පිරිමියෙක් සමඟ ගැහැණියක විවාහ වන්නේ කිසිදාක වෙන්වීමේ බලා පොරොත්තු තබාගෙන නොවේ.පේ කරන ලද සුපිරිසිදු ඔරුවක් මත නැග්ගාසේ හඟිමින් පෝරු මස්‌තකාරූඪ කරනුයේ කන්‍යාවක සහ නොකිලිටි යෞවනයෙකි.
පෝරුව මත සිට සපථ කරන්නේ, නොකැලැල් ආදරය. මෙලොවට වැඩදායි දූ දරුවන් රැසක් බිහි කිරීමේ අපේක්‍ෂාව සහ ජීවිතාන්තය දක්‌වා පණට පණසේ එකට මැ ජීවත්වීමේ පොරොන්දුවයි.
වත්මන් සමාජ සංස්‌කෘතීන් අතර හුදකලාව සේවය සපයමින් සිටි "මංගල පෝරුව" පිළිබඳ කතිකාවක් ගොඩ නැගෙන්නේ, ඉකුත් දිනෙක පැවැති "සුනඛ විවාහය" නිසාවෙනි.
එය "බලු මඟුලක්" ලෙස අර්ථ නොගන්වා "සුනඛ විවාහයක්" යෑයි අර්ථ ගැන්වූයේá රටේ ප්‍රබල ගණයේ අපරාධ රැසක සුලමුල හෙළි කරගැනීමට මහෝපකාරී වූ පොලිස් නිල සුනඛ අංශයේ, නිලධාරින්ගේ වෙසෙසින් සිත් යොමු නොකළ අදූරදර්ශී ක්‍රියාවක් නිසාමය.
ජයටම සිදු කෙරුණු සුනඛ විවාහයේදී (බල්ලන්) සුනඛ ජෝඩුව "පෝරුවක් වැනි පීඨිකාව" ක් මත නංගවා, "අතපැන් වත්කොට" ජයමංගල ගාථා" කියෑවනු ලැබීය.
පෝරුවට නැගිය හැක්‌කේ හුදෙක්‌ම මිනිසුන් පමණක්‌ද? යන්න ඉකුත්දා කතා බහට ලක්‌වූයේ බලු මඟුල ගැන චෝදනා ගලාඑද්දීය.
"මංගල පෝරුව" අතීත සංසිද්ධීන් සමඟ බැඳෙමින් විකාශය වී ඇත්තේ එය අපේ උරුමයක් බව සනාථ කරමිනි. ඒ බවත් නොදැන මතුපිටින් යමක් අතපත ගා ප්‍රබලයන් වන්නට වෙර දැරීම සුදුසු නොවන බව සක්‌සුදක්‌සේ තහවුරු වන්නේ "මංගල පෝරුවෙහි ඓතිහාසික, සමාජයීය, සංස්‌කෘතික වටිනාකම සසඳන කලය.
ලක්‌දිව ඓතිහාසික සාක්‍ෂි අනුව පාහියන්ලෙන සහ බටදොඹ ලෙන ආශ්‍රිතව හඳුනාගෙන ඇති පැරණි මෙවලම්වලට අනුව අවම වශයෙන් වසර හතළිස් දහසකට පෙර මානවයා තම වර්ගයා බෝ කරමින් පැවැති බවට තහවුරු කෙරෙන සාක්‍ෂි තිබේ.
ඒ කෙසේ වුවද, ශ්‍රී සිද්ධාර්ථ රාජෝත්තමයෝ සූවිසි අසංෙඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම්පුරා බුදුවීමට ආ ආත්මයේදී යසෝදරා දේවිය කරකාර බැඳීමට සිතූහ. යුගදිවිය ඇරඹී ඇත්තේ එතැන් පටන්ය.
