. බොරු කීමට දඬුවම් දුන්නේ නියෝජ්‍ය විදුහල්පති වික්‍රමරත්න මහතාය. පසුකලක විභාග කොමසාරිස්‌ වූයේද ඔහුය. ප්‍රථම සිදුවීමේ ශිෂ්‍යයා මිනින්දොaරු අධිකාරිවරයකු වූ සිරිවර්ධනය. දෙවැනි තෙවැනි සිදුවීම් දෙකෙහි ශිෂ්‍යයා වූයේ මේ ලියුම්කරුය.

ගුරුවරයාට දෙවියෙකුට මෙන් ගරු කළ යුතු බව තමාට මව්පියන් පහදා දුන් බව මේ ශිෂ්‍යයන්ට මතක තිබීම නිසා සියලු අවුල් නිරවුල් විය. එනිසා ඔවුන් තම ගුරුවරුන් කෙරෙහි වෛර සිතක්‌ ඇති කර ගත්තේ නැත. එම ගුරුවරුද එම සිසුන් සමග අමනාප නොවූ අතර පසුව උදව් උපකාරද කළෝය.

ඒ එදා ළමයි. අද ළමයි මීට වඩා හාත්පසින්ම වෙනස්‌ය.

විදුහල්පතිගේ තීරණයකට එරෙහිව මෑතකදී ගම්පහ බණ්‌ඩාරනායක විදුහලේ සිසුන් පිරිසක්‌ හැසුරුණේ ඉතා අසෝබන විදියටය. ඔවුහු පාසලේ දේපළවලටද හානි කළහ. ඇතැම් විට විදුහල්පතිගේ තීරණය වැරදි වුවහොත් එය විස¹ ගැනීමේ මීට වඩා වැදගත් ක්‍රමවේද ඇති බව ඔවුන් නොදැන සිටින්නට හේතුවක්‌ නැත. මේ සියලු දෙනා උසස්‌ පෙළ දක්‌වා උගත් සිසුන් බැවිනි.

එදා ළමයින්ට ෆේස්‌ බුක්‌ Facebook පරිගණක තබා රූපවාහිනියක්‌වත් තිබුණේ නැත. එය මහා අවාසනාවක්‌ ලෙස අද ළමයින්ට සිතෙන්නට පුළුවන. එහෙත් සිදුවූයේ නන්නාඳුනන පටලැවිලිවලින් ජීවිතය සංකීර්ණ කර ගැනීමට ඔවුන්ට ඉඩකඩ නොලැබීමය.

ඒ වගේම හන්දියක්‌ ගානේ ටියුෂන් කඩ එදා ළමයින්ට තිබුණේ නැත. උදැසන නිදි පැදුරෙන් ඇරැඹෙන "ඉගෙන ගැනිල්ල" රාත්‍රි නින්දට යන තෙක්‌ ඇත්තේ අද ළමයින්ටය. එදා මෙවැනි දඩිබිඩියක්‌ ආතතියක්‌ එදා තිබුණේ නැත. එදා ළමයි නිදහස්‌ මනසකින් යුතුව පාසලට ගිය බව අද වැඩිහිටියන් වී සිටින එදා ළමයින්ට මතකය.

එදා ෆේස්‌බුක්‌ වෙනුවට ළමයින්ට තිබුණේ සිරි අයියාගේ ළමා පිටියත් කරු අයියාගේ සරස්‌වතී මණ්‌ඩපයත්ය. මඩවල එස්‌. රත්නායක, චිත්‍රානන්ද අබේසේකර, සරත් විමලවීර, කරුණාරත්න අබේසේකර ළමා මණ්‌ඩපය තුළින් එදා ළමයින්ගේ නිර්මාණ හැකියාවන් යහපත් ගුණධර්මත් වර්ධනය කළෝය.

ගී පද රචනයේදී කරු අයියාට තිබූ දස්‌කම් මනරම්ය. කුඩා කොළ කෑල්ලකුත් පෑනකුත් ඇත්නම් ඔහු සැණකින් ලියන ගීතය ඩී. ඩී. ඩැනී අයියාගේ සංගීතයෙන් ඔප වැටී එදා ළමයින්ගේ මනස තුළට ගලා ආවේය. "හිනහේවී බෝනික්‌කා, අපේ අම්මා කොළඹ ගිහිල්ලා, දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්‌කෝලේ, අම්ම මාව දොයි කරන්න" යන ලෙසින් අදටත් අප වෙත ගලා එන්නේ ඒ සුන්දර ගීත නදියයි.