සිද්ධාර්ථ කුමරුන්ගේ සහ යසෝදරා කුමරියගේ විවාහ මංගල්‍ය වෙනුවෙන්, දිග දොළොස් පළල පහළොස් රියන් මඟුල් මණ්‌ඩපයක් කරවා එරන් කොත් පිහිටුවා... සතර මහා දෙවිවරුන් කඩු ගත් අත් ඇතිව සිටුවා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා එරන් පෝරුවක් මවා මඟුල් මණ්‌ඩපයේ සිට වූ බැව්.. ජයමංගල අෂ්ඨක කථාවලත්, ඓතිහාසික ග්‍රන්ථ හා ගාථා වලත් සඳහන්ව තිබේ.
ඒවායෙහි වැඩිදුරටත් සඳහන් පරිදි. සිද්ධාර්ථ කුමරු සහ යසෝදරා දේවීන් රන්පෝරු මස්‌තකයෙහි වඩා හිඳුවා දෙව්ලොව අධිපති ශක්‍ර දේවේන්ද්‍රයෝ සියලු වතාවත් චාරිත්‍ර විධි පවත්aවා දෙසූලැගිලි බැඳ අභිවෘද්ධියට පැමිණ වූ වග සැලයි.
එතැන් පටන් මංගල පෝරුව මේතාක් කල් පැවැතෙමින් එන්නේය.
"විවාහය" - විශ්වාසය, වාසනාව, හදවත් බැඳීම යහපැවැත්ම එකට බන්ධනය වී දෙදෙනෙක් නොව එකකු සේ ජීවිත කාලය පුරාවටම බන්ධනයක් ඇතිකර ගැනීමේ, සංස්‌කෘතික බැඳීම් සහ බෞද්ධ දේව ආශිර්වාද යුග දිවියට ආරූඪ කරනුයේ පෝරු මස්‌තකයේ දීය. එය උතුම් කාර්යයකි. උතුම් චාරිත්‍ර විධියකි.
ස්‌ත්‍රිය නැතහොත් කන්‍යාව සහ යෞවනය යුග දිවියක් අරඹන්නේ නම්, ඔවුහු, ඔවුනොවුන්ගේ ග්‍රහයන්ගේ සතුරෝ හා මිතුරෝ හඳුනාගෙන සිටිය යුතුය. විසි පොරොන්දම හෙවත් නැකැත්, ගණ, මහේන්ද්‍ර, ස්‌ත්‍රී දීර්ඝ, යෝනි, රාශි, ලග්න සහ චන්ද්‍ර, රාශ්‍යාධිපති, රඡ්ජු, වශ්‍ය, වේධ, වෘක්‍ෂ, ආයුෂ, පඤ්ච පක්‍ෂී, පඤ්ව භූත, ගෝත්‍ර, වර්ණ, ලිංග, දින, නාඩි සහ ග්‍රහ දහයකට වැඩි ගණනක්‌ම ගැලපිය යුතුය.
ස්‌වාමියා සහ භාර්යාව වශයෙන් ජීවත්වන තුරාවට දරු සම්පත්තිය ලබා යෙහෙන් විසීමට උපන් වේලාවන් තමන්ට හිමි පොරොන්දමත් එකසේ බලපෑම් කරනු ඇතැයි විශ්වාසයන් පවතී. දෙදෙනකුගේ එක්‌වීමක් සිදුවීමේදී මේසා විශාල පොරොන්දම් ගැලපීම් සහ ගෙන එන කරදර බාධා දුරැලීම සිදු කරනුයේ, පෝරු මස්‌තකයේ දීය.
මංගල පෝරුව සැදීම ඉතා බැතිබරව සිදු කරන්නකි. එය සාදන උදවිය හොඳින් පිරිසිදු වී නැකැත් අනුව පිරිසිදු සිතින් ගැලපෙන ස්‌ථානයක් තෝරා ශුද්ධ පවිත්‍ර කර පෝරුව සෑදීම ආරම්භ කරයි. කිරි එළදෙනකගේ ගොම ගෙන පෝරුව සාදන තැන පිරිබඩගෑම අනිවාර්යය වෙයි. පසුව රත්හඳුන් සුදු හඳුන් හෝ කිරි ගසක පලුදු නොවූ අලුත් ලෑලි ගෙන පෝරුව ඉදිකරයි.
කායික ශක්‌තිය, දරුඵල ඇතිවීම, ධාතු ශක්‌තිය වැඩිවීම උදෙසා බලපාන වෘක්‍ෂ පොරොන්දමට අයත් වන හර වෘක්‍ෂ කිරි වෘක්‍ෂ ගලපා ඒ ඒ පුද්ගලයාට උචිත වෘක්‍ෂයන්හි අලුත් ලෑලි කැබැල්ලක් පය ගැටෙන තැන සවි කිරීම චාරිත්‍රයකි.
පෝරුවෙහි දිග වඩුරියන් "16" කුත් පළල වඩුරියන් "15" කුත් ගත යුතුය. දොරටු හතරක්‌ද මුළු අටක්‌ද සැකසිය යුතුය. දිග සත්රියක් පළලද එපමණ වූ දොරටු හතරක්‌ද එහි පුන්කලස් හතරක්‌ද තැබිය යුතු වුවද වත්මන් පෝරුවල දක්‌නට ඇත්තේ දොරටු තුනකි.
පස්‌පව් දස අකුසල් කරන්නෝ මඟුල් පෝරු සෑදීම සඳහා සම්බන්ධ කර නොගනී. එක් යුවලක් සඳහා තැනූ මංගල පෝරුවක් තවත් යුවලකට සුදුසු නැත. පෝරුවේ ඉදිරිපස නැගෙනහිරටම විය යුතුය. සහල්, ලදපස්‌මල්, බුලත් පාගා දැමීමට මනුෂ්‍ය ජීවිතයේදී ලැබෙන එකම එක අවස්‌ථාව මංගල පෝරු මස්‌තකය පමණි.
පෝරු චාරිත්‍ර ඉටුවීA අවසන් වන තුරු සාදා නිමකළ පෝරුවක් තනි නොකළ යුතුය. තනියට අයෙකු සිටවිය යුතුය. මනාලයා දකුණු පසටද මනාලිය වම් පසද සිටුවා අශ්ඨක කියා දොaස දුරැලිය යුතුය. වත්මන් සමාජයට මේවා සිනහ උපදවන සුළු වූවා වුවද, ඔවුනොවුන් අද අත්විඳින්නේ ඔවුන්ගේ හාස්‍යයේ අයහපතය.
වත්මන් තරුණ තරුණියන් විවාහ වී සතියකින් දෙකකින් හෝ මසකින් දෙකකින් විවාහ ජීවිතය ගැන කලකිරෙන්නේ හෝ දික්‌කසාද වීමක් ගැන හාන්කවිසියක් හෝ සිතෙහි මෝදුවන්නේ පෝරුමස්‌තකාරූඪ වීම පිළිබඳව වූ වටිනාකම් සහ ජීවිතයට කාන්දුකරණ සංස්‌කෘතිමය ජවය ශක්‌තිය, නොපෙනෙන බලවේග සියල්ල පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසාය.
එය එසේවීමෙන් අපට අහිමිවන්නේ ශ්‍රී ලාංකේය සංස්‌කෘතිය හා බැඳි පවුල් සංස්‌ථාවන්ය. මංගල චාරිත්‍ර වාරිත්‍ර විධි අශ්ඨක අකුලට විසි කොට "මංගල පැකේජ" (උeddසබට ඡ්ජන්ටැ) හරහා සිය මංගලෝත්සවය මහ ඉහළින් උත්සවශ්‍රීයෙන් සිදුකරන උදවිය පෝරුවෙන් බැස තවත් දිනකින් ගමන් ගන්නේ පෝරකය වෙත විය හැකිය. ඊට සරිලන සිද්ධීන් හා සාක්‍ෂි වත්මන ඕනෑතරම් අසන්නට දකින්නට ලැබෙයි.
අප අපගේ උරුමයන් රැක ගත යුත්තේ අනාගත පරපුර උදෙසාය. යමක් කරද්දී එහි ඉතිහාසය, අතීතය පරීක්‍ෂා කොට විමසා බැලිය යුතුය. යමක් සාර්ථක වන්නේ හොඳ ඵල ලබන්නේ එවිටය.
උපේක්‍ෂා වීරසේකර
0 Comments