ඒ කාලේ ළමයින්ට වැරදි වලදී තාත්තලාගෙන්ද බුරුලක්‌ ලැබුණේද නැත. මල් කැරැල්ල කොටු පහර නම් වරදින්නේ නැත. ඒත් කිසිම ළමයෙක්‌ ඒ නිසා දිවිනසා ගත් බවත් නම් අප අසා නැත. අද කාලේ සමහර ළමයි අම්මා ටිකක්‌ තදින් කතා කළත් බෙල්ලට වැළදමා ගන්නේ ජීවිතය ගැන අබමල් රේණුවක්‌ තරම්වත් නොසිතාය.

මෙයින් අතර මෙවැනි සමාජ හා ස්‌වයං විරෝධී සිතුවිලි පහළ වන්නේ ඔවුන් උගත් දේ නිසා වන්නට බැරිය. ළමයින්ට තමා අවට පරිසරය පෞරුෂ වර්ධනයේදී බලපාන බව මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි.

පරිසරය දෙආකාරය. පළමුවැන්න පන්ති කාමරයේය. දෙවැන්න තමා ජීවත්වන ගෙදරයි. පන්ති කාමරයේදී ගුරුතුමා ළමයින් වටහාගෙන ඔවුන් නිසි මගට යොමු නොකරන්නේ නම් ඔවුන් යන්නේ කකුළුවන්ගේ ගමනය.

දෙමාපියන්ට කෙළින්ම එරෙහි වනු නොහැකි නිසා දරුවා සමාජ විරෝධියෙකු වී හෝ දිවිතොර ගෙන ඔවුන්ගෙන් පළිගැනීමට පෙළඹේ.

ළමයා ආදරයේ පිපාසයෙන් පෙළෙන කුරුලු පැටියකු වැන්න. ඔහු ඇදී යන්නේ තමාට ආදරය හා රැකවරණය සපයන්නා වෙතය.

අද මෙන්ම හෙට දවසේ දරුවන් මේ ක්‍රමවේදයට දැඩි ලෙස අසුවනු නොඅනුමානය. ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා සිතුවිලි මොනතරම් වෙනසකට භාජන වේදැයි සිතන එකත් බිය ජනකය.

ඔවුන්ගේ හෙට දවස අදට වඩා බෙහෙවින් සංකීර්ණ වනු ඇත. ආගම හා දෙමාපියන් ද අන්තර් පුද්ගල සම්බන්ධතාව ෆේස්‌බුක්‌ වැනි සමාජ ජාලයන් හරහා දැකීමට ඔහු පෙළඹෙනු ඇත. වැඩිහිටියන් තමා හා සමාන ලෙස දැක්‌මට සිතන අතර ඔවුන්ගේ පාරම්පරික අවවාද වෙනස්‌ වන ලෝකයම නොගැළපෙන විට ඒවා සරදමට ලක්‌කරනු ඇත.

ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, හැසිරීම් වත්මන් පරපුර මවිත කරවන තරමට වෙනස්‌වනු ඇත. එකී සාහිත්‍ය ඉවත දමා යාන්ත්‍රික මනසක්‌ සහිත වනු ඇත.

හෙට දරුවා විශාල පොත් බෑගයක්‌ කරේ එල්ලාගෙන යනු වෙනුවට  කුඩා අයි පෑඩයක්‌ පාසලට ගෙන යනු ඇත. ඔහු Email මගින් ගුරුවරුන් හා ගනුදෙනු කරනු ඇත.

දැනට පවත්නා මාධ්‍ය හා වෙළෙඳ ලෝකය විසින් ග්‍රහණය කර ගන්නා ඔවුන් එම ආයතන විසින් හසුරුවනු දැකීම පුදුමයට කරුණක්‌ ද නොවනු ඇත.

ලීලානන්ද වික්‍රමසිංහ

Post a Comment

0 Comments